වසන්තය තව දුරද – 4

0
8

“දවස තිස්සෙ ඉස්කෝලෙයි ටියුශන් ක්ලාස් අස්සෙයි, බස් අස්සෙයි දූවිල්ලෙ රිංගලා ඇවිල්ලා ඒ ඇඳුම් ගලවලා බාත් රූම් එකට යන්න ටවල් එක ඇඳගත්තම ඔක්කොම ජරාව ඉතින් ටවල් එකේනෙ පුතේ” කියා තාත්තා කියද්දී නෙත්මලී කරේ පුරුදු විදියට සිනා සී තාත්තාට දිව දික්කර තන මත්තේ ගැටගසා තිබූ තුවා ගැටය තදින් අල්ලාගෙන නාන කාමරය වෙත දිව යාමය.

තාත්තා කියන කතාව ඇත්තය.

 හරිනම් කරන්න ඕනා ඇඳගෙන ඉන්න ඇඳුම් පිටින්ම නාන කාමරය වෙත ගොස් එහිදි ඇඳුම් මාරු කර ඇඟ පත හොඳින් සෝදා අලුත් ඇඳුමකට මාරු වෙන එකය. ඒ උනාට උදේ හයට විතර ගෙදරින් පිට වෙද්දි ඇඳගෙන ඉන්නා ඇඳුම හවස හයට විතර ගෙදර විත් මාරු කරන්නට තියෙන උවමනාව කොච්චරද කියා දන්නේ තමන් පමණය. ඉස්කෝලේ ගොස්, පංති අස්සේ තෙම්පරාදු වී, ඉන්පසුව ප්‍රයිවට් බස් වල තැම්බි තැම්බි ගෙදර එන එක කොච්චර එපා වෙනවද කියා තාත්තාට බාගදා කාලේ එක්ක අමතක වී ගොස් ඇතුවා විය හැක.

“හැදිච්ච ගෑනු ළමේක් හැසිරෙන විදියක්ද ඔය? තාත්තා කෙනෙක් ඉන්න ගෙදරක ඔහොම පපුවයි කලවයි එළියෙ දාන් ළමිස්සියක් තුවා ඇඳන් ගේ මැද්දෙන් අරහෙට මෙහෙට යනවද?” කියා වචන විසික් කරන්නේ අම්මාය. නෙත්මලීට අනුව අම්මා කොහොමත් තමන්ට ආදරේ නැත. අම්මා වැඩිපුර ආදරේ අයියාටය. තමන් තුවාය ඇඳන් ගේ මැද්දෙන් යන එක වැරදි  උනාට අයියා ඇඳුම් නැතුව ගේ මැද්දෙන් ගියත් අම්මාට අනුව එය වැරදි නැත.

“කොල්ලො එහෙම තමයි. කොල්ලන්ට වරදින්නෙ නෑ. කොල්ලන්ට වැරදුනත් නාවලා ආයෙ ගෙට ගන්න පුළුවන්. කෙල්ලන්ට එහෙම බෑ. ඒක දැනගෙන එපාය ජීවත් වෙන්න. මේක එහෙම නෙවිනෙ. වැරැද්ද තියෙන්නෙ කොතනද ඒකට අත වනලානෙ අඬ ගහන්නෙ එන්න එන්න කියලා” යැයි අම්මා කොච්චරවත් හිතටත් හිසටත් නිරත්තරයෙන් වද දෙන්නට කටයුතු කරද්දී ඒ රිදුණු තැවුණු හිත පිරිමදින්නේ තාත්තාය.

“අම්මාට පුතේ තරහා යන්න හේතු ඉතින් ඕන තරං ඇති. පුතාම දන්නවා ඇතිනෙ ඔය මෙනොපෝස් එහෙම හැදුණම කාන්තාවන්ත පුතේ ඒ කාලෙට තරහා එහෙම යනවා. අනික අම්මා උදේ නැගිට්ට වෙලේ ඉඳන් කරන්නෙ එසේ මෙසේ සුමයක් නෙවෙයිනෙ පුතේ. පුතාට උනත් හිතෙනවා ඇති අම්මා තරහට වෙන්නැති දේවල් කියනවා ඇත්තෙ කියලා. ඒ උනාට අම්මා කවදාවත් පුතාට කියලා නෑනෙ උදේට ඇහැරලා උයන්න එහෙම උදව් වෙන්න කියලා. මොකෝ අම්මා දන්නවා පුතා රෑ වෙනකම් මහන්සිවෙලා පාඩං එහෙම කරන විත්තිය. එහෙමෙකේ පුතා අම්මා ගැන තරහක් හිතන්නෙපා. ඔය ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයි පුතා හොඳට විභාගෙ පාස් වෙලා කැම්පස් එහෙම සිලෙක්ට් වෙච්ච දවසක. අනික කොහොමත් පුතා දන්නවා ඇතිනෙ ඔය අම්මලා දූලගෙ එක වයසක් තියෙනවා පුතේ ඔරොප්පුවෙන් ඉන්න. මං හිතන්නෙ මෙ ගෙවෙන්නෙ ඒ කාලෙ.

පුතා ඒවා ඒ හැටි හිතන්න එපා. අම්මලා කෝමත් වැඩිපුර ආදරේ පුතාලටනෙ. අයියා මොනවා කරත් අම්මා අයියගෙ වරදක් දකින්නෙ නැත්තෙ ඒකයි. දැන් බලන්නකො මමයි අයියයි ඒ හැටි ඇයි හොඳැයියක් නෑනෙ. එහෙම තමයි අපි බයොලොජිකලි හැදිලා තියෙන්නෙ. ඒක තේරුං අරගෙන ජීවත් උනාම ලේසි. ඔයා ආට්ස් සබ්ජෙක්ට්ස් කරන හන්දා ඔයා මේවා දන්නෙ නැති හන්දා තමයි මං මේ මේවා කියලා දෙන්නෙ. මේවයින් හිත රිද්දගන්නවත් මේව ඕනවට වඩා හිත හිත ඉන්නවත් ඕන නෑ. මේ එහෙම හිත හිත ඉන්න කාලයක් නෙවිනෙ පුතේ. විභාගෙට තව කොච්චර පොඩි කාලයක්ද තියෙන්නෙ. එහෙමෙකේ ඔයා මේ වෙලාවෙ ඔලුව වෙහෙසන්න ඕන විහාගෙ වෙනුවෙන් විතරයි” කියා තාත්තා තමන්ගේ හිත හදන්න වෙහෙසෙන අතරේම අම්මාට “දරුවට එහෙම කතා කරන්න එපා යැයි” කියන්න වෙහෙසෙන බවද නෙත්මලී දැන උන්නාය.

එහෙත් අම්මාත් තමනුත් අතරේ තිබ්බ මද නොරිස්සුම දිනෙන් දින වැඩිවුනා මිසක අඩුවුණ බවක් නෙත්මලීට කිසිදිනක තේරුණේ නැත. ඒ නිසා නෙත්මලී උන්නේ දිනෙන් දින මදින් මද තාත්තාට ලංවෙමිනි. තාත්තා විෂයෙහි වඩා ආදරේ වෙමිනි. තාත්තාව වඩ වඩාත් විශ්වාස කරමිනි. අයියා කොහොමත් උන්නේ “නංගීව විශ්වාස කරන්න බෑ. ඕකිට කොල්ලෙක් ඇති. ඔය වයසෙ එකියන්ට කොල්ලොද නැත්තෙ? තමුසෙ කොල්ලො එක්ක නටලා එහෙම අහුවෙන්න එපා. මගෙන් හංගලා කොල්ලො එක්ක නටනව වානා” කියමින් තර්ජන කරමින් නිසා නෙත්මලීට කොහොමත් අයියා එක්කත් එහෙමකට කියා සම්බන්ධයක් තිබුණේ නැත. 

ආදරේ උතුරා හැළුණේ තාත්තාත් දුවත් අතරේය.

නාන කාමරය ඇතුළේ ඉද්දී අම්මා කියන්නට යෙදුණ සිත පාරවන වචන ඔක්කෝම සීතල සබන් වතුර සමගම දිය කර හරින්නට නෙත්මලීට අපහසු නැත. අනෙක් අතට තාත්තා කිව්වා වගේ මේ ඔය වගේ සිත් පාරවන වචන හිත අස්සේ ගොඩ ගසාගෙන ඉන්නට කාලයක් නොවේ. නෙත්මලීගේ එකම බලාපොරොත්තුව උසස් පෙල කලා අංශයෙන් හොඳටම සමත් වී නීති පීඨයට ගොස් නීතිඥවරියක වීමටය. දැනටමත් සෙක්ශන් එකේ ඉහළම ලකුණු අතර කැපී පෙනෙන නමක් රඳවාගෙන උන්නද කලා අංශයෙන් දිස්ත්‍රික්කයේ ඉහළම ලකුණු ලබාගත්තද නීති පීඨයට තේරී පත්වීම ලේසි පාසු වැඩක් නොවන බව නෙත්මලී නොදන්නවා නොවේ. ඉතින් මේ දිවා රෑ වෙහෙසෙන්නේ ඒ නිසාවෙනි.

“දැන් පුතාගෙ ස්ටඩීස් කොහොමද පුතේ?” කියා තාත්තා ඇසුවේ රෑ කෑම මේසයේදි නෙත්මලීගේ පිඟානට බැදපු චිකන් කෑල්ලක් බෙදන ගමන්‍ ය. එදා රෑ කෑමට අම්මා සකසා තිබුණේ අල කිරි හොද්දකුත්, බැදපු චිකනුත්, ගොටුකොල සම්බෝලෙකුත් ය. බැදපු චිකන් කන්න අයියාත් තමනුත් ආස බව දන්න හන්දාම අම්මා චිකන් බදින දවසට වැඩිපුර කෑලි කීපයක් බදින්නීය. ගෙදර ඉන්නේ කී දෙනා වුවද ඉන්නා කීපදෙනා අනිවාර්‍යෙන්ම රෑ කෑම වෙලාවට එකට කන්නට එකතු විය යුතු බවට නීතියක් ගෙදර පනවා තිබුණේ තාත්තාය. ඒ නිසා අර කතන්දර මේ කතන්දර කොච්චර තිබුනද කිසිදු නිදහසට හේතු කාරණාවක් නිසා කෑම මේසයට පැමිණ නොසිටීමටත්, ඒ ආවද දුරකතනයකට හෝ පොතකට මුහුණ ඔබාගෙන සිටීමටවත් ගෙදර කිසිවෙකුට ඉඩක් හම්බුණේ නැත. කෑම මේසය වෙන්වුනේ පවුලේ අය වෙනුවෙනි. ප්‍රශ්නයක් තිබුනේ නම් කතා කරන්නටය, එකිනෙකාව අඳුනාගන්නටය, දුක සැප විමසන්නටය. 

“අවුලක් නෑ තාත්ති. ලොජික් නම් මට නතින්. මුණසිංහ සර් මාරම හොඳට කියල දෙනවා තාත්ති. ඉස්කෝලේ පද්මා මිස් නම් චුට්ටක් අවුල් මම පද්මා මිස්ගෙ ක්ලාස් එකට එන්නෙ නැතුව මුණසිංහ සර්ගෙ ක්ලාස් එකට යනවා කියලා”

“මිස් අනං මනං කියනවද ඉස්කෝලෙදි?” කියන ගමන් සමරසිංහ දුවගේ පිඟානට තව ගොටුකොල සම්බල් මිටක් බෙදුවේය. 

“නෑ හැබැයි නැත්තෙමත් නෑ.”

“මොකද්ද මොකද්ද ඒ හරුපෙ?”

“පද්මා මිස් එහෙම ඩිරෙක්ට්ලි මුකුත් කියන්න එන්නේ නෑ ටර්ම් ටෙස්ට් වල එහෙම මගෙ ලකුණු හොඳ හන්දා. හැබැයි නිකන් අනං මනං කියනව ඔයිට වඩා කරගන්න තිබ්බා එයාගෙ පංති ආවා නම් අරකද මේකද? ක්ලාස් එකේ බාගයක් විතර අය යන්නෙ මිස්ගෙ ක්ලාස්නෙ තාත්ති ඉතින්”

“හරි ඉතින් එහෙමයි කියලා දූත් එයාගෙ පංතිම යන්න උවමනාවක් නෑනෙ. මුණසිංහ සර් හොඳයිනෙ”

“අනේ ඔව් තාත්ති. සර් මාරම මාරම මාරම හොඳට කියලා දෙනවා. අනික අර තේරෙන්නෙ නැති දෙයක් තියෙනම් ළඟට ඇවිත් කියලා දෙනවා. විබාගෙ ලඟ හන්දා සර් මේ ටිකේම රෑට ගෘප් චැට් එකේ මැසේජ් දාලා බලනවා තාත්ති අපි පාඩම් එහෙම කරනවද කියලත්. අනික ඇත්තටම අපෙ ඉස්කෝලෙත් ගොඩක් ලොජික් අමාරු අයට මං තමා කියලා දෙන්නෙ. මට ලේසිම සබ්ජෙක්ට් එකත් ලොජික්. ඒකත් මුණසිංහ සර්…” කියා නෙත්මලී කතාව ඉවර කරන්න ගියාට මොකෝ චන්ද්‍රා උන්නේ දෝණියැන්දාට කතාව ඉවර කරන්න දෙන්නට බලාපොරොත්තුවෙන් නොවේ. 

කුමක් හෝ තරහක් හිතේ තබාගෙන ගොටුකොල සම්බෝලත්, අල හොදිත් බත් සමග චොප්ප වන්නට අනමින් චන්ද්‍රා දෝණියැන්දා මතින් තරහා පිට කර හරින්නට විය.

“ඔය සර්ලා එක්ක හුරතල් වෙන්න ගිහින් අන්තිමේ විභාගෙ ඇණගත්තම තාත්තට තේරෙවිනේ දෝණියැන්දගෙ තරම. නැත්තං මේ යස අගේට තමන්ට ඉස්කෝලෙ උගන්නන මිස්ගෙ පංතියට ගියා නම් මොකද වෙන්නෙ?

නැටිල්ල පැත්තක තියලා ඉගෙන ගන්නයි ඕන කියන එක මතක තියාගත්තා නම් හොඳයි”

නෙත්මලී උන්නේ ආයෙ ආයෙ ඒ මතක අලුත් කරගනිමිනි. 

බොඳ වුණ දෙනෙත් අස්සෙන් ඒ මතක වලට තමන්ගේ හිත පාරන්නට රිද්දන්නට ඉඩ දෙමිනි. 

බයිසිකලයේ පිටුපස වාඩි වී, පාර අයිනේ දැල්වෙන වීථි ලාම්පු එළි අතරින් පෙනෙන අඳුර දෙස බලාගෙන යද්දී නෙත්මලීගේ මතකයට ආවේ මීට සති කීපයකට පෙර රෑ කෑම මේසයේදී සිදුවූ ඒ සිදුවීමය.

 එදා අම්මාගේ ඒ නපුරු වචන හමුවේ තමන්ව ආරක්ෂා කරන්නට තාත්තා වෙනදා මෙන්ම පෙරට ආ හැටිත්, තමන්ගේ හිත නොරිදෙන්නට තාත්තා කියූ ඒ සැනසිලිදායක වචනත් ඇගේ හිත ඇතුළේ නැවත නැවතත් ප්‍රතිරාවය විය.

එහෙව් තාත්තාය අද තමන්ගේ පස්සෙන් ඇවිත්, එකිටෙක නොගැලපෙන කතා කියමින් තමන්ගේම හිතේ ඇති වරදකාරී හැඟීම වසාගන්නට වෙහෙසෙන්නේ කියා නොහිතා ඉන්නට නෙත්මලීට හැකියාවක් තිබුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here