නත්තසූරිය මල් වැටට මත්තෙන් මළ හිරු බැස යමින් හිඳී. මම කඳු බෑවුම ඇරඹෙන තැන වන සිමෙන්ති බංකුව මතට වී, එහිරු සිය අවසාන කිරණ පොදත් කහ පාට නත්තසූරිය මල් මත තවරනාකාරය බලා ගෙන සිටියෙමි. මේ මොහොතේ මල් පෙනෙන්නේ තැඹිලි හෝ ලා රත් පැහැයකට ය.
මළ හිරු ය කීවාට හිරු කවදාවත් මිය ගියා ද? හෝරා කිහිපයක විරාමයකින් පසු එය යළි පායා නැගී එන්නේ පෙර තේජසින් ම ය. ජීවිතයටත් එහෙම පුළුවන් නම් මොන තරම් හොඳ දැයි මට සිතුණේ නිකමට විය යුතු ය.
අත්තම්මා හා සීයා ජීවත් වන මෙම නිවස්නය, හතර වටින් ම නත්තසූරිය වැටකින් සීමා වූ විසල් භූමියක පිහිටා තිබේ. එකී බිම, අවිස්සාවේල්ල කොළඹ පාරේ, අවිස්සාවේල්ල පසු කොට මඳක් කොළඹ දෙසට වන්නට පිහිටි උස් භූමියකි. ඉන් ද වඩාත් ම උස් වූ කඳු බිම් කොටසෙහි නිවස ඉදි කොට තිබේ. ඉදිරිපස ලැටිස් ගැසූ ඉස්තොප්පුව කින් ද, ලොකු ආලින්දයක් හා ඒ දෙපස වන කාමර දෙපෙළකින් ද, කෑම කාමරයකින් හා විශාල කුස්සිය කින් ද මේ නිවස සමන්විත ය. කලකට ඉහත දරුවන් හතර දෙනෙකු දුව පැන ඇවිදි බවට සලකුණක් වත් අද වන විට මහ ගෙදර ඉතිරි වී නැතැයි මට සිතිණි.
මගේ අම්මා මේ ගෙදරින් නික්මුණේ උඩහමුල්ල ප්රදේශයේ පදිංචි කාරයෙකු වන තාත්තා සමග විවාහ වීමෙනි. ඔවුන් දෙදෙනා මුණගැසී තියෙන්නේ ඥාති නිවසක පැවති දානමය පිංකමකදී ය කියා මා අසා තිබේ. කෙසේ වෙතත් අම්මා හා තාත්තා නීතියෙන් ම වෙන් වන විට මා හතේ පන්තියේ සිටි බව මතක ය.
“මං ගයාත්මිව අරං යනව කෝසලා. උඹ ළඟ තව දුරටත් මේ කෙල්ලව තියන්න බෑ”
අද උදේ අපේ මහරගම ගෙදරට ඇවිත් අත්තම්මා අම්මා ට තදින් කීවා ය. ඈ සිටියේ කෝපයෙන් වෙව්ලමින් විය යුතු ය. එසේ නැති ව අත්තම්මා ඉන්නේ වෙව්ලන තරම් වයස්ගත ව නොවේ. නැත්නම් වයසේ තරමට ඇගේ වයස නො පෙනෙනවා විය යුතු ය. කෙසේ වෙතත් අත්තම්මා ගේ තීරණය ට අම්මා එක වර එකඟ වූවා නොවේ.
“ගයා මෙහෙ හිටපුදෙං අම්ම. අම්මට විකාරද…මං ආයෙ මැරි කළා කියල ගයාව මගෙ ජීවිතෙං ඈත් කරන්න උවමනාවක් නෑ. අනික විජිතගෙං ඩිවෝස් වුණාට පස්සෙ ත් අවුරුදු කීයක් මං ගයාව බලා ගත්තද…මං එයාට කිසි වරදක් වෙන්න තිබ්බෙ නෑ.”
“වරදක් වෙන්න වැඩියෙංම පුළුවන් එදා නෙවෙයි. අද. උඹ තව ලැජ්ජ නැතුව ඔහොම කතා කරන්න එපා කෝසලා. උඹ මේ ගේ අස්සට කොල්ලෙක් ව දා ගත්තට පස්සෙ…මේ පොඩි එකීට මෙතන ආරස්සාවක් තියෙනව කියලද හිතන්නෙ…උඹට වඩා ටිකක් හරි වැඩි කලක් ජීවත් වෙච්ච ගෑනියෙක් මං. මේ රටේ ලෝකෙ සිද්ද වෙන දේවල් ගැන උඹට වැඩිය දේවල් දන්නව මම. උඹට එහෙම අවබෝදයක් තිබුණ නං මෙහෙම ලැජ්ජ නැති වැඩක් කරන්නෙ නෑනෙ”
අම්මා ඉනික්බිති වචනයක් හෝ කතා කළා නොවේ. ඕනේ නම් අත්තම්මා එක්ක අවිස්සාවේල්ලේ මහ ගෙදර යා නො හැකි ය කියා මට ගෙදර නවතින්න ට තිබිණි. නමුත් එහෙම කිරීමට උවමනා නැත ය කියා හිතෙන විදිහේ තුනී රිදුමක් මගේ ඇතුළාන්තයෙහි එහෙ මෙහෙ වෙමින් පැවතිණ. මා හිටියේ පවුලේ ඥාතීන් හා හිතවතුන් මෙන් අම්මා ගේ අලුත් විවාහය පිළිබඳ විවේචනයක නොවේ. නමුත් අවුරුදු ගාණක් මගේ තනි භුක්තියට නතු වී සිටි අම්මා දැන් ඉතින් මට අහිමි ව යනවා ය කියන හැඟීමෙන් මිදීම පහසු වූයේ නැත.
“ගයාත්මියො”
සීයා! ඔහු මගේ ළඟට ම ඇවිත් මා ළඟින් වාඩි විය.
“අත්තම්ම අපි දෙන්නට මෙහෙටම තේ ගේන්නං කිව්ව”
“මෙතනට වටේම හරි ලස්සනට පේනව නේද සීය…”
“මේක ඉතිං අපි දෙන්න ජීවිත කාලෙ පුරා ම හෙමි හෙමිහිට හදා වඩා ගත්ත තැනනෙ කෙල්ලෙ. මේ ගහ කොළ පවා අත පත ගගා හැදුවෙ දරුවො වගේ තමා”
“මේ නත්තසූරිය වැට හැදුවෙත් සීයලමද…”
“නැතුව…ඔය කෝට්ටෙං කෝට්ට අඟලක් ගානෙ ඇන ඇන…ඔය මල් වැට හදාගන්න සුවල්ප නැහුණද…”
“ඒ මහන්සිය දැන් හැමදාම මල් වෙලා පිපෙනවනෙ සීය”
“හ්ම්”
සීයා බර හුස්මකින් දිගු අතීතයක ලොකු බරක් වහං කර ගත්තා වාගේ මට දැනිණ. අම්මා ගේ දෙවන විවාහය, අත්තම්මා ගේ ත් සීයා ගේ ත් සිත් රිදුමට හේතු වී තියේ. ඔහු ට, මගේ අලුත් බාප්පා ට බාප්පා කියන්න ද අයියා කියන්න ද කියා මටත් සිතා ගත නො හැකි ය. කතා කළ අවස්ථා කිහිපයේදී ම ඔහු නම් ‘ගයාත්මි’ කියා මා ඇමතුවේ ය. එ හැම විටක ම මම ආමන්ත්රණයකින් තොර ව ඔහු ට කතා කළෙමි. නෑකමට මගේ බාප්පා වන අසංක, අම්මා ට වඩා වසර පහළොව කට බාල බව මුලින් ම දැන ගත්තේ කවුද හෝ ඒ කොහොමද හෝ කියා මම නොදනිමි. නමුත් ඒ ආරංචිය ලැව් ගින්නක් වගේ පැතිර ගියේ ඔවුන් විවාහ වන්නට ඔන්න මෙන්න ව තිබියදී ය. අත්තම්මා දුම්මල වරම අතට ගෙන දුරකතන ඇමතුමක් ගෙන රණ්ඩු වූවාට ඇයට තබා කිසිවෙකුටවත් අම්මා ගේ තීරණය වෙනස් කළ හැකි වූවා නොවේ.
“මේ මං තේ පෝච්චිය පිටිං ගෙනාව නිවෙන නිසා. ශාන්ති ඔය කෝප්ප ටිකයි විස්කෝතු ටින් එකයි ඔහෙන් තියල පලයංකො”
අත්තම්මා ගේ නියෝගයෙන් ශාන්ති, එනම් අත්තම්මා ගේඅත් උදව් කාරිය බන්දේසිය අපට සම්මුඛ අනිත් සිමෙන්ති බංකුව මත තබා යන්නට ගියා ය.
“ඔහොම හිටියට ඕකුං හොයන්නෙම ඕපදූප. දැං ඔය ඉව කර කර ඉන්නෙ ගයාත්මි මෙහෙ නවතින්න ආවෙ මොකද කියල…ගම වටේ කිය කිය යන්න”
මම ටින් එකෙන් බිස්කට් දෙකක් ඇඟිලි තුඩට ගතිමි. අම්මා අසංක සමගින් විවාපත් වීම ගැන ප්රශ්නයක් මට නැත. නමුත් අත්තම්මා හා සීයා ටත් වඩා මගේ පෙම්වතා වන කුසල් ට එය ලැජ්ජාවක් වීම මට දරන්න ම බැරි දෙයයි.
“මොන විලි ලැජ්ජනැති කමක්ද හලෝ. අපි කොහොම ද රටට ලෝකෙට මූණ දෙන්නෙ…කොටිංම මං මොනාද මගෙ ගෙදර මිනිස්සුන්ට කියන්නෙ…”
ඔහු මා ප්රශ්න කළේ මා වරදක් කළා මෙනි.
“තමුසෙගෙ වයසෙ දුවෙක් ඉන්න අම්ම කෙනෙක් කරන වැඩක් ද ඒ ගෑනි කරල තියෙන්නෙ…”
“කුසල් මේ…ඔයා මට ඕන දෙයක් කියන්න. හැබැයි මගෙ අම්මට මොනාත් කියන්න අයිතියක් ඔයාට නෑ”
අම්මා ට සිය පෞද්ගලික ජීවිතය පිළිබඳව තීන්දු තීරණ ගන්නට ඇති අයිතියට ගරු කළ යුතු ය කියා මම සිතුවෙමි. ඇයටත් ජීවිතයක් තියේ.තමන් කැමති කෙනෙක් එක්ක ජීවිතය බෙදා හදා ගැනීමේ අයිතිය ඇයටත් තියේ. අම්මා හා දික්කසාද වී තෙමසක් ගත වෙන්නටත් පෙර තාත්තා යළි විවාහ වෙත්දී මුණිවත රැකි ලෝකය අද මෙහෙම හැසිරෙන්නේ අම්මා ගැහැනියක හින්දා ද?
“ගයා…තේ එක සීතල වෙනවනෙ පුතේ. බීල හිටින්න. දැං ඉතිං ඕව ගැන කල්පනා කරල ඇති වැඩක් නෑ”
අත්තම්මා කීවා ය. මම මඳ සිනහවකින් තේ කෝප්පය අතට ගතිමි. අත්තම්මා හිතනවා ඇත්තේ අම්මා ගත් තීරණය ගැන මාත් ලැජ්ජාවෙන් හා වේදනාවෙන් පසු වෙනවා කියා ය. නමුත් ඊට වඩා මා වේදනාවට පත් ව හිඳින්නේ කුසල් පිළිබඳව ය. ආදරය විෂයේ මා විසින් මවා ගෙන සිටින ලද ප්රති රූ සහ පරමාදර්ශයන් බිඳී විසිරී ගිහින් වාගේ මට දැනෙන්නේ ඇයි?
“ෂා…හොඳ වෙලාවට මං ඇවිත් තියෙන්නෙ”
පිටුපසින් පිරිමි කට හඬක් ඇහුණේ ය. මට සම්මුඛ බංකුවේ හිඳ උන් අත්තම්මා හිනා කටකින් ඒ හඬෙහි අයිතිකාරයාට ප්රතිචාර දැක්වූයේ ය. සීයා ද පිටුපස හැරෙනු මා බලා ගෙන ය.
“එන්න එන්න පුතා. ආෆ්ට අ ලෝං ටයිම් නෝ…”
“ඔව් සීයා. ගෙයි වැඩ නැවතුණානෙ. ආයෙ පටං ගන්න කියලයි මං මේ බලල යන්න ආවෙ”
“එන්න එන්න පුතා ඉඳගන්න”
අත්තම්මා බන්දේසිය බංකුව කොනට කරමින් මා තවමත් නො දුටු ආගන්තුකයාට ඉඩ හසර පාදා දුන්නා ය. ඔහු ඇවිත් බංකුවෙහි හිඳ ගනිත්දී ම මා තේ උගුරක් බිව්වෙන්, මා ඔහු ව දුටුවේ තවත් තත්පර කිහිපයකට පස්සේ ය. කිසිදු ආගන්තුක බවකින් තොර ව යෞවනයා හිනැහුණේ ය. මම යන්තම් තොල් කොනක් විතරක් සොලවා ගතිමි.
“පුතාටත් තේ එකක් බොන්න තිබුණ. කෝප්පයක් නෑනෙ. කෝ මේ ශාන්ති…”
අත්තම්මා වට පිට බලත්දී මම බංකුවෙන් නැගිට ගතිමි.
“මං ශාන්තිට කියන්නං අත්තම්ම කෝප්පයක් ගේන්න කියල”
“අනේ කියන්න ගයාත්මි. පැද්දි පැද්දි ඉන්නැතුව ඉක්මනට එන්න කියන්න”
එක මොහොතකට මගේ ඇස් ඔහු දෙස බැලුවේ ය. ඔහු දීප්තිමත් දෑසකින් හිනැහුණේ ය. මම සිනහ වෙන්නට පමා නො වුණෙමි.
-ගංගා ෂයිනි ගමගේ-
ඊළඟ කොටස අඟහරුවාදා බලාපොරොත්තු වෙන්න.