මේක ගොඩක් අයට සම්බන්ධතාවයක් අවසන් උනාම දැනෙන ප්රශ්නයක්.
සමහර අය හිතනවා කෙනෙක්ව මතක් වෙන එකෙන් කියන්නේ ආයෙත් එයා ළඟට යන්න ඕනේ කියන එකයි කියලා. තවත් අය තමන්ට කිසිම වටිනාකමක් පෙන්නුවෙ නැති කෙනෙක් ගැන තවමත් හිත හිතා ඉන්න එක ගැන ලැජ්ජා වෙනවා.
හැබැයි මෙන්න මේ දේ හොඳට තේරුම් ගන්න ඕනේ
කෙනෙක්ව Miss වෙන එකෙන් කියන්නේ නැහැ එයාලා ඔයාට හරියනම කෙනා කියලා. සමහර වෙලාවට ඒකෙන් කියන්නේ ඔයාත් හැඟීම් දැනීම් තියෙන සාමාන්ය මනුස්සයෙක් විතරයි කියන එක.
ඇත්තම කතාව නම්, අපේ මොළයට තේරෙන ඉක්මනට අපේ හදවතට දේවල් අමතක කරලා ඉස්සරහට යන්න බැහැ. කෙනෙක් ඔයාගේ ජීවිතේට කොහෙත්ම හරියන්නේ නැහැ කියලා ඔයාගේ මොළේ හොඳටම දැනගෙන හිටියත්, දවසක ඔයාගේ ජීවිතේ එයා පිරෙව්ව ඒ ඉඩ ගැන ඔයාට තවමත් හිතෙන් ලොකු පාලුවක් දැනෙන්න පුළුවන්.
එහෙම වෙන්න බලපාන හේතු ටිකක් තියෙනවා.
1. ඔයාට Miss වෙන්නේ ඒ මනුස්සයාව නෙවෙයි, පුරුද්ද!
අපි පුරුදුවලට හරිම ආසයි. උදේට එන Good morning මැසේජ් එක, රෑට ගන්න කෝල් එක, මීම් එකක් වගේ දෙයක් දැක්කම එකපාරටම එයාට යවන්න හිතෙන එක, නැත්නම් හිතට පාලුවක් ආවම කතා කරන්න කෙනෙක් හිටියා කියන හැඟිම වගේ දේවලුත් ඔයාට මෙතනදි Miss වෙනවා.
සම්බන්ධතාවයක් නැති වුණාම ඒ මනුස්සයා විතරක් නෙවෙයි නැති වෙන්නේ, ඔයාගේ මුළු Daily Routine එක වෙනස් වෙනවා. ඔයාගේ මොළයට ඒ එකපාරටම නැති වුණු පුරුද්ද දැනෙන්නේ ලොකු පාඩුවක් විදිහට. ඇත්තටම ගොඩක් වෙලාවට ඔයාට Miss වෙන්නේ ඒ මනුස්සයාව නෙවෙයි එයා එක්ක ඔයාට තිබුණු ඒ ජීවිතේ
2. නරක මතකවලට වඩා හොඳ මතක මොළයට මතක් වෙනවා
Breakup එකකින් පස්සේ ලස්සන මතක විතරක් එකපාරටම මතක් වීගෙන වීගෙන යනවා ඔයාට මීට කලින් දැනීලා තියෙනවද?
එකතු වෙලා ගිය ගමන්, හිනාවුණු විදිහ, කියපු කතා, කරපු විහිළු ආයෙ හිතට මතක් වෙනවා. හැබැයි එයා නිසා අඬපු රෑවල්, බොරු පොරොන්දු, සහ ඔයාට කරපු අපහාස වගේ දේවල් ඔයාට අමතක වෙනවා. අපි අතීතයේ වෙච්ච නරක දේවල්වලට වඩා හොඳ දේවල් විතරක් තදට මතක තියාගන්න පෙළඹෙනවා. ඒ නිසයි අපිට අපව දුකට පත් කරපු බැඳීම් පවා ලස්සන විදියට මතක් වෙන්නේ.
3. ස්ථාවර නැති ආදරය නිකන් සූදුවකට ඇබ්බැහි වීමක් වගේ
හැම විෂ සහිත සම්බන්ධතාවයක්ම හැම තත්පරේම නරක නැහැ. සමහර අය එක දවසක් හරිම ආදරෙන් ඉඳලා ඊළඟ දවසේ නොදන්න ගානට ඉන්නවා. එක සතියක් ඔයාව එයාගෙ මුළු ලෝකෙම කරගෙන ඉඳලා, ඊළඟ සතියේ මැසේජ් එකකටවත් රිප්ලයි කරන්නේ නැහැ.
මේ වෙනස්වීම නිසා ඔයාගේ මොළය ඊළඟ හොඳ මොහොත එනකම් නිතරම බලන් ඉන්න පෙළඹෙනවා. ඒක හරියට සූදුවකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක්. ඊළඟ මැසේජ් එකෙන්, ඊළඟ සමාව ඉල්ලීමෙන් ඔක්කොම හරි යයි කියලා ඔයා බලාපොරොත්තු වෙනවා. එතැන තියෙන්නේ ආදරයට වඩා, මොකක් වෙයිද කියන නොදන්නාකමට තියෙන ඇබ්බැහියක්.
4. ඔයා දුක් වෙන්නේ නැති වුණු අනාගතය ගැන
සම්බන්ධතාවයක් ඉවර වෙද්දී නැති වෙන්නේ ඒ මනුස්සයා විතරක් නෙවෙයි. ඔයාගේ හිත ඇතුළේ ඒ මනුස්සයා එක්ක මවාගෙන හිටපු මුළු අනාගතයම නැති වෙනවා.
එකට යන්න ප්ලෑන් කරපු ගමන්, එකට සමරන්න හිතපු උපන්දින, හදන්න හිතපු ගෙදර, ළමයි, එකට ගත කරන්න හිතපු දවස් වගේ ඒ හැම හීනයක්ම නැති වෙනවා. සමහර වෙලාවට ඔයා දුක් වෙන්නේ ඇත්තටම සිද්ධ වුණු දෙයක් ගැන නෙවෙයි, සිද්ධ වෙන්න තිබුණු දේවල් නැති වුණු එක ගැන.
5. ඔයා ආදරේ කළේ එයාගේ ඇත්ත ස්වභාවයට නෙවෙයි, ඔයා හිතෙන් මවාගෙන උන්න එයාගෙ Version එකට
ගොඩක් සම්බන්ධතා පවතින්නේ බලාපොරොත්තු මත. “එයා වෙනස් වෙයි”, “දැන් එයා ඉන්නේ අමාරු කාලෙක”, “ඉස්සරහට ඔක්කොම හරි යයි” කියලා ඔයා හිතනවා.
කාලයත් එක්ක ඔයා ආදරේ කරන්න පටන් ගන්නේ එයා දැනට ඉන්න විදිහට නෙවෙයි, එයා ඉස්සරහට වෙනස් වෙයි කියලා ඔයා හිතාගෙන ඉන්න චරිතෙට. බැඳීම ඉවර වුණාම ඔයා ඇත්තටම දුක් වෙන්නේ ඒ ජීවිතේ නැතිවුණාටත් වඩා අර ඔයා හිතෙන් මවාගෙන හිටපු චරිතෙ නැති වීමේ වේදනාවට
6. පාලුව සහ තනිකම ආදරය වගේ වෙස්වලා ගන්නවා
සමහර වෙලාවට අපිට කෙනෙක්ව Miss වෙනවම නෙවෙයි. අපිට හිතෙනවා කවුරුහරි අපේ ළඟ හිටියා නම් හොඳයි කියලා. අපිට Miss වෙන්නෙ අන්න ඒ Feeling එක.
Breakup එකකට පස්සේ ජීවිතේ හරිම නිහඬයි. මැසේජ් කරන්න කවුරුත් නැහැ. ඔයා එනකම් බලන් ඉන්න, ඔයාගේ දවස ගැන අහන්න කවුරුත් නැහැ. ඒ තනිකම කොච්චර සැරද කියනවා නම්, රිදවපු සම්බන්ධතාවයක් වුණත් ඒ වෙලාවට හොඳයි කියලා හිතෙන්න ගන්නවා. මිනිස්සු තමන්ට හරි නැහැ කියලා දැන දැනත් පරණ බැඳීම්වලට ආයෙත් යන්නේ ඒ නිසයි. නැතුව වේදනාව අමතක වෙලා නෙවෙයි, තනිකම දරාගන්න බැරුව.
7. හිත හදාගන්න එක ටක්ගාලා සිද්ධ වෙන දෙයක් නෙවෙයි
ගොඩක් අය හිතන්නේ හිත හදාගන්න එක හරි ලේසියි කියලා. ඒ කියන්නේ හැමදාම ටික ටික සනීප වෙලා එක උදේක සම්පූර්ණයෙන්ම සනීප වෙනවා කියලා.
හැබැයි ඇත්තටම ඒක සිද්ධ වෙන්නේ එහෙම නෙවෙයි. සමහර දවස්වලට ඔයාට හරිම නිදහස් බවක් දැනෙයි. හැබැයි එකපාරටම සින්දුවක් ඇහෙයි, ඔය දෙන්නා එකට ගිය තැනක් දකීවි, නැත්නම් පරණ පින්තූරයක් ආයෙ දකීවි. එකපාරටම ඔයා ආයෙත් මුලටම වැටුණා වගේ දැනෙයි. නැහැ, ඔයා මුලට වැටුණේ නැහැ. හිත හදාගන්න එක වෙන්නේ Wave එකක් වගේ. ඉඳහිට කෙනෙක්ව මතක් වුණා කියලා ඔයා ආපු ගමන නැති වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඔයා දවසක ඒ කෙනාට ඇත්තටම ආදරේ කළා කියන එක විතරයි.
කෙනෙක්ව Miss වුණා කියලා එයා ඔයාගේ ජීවිතේට අයිති කෙනෙක් වෙන්නේ නැහැ
මේක තමයි වැදගත්ම පාඩම
ඔයාට කෙනෙක්ව Miss වෙන්න පුළුවන් හැබැයි එයා ඔයාට හරියන්නේ නැහැ කියලා ඔයාට තේරෙන්නත් පුළුවන්.
ඔයාට කෙනෙක්ට තවමත් ආදරේ හිතෙන්න පුළුවන් හැබැයි එතැනින් අයින් වෙන්න ඔයාට තීරණය කරන්නත් පුළුවන්.
ඔයාට එයාට හොඳක් වෙන්න කියලා ප්රාර්ථනා කරන්න පුළුවන් හැබැයි එයාව ආයෙත් ඔයාගේ ජීවිතේට නොගෙන ඉන්නත් පුළුවන්.
මේ හැම හැඟීමක්ම එක පාරටම ඔයාගේ හිත ඇතුළේ තියෙන්න පුළුවන්. අපේ හැඟීම් හරිම සංකීර්ණයි, ඒවා හැමතිස්සෙම Logically වැඩ කරන්නේ නැහැ. ඒක සාමාන්ය දෙයක්.
අපිට රිද්දපු මිනිස්සු අපිට මතකයන් විතරක් නෙවෙයි ඉතිරි කරන්නේ. පුරුදු, බලාපොරොත්තු, උත්තර නැති ප්රශ්න වගේ දේවල් අස්සෙ එයාලා ඉතුරු වෙනවා.
හැබයි එයාලව මතක් වුණා කියලා ඔයා ආයේ එයාට කතා කරන්න හෝ එයා ළඟට යන්න ඕන නෑ.
සමහර වෙලාවට එහෙම මතක් වෙන එකෙන් කියන්නේ ඔයාගේ මොළය දැනටමත් දන්න ඇත්ත, ඔයාගේ හදවතට තේරුම් ගන්න තව ටික කාලයක් යනවා කියන එක විතරයි.
ඉතින් ඔයාට නොසලකපු කෙනෙක්ව ඔයාට ආයෙ මතක් වුණොත්, ඒ ගැන ලැජ්ජා වෙන්න එපා. ඒ වෙනුවට ඔයා ඔයාගෙන්ම මේ ප්රශ්නෙ අහන්න.
“මට ඇත්තටම Miss වෙන්නේ ඒ මනුස්සයාවද? නැත්නම් මං තනිවෙලා කියන ඒ හැඟීමද?”










