සැඳෑ අහස පුරා වර්ණවත් පැහැ ඇඳෙමින් තිබිණ. හවස් යාමයේ අහස මගේ ප්‍රියතම දසුන යැයි පැවසීම මුසාවක් නොවේ.හැන්දෑ අහසට මොනතරම් පැහැ තිබුණ ද මා ප්‍රිය කරේ ඒ හැම පාටම “හැන්දෑවේ පාට” ලෙස නම් කරන්නට ය. හැන්දෑවේ පාට දවසේ ලස්සන ම පාට වන්නට මට හේතු නොතිබුණා ම නොවේ.එහෙත් තෙමසක ට කලින් දවසක ලෝකයේ ලස්සන දෙස නැවත ආසාවෙන් බැලිය නොහැකි දවසක් මගේ ජීවිතය ට පැමිණියේ ය.
තාත්තා එළවළු බිස්නස් කරන්නට පාපැදියක එළවළු කූඩය බැඳගෙන ගියේ නංගීත් මාත් කුඩාවුන් කාලයේ ය.ශිෂ්‍යත්වය සමත් වී මා නගරයේ බාලිකාවට යන කාලයේ තාත්තා මෝටර් සයිකලයෙන් එළවළු විකිණීම ඇරඹුවේ ය.ඔහු කුඩා ලොරි රථයක් මිලට ගත් දවසේ අපට තිබූ සතුට ඉමහත් ය. දියුණුවීම ඇරඹියේ එතැනින් ය. තාත්තා එලවලු ව්‍යාපාරිකයෙක් ලෙස සාර්ථක විය. අප දුප්පත් යැයි සිතන්නට ඉඩ නොතබා ඔහුගේ ගොවිපොළවල එළවළු එක යායට හිනැහෙමින් සිටි අතර කුඩා ලොරි රථය තවත් වාහන කිහිපයක් දක්වා වර්ධනය වීම ඇරඹී ය.
ඉතින් අප ජීවත් වූයේ සතුටිනි.
මාස තුනකට පෙර එදවස නාවා නම් අප තවමත් සතුටිනි.
තාත්තා රිය අනතුරකට පත් වූ ආරංචිය ආවේ අපේ කුඩා ලෝකය දෙදරවා දමමිනි. රෝහලට යැවුණු තාත්තා සීතල හැන්දෑ වරුවක ගෙදර ආවේ මාමලාගේ කර මතිනි. සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ එදා සිට ය.
“ලොකු දූ… අපි යන්න කියලා..”
පොඩි මාමා පැමිණෙන තුරුම මම හිටියේ කාලයේ සක්මන් කරමිනි. කල්පනා කරන්නට අප්‍රමාණ දේ ඇති විසි එක් හැවිරිදි ගැහැණු ළමයෙකුට ඔහු ළඟට එනතුරු ම දැනුණේ නැත.
“ටික දවසකට ගෙවල් දොරවල් වහලා අපි එක්ක ගමේ යමු ලොකු පුතේ. මාස තුන ඉවර නිසා දැන් ගේ වහන්න පුලුවන්නේ..”
පොඩි නැන්දා සතුව යෝජනාවක් ඇත. ඇය කොහොමටත් අම්මාට නෑනා කෙනෙකු නොව සහෝදරියකි. ඉතින් ඇය අප ගැන මාමාට වඩා සිතන බව මට සැකයක් නැත.
නමුත් තාත්තාගේ සුවඳ ඉතිරි අපේ ගෙදර අතැර යන්නට අම්මා කීයටවත් මනාප වන්නේ නැත. නංගී ද එහෙම ය. මට එයට එකඟ වන්නට කොහොමටත් බැරි එනිසා ය.
“ගෑනු දරුවෝ දෙන්නෙක් එක්ක අක්කාව දාලා යන්න නම් හිතක් නෑ තමා. පහුගිය මාස තුනේම කවුරු කවුරු හරි හිටියානෙ”
මාමා තවම තාවර වෙයි. නමුත් ගෙදර කෙනෙකුගේ මරණයකින් තෙමසකට පසු තනිව ජීවත් වීමේ දහමට හුරු වන්නට නිවැසියන් ට සිදු වන බව මම දනිමි. එය දරා ගැනීම දැන් මගේ රාජකාරියකි.
“ඔය දූලා අද යන්නේ නැද්ද?”
නැන්දා ගමන්මලු හදමින් යන්නට සූදානම් වන අතර එසේ ඇසුවේ පිඟන් තොගයක් ඔසවාගෙන ගේ මැදින් යන ඊෂාගෙනි. තෙමස් දානයේ වැඩ අහවර වුව ද තවම අස්පස් කරන වැඩ එමට ය.අත අත නෑර රැඳෙන මිතුරන් පිරිසක් හිමි වීම භාග්‍යයකි. ජීවිතය මොනවා ලබා නොදුන්න ද මිතුරන් සම්බන්ධයෙන් මට වැඩිපුර සලකා ඇති බව මට විශ්වාස ය.මේ මාස තුන දරා ගැනීම වඩා පහසු කළේ ඔවුන් ය.
“මම තව දවසක් දෙකක් ඉන්නව ආන්ටි.”
ඊෂා කියන්නේ සැහැල්ලුවෙනි. ෆේස්බුක් මත “sister from another mother” යැයි ලියා ඉවත බලා ගැනීම වෙනුවට ඇය ඒ වාක්‍යය ඇත්තක් කිරීම සතුටකි. මේ අසීරු මොහොතේ පවා සතුටකි.
සියල්ලන් ම නික්ම ගිය පසු මම මිදුලේ අඹ ගස යටට ආවෙමි. ඊෂා ද අනූ ද මල්ෂි ද තොරතෝංචියක් නැති කියවිල්ලේ ය. අනූටත් මල්ෂිටත් පයින් ඇවිද යන දුර ඇති නිවෙස් වෙත යන්නට හදිසියක් නැත.වෙනත් නගරයක වෙසෙන ඊෂා දැන්ම මා අතැර නොයන බව සහතික ය. මගේ දෑස් නැවතුණේ කෙල්ලන්ගේ කචකචය නෑහෙන ලීලාවෙන් ජංගමයේ ඇස අලවා ගත් මලිඳු මත ය.
“ගෙදර යන් නැද්ද ඔයා..”
මලිඳු දිලිසෙන සිනාවකින් බිඳක් පා කර එව්වේ ය.
“නෑ.. අම්මා කිව්ව රෑ වෙලා එන්න කියලා..අනූලා එක්කගෙනම යනවා.”
ඔහු යලිත් දුරකථනයේ ය. ඔහු ඔතරම් චැට් කරන කෙල්ලන් කවුදැයි අසන්නට දුරකථනය උදුරා ගන්නට තරම් සිත් වේ. එහෙත් එහෙම කරන්නට මා කවුද?
බොහෝ වෙලා කියවමින් සිටි අනූත් මල්ෂිත් සමඟ මලිඳු යන්නට පිටත් වූයේ රෑ අටත් පසු වී ය.
“පරිස්සමින් හිටපං පිනී.. මොනවම හරි අවුලක් නම් කෝල් එකක් දීපං. ටක් ගාලා එන්නම්”
ඒ කතාව ලස්සන “පිනී.. පරිස්සමින් ඉන්න” කීවා නම් නොවේදැයි මම සිතන්නට ගතිමි. ඒ හැඟීම තේරුම් ගත්තා සේ ඊෂා හීන් සීරුවේ මගේ අතකින් අල්ලා ගත්තා ය.
“මලිඳු හොඳ කොල්ලා.හැබැයි හරි ගොං..”
ඇගේ කතාව මට සිනා එන තරමේ එකකි. “ගොං මලිඳු..” ඒ නම ද නරක නැත.
“ගොනෙක් නෙවේ හරි ද..”
මම කළුවර ට ඇස අලවාගෙන කියන්නෙමි. කළුවරට ඇස් හංගා ගත් විට ඊෂාට ඇත්ත සැඟවීම පහසු ය.
“පිනී… “
ඊෂාගේ හඬ අඳුර මැද මතුව එයි.
“ඇත්තටම ඔයාට මායි මලිඳුයි දෙන්නම එක වගේද දැනෙන්නේ ?”
එය ඉතා අසීරු ප්‍රශ්නයකි. මලිඳු හොඳ යාලුවෙකු බව කියා සිත රවටා ගැනීම කොහොමටත් පහසු නැත. කුඩා කාලයේ පටන් එකම පන්තියක ඉගෙන ගත් අප හොඳ යාලුවන් ලෙස බොහෝ කාලයක් එකම ගමක ජීවත් වී ඇති බව සැබෑවකි. මලිඳුට ඇත්තේ විදුලි කොටන ඇස් දෙකක් බව තේරෙන්නට පටන් ගනිද්දී මම දහයේ පන්තියේ කෙල්ලක් මි. එදා සිටම ඒ ඇස් විදුලි කොටන ඇස් දෙකක් බව දනිමි. නමුත් ඔහු නොසෙල්වෙන අහසකි.
“ඔව්.. මේ ප්‍රශ්න දවස්වල මාව අත් අරින් නැතුව හිටියේ ඔයාලා දෙන්නා.. ඉතින් ඔයාලා නැත්තං මං සෑහෙන්න වැටිලා..”
ඊෂා එය පිළි ගන්නේ නැති බව දනිමි. ක්‍රෂ් කෝටියක් ගැන මා සමඟ දොඩවන ඇයට මලිඳු මගේ ක්‍රෂ් එක බව කියන්නට මට කවමදාවත් සිතක් ඇති වී නැත. ඒකපාර්ශ්වික ප්‍රේමයක් සහ ක්‍රෂ් එකක් සමාන කළ හැකි ද?
නැත.
කිසිසේත් ම නැත.
මගේ හැඟීම් දැනෙද්දී පවා එය නොදන්නා ගාණට සිටින මලිඳු වැන්නෙකු ඒක පාර්ශවීය ප්‍රේමයක් වීම කොහොමටත් පහසු හැඟීමක් නොවේ.
නමුත් මට ඒ හැඟීම නැතිව ජීවත් විම ද අපහසු බව ඇත්ත කතාව ය.
“මෙතනින් එහාට ඔයාලා මොනවද කරන්නේ පිනී..”
ඊෂාගේ පැනය මා යලිත් පොළොවට ඇද දැමී ය. තාත්තා සාමාන්‍ය ව්‍යාපාරිකයෙකි. ඔහු මහා මුදලක් ඉතිරි කර නැත. ඉතිරි කරගත් මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය හදාරන්නට මට දෙන්නට ඔහුට සිදු විය. ඉතින් දැන් අපට මහා ඉතුරුමක් නැත. තාත්තාගේ එළවළු වගා බිම් පසුගිය කාලයේ අත් හැරී ගොස් අවසන් ය. අම්මාගේ කුඩා වෙළඳසැල මහා මුදලක් උපයන්නේ නැත. ගමේ මිනිසුන්ට ණයට බඩු ගන්නට දෙන අම්මා ඒ වෙළඳ සැල මහා ලාබ ඇති ව කරන්නට සමත් වී නැත.
ඉතින් මෙතැනින් එහා අප ඇත්තටම කරන්නේ කුමක්දැයි මේ නිවසේ වැඩිමහල් දියණිය ලෙස සිතිය යුත්තේ මා බව සැබැවි.
නමුත් මගේ හිතට කිසිවක් කල්පනා වන්නේ නැත.
අන්ධකාර රාත්‍රී අහස පුරා තාරකා දැල් වේ. සිය දහස් තරු අතර දිලිසෙන ම තාරකාව තාත්තා විය නොහැකි ද. කදුළු පටලයකින් දෑස් වැසී යද්දී තාත්තා සමඟ තරු ගණින කුඩා දැරියන් දෙදෙනෙකු මා ඉදිරිපිට මැවෙන්නා බඳු ය. ඒ ආදරය මා හැර ගොස් නැත. කෙටි කාලයකින් එතරම් දිගු ගමනක් ආ තාත්තෙකුගේ වැඩිමහල් දියණියට පැරදීම බාර ගන්නට නොහැක.
එළවළු ව්‍යාපාර ගැන මා දන්නා දෙයක් නැත. ඒවා ගැන තාත්තාගෙන් ඉගෙන ගන්නට තිබුණා නොවේදැයි මට සිතේ. නමුත් තාත්තා ඔතරම් ඉක්මනින් යන්නට යන බව අප සිතුවේ නැත. ඉතින් ඔහු ඒවා මට කියා දුන්නේවත් මම ඒවා ඉගෙන ගත්තේවත් නැත.
පවුලේ වැඩිමහල් දරුවා වීමේ අභියෝගය පිනිදි ප්‍රාර්ථනා ට දැනෙන්නේ මේ රාත්‍රියේ ය. අලුත් දවසක් උදා වන්නට පැය කිහිපයකි.
ඒ අලුත් ආරම්භයක මුල්ම දවස විය යුතු නොවේ ද?
ඊළඟ කොටස ලබන සෙනසුරාදා ට..