අපි හැමෝම උස් මහත් වුණේ ආදරයට ඕනෑම ප්රශ්නයක් විසඳන්න පුළුවන් කියලා විශ්වාස කරන ගමන්.
චිත්රපටිවලින්, අපි කියවන පොත්වලින්, කතාවලින් අපිට කියන්නේ දෙන්නෙක් ඇත්තටම ආදරේ කරනවා නම්, ඒ දෙන්නට ඕනෑම බාධකයක් ජය ගන්න පුළුවන් කියලානෙ.
හැබැයි ඇත්ත ජීවිතේ ඊට වඩා වෙනස්.
ආදරය වැදගත් තමයි. ඇත්තටම ගොඩක් සම්බන්ධතා ආරම්භ වෙන්න හේතුවත් ඒකනේ. හැබැයි සෑහෙන බැඳීම් ප්රමාණයක් නැති වෙලා යන්නේ ආදරය නැති වුණු නිසා නෙවෙයි, ඒ බැඳීම් ඇතුළේ ආදරයට ජීවත් වෙන්න අවශ්ය කරන වටපිටාව නැති වුණු නිසා.
සමහර වෙලාවට ඔයාට පණ වගේ කෙනෙක් ආදරේ කරන ගමනුත් “අනේ මං තනි නේද?” කියලා ඔයාට දැනෙන්න ඉඩක් තියෙනවා. ඔයා මුළු හදවතින්ම කෙනෙක් ගැන හිතන ගමන් ඉඳියත් සමහර වෙලාවට ඔයාගෙන්ම අහනවා වෙන්න පුළුවන් “මං මේ සම්බන්ධෙ ඇතුළේ කොතැනද ඉන්නේ” කියල. මොකද, ආදරය කියන්නේ හැඟීමක් විතරයි. හැබැයි නිරෝගී සම්බන්ධතාවයක් කියන්නේ හැමදාම මහන්සි වෙලා ගොඩනගන්න, පවත්වගෙන යන්න සහ ආරක්ෂා කරගන්න ඕනේ දෙයක්.
ඔන්න ඔය නිසා තමයි, ආදරයට අමතරව ඕනෑම සාර්ථක සම්බන්ධතාවයකට අත්යවශ්ය වෙන මෙන්න මේ කරුණු 7 ගැන අපි කතා කරන්න ඕනේ.
1. විශ්වාසය
විශ්වාසය කියන්නේ තමන්ගේ පාට්නර් තමන්ව රවට්ටන එකක් නැහැ කියලා හිතන එක විතරක්ම නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ එයා හිතාමතාම තමන්ට රිද්දන්නේ නැහැ කියන එක විශ්වාස කිරීම.
එයා කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක වුණත් තමන්ට සම්බන්ධෙ ගැන ආරක්ෂිත බවක් දැනෙන එකයි විශ්වාසය කියන්නේ. ඒ කියන්නේ නිතරම එයාගේ ෆෝන් එක චෙක් කරන්නේ නැතුව, මැසේජ් එකක් රිප්ලයි වෙන්න පරක්කු වෙද්දී ඕනවට වඩා හිතින් මවාගන්නේ නැතුව, නැත්නම් එයා කියන්නේ ඇත්තද කියලා සැක කරකර ඉන්නේ නැතුව ඉන්න පුළුවන්කම.
විශ්වාසය නිසා බැඳීමක් ඇතුළේ ලොකු මානසික නිදහසක්, ආරක්ෂාවක් හැදෙනවා. ඒක නැති වුණොත්, වෙන හැම පොඩි නොගැලපීමක්ම මහා ලොකු දෙයක්, ප්රශ්නයක් වෙනවා. හැම සයිලන්ස් එකක්ම බය වෙන්න හේතුවක් වෙනවා.
එක පාරක් විශ්වාසය බිඳුණොත්, ඒක ආයෙමත් මුල ඉඳන් හදාගන්න එක මුලින්ම විශ්වාසය ගොඩනගනවාට වඩා සෑහෙන අමාරු වැඩක්.
2. ස්ථාවරභාවය
ලොකු ලොකු රොමෑන්ටික් සප්රයිස් මතකයේ රැඳෙනවා තමයි, හැබැයි බැඳීමක් දිගටම හොඳින් තියෙන්නේ එක දිගට එක වගේ පවත්වාගෙන යන ස්ථාවරභාවය නිසා.
ඕනෑම කෙනෙක්ට පුළුවන් එක දවසකට විතරක් ඔයාව හරිම විශේෂ කෙනෙක් වගේ දැනෙන්න සලකන්න. හැබැයි ඇත්තම ප්රශ්නය මේකයි. එයාලට පුළුවන්ද හැමදාම එහෙම සලකන්න? හැමදාම ඔයාව ස්පෙශල් කියලා දකින්න?
නිරෝගී සම්බන්ධතාවෙකදි ඔය ආදරේ ඉඳ හිට එකපාර උතුරලා යන්නෙ නෑ. ඒක ගොඩ නැගෙන්නෙ හැමදාම තමන් ඉන්නවා කියලා පෙන්නන එකෙන්, දීපු පොරොන්දු රකින එකෙන්, නිතරම එකිනෙකා එක්ක කතාබහ කරන එකෙන් සහ සාමාන්ය දවස්වලදී පවා තමන්ගේ පාට්නර් තමන්ට වැදගත් කියලා දැනෙන්න අරින එකෙන්.
හැසිරීම්වල තියෙන ස්ථාවරභාවය නිසා බැඳීමක් ඇතුළේ ලොකු ආරක්ෂිත බවක් හැදෙනවා. හැසිරීම් එක වෙලාවකට එකක් තව වෙලාවකට තව එකක් වෙද්දී ඇති වෙන්නේ ලොකු අවුලක්.
3. ගෞරවය
ගෞරවයක් නැති තැනක තියෙන ආදරය කාලයක් යද්දී හරිම වේදනාකාරී එකක් බවට පත්වෙනවා.
ගෞරවය කියන්නේ තමන් එකඟ නොවන වෙලාවක වුණත් එයා කියන දේට ඇහුම්කන් දෙන එක. රණ්ඩු වෙන වෙලාවට අපහාස කරගන්නේ නැතුව ඉන්න එක. ඒ වගේම තමන්ගේ පාට්නර්ගෙ අදහස්, එයාගේ සීමාවන්, හීන සහ එයාගේ අනන්යතාවයට වටිනාකමක් දෙන එක.
දෙන්නා හැමදේටම එකඟ වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ.
හැබැයි තමන් හිතන විදිහට වඩා වෙනස් විදිහකට එයා හිතනවා කියලා විතරක්ම කෙනෙක්ව බාල කරලා සලකන්න හොඳ නැහැ.
සෑහෙන හොඳට ඉන්න අයත් රණ්ඩු වෙනවා, හැබැයි එයාලා රණ්ඩු කරන්නේ ප්රශ්නය එක්ක මිසක්, එකිනෙකා එක්ක නෙවෙයි.
4. අවංක සන්නිවේදනය
හිත කියවන්න පුළුවන්කම තිබුණා කියලා කවදාවත් බැඳීමක් පරිස්සම් වෙන්නෙ නැහැ.
ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ තමන් අවුලෙන් ඉන්නේ ඇයි කියලා පාට්නර්ට නිකන්ම තේරෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම තේරුණේ නැති වුණාම හිතේ තියෙන කලකිරීම තවත් වැඩි වෙනවා.
නිරෝගී සන්නිවේදනයක් කියන්නේ පැය විසිහතරෙම කියව කියව ඉන්න එකට නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ තමන්ට දැනෙන දේ ගැන අවංක වෙන එක.
කිසි ප්රශ්නයක් නැහැ කියලා හිතේ තියෙන දේ හංගනවා වෙනුවට, මට රිදුණා කියලා කෙළින් කියන්න.
තමන්ට අවශ්ය මොනවාද කියලා සහකරු හිතලා අනුමාන කරයි කියලා බලාපොරොත්තු වෙනවා වෙනුවට, ඒක එයාලට කියන්න.
අවංකව කෙළින් කතා කරන එක සමහරවිට මුලින් අපහසුතාවයක් ගෙනෙන්න පුළුවන්. හැබැයි කතා නොකර හිත අස්සේ හංගගෙන ඉන්න නොගැලපීම්, නොවැටහීම් අවුරුදු ගාණක් වුණත් පවතින්න පුළුවන්.
5. මානසික ආරක්ෂාව
ඔයාට ඔයාගේ පාට්නර් ඉස්සරහ කිසිම දෙයක් හංගන්නෙ නැතුව ඔයා විදිහටම ඉන්න පුළුවන්ද? හිනාවෙයි කියන බයක් නැතුව ඔයාගේ හිතේ තියෙන බයවල් ගැන එයාට කියන්න පුළුවන්ද? ලැජ්ජාවක් දැනෙන්නේ නැතුව එයා ඉස්සරහ අඬන්න පුළුවන්ද? තමන්ගේ අතින් වැරැද්දක් වුණොත්, එකපාරටම එයාගේ ආදරේ නැතිවෙලා යයි කියලා බයවෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද?
මේවා තමයි බැඳීමක් ඇතුළේ මානසික ආරක්ෂාවක් තියෙනවා කියන එකේ ලක්ෂණ.
මානසික ආරක්ෂාවක් තියෙන සම්බන්ධතාවල ඉන්න අය කොයි වෙලේ මොකක් වෙයිද කියන බයෙන් ජීවත් වෙන්නේ නැහැ. තමන්ගේ කටින් වැරදි වචනයක් කියවෙයි කියලා එයාලා නිතරම බයවෙවී ඉන්නේ නැහැ.
එයාලා දන්නවා අදහස් නොගැලපීමක් ආවා කියලා ඒක කවදාවත් එහෙනම් මං දාලා යනවා කියන තර්ජනයක් දක්වා දුර යන්නේ නැහැ කියලා.
අන්න ඒ වගේ ආරක්ෂිත හැඟීමක් තියෙනකොට තමයි දෙන්නටම එකට එකතු වෙලා ජීවිතේ දියුණු වෙලා ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.
6. පෞද්ගලික වර්ධනය
නිරෝගී සම්බන්ධතාවයක් කියන්නේ තමන්ගේ අනන්යතාවය, තමන් කවුද කියන එක නැති කරගන්න එක නෙවෙයි.
හොඳම සහ ශක්තිමත්ම කපල්ස් කරන්නේ දෙන්නත් එක්ක එකට ඉස්සරහට යන ගමන්ම, තනි තනි පුද්ගලයන් විදිහටත් තමන්ගේ ජීවිත දියුණු කරගන්න එක.
එයාලා එකිනෙකාගේ රස්සාවල්, විනෝදාංශ, යාළු මිත්රකම් සහ පෞද්ගලික ඉලක්කයන් පස්සේ යන්න උදව් කරනවා, දිරිගන්වනවා.
තමන්ගේ මුළු සතුටම එකම එක මනුස්සයෙක් මත විතරක් රඳාපවත්වන්න බැහැ කියන දේ එයාලා හොඳින්ම තේරුම් ගන්නවා.
දෙන්නාම තනි තනිව තමන්ගේ ජීවිතවල සාර්ථක කරගන්න ට්රයි කරද්දී, ඒකෙන් ඒ මුළු සම්බන්ධතාවයටම ලැබෙන්නේ ලොකු ශක්තියක්.
තමන්ව සම්පූර්ණ කරන්න වෙන කෙනෙක් එනකම් බලාගෙන ඉන්න අසම්පූර්ණ මිනිස්සු දෙන්නෙක්ට වඩා, තනි තනිවම තමන්ගේ ජීවිත සම්පූර්ණ කරගත්තු මිනිස්සු දෙන්නෙක් එකතු වුණාම ඒ බැඳීම හරිම ශක්තිමත්.
7. කැපවීම
ආදරය ඇතුළේ අපි ගොඩක් වෙලාවට අගය නොකරන, හැබැයි වැදගත්ම දේ තමයි කැපවීම කියන්නේ.
සම්බන්ධතා බිඳ වැටෙන්නේ මිනිස්සු එක රැයකින් ආදරේ කරන එක නතර කරන නිසා නෙවෙයි.
ගොඩක් වෙලාවට ඒක වෙන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම බැඳීම වෙනුවෙන් මහන්සි වෙන එක, උත්සාහ කරන එක නතර කරන නිසයි.
පොඩි පොඩි දේවල් හරිම වැදගත්.
හරිම මහන්සි, අමාරු දවසකට පස්සේ කොහොමද ඔයාට? කියලා හොයලා බලන එක. එයාට වැදගත් දෙයක් මතක තියාගෙන ඉන්න එක. හදවතින්ම සමාව ඉල්ලන එක. කොච්චර කාර්යබහුල වුණත් එයා වෙනුවෙන් කාලය වෙන් කරන එක. අදහස් නොගැලපීමක් වුණු වෙලාවක වුණත් රළු නොවී කරුණාවන්තව කටයුතු කරන්න තෝරාගන්න එක.
කැපවීමෙන් ඔයා ඔයාගේ සහකරුට කියන්නේ, “ඔයා තවමත් මට ගොඩක් වටිනවා” කියන එකයි.
ඉතින් අමතක කරන්න එපා ආදරේ කල් පවතින්න නම් මෙන්න මේ උඩ කිව්ව කාරණා 7ම ඒ විදියටම සිදුවෙන්න ඕන!










