කාලයකට වතාවක් ගීතයක් කරන අභිෂේකා මෙවර නිහැඬියාව බිඳින්නේ “නේත්‍රා” හරහා. ඒ වගේ සංවේදී ගීතයක් කරන්නේ හිතුවේ ඇයි?
නේත්‍රා නිර්මාණය වීම හරිම අහම්බයක්. දවසක් ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩ සටහනට සහබාගී වෙන ගෙස්ට් ආටිස්ට් නව පරපුරේ කවියෝ ගැන සඳහන් කරනකොට ජනිත් විතාරනගේ ගේ කවියක් උපුටා ගන්නවා. ඒ “ගල් වලේ වැඩ කරන අම්මා” කවිය. ඒ කවිය මට දරුණුවටම දැනෙන නිසා ජනිත් එක්ක එකතු වෙලා ඒ කවිය ගීතයක් කරන්න මට හිතෙනවා. කවියක් ගීතයක් බවට පත් කිරීමේ අභියෝගයත් එක්ක අපි මේ ගීතය නිර්මාණය කරනවා. ඒත් හැමෝම කියපු දෙයක් තමයි “මේ ගීතයෙන් කියැවෙන්නේ අම්මා මැරුණු එක ගැන. අන්න ඒ නිසා මේක කවුරුත් අහන එකක් නෑ කියලා.”මම ඒක දැනගෙන හිටියත් මේ ගීතයෙන් දෙන පණිවිඩය මට දෙන්න ඕනෑ වුණා. මේ වගේ සින්දුවක් නොකළොත් ආයේ හැදෙන් නෑ කියන එක මම දැනගෙන හිටියා.
ඒ අභියෝග එක්ක කරපු නේත්‍රා සාර්ථක ගීතයක් වුණාද?
මේ ගීතය අහපු හැමෝම කිව්වා මේකෙ වටිනාකම තියෙන්නේ තව අවුරුදු ගාණකින් කියලා. පවතින ගීතයක් කිරීම ගැන සතුටුයි. නමුත් ලොකුම සතුට ගීතයට වැටුණු හැම යූ ටියුබ් කමෙන්ට් එකකම තිබුණේ “මං මේ සින්දුව අහලා අම්මට කෝල් කරා කියන එක” ඒක තමයි මම ලබපු ලොකුම සතුට.
අභිෂේකා ඉතාම තරුණ වයසෙදී මවක් වුණු කෙනෙක්. දියණියකගේ අම්මා කෙනෙක් විදියට ස්මාර්ට් අම්මා කෙනෙක් වෙන්න ඔයාට පුලුවන් වුණාද?
මගේ දුව ෆෙයාරි අවුරුදු තුනක්ම මගෙන් මව්කිරි බිව්ව දරුවෙක්. අවුරුදු තුනක්ම මම එයාටම මගේ සම්පූර්ණ කාලය කැප කළා. ඊට පස්සේ මම මගේ “අභී” සැලෝන් එක පටන් ගන්නවා. ඒ නිසා මම ඉතා හොඳ උපයන්නියක් බවට පත් වෙනවා..මේ වෙනකොට දූගේ පාසල ගාවම ගෙයක් පවා මිලදී ගන්න පුලුවන් වෙන තරමට මම ඉපයීම් කළා. ඒත් මට ටිකක් කල් යනකොට තේරෙනවා මට මොකක් හරි මඟ ඇරෙනවා කියලා. අපි පවුල වෙනුවෙන් දරුවා වෙනුවෙන් යම් කාලයක් තියා ගන්න ඕනෑ.
ආයෙම ඒ කාලය හොයා ගත්තේ කොහොමද?
අපි සාමාන්‍යයෙන් ආදරෙන් මතක් කරනවා බබා මුලින්ම හිනා වුණු දවස, අම්මා කියපු දවස, ඇවිදපු දවස ගැන. මුල්ම දේවල් ඉවර වුණු ගමන් අපි බබාලව කාටහරි දාලා ආයෙත් වැඩ පටන් ගන්නවා. නෑ.. ඒත් දරුවන්ගේ වැඩීම ඉවර වෙන්නේ නෑ.එයාලා ඉස්කෝලේ යන්න පටන් ගන්නවා.අපිත් නොදන්න අලුත් වචන ඉගෙන ගන්නවා.ඒවා කියනවා. දත් වැටෙනවා..මට මේ දේවල් අවුරුද්දක් විතර මඟ ඇරුණා. දැන් මම හවස් වෙන්න කලින් ගෙදර එනවා.බබාව ඉස්කෝලේ ඇරුණම ගන්න යනවා. ඒ අතරේ සල්ලිත් හොයනවා.
අම්මා කෙනෙක් රැකියාවක් කිරීම සහ මුදල් ඉපයීමේ වටිනාකම ඔබ දකින්නේ කොහොමද?
ඇත්තටම ඒ වටිනාකම දැනෙන්නේ දරුවා එක එක දේවල් ඉල්ලනකොට. අපි ගාව සල්ලි නැති වුණාම හදවත කඩාගෙන වැටෙනවා. මගේ අම්මටයි තාත්තටයි ඒ අත්දැකීම තිබ්බා. මම බාබිඩෝල් කෙනෙක් ඉල්ලනකොට මට සෝමසිරි බෝනික්කෙක් දීලා හිත හදා ගන්න එයාලට සිද්ධ වුණා. ඒත් මම ඊට වඩා ඉස්සරහට ආව අම්මා කෙනෙක්. මගේ දූ ඉල්ලන දේ දෙන්න පුලුවන් තරමට මම සාර්ථකව මුදල් උපයනවා. ඒ වගේම මගේ දරුවට අමතරව මං තවත් දරුවෝ කිහිප දෙනෙකුට උදව් කරනවා සහ අධ්‍යාපනය ලබන දරුවෝ කිහිප දෙනෙක්ට මුදල් වෙන් කරනවා.
මගේ දූගේ බර්ත්ඩේ එක මම ටිකක් ලස්සනට ගන්නවා.එතකොට මට සමහරු කියනවා ඒ මුදල් දුප්පත් අයට දුන්නා නම් හොඳ නැද්ද කියලා. ඒත් මම ආස නෑ ළමා නිවාසයකට ගිහින් මගේ බබාගේ කේක් එක කපලා ඒ දරුවන්ගේ හිතේ දුකක් ඇති කරන්න,මම දුවගේ යාලුවො එක්ක දූගේ බර්ත්ඩේ පාටි එක අරන් අර දරුවෝ ආස දේවල් එයාලට ගිහින් දෙනවා. කැන්සර් හොස්පිටල් ගිහින් සින්දු කියලා යූ ටියුබ් දාන්න මම ආස නැහැ. මම ආස නෑ දෙන දේවල් ෆොටෝස් ගහලා ෆේස්බුක් දාන්න. මං උදව් අවශ්‍ය දරුවන්ට උදව් කරනවා. ඒ වගේම මගේ දුවව වර්තමාන මොහොත තුළ සතුටින් තියනවා.අපි අනිත් අයට දෙනවා වගේම තමන්ගේ අයටත් දෙන්න ඕන. ඒ හැමදේකටම හොඳ ඉපයීමක් තමන් ළඟ තියෙන්න ඕන.
ගැහැණු ළමයෙක් ඉගෙන ගන්න එක සහ රැකියාවක් කරන එක අනිවාර්යය දෙයක් ද? කොහොමද තමන්ගේ පාර හොයා ගන්නේ?
ඉගෙනීම කියන්නේ සාපේක්ෂ දෙයක්. ගැහැණු ළමයෙක් ඉගෙන ගන්නම ඕනෑ කියලා එකක් මම දකින්නේ නෑ.ඒක එයාගේ කැමැත්ත.
මගේ ඉගෙනීම ගැන කිව්වොත් මගේ පළමු උපාධිය ආර්ථික විද්‍යාව සහ ජාත්‍යන්තර සම්බන්ධතා. ඒවා ඉගෙන ගන්නේ කැමැත්ත නිසා. ඊළඟ ශාස්ත්‍රපති උපාධිය සහ විශාරද විභාග සංගීතයෙන් හදාරන්නේ කැමැත්ත නිසා.ඒත් මම ආර්ථික විද්‍යා උපාධියෙන් හෝ සංගීතයෙන් සත පහක් හොයලා නෑ. නමුත් මගේ රැකියාව රූපලාවණ්‍ය ක්ෂේත්රයේ. ඒ ආශ්‍රිතව මං හදාරපු විභාග ඕනෑම ගැහැණු ළමයෙක්ට හදාරන්න පුලුවන් ඒවා. නමුත් මේ රැකියාව තුළ මම සාර්ථක වෙන්න හේතුව මගේ ප්‍රැක්ටිකල් නොලේජ් එක. මම මේ ක්ෂේත්රය සම්බන්ධයෙන් නිරතුරුව අප්ඩේට් වෙනවා. අලුත් දේවල් කරනවා. ලෝකේ අලුත් දේවල් ගැන හොයා බලනවා. තමන් කරන වෘත්තියේ දිගින් දිගටම නිරත වීම තුළින් අපිට තමන්ගේම කියලා පාරක් හොයා ගන්න. ඒ ක්ෂේත්රයේ විශේෂ කෙනෙක් වෙන්න පහසුයි. මං ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරමින් ඉන්නවා. අවසන් විභාග තියෙන්නේ ලබන මාසේ. ඒ හැදෑරීම් කරන්නෙත් රූපලාවණ්‍ය ක්ෂේත්රයට ඒවා අවශ්‍ය නිසා. චර්ම රෝග සම්බන්ධයෙන් දැන ගැනීම මගේ වෘත්තීයට ඉතා වැදගත් නිසා.
අපිට පොතේ දැනුම අවශ්‍යයි සමාජයේ පිළිගැනීමක් ගන්න. ඒත් ප්‍රායෝගික දැනුම ජීවිතේ ඉස්සරහට යන්න හරි වැදගත්. අන්න ඒ නිසා තමයි උපාධිධාරීන් පාරේ උද්ඝෝෂණ කරනකොට විභාග ෆේල් මිනිස්සු ජීවිතේ දිනන්නේ.
නමුත් උත්සාහය, කැපකිරීම,ප්‍රායෝගික බුද්ධිය, නිතරම අලුත් දේවල් සෙවීම තුළින් තමන්ගේ වෘත්තිය තුළ ඉහළටම යාම හැම ගෑනු ළමයෙක්ටම කරන්න පුලුවන් දෙයක්. සහ කරන්න ඕන දෙයක්.
අද වෙනකොට ලංකාවේ වගේම ලෝකයේ ළමා අපචාර සීඝ්රයෙන් ඉහළ යනවා.දුවෙක් ඉන්න අම්මා කෙනෙක් හැටියට මෙය ඔබට දැනෙන්නේ කොහොමද?
මගේ ජීවිත කාලෙම නාහපු තරම් අසීරු කතා මේ අවුරුද්දේ ඇහෙන්න පටන් අරන්.
දැන් මිනිස්සුන්ගේ ආකල්ප අන්තිම පහත් අඩියක තියෙන්නේ.සමාජ මාධ්‍ය ජාලා වල කමෙන්ට්ස් 90% පෙන්වන්නේ විකෘති වුණු හිත්වල ඇත්ත ස්වභාවය. කාටහරි අපහාස කරන්න, අසභ්‍ය කතා කියන්න දෙපාරක් හිතන්නේ නෑ. මේ දේවල් වෙනස් වෙන දවසක් හිතා ගන්න බෑ. නිර්මාණයක් කරන්න කලින් ඒකට මොන අසභ්‍ය කතාවක් ප්‍රචාරය වෙයිද අපිට හිතන්න වෙලා. සමාජ මාධ්‍ය ජාලා එක්ක මිනිස්සු තිරිසන් වෙලා හැසිරෙනකොට ලංකාවට සමාජ ජාලා නීති සහ වාරණ අවශ්‍ය බව හිතෙනවා. මේ ලෝකේ යන විදිය එක්ක දරුවෝ ඇස් දෙක වගේ නෙවේ ඊටත් වඩා පරිස්සම් කරනවා මිසක් විසඳුමක් නෑ. දුවෙක් නෙවෙයි පුතෙක් වුණත් බොහොම පරිස්සමින් බලාගන්න ඕනෑ කාලයක් මේ.
අභිෂේකා කියන්නේ මීට කාලෙකට කලින් ළමා පරපුර අතර ජනප්‍රිය ළමා තරුවක්. අද ළමා තරු සහ එදා ළමා තරු අතර වෙනසක් පේනවද?
වෙනස් වෙලා තියෙන්නේ තාක්ෂණය සහ මාධ්‍ය භාවිතාව. දරුවන් සහ දක්ෂතා එදා සහ අද කියලා වෙනසක් නෑ.
තරුණ බිරිඳක් හැටියට ඔබ කොහොම බිරිඳක්ද?
මම ඇත්තටම රණ්ඩු වෙන, ඒත් දවස අවසන් වෙන්න කලින් යාලු වෙන බිරිඳක්. මගේ දුවට අම්මා තාත්තා දෙන්නාම ඕනෑ බව දන්න නිසා පවුල රැක ගැනීම සම්බන්ධයෙන් මම ප්‍රවේසම් වෙනවා. ඒ වගේම ජීවිතේ පුරා මොනතරම් අය මුණ ගැහුණත් තමන්ගේ මහත්තයා තමයි ජීවිතේ අන්තිම මොහොත දක්වා අවංකව අපි එක්ක ඉතිරි වෙන්නේ. ඉතින් ආදර්ශමත් අම්මා කෙනෙක් වෙන අතරෙම මට හොඳ බිරිඳක් වෙන්න පුලුවන් වෙලා තියනවා කියලා මම හිතනවා.
ස්මාර්ට් ව්‍යවසායිකාවක්,ගායිකාවක්, අම්මා කෙනෙක්,බිරිඳක් සහ දියණියක් වෙන අභිශේකාගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න ස්මාර්ට්ලේඩි අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.