කුඩා තරුණිය වේගයෙන් කොන්ක්‍රීට් පාර දිගෙහි ඇවිද ගියාය. පෙර දින මෙන් නොව ඈ පැමිණීමටත් පෙරම මෙවර නිවසේ ගේට්ටු ද්විත්වය විවර වුණු අතර ඉතා උද්‍යෝගයකින් හා සතුටු පිරුණු මුහුණකින් ඉදිරියට පැමිණි සයුල් ඈ පිළිගත්තේය .
” සඳා..! එන්න…!”
නිවස තුළ හිඳ සිටි විමර්ෂාත් , වීරසුන්දර මහත්මියත් සයුල්ට නොදෙවෙනි අන්දමේ චිත්තඃප්‍රීතියකින් පිනා ගිය මුහුණුවරින් ඈ දෙස බලා සිටියහ.
” මොකද්ද ඒ උනේ ? ඔයාලා මට නොකියා මොනවද කළේ ? ඇයි මට කිසි දෙයක් කිව්වේ නැත්තේ ? ”
හැසිරිය යුතු උපරිම සීමාව ආයාසයෙන් දරා ගත් ඈ හදවත තුළ බුර බුරා නැඟෙන විසල් හැඟීම් අපහසුවෙන් යටපත් කරමින් තමා ඉදිරියේ උන් තිදෙනා දෙසම බලා ඇසුවාය.
” අන්තිමේදී අපි දින්නා සඳා. ඒක තමයි උනේ ?”
සයුල්ගේ කටහඬ පෙරටත් වඩා උස්ව නැඟී තිබුණේය.
” සයුල්..! වෙච්ච දේ මං දන්නවා. මං අහන්නේ ඒ දේ ඒ විදිහට සිද්ධ වෙන්න ඔයාලා මොනවද කළේ කියලා ? මෙච්චර කාලයක් ඔයාලා ළඟ මේකේ මුලක් අල්ලගන්න කිසිම තැනක් තිබ්බේ නෑ. ගෙවිච්ච දවස් තුන හතරට මොනවද උනේ ?”
” මුලින්ම වාඩි වෙන්නකෝ දරුවෝ.. ! ඔය දරුවා අසනීප වෙලත්නේ හිටියේ.. “
වීරසුන්දර මහත්මියගේ කතාවට මඳක් නතර වූ ඈ අසල තිබූ පුටුවකට බර වූවාය.
” වෙච්ච දේවල් උනේ කොහොමද කියන්න මටත් හිතාගන්න බෑ දරුවෝ. හරියට දෙයියෝ බැලුවා වගේ දේවල් ටිකක් උනේ . “
වීරසුන්දර මහත්මිය ඉතා ආසාවෙන් තම කතාව ආරම්භ කළ අතර බොහෝ ආයාසයක් දරා කුඩා තරුණිය එය ඇසීමට උත්සාහ ගනිමින් සිටියාය.
” ඔය ළමයා අහලා තියනවද ලෝයර් පණ්ඩුල චක්‍රවර්ති ? “
” පණ්ඩුල චක්‍රවර්ති ? අර ෆේමස් ලෝයර් ? ඔව් .. මං අහලා තියනවා .”
” දැන් දවස් හතරකට උඩදි මට ඒ ලෝයර්ගේ ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා. රවිහාන්ගේ කේස් එක ගැන කතා කරන්න ඒ ඔෆිස් එකට එන්න කියලා. මුලින්ම බයක් දැනුණත් මට හිතුණෙම යන්න . ඒත් තනියම යන්නත් බය හිතිච්ච නිසා මං මේ දරුවට කතා කළා “
වීරසුන්දර මහත්මිය එසේ පවසා සයුල් දෙස බැලූ අතර සඳැස්වි දෙස බැලූ සයුල් ජයග්‍රාහී සිනහවක් පෑවේය.
” සඳා .. ! මේ බලන්න. එදා අපි ඒ ලෝයර් ඔෆිස් එකට ගියාම අපිට ලැබිච්ච දේවල්. “
එසේ පැවසූ සයුල් මඳක් බරැති ලිපි ගොනු කිහිපයක් ඔවුන් මධ්‍යයේ තිබූ ටීපෝව මත තැබුවේය.
” සඳා..! මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා හොඳට අහගන්න. එදා රවිහාන් බීපු කිරි පැකට් එක expire වෙලා තිබ්බේ නෑ. පිටතින් පේන්න ඒකේ කිසිම වැරැද්දක් තිබ්බෙත් නෑ. කිරි පැකට් කරන්න පිටින් ගෙනාපු කිරි වලත් කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ. කොටින්ම කිරි වල ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ප්‍රශ්නේ තිබ්බේ කිරි පැකට් හදපු මැශින්ස් වල. මෙන්න මේක හොඳට බලන්න. “
ඔහු එසේ පවසා විවෘත කළ ලිපි ගොනුවකින් ගත් ලියවිල්ලක් තරුණිය අත තැබුවේය.
” එක..,
ඔයා අහලා තියනවද Pasteurized milk කියන එක ? කිරි පැස්ටරීකරණය කියලා කියන්නේ. අනේ මන්දා ඒකට කියන සිංහල නම මට දැන් මතක නෑ. කොහොමහරි මේ පැස්ටරීකරණය සිද්ධ කරන්න වෙනම මැශින් එකක් තියනවා. ඒකට කියන්නේ PHE කියන්නේ. මේ මැශින් එකේ තියෙන්නේ හරි තුනී ලෝහ තහඩු. කාලයත් එක්ක මේවා පාවිච්චි කරද්දි මේ තහඩු වල ඇහැට පේන්නැති පොඩි පොඩි සිදුරු ඇති වෙන්න පුලුවන් . අන්න එතනදි Pasteurized milk එක්ක Raw milk ඒ කියන්නේ පිරිසිදු කරන්න කලින් අමු කිරි කියලා අපි කියන්නේ. අන්න ඒවා. දෙක එකට මික්ස් වෙන්න පුලුවන් . හදිස්සියෙවත් ඒ අමු කිරි වල මොනාහරි බැක්ටීරියා එකක් තිබ්බොත් ඒවා පිරිසිදු කරපු කිරි එක්ක මික්ස් වෙලා ඒ කිරි එක බොන කෙනාට ඒක මාරාන්තික වෙන්න පුලුවන් . “
” ඊලඟට මෙන්න මේක..”
සයුල් තවත් ලියවිල්ලක් ගෙන සඳැස්වි අත තැබුවේය .
” දෙක..,
ඔය මැශින් වල ගෑස්කට් සීල් කියලා ජාතියක් තියනවා. මැශින් වල බට සම්බන්ධ වන ගොඩක් තැන් වල මේ සීල් එක දාලා තියනවා. මේවා හදන්නෙ රබර් වලින් . මේ සීල් එකක් පවතින්න නියමිත කාලයක් තියනවා. ඒ කාලෙට මේවා මාරු නොකොළොත් මේ රබර් සීල් එක අස්සේ ඇහැට නොපෙනෙන කලින් එකේ වගේම කුඩා සිදුරු ඇති වෙන්න පුලුවන් . ඊට පස්සේ කාලයක් එක දිගට මේවා එක තැනක රැඳුණම ඒවා පල් වෙන්න බලනවා. ඒවට කියන්නේ biofilms කියලා. සාමාන්‍ය CIP පිරිසිදු කිරීමකින් මේවා විනාශ කරන්න බෑ. මොකක් හරි හේතුවක් උඩ මේවා ගැලවිලා කිරි වලට මිශ්‍ර උනොත් කලින් වගේම මනුස්සයෙක්ට ඒක මාරාන්තික වෙන්න පුලුවන් .
මේ තියෙන්නේ ඊළඟ කාරණාව “
ඔහු යළිත් ලිපි ගොනුවෙන් ගත් ලියවිල්ලක් මිතුරිය අත තැබුවේය.
” මේ ෆැක්ට්‍රීස් වලට අළුතින් එන මැශින් ගොඩක් දුරට කන්ට්‍රෝල් වෙන්නේ සෙන්සර් වලින්. එතකොට ඒ මැශින් වල Temperature Sensors එක හරියට Calibration කරලා තිබ්බේ නැත්තන් ඒකත් ඊලඟට එළියට එන කිරි පැකට් හැම එකකම මාරාන්තික තත්වයක් තියෙන්න පුලුවන් .
කතා කරනවනම් මේ වගේ මැශින් වල තියන ගොඩක් වැරදි අපිට කතා කරන්න පුලුවන් සඳා. මේ ෆයිල් ඔක්කොගෙම තියෙන්නේ එහෙම ඒවා. කෙටියෙන් කිව්වොත් මේ මැශින් ක්ලීන් කරන්න පාවිච්චි කරන කෙමිකල්ස් සෑහෙන්න ගණන්. එතකොට වියදම අඩු කරගන්න ඕන කමට බාල කෙමිකල්ස් දාන වෙලාවල් තියනවා.
ආයේ ෆිල්ටර්ස් මාරු නොකර හිටියොත් , ඒ කියන්නේ වාතය වගේම කිරි පෙරන ෆිලටර්ස් නියමිත කාලයට මාරු නොකොළොත් ඒවයෙත් අර කලින් වගේම biofilms හැදෙන්න පුලුවන් .
තව බැලුවොත් Spare Parts. මැශින්ස් වලට අලුත් කොටස් දාන්නේ නැතුව වියදම අඩු කර ගන්න කියලා පරණ කෑලි දාන එකෙන් වෙන්නෙත් ඒකමයි. “
” සයුල් …!”
සයුල්ගේ කතාව බොහෝ ආයාසයෙන් අසා සිටි තරුණිය ඔහුගේ කතාව අතරමැදට බාධා කළාය.
” factory rules වලට අනුව සිද්ධ වෙන හැම නඩත්තුවක්ම රිපෝට් කරන්න ඕනේ. ඩොකියුමන්ට්ස් සහිතව. අනික ආයතනික මට්ටමින් වගේම රජයේ අනුමත ආයතනවලිනුත් Quality Auditors ඇවිල්ලා මේවා චෙක් කරනවා. එතකොට ඔය මැෂින්ස් වල වෙන්න පුලුවන් කියන වැරදි සිද්ධ වෙන තත්වය ගොඩක් අඩුයි. “
” සඳා.. ! සඳා..! අපි මේ කතා කරන්නේ නිකන්ම ෆැක්ට්‍රි එකක් ගැන නෙමෙයි. RD එක ගැන. ලෝක හොරු ඉන්න හොර ගුහාවක් ගැන. ඔය ලියවිලියි බොරුවට කළා කියලා ලියන්නම බැරිද. ? අහවල් දවසේ අහවල් නඩත්තුවක් කළා කියලා බොරුවට ලියන්නම බැරිද ? එතකොට ඔය එන Quality Auditors ලට ජරාවක් දීලා සල්ලි වලට ගන්නම බැරිද ? අනික මැෂින් එකක් නඩත්තු කරන්න හරි නම් ඒ මැෂින් එක හදපු කම්පැණි එකෙන්ම ඉන්ජිනියර්ස්ලව ගෙන්නන්න ඕනේ. එතකොට අඩුම ඒ එන ඉන්ජිනියර් කෙනෙක්ට ලක්ෂ 25 -35 ක අතර මුදලක් වියදම් කරන්න ඕනේ. RD එකේ කිසිම ඩොකියුමන්ට්ස් එකක මේ මැෂින්ස් හදන්න ඒ අදාළ කම්පැණි වලින් ඉන්ජිනියර්ස්ලා ගෙන්නුවා කියලා සඳහනක් නෑ. අනිත් එක ගෙවිච්ච දවස් හතර ඇතුළේ වෙනමම ටීම් එකක් RD එකේ පරණ ඩොකියුමන්ට්ස් සර්ච් කරලා තියනවා. ඒක RD ඔෆිස් එකේ හෙඩ් ඔෆිස් එකේ අය නොදැන හිටියේ කොහොමද කියන්න මං දන්නෑ. හැබැයි ඒ ඩොකියුමන්ට්ස් සර්ච් කරන වෙලාවේ එදා රවිහාන් බීපු කිරි පැකට් එකේ තිබ්බ Batch Number එකට අදාල data logs කිසිම දෙයක් හොයාගන්න ලැබිලා නෑ. ඔක්කොම අතුරුදහන් වෙලා. “
සයුල් එසේ පවසා නැවතත් ජයග්‍රාහී බැල්මක් කුඩා යුවතිය දෙසට හෙළුවේය.
” අනිත් එක ඔයා අමතක කරන්නෙපා සඳා.. අපිට එන්න කියලා මේ ඩීටේල්ස් හරියටම අපිට දුන්නේ කවුද කියන එක. ඒ පණ්ඩුල චක්‍රවර්ති ලෝයර්. කවදාවත් අත තිබ්බ එක නඩුවක් වත් පැරදිලා නැති රටේ ඉන්න හොඳම ලෝයර්ස්ලා දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්. RD එක ඇතුළටම රිංගලා ඒකේ හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන ඔයාලට හොරෙන්ම ඔයලාගෙම ඩොකියුමන්ට්ස් මේ විදිහට සර්ච් කරලා එළියට ගත්තා කියන්නේ රවිහාන්ගේ නඩුව ඒ මිනිහා කතා කරනකොට කොහොම වෙයිද ? සියත්‍ර රන්දෙණිගලට මේ කපේදී එළියට එන්න වෙන්නෑ සඳා. රට ගිහින් ඉන්න දිනේන්ද්‍ර රන්දෙණිගලයි , එයාගේ බෑනයිටත් ලංකාවට පය ගහපු ගමන් සියත්‍ර රන්දෙණිගලට තනි රකින්න මහ උළු ගෙදර යන්නම වෙනවා. “
එසේ පැවසූ ඔහු තව දුරටත් තරුණිය දෙස බලා සමච්චල් සිනහවක් නැඟුවේය.


