විමර්ෂා වහා පැමිණ කොළු රැලට මැදි වු සඳැස්විගේ අතින් අල්ලා ගත්තාය.
” මං මෙච්චර දවසක් තමුසේ ගැන මහ ලොකුවට හිතන් හිටියා සයුල්. ඒ නිසයි තමුසෙගේ හැම වැඩටකටම සපෝර්ට් කළේ. දැන් නම් තමුසේ ඊයා.. “
” තමුසෙට මාවද ඊයා කියලා හිතෙන්නේ විමූ ? අහිංසක මිනිස්සු කන බත් පතටත් වහ දාන උන් එක්ක බුදියගන්න යන උන් ඊයා නැද්ද ?”
විමර්ෂා සඳැස්විගේ අතින් අල්ලාගෙන ඉක්මන් ගමනින් එතනින් පිටව ගිය අතර කෝපාවිශ්ට වූ සයුල් ඔවුන් දෙදෙනා දෙසට හැරී කෑ ගැසුවේය.
” අපි මේ ගැන සියත්‍ර අයියට කියමු. එකෙක්ට කන පැලෙන්න පාරක් දුන්නනං ඔය ඔක්කොගෙම චණ්ඩිකම් බහිනවා. ඒ ඕනෙත් නෑ සියත්‍ර අයියට එක පාරක් මේකට බහින්න කියනවකෝ ඒ මනුස්සයව දැක්කොත් මුන්ට කලිසමේම යයි. “
” අනේ.. එපා අමාවී. එයාට තියන ප්‍රශ්න ඇති. පින් සිද්ධ වෙයි මේවා ගැන එයාට කියන්න එපා. “
හැඬුම් ආවද බොහෝ ආයාසයෙන් එය දරාගත් සඳැස්වි මිතුරියන් ඉදිරියේ පිණ්සෙණ්ඩු වූවාය.
දේශන මාලාව අවසන් වී ශාලාවෙන් පිටතට පැමිණි තරුණියන් කණ්ඩායමෙන් මඳකට මිදුණු සඳැස්වි පසෙකට වී පහන්‍යා වෙත දුරකතනය ඇමතුමක් ලබා ගත්තාය.
” අක්කේ.. හොඳින් නේද ?”
” ඔව්. නංගි . ප්‍රශ්නයක් නෑ. “
” අනුජ් සර් ආයේ බැන්නද අක්කේ. ?”
” බනින්න ගෙදර එන්නෙපැයි නංගි. ඊයේ හවස මං ඔයාලගේ ගෙදර ඉඳන් ආපු වෙලාවේ ඉඳන් අද මේ වෙනකන් ගෙදර ආවේ නෑ. “
” සර් ඊයේ රෑ ඔහෙ ආවද අක්කේ ?”
” නෑ නංගි. ඇයි මල්ලි ඔයා එක්ක නෙමෙයිද හිටියේ ?”
” සෙමෙස්ටර් එග්සෑම් එක ලඟ නිසා මං සර්ගෙන් ඊයේ ඇහුවා මේ දවස් ටික බෝඩිමේ ඉඳලා යාලුවො එක්ක පාඩම් කරන්නද කියලා. ඒකට හා කිව්වා. ඒත් මට ඊයේ රෑ අහන්න බැරි උනා සර් රෑ කොහෙද ඉන්නේ කියලා. “
” අපාර්ට්මන්ට් එකට යන්නැති. කොහෙ ගියත් කමක් නෑ නංගි ක්ලබ් එකට නොයා. ඔයා ලඟ ඉද්දි එයා කොහෙවත් යන්නෑ. ලඟ ඉන්න බැරි උනොත් පොඩ්ඩක් රෑට හෙවිල්ලෙන් ඉන්න එයා කොහෙද ඉන්නේ කියලා. ප්ලීස්..”
” හරි අක්කේ. මං බලන්නම්. තියන්නම් අක්කේ එහෙනම් . තෙරුවන් සරණයි ..”
ඇමතුම විසන්ධි කළ කුඩා යුවතිය විසල් සුසුමක් හෙළා මිතුරියන් දෙසට හැරුණද වහා ඈ වෙතට කිසිවෙකු හෝ විසින් එල්ල කළ රතු පැහැ තීන්ත බාල්දියකින් හිසේ සිට පාදාන්තය දක්වා ඈ නැහැවී ගියාය.
” සඳා..!”
තීන්ත වල අධික සැරට දෑස හැර ගත නොහැකි වූ ඈ දෑතින්ම දෑස පිසලන්නට උත්සාහ ගනිද්දී වහා අමාවී , විමර්ෂා ඇතුළි යෙහෙළියන් පිරිස ඈ වෙත දිව එන්නට පටන් ගත්හ.
” තොපි කාලකණ්නි බල්ලෝ.. පර @$& පුතාලා ,. කොන්ද පණ නැති #$&* යෝ. . “
අමාවී දන්නා හරුප සියල්ල පවසමින් හතර අතට බැණ වැදුණද සිදු වූ දෙය කුමක්ද කියා නැරඹීමට හා සඳැස්වි හට උදව් කිරීමට පැමිණි පිරිස හැරෙන්නට මෙය සිදු කළ පලා ගිය උන් කවුරුදැයි සොයා ගත නොහැකි වූවේය.
” හොස්ටල් එකට යං. ටක්ගාලා. “
කාන්තා නේවාසිකාගාරය වෙත යෙහෙළියන් හා එක්වී රොබෝවරියක් සේ කල්පනාවෙන් තොරව දිව ගියද හිසේ සිට සම්පූර්ණ සිරුර පුරාම තීන්ත මතින් නැහැවී සිටින තරුණිය ඒ වනතුරුත් සිදු වූ සිදුවීමේ කම්පනයෙන් මිදීමට නොහැකිව සිටියාය.
වහ වහා කාන්තා නේවාසිකාගාරයේ නාන කාමරය වෙත දිව ගිය අමාවී හා විමර්ෂා එහි සිටි තවත් තරුණියන් දෙදෙනෙකු හා එක් වී හැඳ සිටි ඇඳුම් පිටින්ම ඈව කරාමයකට අල්ලා පිරිසිදු කිරීමට පටන් ගත් හ. තීන්ත ඇලී තිබූ දිගු කොණ්ඩය බොහෝ සෙයින් කැඩි කැඩී ගිය අතර මහත් පරිශ්‍රමයක් දරා පිරිසිදු කාරක බොහෝමයක් යොදා ඈව පිරිසිදු කර අවසානයේ අමාවීත් , විමර්ෂාත් හති ළන්නට වූ අතර එක් වරම විසල් හුස්මක් ඉහලට ඇදි යුවතිය එතැනම බිම ඇද වැටී බිම පුරා තැනින් තැන විසිරී ගොස් තිබූ තම කෙස් රොදවල් දැක මහ හඬින් හඬන්නට පටන් ගත්තාය.
” අනේ.. සඳා..”
විලාප තබන තම මිතුරිය තෙතැති ඇඳුමින්ම වැළඳ ගත් විමර්ෂා කඳුළු සළමින් ඈට ඇති වන තුරු හඬන්නට හැර තුරුළු කරගෙන සිටි අතර සඳැස්විගේ හැඬීමත් , බිම දිගේ කැඩී විසිරී ඇති ඇගේ කොණ්ඩයත් දුටු අමාවී කෝපාවිශ්ට හදවතින් නාන කාමරයෙන් පිටතට පැමිණ තම ජංගම දුරකතනය අතට ගත්තාය.
” හෙලෝ…!”
” සියත්‍ර අයියේ.. ! මං අමාවී.. “
අළුතින් ඉදිකරන්නට නියමිත හෝටල් සංකීර්ණයක් පිළිබඳව සාකච්ජාවක නියැළෙමින් සිටි තරුණයාගේ කාර්‍යාල මේසය මතට තද වූ අත මිට මෙළවී තිබූ අතර කමිසය අතරින් පෙනෙන හැඩිදැඩි දෑතේ මෙන්ම ගෙලෙහිද නහර ඉලිප්පී ගියේය.
” කොණ්ඩෙන් භාගයක්ම බිම..”
” එයා හොඳටම ස්ටේබල් කියලා තේරුණාම වාහනයක් පික් කරගෙන ගෙදර යන්න. මං ඉතුරු ටික බලාගන්නම්. “
” හොඳයි අයියේ.. “
***********************************************
” වෙන්වීලා ගියදා පටන් – ඔබ මාව
ආයේ නොඑනා ලෙසින්
කඳුළු අඩු නැතිව – විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන් ..
ඔබට සතුටුයිද දැන්..
බෝඩිම් කාමරයක බීර ටින් කිහිපයක් හා කඩල , වඩේ සිලි මළු කිහිපයක් කුඩා ලී මේසයක් මත තබා ගත් විශ්ව විද්‍යාල තරුණයින් පිරිස ගී ගයමින් විනෝද වෙමින් සිටි අතර එකී ගායනයට දෑතද , දෙපාද එහා මෙහා කරමින් නර්තනයක යෙදෙමින් සිටි තරුණයෙක් ගීතයේ එන අවසන් පදය හමුවේ අත දිගු කර සයුල්ගේ නිකටින් ඔසවා පමණට වැඩි ශබ්දයකින් එය පැවසූ අතර එය දුටු අනෙක් තරුණයන් පිරිස විසල් හඬකින් සිනාසුණහ.
” පිස්සුද #$& ?”
සයුල් බොරු තරහක් මවා මිතුරාගේ අතට පහර දුන් අතර නැවත වතාවක් තරුණයින් පිරිස අතර සිනහ හඬ දෝර ගැලුවේය.
” ඒ.. ඒ.. ෂ්..ෂ්.. අපේ ගෙදරින් කෝල් එකක් “
එසේ පැවසූ එක් තරුණයෙක් වහා අනෙක් උන්ව නිහඬ කර ඇමතුමට සම්බන්ධ වූවේය.
” අම්මේ.. කියන්න. “
” තරුල් .. බලන්නකෝ පුතේ වෙලා තියන වැඩේ.. “
” ඇයි අම්මේ මොකද්ද වෙලා තියෙන්නේ ?”
” දවල් නංගි ඉස්කෝලේ ඇරිලා එනකොට බයික් එකකින් අහපු කොල්ලො දෙන්නෙක් ටවුන් එක මැද්දෙදි ඔලුවේ ඉඳන් ඇඟ පුරාම වැක්කෙරෙන්න රතු පාට තීන්ත බකට් එකක් හළලා. ඒ කරලා අයියට තෑග්ගක් කියලා යන්න ගිහින්. එතන හිටපු කීප දෙනෙක් නංගිව වීල් එකක දාගෙන ගෙදරට ගෙනත් දැම්මේ. යුනිෆෝම් එක ගන්නම දෙයක් නෑ දරුවෝ. කොණ්ඩේ ඇලිච්ච තීන්ත බොහොම අමාරුවෙන් හෝද හෝද යැව්වේ. කෙල්ල ගෙදර ආපු වෙලාවේ ඉඳන් අඬනවා. ඔක්කොටම හපන් අයියට තෑග්ගක් කිව්වේ මොකද කියලා හිතා ගන්න බෑ තරුල්. “
ඇමතුම විසන්ධි කළ තරුල් පුදුමය පිරි දෙනෙතින් මිතුරන් පිරිස දෙස බැලුවේය .
” ඇයි බං. ?”
” මොකද්ද අවුල ?”
මිතුරන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට තරුල් හට ඉඩක් නොලැබුණු අතර පිරිසේ සිටි තවත් අයෙකුගේ දුරකතනයක් නාද වූයේය.
” ඔව් අම්මේ.. කියන්න.. “
” ගගන.. උඹ කැම්පස් එකේද ? “
” නෑ නෑ.. බෝඩිමේ..”
” වැඩ ඇරිලා එද්දි අක්කට කරදරයක් වෙලා ”
” කරදරයක් ? ඇයි මොකද්ද ?”
” කවුද දෙන්නෙක් බයික් එකක ඇවිල්ලා රතු පාට තීන්ත බකට් එකක් ඔලුවේ ඉඳන් හළලා ගිහින්. උන් ඒක හළලා මල්ලිට තෑග්ගක් දුන්නා කියලා කියන්න කියලා ගිහින්. “
ක.. කවුද ..? මං දන්නෑ.. අම්මේ.. “
” උඹ තමයි. උඹ මොකෝ දන්නෑ කියන්නේ. එහෙනම් උඹව ගාවගන්නෑනේ.. ? කෙල්ල හොඳටම අඬනවා. අප්පච්චිට පයිණ්ඩයක් යැව්වා. දැන් එන ගමන් . අප්පච්චි ආවම උඹ අප්පච්චි එක්ක ඕවා බලා ගනින් පුතේ.. “
ඇමතුම විසන්ධි කළ ඔහුද කලින් තරුණයා මෙන්ම භීතියෙන් වෙළී මිතුරන් දෙස බැලුවේය.
” ඒ පාර තොට මොකද්ද උනේ ? තොපි දෙන්නම හොල්මනක් දැක්කා වගේ බය වෙලා ඉන්නැතුව කියපන්කෝ @$&& මොකද්ද වෙලා තියෙන්නේ කියලා ?”
තරුල් දෙසත් ගගන දෙසත් මාරුවෙන් මාරුවට බැලූ සයුල් මහ හඬින් කෑ ගැසූ අතර කල්පනාවෙන් මිදුණු ගගන පළමුව මුව ඇරියේය.
” අපේ අක්කා වැඩ ඇරිලා එද්දි කවුද දෙන්නෙක් බයික් එකකින් ඇවිත් තීන්ත බකට් එකක් ඔලුවේ ඉඳන් හළලා. ඒ කරලා මල්ලිට තෑග්ගක් කියලා කියන්න කියලා. “
” අපේ නංගිටත් ඕකමයි වෙලා තියෙන්නේ. ඉස්කෝලේ ඇරිලා එද්දි බයික් කාරයෝ දෙන්නෙක් ඇවිත් තීන්ත බකට් එකක් හළලා. අයියට තෑග්ගක් කියලා කිව්වලු. “
” ඒ.. ඒ.. කොහොමද බං ? ඇරත් මේ අදම ?”
පිරිසේ තවත් එකෙකු ගගන හා තරුල් දෙස බලා ඇසූ අතර ක්ෂණිකව පිරිසේ උන් තවත් තරුණයෙකුගේ දුරකතනයක් නාද දුන්නේය .
” තාත්තේ ? “
……..
” ඔව්.. “
……
” ආ.? ”
විශ්මයෙන් වෙළී ඇමතුමට සම්බන්ධ වී සිටි ඔහු එය විසන්ධි කර දමා වහා ඉදිරියට පැන සයුල්ගේ කමිස කොළරයෙන් අල්ලා ගත්තේය .
” ඈ @$&*තෝ ? තෝ මේ මොකද්ද අපිට කළේ ? පොළේ ගිහින් එද්දි ටවුන් එක මැද්දේ බයික් කාරයෝ දෙන්නෙක් මගේ අම්මගේ ඔලුවේ ඉඳන් රතු පාට තීන්ත බකට් එකක් හළලා පුතාට තෑග්ගක් දුන්නා කියලා කියන්න කියලා. බය වෙච්ච පාරට මගේ අම්මට ප්‍රෙෂර් වැඩිවෙලා. හොස්පිට්ල් නතර කරලා. අපි මෙහෙ සඳැස්විට කරපු දේ කොහොමද #$&&තෝ දවස ගෙවෙන්නත් කලින්ම අපේ ගෙවල් වල ගෑනුන්ට වෙන්නේ ? ”


