ඔලියැන්ඩර් – 61

0
282
oleander Flower

” මං එතනට යද්දිත් උඩ බැල්කනි එකේ සෝමතිලක දිනේන්ද්‍ර සර්ගේ කොලර් එකෙන් අල්ලගෙන කෑගහනවා. මං ඉස්සර වෙන්න කලින් සෝමතිලකව දිනේන්ද්‍ර සර්ගෙන් ඇදලා අරන් අයින් කරපු සියත්‍ර සර් සෝමතිලකට පාරක් ගහලා පැත්තකට තල්ලු කළා. සර් හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි. ඇත්‍තටම සර් හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි. අඩුම මේ ඉන්නේ සෝමතිලක කියලා අඳුර ගන්නවත් පුළුවන් කමක් සියත්‍ර සර්ට තිබුන්නෑ. මං දැනුවත්ව සියත්‍ර සර් ඒ දවස්වලත් සෑහෙන්න බොනවා. බොනවා විතරක් නෙමෙයි ඩ්‍රග්ස් ඉඳන් ගත්තා. හැබැයි ඒ කිසි දෙයක් අනිත් දේවල් වලට ප්‍රශ්නයක් උනේ නෑ. 

සෝමතිලකව පැත්තකට තල්ලු කළාට පස්සේ සියත්‍ර සර් ආයෙම වැනි වැනි බැල්කනි එකෙන් ඉස්සරහට ආවා. මමයි සර්ව ඊට පස්සෙ අමාරුවෙන් සර්ගේ රූම් එකට ගෙනිහින් දැම්මේ.

සියත්‍ර සර්ව රූම් එකට දාලා මං ආයේ එද්දි කොරිඩෝ එකේ ඒ මේ අත ඇවිද ඇවිද හිටපු සෝමතිලක මගෙන් ඇහුවා කෝ අරූ කියලා. මං ඇහුවා කවුද කියලා. කවුද කියන්නේ අර මහ එකාගේ පුතා . කියලා සෝමතිලක මටත් කෑගහලා සියත්‍ර සර්ගේ කාමරේ පැත්තට යන්න හැදුවා . මමයි බොහොම අමාරුවෙන් සෝමතිලකව කන්ට්‍රෝල් කරන් ආයෙම බැල්කනි එකට එක්කන් ගියේ. මොකක් හරි ප්‍රශ්නයක් කියලා තේරුණත් ඒ මොකද්ද කියලා හරියට දැනගන්න උවමනාවක් මට එවෙලේ තිබ්බේ නෑ. මට ඕන උනේ පහලට ගිහිල්ලා ආයෙම පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. සෝමතිලකව එහෙම්මම අතෑරපු මම පහලට ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් දාද්දියි එක පාරට කවුරුහරි කෑගැහුවේ. ඊට පස්සෙයි සෝමතිලක  බැල්කනි එකෙන් පහලට වැටිලා තිබ්බේ. “

” එ.. එතකොට අපේ තාත්තා බීලා වැඩිවෙලා බැල්කනි එකෙන් වැටිලා කියන කතාව මාමේ ?” 

” ඒක බොරු දරුවෝ. සෝමතිලක එදා අරක්කු උගුරක් බීලා හිටියේ නෑ. “

” ඒ.. ඒ කියන්නේ අපේ තාත්තව කවුරුහරි බැල්කනි එකෙන් පහලට තල්ලු කළාද මාමේ..?” 

” ඇස් දෙකට නොදැක්කට මට විශ්වාසෙන් කියතැහැකි එදා වෙන්න ඇත්තේ එහෙම එකක් තමයි. “

” දෙයියනේ..! කවුද මාමේ එහෙම කළේ ? මගේ තාත්තව මරලා , ඒක ඇක්සිඩන්ට් එකක් කියලා පෙන්නලා මෙච්චර දෙයක් කළේ කවුද මාමේ ? කවුද ?” 

” ඒක මං දන්නෑ දරුවෝ.. හැබැයි මං විශ්වාසෙන් කියනවා ඒ සියත්‍ර සර් නෙමෙයි. සර්ව සර්ගේ රූම් එකට ගිහින් දැම්මේ මමනේ.. ?” 

” ස.. සර්… ? ඇයි සර්..? සර්.. කොහොමද මාමේ මේකට පැටළෙන්නේ.. ?” 

” දරුවෝ.. මං කලිනුත් කිව්වනේ. ඔය දරුවා මට මගේම දරුවෙක් වගේ. සියත්‍ර සර් කියන්නෙත් මට මගේ දරුවෙක් වගේ. එදා මං සර්ගේ ඔෆිස් එකට එද්දි සර් ඔය ළමයගේ අතින් අල්ලන් ඉන්නකොට මං ගැස්සුණා තමයි. ඒ කිසිම දවසක ඔෆිස් එකේවත් , ෆැක්ට්‍රි එකේවත් වැඩ කරන කිසිම ගෑනු ළමයෙක් එක්ක සර් එහෙම හැසිරෙනවා මං දැකලා නැති නිසා. අනික එදා එතන හිටියේ වෙන කවුරුවත් නෙමෙයි ඔය ළමයා නිසා. 

එදා වේල හම්බ කරගෙන යන්තන් ජීවිතේ ගැටගහගෙන ජීවත් වෙන අපි ලඟ අනුන්ගේ දරුවෙක් ගැන උනත් ඉපදෙන දරු කැක්කුම සල්ලි බාගේ තියන , කෝටිපතියො කියලා කියාගන්න මිනිස්සු ලඟ නෑ ළමයෝ. දිනේන්ද්‍ර සර් අමාරුවෙන් ඇදගෙන ආවත් මීට අවුරුදු පහකට විතර කලින් ඒ කියන්නේ සෝමතිලකගේ මරණේ වෙච්ච කාලේ වෙනකොට RD එක සෑහෙන්න වැටිලා තිබුණේ. දිනේන්ද්‍ර සර්ට බිස්නස් එක කරගෙන යන්න අමාරු උනා. සියත්‍ර සර්ට කොච්චර කිව්වත් එයා RD එක බාර ගන්න කැමති උනේ නෑ. සර් හිටියේ හොටෙල් ෆීල්ඩ් එකේ. සර්ට ඕන උනේ ඒ පැත්තෙන් දෙයක් කරන්න. ඒත්.. දිනේන්ද්‍ර සර් රුයි  , උත්පලා මැඩමුයි සියත්‍ර සර්ව ලස්සනට බා ගත්තා දරුවෝ. මං ඒකයි අර කිව්වේ සමහර දෙමව්පියන්ගේ වැඩ තියනවා මුන් දෙමව්පියොද ? හතුරොද ? කියලා හිතෙන. 

එදා සිහියක් පතක් නැතුව සියත්‍ර සර් සෝමතිලකට බැල්කනි එකේ ඉඳන් පාරක් ගැහුවනේ. දිනේන්ද්‍ර සර් රුයි , උත්පලා මැඩමුයි සියත්‍ර සර්ට කිව්වා සෝමතිලකට පාරක් ගහලා බැල්කනි එකෙන් බිමට තල්ලු කරලා දැම්මේ සියත්‍ර සර් කියලා. සිහියක් පතක් නැති වෙලාවේ තමන්ගේ අතින් මිනිහෙක් මැරුණා කියලා තමන් හැදූ වැඩූ අම්මා අප්පාම කියනකොට මොන දරුවද ළමයෝ ඒක පිළිගන්නේ නැතුව ඉන්නේ ? සෝමතිලකගේ මරණේ උනේ බීලා වැඩිවෙලා බැල්කනි එකෙන් වැටිලා කියලා ලෝකට කිව්වා. එහෙම කියලා ඒ දෙන්නා සියත්‍ර සර්ට පෙන්නුවේ ඒ දෙන්නා නිසා සියත්‍ර සර් බේරුණා කියන එක.  ඊට පස්සේ දිනේන්ද්‍ර සර් රුයි , උත්පලා මැඩමුයි හිතෙන හිතෙන විදිහට සියත්‍ර සර්ව නැටෙව්වා. කිසිම ආසාවක් නැති RD foods එක බාර අරන් අද මේ වෙද්දි රටේ ලොකුම බිස්නස් දෙක තුන අතරට අරන් ආවේ සියත්‍ර සර් දරුවෝ. 

ඔයා දන්නවද සියත්‍ර සර්ට නින්ද නොයන ලෙඩක් තියනවා. ඒක උනේ සෝමතිලකගේ මරණෙන් පස්සේ. සෝමතිලක මැරුණේ තමන්ගේ අතින් කියන කාරණේ සර්ට දරාගන්න බැරි උනා. අවුරුදු ගාණක් ගිහිල්ලත් නින්ද යාගෙන එද්දි උත්පලා මැඩමුයි , දිනේන්ද්‍ර සර් රුයි මවලා කියපු කතාව වගේම සර්ට හීනෙන් සර් සෝමතිලකව බැල්කනියෙන් තල්ලු කරපු එක මැවිලා පේනවා. ඉතිං සර් කරන්නෙම ක්ලබ් එකට වෙලා රෑ එළි වෙනකන් බොන එක ළමයෝ. ඊට පස්සේ ඒ මුකුත් නොවුණ ගාණට පහුවදා ඔෆිස් එකට එනවා. 

අර දේවනාරායන ඇමතිගේ දුවවත් සර්ට බන්ඳන්න හදන්නෙම සල්ලියි , බලයයි නිසා මිසක්කා වෙන කාරණයක් නිසා නෙමෙයි. සර් කොහොමත් ගෑනු ළමයි කියන කාරණාවෙදි කිසිම උනන්දුවක් නැති කෙනෙක්. එදා උත්පලා මැඩම් මාත් එක්ක සර්ගේ ඔෆිස් එකට ඇවිල්ලා සර්ගෙන් ඔයා ගැන ඇහුවම සර් කිව්වා.. , මං ඒ කෙල්ලට වචනයක් දීලා තියෙන්නේ. මං වග කියන්නේ ඒ කෙල්ලට විතරයි කියලා. ඒ වෙලාවෙ නම් මගේ හිතට පුදුම සතුටක් දැනුණේ. හැබැයි ඒක වැඩි වෙලාවක් තිබ්බෙ නෑ. උත්පලා මැඩම් පුරුදු විදිහටම ගින්න පත්තු කළා. තමන්ගේ අතින් මැරිච්ච මනුස්සයගේ දුවටයි තමන් ආදරේ කරන්නේ කියලා දැනගත්තම සර්ට මොනවගේ දෙයක් හිතෙන්න ඇතිද කියලා ඔයාට තේරුං ගන්න පුලුවන්නේ ළමයෝ.. ? එදා ඉඳන් සර්ට ඕන උනේ ඔයාගෙන් ඈත් වෙන්න. ඔයා මේ ඉඩම් විකුණගෙන , රට යන්න ලෑස්ති වෙනවා කියලා දැනගත්‍තම සර් කොච්චර කලබල උනාද කියලා දන්නවද ? බොරු ඩොකියුමන්ට් එකක් හදලා අර ලක්ශ දොළහේ ඇග්‍රිමන්ට් එක පවා හැදුවේ ඔයාට මේ වගේ සැලරියක් එක්ක ඉගෙනගන්න අතරතුර වෙන කිසිම තැනකින් ජොබ් එකක් ලැබෙන්නෑ කියලා සර් හොඳටම දන්න නිසා. අතෑරලා දාන්න ඕන උනත් සර්ට ඔයාව අතෑරගන්න බෑ දරුවෝ. ඔය ඔක්කොම නපුරු කම් කරන්නේ ඒකයි. “

” අනේ.. දෙයියනේ.. මාමේ.. ඔයා.. ඔයා.. මේ මට කියන විදිහට ඇයි සර්ට මේ කාරණෙ ගැන නොකියන්නේ ? මාව .. මාව අතාරින්නකෝ.. ඒ මනුස්සයා අවුරුදු ගාණක් තිස්සේ මොන තරම් දුකක් උහුලනවද කියලා ඔයා නිකමට හිතන්නකෝ..”

” මොකද්ද දරුවො මං සර් ලඟට ගිහින් කියන්නේ ? සර්ගේ අම්මයි , තාත්තයි කියන්නේ බොරු කියලා කියන්නද ? එදා ඔය සිද්ධිය වෙන වෙලාවේ මාත් එතන හිටියා කියලා කියන්නද ?  හරි .. මං එහෙම කිව්වයිම කියමුකෝ. මෙච්චර ලොකු බොරුවක් හදලා ගොඩ ගිය උත්පලා මැඩමුයි , දිනේන්ද්‍ර සර් රුයි මං වගේ මිනිහෙක් කියන දෙයක් අහලා සර්ට පැත්තකට වෙන්න ඉඩ දෙයිද ? නෑ.. දරුවෝ .කවදාවත් නෑ.. කවදාවත් එහෙම වෙන්නෑ. උන්ට පුලුවන් ඕන දෙයක් වෙනස් කරන්න. මේක එහෙම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි දරුවෝ..”

” එ.. එතකොට.. මේ කාරණේ ගැන වෙන කවුද දන්නේ මාමේ ?” 

” සෝමතිලක මැරුණේ සියත්‍ර සර් අතින් කියන එක සියත්‍ර සර් වගේම මහීල් සර් රුත් දන්නවා. 

සෝමතිලක මැරුණේ සියත්‍ර සර් අතින් නෙමෙයි කියන එක දිනේන්ද්‍ර සර් වගේම , මාත් දන්නවා.  හැබැයි ඒ කාරණේ මං දන්නවා කියලා දිනේන්ද්‍ර සර් දන්නෑ. 

මේ කාරණෙ ගැන අද වෙනකන් දැනගෙන හිටියේ මාත් එක්ක ඒ අය විතරයි. දැන් ඔය ළමයා දන්නවා. “

සියත්‍ර සර් මාව මෙහෙට එව්වේ කොහොමහරි ඔය ළමයා මේ ඉඩම් විකුණගෙන කරන්න යන වැඩේ නතර කරවන්න කියලා. ඔය ළමයා මෙහෙන් දුක් විඳිනවා. සර් එහෙන් දුක් විඳිනවා. මේ දේවල් වල කෙලවරක් තියෙන්නම ඕන නිසයි අද මෙහෙම ඇවිල්ලා ඔය ළමයට ඇත්ත කියනවා කියලා මං හිතාගත්තේ. මට සමාවෙන්න දරුවෝ.. ඔය දරුවට කෑගහලා අඬලා , දොඬලා හරි මේ වේදනාව පිට කරගන්න පුලුවන් . ඒත් අරහේ බිබී විනාස වෙන්න යන සර් වෙනුවෙන් මට මේක මෙහෙම හරි ඔය ළමයා එක්ක කියනවා ඇරෙන්න වෙන ක්‍රමයක් තිබ්බේ නෑ. “

දින කිහිපයකට පෙර මල්ලවපිටිය – තෙල්වත්ත මාර්ගයේ පසෙක නතර කර තිබූ මෝටර් රථය තුළදී ගන්කන්ද තමන් වෙත පැවසූ කතාවේ ඉතිරිය මතකයට නැඟීමෙන් මේ වනතුරුත් කඳුළින් තෙත් වී ගොස් තිබූ දෙකම්මුල් පිසදා ගත් යුවතිය යළි ජංගම දුරකතනය ගෙන ඇමතුමකට සම්බන්ධ වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here