කාර්යක්ෂම ලස්සන මුළුතැන් ගෙයකට Chef චතුරිකාගෙන් මඟ පෙන්වීමක්

මුළුතැන්ගෙයක් නිසිපරිදි කළමනාකරණය කරගන්නවා කියන එක ලෙහෙසි පහසු කාරනාවක් නෙමෙයි. ඔබ අතිශයින් කාර්යබහුල කෙනෙක් නම් ඔබේ සියලු වැඩ කටයුතු එක මොහොතකින් අවුල් කරදමන්නට මුළුතැන්ගෙයි කටයුතු වලට හැකියාව තියෙනවා. ඉතින් දක්ෂ කාර්යක්ෂම ගෘහනියක ලෙස ඔබේ භුමිකාවේ එක් කටයුත්තක් සාර්ථකව නිමකර ගැනිමට උපකාර කිරීමයි අපේ මේ ලිපියේ අරමුණ. පෙර ලිපියේ සේම මේ පුංචි Tips ඔබට මනා පිටිවහලක් වේවි.

තෙල් නැති බැදුම්

ඔම්ලට් එකක් හරි සොසේජස් එකක් හරි බදින්න තෙල් ඕනෑමයි කියලයි අපි හිතන්නේ. නොන්ස්ටික් පෑන් එකකට නම් තෙල් ඕනෑ නෑ. නමුත් නොන්ස්ටික් පෑන් එකක් නැතුවත් තෙල් නැතිව බැදගන්න පුළුවන්. පෑන් එක රත් කර ලුණු කුඩු ටිකක් එකට දමන්න. ලුණු කුඩු ටික පෑන් එක පුරා විසිරිය යුතුයි. ටික වෙලාවක් බැදෙන්නට හැර ටිෂූ එකක ආධාරයෙන් ලුණු කුඩු ටික ඉවත් කරන්න. පසුව ඔම්ලටය හෝ සොසේජස් පෑන් එකට දමා බැදගන්න.

මස් මාළු මෙන්න මෙහෙම ගබඩා කරමු

බොහෝ අය මස් මාලු සතියටම සෑහෙන්න එකවර මිළදී ගන්නවා. පහුවෙනිදාට අවශ්‍ය කොටස සින්ක් එකට දාලා අයිස් යවලා කපගනිද්දී, ඒවා කාමර උෂ්ණත්වයට ඇවිත් විවිධ බැක්ටීරියා ආසාදනයන්ට ලක් වෙනවා. ඉතින් ගෙනාපු ගමන් හරි, වෙළඳ සලේදී හරි සතියට අවශ්‍ය ප්‍රමාණය තීරණය කරලා කපාගෙන ආවානම් හරි. සුරක්ෂිතව අපිට ආහාරයට ගන්න පුලුවන්.

හෙට උයන දේ අද සැලසුම් කරමු

හෙට මොනාද උයන්නේ කියලා අද සැලසුම් කරාම හැමදෙයකටම පහසුයි. විශේෂයෙන්ම මස් මාලු වගේ දේවල් වලට. හෙට ඉවීමට ගන්න මස් හෝ මාලු ටික අධික ශිත කොටසෙන් අරගෙන රෑට ශීතකරණයේ සාමාන්‍ය ශිත ප්‍රදේශයේ ගබඩා කර තියන්න. උදේට අයිස් කඩ කඩ දඟලන්න ඕනා නැහැ. හරිම පහසුයි.

ළුණු කලින් පොතු ඇරියොත්

සාමාන්‍යයෙන් කොච්චර වැඩ තිබුනත් අපි සුදු ළුණු, කලින් පොතු අරින්නේ නැහැ. ඒ නරක් වේවි කියලා හිතන නිසා. ඉතින් උදේට කඳුළු පෙරාගෙන කරන මේ වැඩේට ගොඩාක් ඇය අකමැතියි. විවේක වෙලාවකට ලුණු ටිකත් අරගෙන කොහේ හරි තැනක වාඩිවෙලා හෙමිහිට පොතු ඇරගන්න. දැන් විනාකිරි කලවම් කරලා, වීදුරු භාජනයක අසුරලා තිබ්බොත් ඔබට අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න පුළුවන්. ඉඟුරුත් මේ විදියටම කල්තියාගන්න පුළුවන්.

පොල් ගාලම ඉවරයක් නැහැ

පොල් ගාන්නත් අපේ සමහර ගෘහණියෝ ටිකක් කම්මැලියි. සතියටම හෝ දවස් කීපයකට සෑහෙන්න පොල් ගලා අධි ශීතකරණයේ තැන්පත් කරන්න. එදිනෙදා ගත යුතු කොටස් වෙනවෙනම තියන්න. අවශ්‍ය වෙලාවට පිටතට අරගෙන උණුවතුර දමා බ්ලෙන්ඩර් කරගන්න.

ඉතින් මේ පුංචි ටිප්ස් ඔබේ එදිනෙදා ජිවිතයට අත්වැලක් වේවි කියලා අප හිතනවා. වෙනදා තරම් කලබලයකින් කරදරයකින් තොරව රසට ඉවුම් පිහුම් කරන ඔබේ රහස දැනගන්න අනිත් අයටත් ඕනෑ වේවි. එහෙම නේද ?

Related Articles

Don't Miss


Latest Articles