ඔලියැන්ඩර් – 58

0
3871
oleander Flower

” සර්.. !  අර වියට්නාම් කම්පැණි එකේ මීටින් එක නෙක්ස්ට් වීක් ඇරේන්ජ් කරන්නද ? එයාලා ඒකට අපෙන් ඉක්මන් දිනයක් ඉල්ලලා තියනවා. “

” එපා.. ! ඉස්සරහා සති දෙක තුනට කිසිම වැදගත් මීටින් එකක් දාගන්න එපා. මහීලුත් නැති එකේ අපිට ලීගලි වැඩ ටික බලන්න බැරි වෙනවා. “

” ඕකේ සර් .. !” 

විදුලි සෝපානයෙන් පිටතට පැමිණ කොරිඩෝව දිගේ ප්‍රධාන කාර්‍යලය වෙත ඇවිද එන රුව ලැප් ටොප් පරිගණකයේ ආරක්ෂක කැමරා දර්ශන තුළින් අහම්බෙන් ඇස ගැටුණු තරුණයාගේ දෙබැම එක වරම රැළි ගැසී ගියේය. 

” සඳැස්වි මොකද මෙහේ ? දවස් දෙක තුනක් තව රෙස්ට් කරන්න කිව්වා නේද ?” 

” ඔව් සර්.. මං කිව්වා. “

ශාක්‍යාගේ පිළිතුරත් සමඟම මේසය මත තිබු දුරකතනයේ රිසිවරය අතට ගත් ඔහු එයින් වහා ඇමතුමක් ලබා ගත්තේය. 

” මිසිස් කැටිපේ.. ! ඔය දැන් ආව මිස් සඳැස්විට ඔෆිස් එක ඇතුළට එන්න කියන්න. “

මිනිත්තු දෙකක කාලයක් තුළ ප්‍රධාන කාර්‍යාලයේ වීදුරු ද්වාරයට තට්ටු කළ තරුණිය සෙමින් එය විවර කරමින් ඇතුළට පැමිණියාය. 

” Good morning sir ..! Good morning ශාක්‍යා අක්කේ !” 

” Good morning නංගි ! ඔයාට තව දවස් දෙක තුනක් නිවාඩු ගන්න කියලා කිව්වනේ. ?” 

තමා ඉදිරියේ තිබූ ටැබ් යන්ත්‍රයකට දෑස විතැන් කර සිටියා විනා ඇගේ උදෑසන සුබ පැතුමට හෝ පිළිතුරු නුදුන් ඔහු තමා තුළ ඇති , ශාක්‍යා ඇගෙන් විමසූ පැනයට පිළිතුරක් ලැබෙන තුරු බලා සිටියේය. 

” නිවාඩු නම් ගන්න කිව්වා තමයි. ඒ උනාට මං හොස්පිට්ල් ඉන්නත් දවස් හතරක් නිවාඩු ගත්තනේ අක්කේ. තවත් දවස් දෙක තුනක් නිවාඩු ගත්තොත් ඔෆිස් එකේ මගේ අතින් වෙන වැඩ ටික කරන්න කවුරුත් නැති වෙලා ඒ වැඩ ටිකත් හිර වෙනවනේ. ? අනික මං resignation letter එක බාර දීලත් දැන් මාස දෙකක්. තව මට මෙතන ඉන්න තියෙන්නේ මාස දෙකයි. ඉතිං මොකටද අනවශ්‍ය විදිහට අනිත් අයටත් කරදර කර කර නිවාඩු ගන්නේ ?” 

ඉකුත් දිනයක ඈ වෙත තමාම ප්‍රකාශ කළ දෙබස යළි තමාටම පැවසීමට තරම් නිර්භීත වූ තරුණිය දෙස මෙතෙක් වේලා ඉවත බලා සිටි ගැඹුරු දෑස එක එල්ලේ විතැන් විය. මෙතුවක් කලකට ප්‍රේමයක් , ස්නේහයක් පමණක්ම පිරී ඉතිරී ගිය ගැඹුරු දෑස විමතියක්ද , කුතුහලයක්ද , කෝපයක්ද කියා වෙන් කර ගත නොහැකි වූ හැඟීමකින් ඈ වෙතට එක එල්ලේ යොමුව තිබූ අතර මෙතුවක් කල් ඔහු දෙස අසරණව හා පීඩිතව විතැන් වුණු ස්ත්‍රී දෑසද ඒ කිසිවක් නොමැතිව ආරූඪ කර ගත්තා වූ ධෛර්‍යයකින් ඔහු දෙස එක එල්ලේ බලා සිටියාය. 

තමා ඉදිරියේ හිඳ උන් ප්‍රධානියාගේ ගැඹුරු දෑසත් , පසෙක සිට ගෙන සිටිනා කුඩා යුවතියගේ දුඹුරු දෑසත් එක දිගට එක එල්ලේ ඔවු නොවුන් දෙදෙනා දෙස නිහඬවම බලා සිටිනු දුටු ශාක්‍යාගේ හදවත මින් පෙර කිසිදිනක නොදැනුණු ආකාරයේ බියකින් පෙළෙන්නට පටන් ගැනිණි. ක්ෂණිකව පමණට වඩා ශබ්දයකින් හිඳ උන් පුටුව පසෙකට කොට නැඟී සිටි ශාක්‍යා දෙදෙනාගේම අවධානය බිඳ දැමූ අතර තරුණියටද කාර්‍යාලයෙන් පිටව යන ලෙසට දෑසින් සංඥා කරමින් වීදුරු ද්වාරය වෙතට අඩි තැබුවාය. 

තරුණියන් දෙදෙනා පිටව යනතුරුත් ඔවුන් දෙදෙනා දෙස එක එල්ලේ බලා සිටි ප්‍රධානියා නැවත හැරී ආරක්ෂක කැමරා දර්ශන තුළින් ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුලු වන පිරිස දෙස බලා සිටියේය. මොහොතකින් කාර්‍යාල දුරකතනය නද දුන් අතර කලබලයකින් තොරව ඔහු රිසිවරය ගෙන පිළිතුරු බැන්ඳේය. 

” සර්.. ! ඒඑස්පී ඔෆිස් එකෙන් ඇවිල්ලා. සර්ව මුණ ගැහෙන්න ඕනෙලු. “

” එවන්න. “

ප්‍රධාන කාර්‍යාලයේ වීදුරු ද්වාරය හැර පිටතට ආ ශාක්‍යා බර හුස්මක් හෙළා යමක් පැවසීමට තරුණිය දෙසට හැරුණද විදුලි සෝපානයෙන් පිටතට පැමිණ වේගයෙන් ඇවිද ආ කළමනාකාරවරුන් දෙදෙනෙකු ප්‍රධාන කාර්‍යාලයට හදිසියේ ගොඩවනු දැක විමතියෙන් ඒ දෙස බලා සිටියාය. 

” මොකක් හරි කලබලයක්ද ? “

ප්‍රධාන කාර්‍යාලයට අනුයුක්ත සේවක මණ්ඩලයේ පිරිසද කසුකුසු නඟමින් මඳක් කලබල වූ අතර ඒ සැණකින් යළිත් විදුලි සෝපානය විවෘත විය.

 මනා පෞරුෂයකින් හෙබි හැඩිදැඩි කඩවසම් පොලිස් නිලධාරියෙකු විදුලි සෝපානයෙන් පිටතට ආ අතර ඔහු පසුපසින් තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුත් , තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුත් ඉක්මන් ගමනින් ඇවිද ගියහ .  පිටත සිටි කිසිවෙකු දෙස හෝ හැරී නොබැලූ ඉදිරියෙන් පැමිණි පොලිස් නිලධාරියා ප්‍රධාන කාර්‍යාලයේ ද්වාරය විවර කරගෙන ඉන් ඇතුළට පිවිසියේය. 

” සියත්‍ර රන්දෙණිගල.. after long long time.. so . How are you ?” 

අනවසරයෙන් මෙන් කාර්‍යාලයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් කිහිප දෙනා දෙස විතැන් වූ ගැඹුරු දෑස එක එල්ලේ එහි සිටි ප්‍රධාන නිලධාරියා දෙසට හැරවී තිබුණේය. 

” අහස් ඉන්දීවර..! සෑහෙන්න කාලෙකට පස්සේ.. ? සිට්..!” 

තමා ඉදිරියේ තිබූ අසුන දෙසට දෑස දිගු කළ ඔහු හිඳ සිටි පුටුවේ පසුපසට වී පොලිස් නිලධාරියා දෙස එක එල්ලේ බලා සිටියේය.

” නාස්ති කරන්න කාලයක් නෑ මිස්ටර් රන්දෙණිගල. අපි ආවේ අපිට ආපු පැමිණිල්ලක් හේතුවෙන්. දෙදාස් විස්ස අවුරුද්දේ මාර්තු විසි හතර වෙනිදා කොළඹ කැම්පස් එකේ ඉවෙන්ට් එකක් අතරතුරදි බීපු කිරි පැකට් එකක් හේතුවෙන් එතන හිටපු ළමයි දහ අට දෙනෙක් ඇලර්ජි එකක් වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා තියනවා. එතනින් එක ළමයෙක් නැති වෙලා තියනවා. නඩුව අවුරුද්දක් , එකහාමාරක් ඇදිලා ගිහින් නිකන්ම වැහිලා. හැබැයි ආයෙමත් අර නැතිවුණු ළමයගේ අම්මා පැමිණිල්ලක් දාලා තියනවා RD foods එකට විරුද්ධව. මොකද එදා ඇලර්ජි එකක් වෙච්ච කිරි පැකට් එක හදලා තියෙන්නේ RD එකෙන් නිසා. ඒ වගේම ඒ අම්මා වෙනුවෙන් පෙනී ඉන්න ලෝයර් අපිට පිළිගත හැකි සාක්ශි කිහිපයක්ම ඉදිරිපත් කරලා තියනවා. Soo…. මේ වෙලාවේ අපිට මිස්ටර් සියත්‍ර රන්දෙණිගලව අත් අඩංගුවට ගන්න වොරෙන්ට් එකක් තියනවා. “

” එහෙම කොහොමද කරන්නේ ? “

” මේක මේ අවුරුදු පහක් පරණ කේස් එකක්නේ. ? ” 

” ඔයාලට මොනවද ලැබිච්ච එවිඩන්ස්.? “

” ෆැක්ට්‍රි එකවත් චෙක් නොකර ඔයාලා කොහොමද මෙහෙම කරන්නේ ?” 

” අපිට අපේ ලෝයර්ස්ලත් එක්ක කතා කරන්න ඕනේ.. “

ප්‍රධාන කාර්‍යාලය තුළට ඇතුළුව සිටි RD හී කළමනාකරුවන් පිරිස පොලිස් නිලධාරියා පැවසූ කාරණය වෙනුවෙන් විරුද්ධව බොහෝ තර්ක ඉදිරිපත් කරමින් සිටි අතර නිහඬවම තම අත ඔසවා සියල්ලන්ටම නිශ්ෂබ්ද වන ලෙස සංඥා කළ සියත්‍ර රන්දෙණිගල පොලිස් නිලධාරියා ඔහුව අත් අඩංගුවට ගැනීමට රැගෙන පැමිණ වරෙන්තු පත්‍රය අතට ගෙන බැලුවේය. ඉන් පසුව නිහඬව හිඳ උන් අසුනෙන් නැඟී සිටියේය. 

” අපි යං ” 

එසේ පවසා ඔහු ඉදිරියට අඩියක් තැබූ අතර යළිත් වතාවක් RD හි ඉහල නිලධාරීන් පිරිසක් එයට විරුද්ධව හඬ නැඟීමට උත්සාහ කළ සියත්‍රගේ එක් නිහඬ බැල්මකින් සියල්ලෝම යළිත් නිශ්ෂබ්ද වූහ. 

ප්‍රධාන කාර්‍යාලයෙන් පිටතට විත් ප්‍රධාන කාර්‍ය්ලයේ සේවක මඬුල්ල දෙස බැල්මක් හෝ නොහෙළු ප්‍රධානියා පොලිස් නිලධාරීන් සමඟ විදුලි සෝපානය වෙතට ඇතුළු වූයේය. 

” සර්ව ඇරෙස්‍ට් කළා. “

” අවුරුදු පහකට කලින් RD එකෙන් හදපු කිරි පැකට් බීලා කැම්පස් ළමයෙක් නැතිවෙලා. ඒකට “

” මෙච්චර කාලෙකට පස්සේ ඇයි ?” 

” ඒ ප්‍රඩක්ට් එක ඒ කාලෙම නතර කළානේ ?” 

RD food හී ප්‍රධාන කාර්‍යාලයේ ඉහල නිලධාරීන් කඩි ගුලක් ඇවිස්සුණාක් මෙන් කලබලයට පත් වී සිටියහ. ඒ අතට මේ අතට වේගයෙන් එහා මෙහා දිව යන පිරිස හැකි සෑම තැනකටම දුරකතන ඇමතුම් ලබා දෙමින් මේ පිළිබඳව දැනුවත් කරමින් සිටි අතර එක වර සිදුවූ සිදුවීමට ගල් ගැසී සිටි ශාක්‍යා බොහෝ වේලාවකින් සිහි එළවා ගනිමින් කුඩා යුවතිය දෙස බැලුවාය. 

තමා වටා සිදුවන්නාවූ එකදු කලබලයක් හෝ නොදැනෙන අයුරින් ඈ හිඳ සිටි පුටුව මතම සෙල් පිළිමයක් සේ ඇසි පිය නොගසා බලා උන්නාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here