ඔලියැන්ඩර් – 74

0
4292
oleander Flower

වේගයෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය පහන්‍යාට අයත් සඳැස්වි සහ මිතුරියන් දෙදෙනෙකු නැවතී සිටි නවාතැන වූ නිවස ඉදිරියේ නතර වූ අතර ඉන් පිටතට පැමිණි සියත්‍ර බර අඩි තබා නිවස වෙතට පැමිණියේය.

” සර්..!” 

” කෝ අක්කා ?” 

” නිදි. මෙච්චර වෙලා අඬ අඬා ඉඳලා දැන් ටිකකට කලින් නින්ද ගියා “

සඳැස්වි දෙසට හිස් බැල්මක් හෙළූ ඔහු යළිත් නිවසින් පිටතට අඩි තැබූ අතර ඈ වහා ඔහුගේ අතින් අල්ලා ගත්තාය. 

” ආයේ කොහෙද යන්නේ ?” 

” යාලුවෝ දෙන්නා ඉන්නවනේ ?” 

” ඔව් කිචන් එකේ ඉන්නවා. “

” ඉතිං මට ගේ ඇතුළේ ඉන්න බෑනේ ?” 

එසේ පැවසූ ඔහු යළි ගොස් මෝටර් රථයේ රියදුරු අසුනට ගොඩ වූ අතර ඈද ඔහු පසින් දිව ගොස් මෝටර් රථයේ ඉදිරිපස අනෙක් අසුනට ගොඩ වූවාය. 

” අක්කට බනින්නෙපා. “

පිරිමි උවන එකදු හැඟීමක් නොමැති හිස් කමක් පෙන්නුම් කළද ඔහුගේ ඇතුළාන්තයේ දැල්වෙන කෝපයක් ඇති බව හොඳින් වටහා ගත් ඈ සෙමින් සෙමින් සිදු වූ තත්වය ඔහු වෙත පවසා දීමට උත්සාහ කළාය. 

” එතන අක්කාගේ වරදක් නෑ. අනුජ් සර් අක්කට කැත විදිහට කතා කරලා , පාර්ක් එක ඉස්සරහා මිනිස්සු මැද්දෙම අක්කට පාරක් ගැහුවා. ඉන්දීවර අයියට ඒකට කේන්ති ගියේ. අනේ .. අක්කා ගැනවත් ,එයා ගැනවත් වැරදියට හිතන්න එපා. “

පළල් බාහුවේ දෝතින්ම වෙළුණු ඈ ආයාචනාත්මක ස්වරයෙන් ඔහු වෙත පැවසුවාය. 

” වෙච්ච දේවල් ටික මං දන්නව  ..”

” ඔයා ඉන්නේ කේන්තියෙන් සර්.. “

” ඔයා දැන් බහින්න. මං යන්නෝන “

” දැන්.. ? දැන් කොහෙ යන්නද ? “

” මං ගිහින් එන්නං “

” මේ වෙලාවේ යන්න එපා. ඔයා කේන්තියෙන් දෙයියනේ ඉන්නේ ” 

” සඳ..!” 

ගොරහැඬි කටහඬෙහි තරවටුව හොඳින් වැටහුණු ඈ තොල්පට තද කර ගනිමින් උවන බිමට බර කර ගත් අතර නින්දෙන් අවදි වූ පහන්‍යා වහා මෝටර් රථය වෙත ඇවිද ආවාය. 

” මල්ලි.. !” 

” ක්ෂණිකව මෝටර් රථයෙන් බිමට බැස ගත් දේහදාරියා වහා පහන්‍යාගේ දෙකොපුල් අල්ලා ඒ මේ අත හරවා බැලුවේය. 

” තමුසෙට කවදා ඉඳන්ද ඌ ගහන්න පටන් ගත්තේ ?” 

” ම.. මල්ලී..!” 

” ගැහුවේ පළවෙනි පාරට කියලානම් මට කියන්න එපා. “

පහන්‍යා දෙනෙත බිමට බර කර ගත් අතර සැණෙකින් ගලා ගිය කඳුළු වැල් කිහිපයක් කඩිනමින් ඈ පිසදා දැමුවාය.

” අක්කියෝ…”

නිවසේ දොරින් එබී බැලූ අමාවීගේ හඬට පහන්‍යා මෙන්ම සඳැස්විද ඈ දෙස හැරී බැලූහ.

” වේළපු බත් අග්ගලාවක් කාලා ප්ලේන්ටියක් බොමු ?” 

” මං එන්නම් “

මඳ සිනහවක් නැඟූ පහන්‍යා ඈට එලෙස පිළිතුරු දී නැවත මළණුවන් දෙසට හැරුණාය. 

” මල්ලී..! මං ටිකක් හවස් වෙනකන් මෙහෙ ඉන්නද ? “

පිළිතුරක් නොදුන් නිහඬබව ඉල්ලීමට ඇති කැමැත්ත පළ කරන බව හොඳින් දැන සිටි පහන්‍යා නිවස දෙසට යන්නට හැරී නැවතත් සියත්‍ර දෙසට හැරුණාය. 

” ඉන්දීවරගේ අතේ වරදක් නෑ. එයා ඉස්සරහා අනුජ් කෑ ගහපු විදිහට මට ලැජ්ජ හිතුණා. ඒකයි මටත් කේන්ති ගිහිල්ලා මගේ කටිනුත් සැරට වචන ටිකක් පිටවුණේ. අනුජ් කතා කරපු පළවෙනි පාරම එයා එක්ක ගියා නම් මේක මෙච්චර දුර යන්නෑ. වැරැද්ද මගේ මල්ලී. “

” ඒ පාර ඔයාත් මෙයා වගේ වෙන්න පටන් ගත්තද ?” 

” ආ..?”

සඳැස්වි දෙස දෑසින් පෙන්වමින් සියත්‍ර විසින් ඇසූ පැනයට පහන්‍යා මෙන්ම සඳැස්විද පුදුමයෙන් ඔහු දෙස බැලූහ.

” අනුන්ගේ වැරදිත් තමන්ගේ පිටට දාගන්න පුරුද්ද මෙයාගෙනේ. “

” අපි ඔක්කොම ගෑනු මල්ලි. “

පහන්‍යා නාසය සෙමින් ඉහලට ඇද යළිත් ආපසු හැරී නිවස වෙතට පා තැබුවාය. ඈ යන දෙස බලා සිටින සියත්‍රගේ කමිසයේ කෙළවර සෙමින් අල්ලාගත් තරුණිය එය දෑඟිලි මතින් පොඩි කරමින් සිටියාය. 

” ගිහින් එන්නං “

” අනේ.. !” 

ඇගේ කෙඳිරිල්ලට ගැඹුරු බැල්මක් හෙළූ ඔහු එවර මෝටර් රථයේ පසුපස අසුනට ගොඩ වූ අතර වහා එයට ගොඩ වූ ඈ ක්ෂණිකව දෑතම ඔහුගේ බඳ වටා යවමින් විසල් පපුතුරට තුරුළු වූවාය. 

” මේකටද දැන් ඉන්න කිව්වේ ?” 

හිස ඔසවා ඔහු දෙස බලා මුව ඇද කළ ඈ නැවතත් පෙරට වඩා තදින් ඔහුට තුරුළු වූවාය.

” මට පරක්කු වෙනවා “

” හරි ඉතිං චුට්ටක් ඉන්නකෝ “

” මං දැන් ගිහිල්ලා අක්කව එක්කන් යන්න එන්නත් ඕනේ. “

” ඉතිං දැන් යන්න එපා. මෙහෙම්මම ඉන්න. “

මොහොතක් ගත වුණිද ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු තැන ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. නිහඬවම ඔහු ඉදිරිය බලා විසල් කල්පනාවක ගිලී සිටියේය. 

 ” සද්ද නැතුව ඉන්නේ ඇයි ?” 

” ඒ පාර මොකද්ද කියන්නේ ?” 

” සද්ද නැතුව ඉද්දි බය හිතෙනවනේ. අක්කත් මඟින් මඟට කිව්වා ඔයා දැන් යක්ෂාරූඪ වෙයි කියලා. මාත් බයේ හිටියේ ඒකට. ඒත් ඔයා කිසි සද්දයක් නෑ. ඉස්සර අපේ තාත්තා හැමතිස්සෙම කියනවා හැම සද්දෙටම වඩා නිස්සද්දෙ භයානකයි කියලා. මට මේ වෙලාවේ ඔයාව දැක්කම මතක් වෙන්නෙම ඒක. “

නැවත වතාවක් කාලය ගෙවුණිද පිළිතුරක් නොලැබුණේය. 

” සර්..! RD එක අතෑරලා දාන්නකෝ. “

” මොකද්ද ?” 

ඈ යළිත් හිස ඔසවා ඔහු දෙස බැලුවාය. 

” RD එක ඕනෙමද සර් ? ඒක ඔන්නොහේ දිනේන්ද්‍ර සර්ටම දීලා දාන්නකෝ. ඔයා ඒක අයිති කර ගන්න ගියොත් නැති ප්‍රශ්න ගොඩක් ඇති වෙයි සර්. ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ හිතේ සැනසිල්ල නැති වෙනවා කියන එකනේ. අනික ..  ඔයාට ඔයාගේ හොටෙල්ස් ටික තියනවනේ. ? ඕනෑවට වඩා සල්ලි ඕනේ නෑනේ සර්. “

ගැඹුරු දෑස යළිත් හිස් හැඟීමකින් ඈ දෙස බලා සිටි අතර තව දුරටත් වචන නාස්ති නොකෙරූ ඈ නැවතත් උවන බිමට බර කර ගත්තාය. 

” එච්චරද ?” 

” ආ..?” 

” කියන්න තියෙන්නේ එච්චරද ?” 

හිස සලා ඔව් යැයි පැවසූ ඈ නිහඬවම ඉවත බලා ගත් අතර ඇගේ බඳ වටා අතක් යැවූ ඔහු  ඈ තමා වෙතට තුරුළු කර ගත්තේය. 

” අක්කව ටිකක් බලන්න. මං හවස් වෙලා එන්නං “

” සර්.. ! සෙමෙස්ටර් එග්සෑම් එක ලඟයි. මං දිගටම මෙහෙ ඉන්නද ? යාළුවෝ එක්ක පාඩම් කරන්න ලේසියි. “

” හ්ම්ම්..”

” තේ එකක් බීලා යං ?” 

” එපා  . යාලුවො දෙන්නා විතරද අද ඉන්නේ ?” 

” විමූ එනවා කිව්වා හවස් වෙලා. පාඩම් කරන්න “

” රෑට කෑම හදන්න යන්න එපා. මං එද්දි මොනාහරි අරන් එන්නං “

” හා.”

මෝටර් රථයෙන් බැස ගත් ඈ කොන්ක්‍රිට් මාර්ගය දිගෙහි එය නොපෙනී යන තුරුම බලා හිඳ නැවත නිවස තුළට ඇවිද ගියාය. 

********************************************

” අමාවී.. ! එකට එක කියන්න යන්නෙපා. උඹ කියන ඒවට ආයෙ දෙතුන් ගුණයකින් පාර වැදෙන්නේ සඳාට. “

විශ්ව විද්‍යාල භූමියේ සිටි කොළු නඩය ඈතදීම දුටු විමර්ෂා අමාවී දෙස බලා එසේ පැවසූ අතර සඳැස්වි කලකිරීමෙන් මුහුණ බිමට බර කර ගත්තාය. 

” ඒක නිසා තමයි බං මං මෙච්චර ඉවසන්නේ . නැත්තන් ඔතන එකෙක්ගේ ඔලුවක් පළලා මිසක් මං අතාරින්නෑ. “

” ආ.. සඳා…!  අද පාට් ටයිම් නැද්ද ?” 

දින කිහිපයක් පුරාවට විශ්ව විද්‍යාල භූමියේ කොළු නඩයක දරා ගත නොහැකි උසුළු විසුළු රැසකට මුහුණ දී සිටි සඳැස්වි හට අදද පුරුදු පරිදි ඔවුන්ගේ උසුළු විසුළු වලට ලක් වීමට සිදු වූවාය. 

” ඇයි බං පාට් ටයිම් කරන්නේ ? හද්ද ඩොටේ ඉඳන් ඇවිල්ලා මෙහෙ ඉන්න මොකෙක් හරි සල්ලි තියන එකෙක්ට කොක්ක ගැහුවම හරි. “

” සල්ලි නං නැති වෙන්න බෑ බං , තාත්‍තා කොළඹින් පැනලා ගිහින් තියෙන්නෙ කෝටි ගාණක් උස්සගෙන නේ ?” 

” ඒකත් මරු වැඩේ. තාත්තා කම්පැණියේ සල්ලි හොරකම් කරනවා. කම්පැණියේ ලොකු  එකා තාත්තාව මරනවා. දුව ඇවිල්ලා තාත්තා මරපු එකාට කොක්ක ගහනවා. ඔයිට වැඩිය නම්බුයි අර කොටුවේ බෝ ගහ යට එකසිය පනහට  , සීයට මොකෙක් එක්ක හරි නිදි වදින්න ගියානම්…”

කොළු රංචුව මහ හඬින් සිනාසුණු අතර දිනපතාම ඔවුන්ගේ දරාගත නොහැකි විහිළු මායිම් නොකර ගමන් කෙරූ සඳැස්වි මෙදින ඔවුන් අසල මඳක් නැවතුණාය. ඉන්පසු තමා හට මෙවැනි දරදඬු කතා පවසන සියල්ලන්ගේම මුහුණු දෙස හොඳින් බැලුවාය. 

” ඔයාලට මගෙන් මොකද්ද වෙච්ච වරද ? අඩුම මං තමුන්ලා එක්කෙනෙක් එක්ක වත් වචන දහයකට වඩා කතා කරලා නැතුව ඇති . එහෙම එකේ මොන ආසාවකටද මට මෙහෙම අහස පොළොව නුහුළන අපරාධ කතා කියන්නේ ? මගේ තාත්තා හොරෙක් නෙමෙයි. ඒ වගේම මං ආදරේ කරන මනුස්සයා අපරාධකාරයෙකුත් නෙමෙයි. තමුන්ලගේ ගෙවල් වල අක්කලා , නංගිලා නැද්ද ? අඩුම අම්මෙක්වත් ? වචනෙකින්වත් වරදක් නොකරපු කෙල්ලෙක්ට පද පලිච්චි කරලා තමුන්ලට ලැබෙන දේ මොකක්ද ?” 

” පත්තිනි ටෝක්ස් ..”

පසුපසින් ඇසුණු කටහඬට හැරී බැලූ සඳැස්වි විසල් කර ගත් දෑසින් ඔහු දෙසත් යළි කොලු නඩය දෙසත් හැරී බැලූ අතර ඈව මැදි කොට ගත් ඔවුන් සියල්ලෝම මහ හඬින් සිනහා නැඟූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here