ඡන්දේ දාලා ඇවිත් ගෙදර හැමෝම රිලැක්ස් එකේ ඉන්න වෙලාවේ හවස තේ බොන්න මොනවා හරි හදන්න හිතෙනවා නේද..
අපි උණු උණුවේ කන්න රසම රස සමෝසා හදමු..
අවශ්‍ය දේවල්:
සමෝසා පිටි මිශ්‍රණය සඳහා:
- පාන් පිටි කප් 3
- ලුණු
- බේකින් සෝඩා තේහැදි 1/2
- සුදුරු තේහැදි 1
- වතුර
- ගිතෙල්(ghee) හෝ වෙජිටබල්(vegetable oil) ඔයිල් මේස හැදි 4
සමෝසා පිරවුම(filling එක) සඳහා:
- තම්බා පොඩි කර ගත් අල
- සිහින්ව කපා ගත් ලොකු ළූණු
- කුඩාවට කපා ගත් තක්කාලි
- සිහින්ව කපා ගත් සුදු ළූණු ට
- සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ සහ ළූණු කොළ
- කහ කුඩු , මිරිස් කුඩු හෝ කෑලි මිරිස්
- අබ හා රස අනුව ලුණු
සමෝසා පිටි මිශ්‍රණය සාදා ගන්නා ආකාරය:
- වතුර හැර අනිත් සියල්ලම හොඳින් මිශ්‍ර කර ගන්න .
- පසුව එයට වතුර ටික ටික දමා මෘදු පිටි මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් අනා ගෙන පැයක් පමණ වසා තබන්න.
සමෝසා පිරවුම සාදා ගන්නා ආකාරය:
- භාජනයක් ලිපේ තබා එයට තෙල් ටිකක් දමන්න
- රත් වු පසු සූදුරු ටිකක් හා අබ ටිකක් දමා ගන්න.
- සිහින්ව කපා ගත් ලොකු ළූණු සුදු ළූණු දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න
- දැන් එයට කපා ගත් තක්කාලි ද දමා බැදෙන්නට හරින්න.
- ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට කහ, මිරිස් කුඩු හෝ කෑලි මිරිස්, රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
- ඉන්පසු පොඩි කර ගත් අල හා සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල හා ළූණු කොළ දමා හොඳින් කලවම් කර ලිප නිවා ගන්න
- නිවෙන්න හරින්න.
සමෝසා සාදා ගන්නා ආකාරය:
- සාදා ගත් පිටි මිශ්‍රණයෙන් ටිකක් අරගෙන හොඳින් තුනීව රෝල් කරන්න.
- පසුව රවුමට පිටි මිශ්‍රණය කපා ගන්න.
- දැන් ඒ කපා ගත් පිටි මිශ්‍රණය කොටස් දෙකකට කපා ගන්න.
- එම කපා ගත් බාගයක කොටසක් ගෙන ගොටුවක් ආකාරයට සාදා ගන්න.
- එලෙස ගොටුව සාදා ගැනීමේ දී එක කොටසකට වතුර බිඳු තවරා අනිත් කොටස හොඳින් අලවා ගන්න.
- සාදා ගත් ගොටුවට අල මිශ්‍රණයෙන් දමා පුරවා ගෙන උඩ කොටස වටේම වතුර ස්වල්පයක නැවත ගා ගෙන සමෝසා එක හොඳින් අලවා ගන්න .
මේ විදියට අමාරු නම් සමෝසා ෂීට් සුපිරි වෙළඳසැලකින් මිලට ගන්න.
ඉන්පසුව සාදා ගත් සමෝසා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න.