ඔලියැන්ඩර් – 64

0
437
oleander Flower

” හෙලෝ.. මහීල් අයියේ..!” 

” නංගි..!  ඔයා බෝඩ්මේද ? කැම්පස් එකේද ?” 

” කැම්පස් එකේ අයියේ. “

” මේ වෙලාවේ ලෙක්චර් එකක්ද ? “

” නෑ. මං ලෙක්චර් එක ඉවරයි. මං දැන් යන්න කියලා හැදුවේ. “

” ඔයාට පැයකට විතර මාව පොඩ්ඩක් මීට් වෙන්න එන්න පුලුවන්ද ? “

” කොහෙටද අයියේ ?” 

” මට තව විනාඩි පහකින් විතර කැම්පස් එක ලඟට එන්න පුලුවන් . “

” හරි අයියේ. ඇතුළට එන්න. මං ඇතුළෙ ඉන්නවා. “

” ඕකේ..” 

ඇමතුම විසන්ධි කර දැමූ සඳැස්වි තමා අසල උන් හිරුකි දෙසත් , අමාවී දෙසත් බැලුවාය. 

” ලෝයර් මහත්තයා දෙපාර්ශවය සමථයකට පත් කරන්න එනවද දන්නෑ ?” 

” එහෙම නැත්තන් මේකිට විරුද්ධව විශ්වාසභංගයක්වත් අරන් එනවද දන්නෑ “

 අමාවීගේ කතාවට හිරුකි චිරිස් ගා සිනහවක් නැඟූ අතර යෙහෙළිය දෙස බැලූ සඳැස්වි මුව ඇද කළාය. 

“මේ ඒක නෙමෙයි කොහොමද අලුත් ජොබ් එක ?” 

” අවුලක් නෑ . හොඳයි. තමිරුට පින් සිද්ධ වෙන්න ඕනේ. මේ වෙලාවේ එහෙම එකක්වත් හොයාගන්න පුලුවන් උනේ එයා නිසා “

” අයිතිකාරි කොහොමද ? තමිරු කිව්වා වැඩි වයසක් නෑ කියලා. “

” ම්ම්.. අවුලක් නෑ. හැබැයි පොඩි වාතයක් . මට කියනවා රසවිමනේ වගේ වීඩියෝ එකක් එතනත් කරන්නලු වෛරල් වෙන්න. මං කිව්වා ඒක කළේ මං නෙමෙයි ඒ ආපු කස්ටමර් කියලා. ඊට පස්සේ එයා කියනවා ආ.. එහෙමද .. එයා මාව රස්සාවට ගත්තෙම මං සෝෂල් මීඩියා ඒ වගේ දෙයක් එයාලා වෙනුවෙනුත් කරයි කියලා හිතාගෙනලු. ඒක කිව්වේ හරියට අපරාදේ මං උඹව වැඩට ගත්තේ වගේ ටෝන් එකකින්. “

” නෙද්දකින් බං . ඔච්චර ඕනෙනං උන්ට බැරියෑ කා ලව්ව හරි එහෙම එකක් කර ගන්න. උඹව ඕනෙයෑ ඒකට. “

  ” නංගි , මං කැන්ටින් එකේ. “

මහීල්ගේ කෙටි පණිවිඩය දුටු සඳැස්වි හිඳ උන් ගල් පඩිපේළියෙන් නැඟිට ගමන් මල්ල උරහිසේ දමා ගත්තාය. 

” මං බලලා එන්නම් “

” හ්ම්ම්..”

යෙහෙළියන් දෙදෙනාට සමුදුන් තරුණිය ආපනශාලාව වෙත ඇවිද එන විටත් මහීල් එහි පැමිණ අසුන් ගෙන සිටියේය. 

” ආ.. ළමයා.. කොහොමද ?” 

” ඉන්නවා අයියේ..

යුවතිය මඳ සිනහවකින්  ඔහු දෙස බැලූ අතර ඔහු හිඳ සිටි පුටුවෙන් නැඟිට්ටේය. 

” මොනාද කන්නේ ?” 

” අනේ.. මුකුත් එපා අයියේ.. “

” ඉන්නවකෝ ..” 

එසේ පැවසූ ඔහු ආපනශාලාව තුළට ඇවිද ගොස් මඳ වේලාවකින් පේස්ට්‍රි කිහිපයක්ද , පළතුරු බීම වීදුරු දෙකක්ද රැගෙන පැමිණියේය. රැගෙන ආ එක් වීදුරුවක් ඈ අසලින් තැබූ ඔහු අනෙක රැගෙන යළි හිඳ සිටි පුටුවට බර වූයේය. 

” පළවෙනි කාරණේ. මං මොන දේ කිව්වත් අඬන්න තියාගන්න එපා හරි. මොකද මේ ඉන්නේ කැම්පස් එක ඇතුළේ. මේකේ ඉන්න පොඩි උන්ගෙන් මට ගුටි කන්න බෑ. “

මහීල්ගේ කතාවෙන් තරුණියගේ මුව මත සිහින් සිනහවක් ඇඳුණද ඒ හා සමානවම බියකින්ද හදවත පිරුණි. 

” මොකක් හරි ප්‍රශ්නයක්ද අයියේ ?” 

” හ්ම්ම්.. එකක් නෙමෙයි ගොඩක්. මේ දේවල් තව දුරටත් එක එක්කෙනා එක්ක හොරෙන් කතා කරලා තේරුමක් නෑ. ඒකයි මං කෙලින්ම ඔයා එක්ක හැමදෙයක් ගැනම කතා කරන්න ඕනේ කියලා හිතා ගත්තේ. මොකද අරූ ඉන්නේ දැන් වෙඩි කාපු ඌරෙක් වගේ. “

හදිසියේ හදවත තුළ හටගත් බිය තව තවත් ප්‍රමාණයෙන් වැඩි වූ අතර සඳැස්වි එකී බියමුසු බැල්මෙන්ම මහීල් දෙස බලා සිටියාය. 

” සියත්‍ර කියන්නේ මාත් එක්ක එක ඉස්කෝලේ එකම ක්ලාස් එකේ ඉඳන් එකටම හිටපු එකා නංගි. ඌ ගැන උගේ අම්මා තාත්තටත් වඩා හොඳට මං දන්නවා. ඔයාගේ තාත්තගේ මරණේ , ඒක සිද්ධ වෙච්ච විදිහ ගන්කන්ද ඔක්කොම ඔයාට කියන්න ඇතිනේ නේද ? ” 

” ඔව් අයියේ..” 

” ඔයාගේ තාත්තා නැති වෙච්ච දවසේ ඉඳන් අපේ එකා හිතන් හිටියේ සෝමතිලක මැරුණේ උගේ අතින් කියලා. සිහියක් පතක් නැති වෙන්න ගහන නිසා මං උනත් මෙච්චර කල් හිතන් හිටියේ සෝමතිලකව උන්ගේ ගෙදර බැල්කනි එකෙන් තල්ලු කරන්න ඇත්‍තේ ඌ කියලා. “

මහීල්ගේ වදන් ඇසුණ් කුඩා තරුණිය ක්ෂණිකව ගල් ගැසී ගිය අතර මොහොතක් ඔහු දෙස එක දිගට බලා උන්නාය . 

” මො.. මොකද්ද අයියේ කිව්වේ ? හිතන් .. හිතන් හිටියා කියලා කිව්වේ එතකොට.. එතකොට සර් දන්නවද මගේ තාත්තා මැරුණේ එයාගේ අතින් නෙමෙයි කියලා. ? “

” හ්ම්ම්.. අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ අතින් මිනිහෙක් මැරුණා කියලා හිතාගෙන ඒ ස්ට්‍රෙස් එකෙන්ම එක දවසක් හරියකට නිදාගන්න බැරුව , තමන්ගෙම අම්මයි , තාත්තයි කියන කියන විදිහට නටලා , බංකොලොත් වෙන්න ගිය බිස්නස් එකක් ගොඩ දාලා , ගමකින් ආපු පොඩි කෙල්ලෙක්ට ලව් කරලා , අන්තිමට ඒ කෙල්ල තමන්ගේ අතින් මැරිච්ච මනුස්සයගේ දුව කියලා දැනගෙන ඒ කෙල්ලට මූණ දෙන්න බැරුව දවස් ගාණක් ක්ලබ් එකක වැටිලා එක දිගට දන්න කියන හැම ඩ්‍රග් එකක්ම යූස් කරලා ඒකෙන්ම මැරෙන්න ගිය එකා . ඌ දැන් දන්නවා අවුරුදු ගාණක් තිස්සේ ඌ තමන්ගෙම අම්මටයි , තාත්තටයි රැවටිලා කියන එක. “

දෑසින් ගලා එන කඳුළු වැල් එක දිගට පිසදා දැමූ යුවතිය මොහොතක් ගොලුව මහීල් දෙස බලා සිටියාය. 

” කො..කොහොමද ? ක.. කවුද එයාට ඒක කිව්වේ ?” 

මහීල් අතේ තිබූ බීම වීදුරුව යළි මේසය මතින් තබා මේසයට බර වී තරුණිය දෙස එක එල්ලේ බැලුවේය. 

” ඌට ඒ ඔක්කොම කිව්වේ ඔයා. “

නැවත වතාවක් කඳුළින් පිරි දෑස විශ්මයෙන් ඇළලී ගිය අතර වදන් නොමැති මුවද යළිත් මොහොතකට ගොළු විය. 

” මං.. මං.. එහෙම දෙයක් සර්ට කිව්වේ නෑ අයියේ ..”

මහීල් පිළිතුරු දීමට පෙර මඳක් සිනාසුණේය. 

” ඔයාට අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරපු දවසේ රෑ සියත්‍ර රූම් එකේ හිටියා මතකද ?” 

ඈ නිහඬවම හිස ඉහල පහල සලමින් ඔව් යැයි පැවසුවාය. 

” එදා ඌ හිටියේ පිස්සු හැදිලා වගේ. ඒකමයි රෑ එළිවෙනකන් ඔයා ලඟ ඉන්නවා කියලා එදා රෑ රූම් එකට ආවේ. සුප් එකක් අරන් ඇවිල්ලා බොන්න කිව්වම ඒක බොන්නේ නැතුව බෙඩ් එකෙන් බැහැලා ඌ ලඟට ගියා මතකද ?” 

යුවතිය නැවත වරක් හිස දෙපසට සලා ඔව් යැයි පැවසුවාය.

” ගිහිල්ලා ඌත් එක්ක මොනවද කිව්වේ ? “

” මං..?” 

” ඔව් ඔයා තමයි. “

” සුප් එක බිව්වේ නැත්තන් එයා යනවා කියපු නිසා මං යන්න එපා කිව්වා. ඊට පස්සේ .. ඊට පස්සේ ආයෙම මට ෆේන්ට් උනාලුනේ.. “

” හ්ම්ම්.. ෆේන්ට් උනාට ඔයා ඉඳලා තියෙන්නේ අඩ සිහියෙන් වගේ. අන්න එතනදි එදා ගන්කන්ද ඇවිල්ලා ඔයත් එක්ක කිව්ව කතා සේරම ඔයා අසිහියෙන් වගේ ඌ එක්ක කියලා . ඔයා උනත් ඌ ඔයාව මඟ ඇරපු වෙලේ අසනීප නොවී අපි කතරගම ගිහින් ආවට පස්සෙම අසනීප උනේ ඇයි කියලා දන්නවද ? ඌ ඔයාව මඟ ඇරියේ ඇයි කියන්න මුලින් ඔයා දැනන් හිටියේ නෑ. හැබැයි ගන්කන්දගේ කතාවත් එක්ක ඔයා හැමදේම දැනගත්තා. ඌ අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳින්නේ නොකරපු වරදකට කියන එක දවසින් දවස මතක් වෙද්දි ඔයාටම ඒක දරාගන්න බැරි උනා. මාව විශ්වාස නැත්තන් ඔයා ප්‍රනීෂ්ගෙන්ම අහලා දැනගන්නකෝ..”

දෑසින් බේරෙන කඳුළු අතෙහි ගුලිව තිබූ කුඩා ලේන්සුව තෙමී යන තුරුම පිසලූ ඈ සෙමින් හිස එසෙව්වාය. 

” එදා රෑ ඔයාගෙන් ඒක දැනගත්තට ඌ ගන්කන්ද ගෙන්නලා ඔක්කොම පැහැදිලිව ඇහුවා. “

” දෙයියනේ…! ගන්කන්ද මාමාට බැන්නද අයියේ ?” 

” පොඩ්ඩක් කෑගැහුවා. ඒත් ගන්කන්ද ඌ ගැන දන්නවා. ඌට තියන ලොකුම දුක ඌ අවුරුදු ගාණක් රැවටිච්ච එක නෙමෙයි . ඒක කළේ තමන්ගෙම අම්මයි , තාත්තයි වෙච්ච එක . ඊට පස්සේ ඌ ලොකු ප්ලෑන් එකක් ගැහුවා. ඉන්දීවර , ලෝයර් චක්‍රවර්ති , ලෝයර් ප්‍රතාපසිංහ අපි ඔක්කොම එක්ක. අවුරුදු පහකට පස්සේ අර රවිහාන් කියලා මැරිච්ච ළමයගේ අම්මට එන්න කියලා චක්‍රවර්ති RD එකේ වැරදි කියලා ඒ නඩුව ආයේ උඩට ගත්තේ සියත්‍රගේම ප්ලෑන උඩ. “

” ප.. පහන්‍යා අක්කා කිව්වේ ඉන්දීවර කියන කෙනා සර්ත් එක්ක තරහයි කියලනේ ?” 

” පොඩි කාලේ කරපුවා කවුද නංගි මෙච්චර කල් මතක තියන් ඉන්නේ ?” 

” දෙයියනේ..!  මොකක්ද දෙයියනේ සර් මේ කර ගත්තේ ?” 

” ඌට තරහයි. ඌ මේ හැමදේම කළේ ඒ තරහට. පළවෙනි ස්ටෙප් එක විදිහට ලෝයර් චක්‍රවර්ති ලවා අර ළමයගේ නඩුව ආයේම උඩට ගත්තා. ඊට පස්සේ මාව රට යැව්වා. මොකද මං මෙහෙ හිටියොත් ඌ හිතුවා අන්කල් දිනේන්ද්‍රලා මට ප්‍රෙෂර් කරලා ඌව එළියට ගන්න කියයි කියලා. මොකද හරියට කතා කළා නම් ඌට එදාම එළියට එන්න තිබ්බා. ඒත් ඌට ඕන උනේම දවස් ගාණකට ඇතුළට යන්න. අර මැෂින්ස් වල විස්තර , හරියට ඒවා රෙපෙයාර් වෙච්ච නැති කතා ඔය ඔක්කොගෙම විස්තර ලෝයර් චක්‍රවර්තිට දුන්නේ සියත්‍ර. කොටින්ම එදා දවල් උසාවිය ඉස්සරහදි මීඩියා වලට ලෝයර් චක්‍රවර්ති කිව්වේ සියත්‍ර හදලා දීපු කතාව. ඌ හිතුවා ඌ ඇරෙස්ට් වෙච්ච ගමන් අම්මයි , තාත්‍තයි දෙන්නම අනිත් පැත්තට දුවගෙන එයි කියලා. ඌ දන්නවා කොතනක හරි වරදක් වෙලා තියනවා කියලා. ඒත්.. ඒ උගේ අම්මයි , තාත්තයිනේ නංගි. මොන වරද කරත් දරුවෙක්ට පුලුවන්කමක් තියනවද තමන්ගේ අම්මා , තාත්තා වැරදිකාරයෙක් කියලා පිළිගන්න. ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here