මම දිග ම දිග සුසුමක් බැහැර කළෙමි. ඒ සුසුම ට ඈත පේන බැලුම් ගලත් සසැලී ගියා විය යුතු ය. තුෂී ගේ ඇස් වල එතෙක් තැවරී තිබූ භීතිය වඩාත් තීව්‍ර වූවා කියා මම සිතමි.
“ගයා…”
ඇගේ ස්වරයත් වෙව්ලා ගියේ ය. මම ලොකු හුස්මකින් පපුව පුරවා ගතිමි.
“නෑ නෑ. මං හිතන්නෙ ඔයා ඔය හිතනව වගේ දෙයක්නං මට වෙලා නෑ”
“ඇති යාන්තං. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ”
තුෂී සිය පපුව පිරිමැද ගත්තා ය. හොඳ ම යෙහෙළියකට සිය මිතුරිය ගේ ප්‍රශ්නයක් තමන්ගේ ම ප්‍රශ්නයක් සේ දැනෙන බව මම දනිමි.
“ඒත් මට වද දෙන ප්‍රශ්නයක් තියනව තුෂී”
“ඒ මොකද්ද…”
“මට කුසල් ගැන තීරණයක් ගන්න බැරුව ඉන්නෙත් ඒ බය නිසා”
මොන බයක් දැයි තුෂී වාචික ව ඇසුවේ නැත. නමුත් ඒ ප්‍රශ්නය ඇගේ ඇස් මත මොනවට සනිටුහන් වී තිබිණි.
“මං මුලදි එයාගෙ වීඩියෝ කෝල්ස් වලට ආන්සර් කළා. පස්සෙ පස්සෙ තමයි මට තේරුණේ මෙයා එන්නෙ හොඳ පොටකට නෙවෙයි කියල”
“දෙයියනේ…ඒ කියන්නෙ…”
“නෑ නෑ. ඒව සාමාන්‍ය විදිහට කතා කරපු වීඩියෝ කෝල්ස්. ඒත් මට බයක් දැනෙනව ඊට පස්සෙ දැනගත්ත සමහර දේවල් නිසා. දවසක් එයා විහිළුවට වගේ කිව්ව මං එයාව අතාරින්න හැදුවොත් ඒ වීඩියෝස් එළියට දානව කියල. එහෙම වුණොත්…මං කොහොමද තුෂී ලෝකෙට මූණ දෙන්නෙ…අම්මට…අත්තම්මලට…”
“මූ මහ බල්ලෙක්නෙ. හොඳ වැඩේ තොට. බල්ලොත් එක්ක නිදාගත්තහම නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්කයි කියල දැනගන්න තිබුණා”
තුෂී කේන්තියෙන් වාගේ ගොස් කොංක්‍රීට් බංකුව මතින් හිඳ ගත්තා ය. මම හෙමිහිට එතැනට ඇවිද, ඒ ඉදිරියේ වන අනිත් බංකුව මතින් හිඳ ගතිමි.
“ඔයත් මට බනින්න එපා ඉතිං. කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරන්නෙ ඒ කොල්ල දවසක එහෙම ජරා විදිහට පලි ගනියි කියල හිතල නෙවෙයිනෙ”
තුෂී ටික වෙලාවක් නත්තසූරිය වැටට මත්තෙන් පේන තුරු මුදුන් යාය දෙස බලා ගෙන කල්පනා කළා ය. එතෙක් දවස් හිතේ හිර කර ගෙන දුක් විඳි ප්‍රශ්නය හිතෙන් එළියට දැමීම නිසා මට සැහැල්ලුවක් දැනෙන්නට වූයේ ය.
“කුසල් වගේ ඇණයක් ගලෝල දාන්න ඕනනං ඒ ඇණේ ගලවද්දි මොනා වෙයිද කියල හිතන්න ඕනම නෑ ගයා. වෙන දෙයක් වුණදෙං. මුලිංම ඇණේ ගලෝගෙන ඉන්න එකනෙ කරන්න ඕනෙ. ඒ වීඩියෝස් තියාගෙන ඌට කුද ගහ ගන්න කියපං”
“ඒත් තුෂී…”
“තමුසෙ එහෙම දේකට බයයි කියල හිතනකං ඌ ඒක තමයි ආයුදේ විදිහට පාවිච්චි කරන්නෙ. ඕන මගුලක් කර ගන්න කියල ගණං ගන්නැතුව ඉඳල බලමු”
“ඒත් ඕව එඩිට් කරල…”
“අනේ මේ…එච්චර ජරා යකෙක්ව දවසක කසාද බඳින්න පුළුවන්ද ඕයි…”
ජීවිතේ ට යාළුවෙක් ඕනේ අපිට වරදින තැන් වල දී පාර පෙන්වන්නට ය. අප දියාරු ව වැගිරෙන විට හිත ශක්තිමත් කරන්නට ය. අප වැටෙන විට යළි නැගිටුවා ලන්නට ය. තුෂී ළඟ පාතක නො සිටි කාලය තුළ දී මට ඒ මිතුරු හෙවනැල්ල අහිමි විණි.
“හිත හයිය කර ගන්නව ඔක්කෝටම කලිං”
ඒ කතා බහෙන් පස්සේ මගේ හිත බොහෝ දුරට නිදහස් සේ ම නිරවුල් ද වූවා කියා සිතමි. මම නිවී සැනසිල්ලේ කල්පනා කළෙමි. දුර්වල කෙල්ලක වන්නේ ඇයි? මගේ ජීවිතය කුසල් ගේ අතේ නැටැවෙන රූකඩයක් බවට පත් වෙන්නට හරින්නේ ඇයි? ශක්තිමත් බව සේ ම ස්ථාවර බව ද නැති වීම හෝ මඳ වීම තුළ අප වෙනත් කෙනෙකු ගේ බලපෑමට නතු වන්නේ නිරායාසයෙනි.
ලොකුවට දැනෙන ආර්ථික ප්‍රශ්න මට නැති වූවාට, ආර්ථික වශයෙන් මම ශක්තිමත් තත්වයක නො සිටිමි. පාසල් ගමන නිමා වීමෙන් පස්සේ, සිය රූපලාවන්‍යාගාරයේ කටයුතු ඉගෙන ගන්නා ලෙස අම්මා යෝජනා කළා ය. මේ යුගයේ දී එය ආර්ථික වශයෙන් ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බව ද ඕ පෙන්වා දුන්නා ය. එය සත්‍යයක් විය හැකි මුත්, රූපලාවන්‍ය වූ කලී මා සිත් ගත් විෂයක් නො විණි.
“අනේ මට ඔය ගෑනු උදවියගෙ මූණුයි කොණ්ඩෙයි අත ගගා ඉන්න කිසිම ආසාවක් නෑ”
මා අම්මා ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ එහෙම ය. තුෂී ට වාගේ දැවෙන ආර්ථික ප්‍රශ්න මට නැත්තේ ය. කෙසේ හෝ ඉගෙන ගෙන පවුල ගොඩ දැමිය යුතුයි කියන සිතිවිල්ල කිසි දාක මා තුළ ජනිත ව නොමැත. ඒ, දෙමාපියන් නීතියෙන් වෙන් ව ගියාට අගහිඟ කමක් මට දැනී නැති නිසා විය යුතු ය. නමුත් වැඩිහිටි සමාජය ට අවතීර්ණ ව හිඳින යුවතියක ලෙස, ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍ය බව දැන් මට පසක් වෙමින් තිබේ. ස්වාධීන ස්ත්‍රියක ලෙස මට දෙපයින් නැගී සිටිත හැකි වන්නේ එතකොට ය.
දික්කසාදයෙන් වසර ගණනාවක් යන තෙක් ම තාත්තා මගේ ඉතිරි කිරීමේ ගිනුමට මාසිකව මුදලක් දැම්මේ ය. එය ඒ හැටි ලොකු මුදලක් නො වන්නට ඇත.
“ගයාට බැරියෑ දහ අට පිරුනහම ඒක අරං මාළිගාවක් ගන්න”
අම්මා කීප වරක් සමච්චලයෙන් වාගේ එහෙම කීවේ තාත්තා එක්ක තරහට බව මම දනිමි. මාළිගාවක් කෙසේ වෙතත් ඒ මුදල ගෙන පුංචියට හෝ කිසියම් ව්‍යාපාරයක් පටන් ගන්නට බැරි දැයි මම සිතුවෙමි. ඒ සිතිවිල්ල ම මා තුළ අලුත් ප්‍රබෝධයක් ඇති කරවන ලදී.
වීඩියෝ ඇමතුමක් නො ගැනීම මත කේන්තියෙන් දුරකතනය තැබූ කුසල්, දිනක් ගෙවෙන තෙක් ම අමනාපයෙන් හිඳ යළි කතා කළේ ය.
“මං කතා කරන කල්ම නිකමටවත් මට කෝල් එකක් දුන්නෑ නේ…”
ඔහු කතාව පටන් ගත්තේ ම නෝක්කාඩුවකිනි. මම කිසිත් කියන්නට නොයා නිහඬ ව සිටියෙමි. මුලදී එහෙම ය. ඔහු කේන්ති ගෙන කතා නොකර සිටිනා එක පැයකට මම ඇමතුම් පණහක් හැටක් වත් ගමි. කුසල් ව මට අහිමි වෙතැයි බියෙන් ඔහු පස්සේ වැඳ වැටෙමින් යමි. ඔහු නැති වුණොත් දරා ගත නො හැකි ව මා පිස්සියක් වනු ඇතැයි සිතිවිල්ලෙන් ඔහු ව ම හඹා යමි. එතකොට හෙතෙම තවත් ලොකු කම් පෙන්වමින් මා නො තකා හිඳී.
“ආ…මට තේරෙනව දැං. ඔයාට ඕනෙ මගෙං ඈත් වෙන්න. වෙන මොකෙක් හරි ඇති දැං. ඒකයි ඔය”
“එහෙම දෙයක් නෑ. ඒත්…”
“මොකද්ද ඒත්…”
ඔහු මගේ ඇඟට කඩන් පැන්නේ ය.
“මන්දා කුසල්…ඔයාගෙං මං බලාපොරොත්තු වුණ ආදරේ මේක නෙවෙයි කියල මට දැනෙනව”
“මේ මේ…යන්න හේතු හොයන්න එපා හරිද…ඔයාට එහෙම මාව අතෑරල දාන්න මං ඉඩ දෙන්නෑ හරිද ගයාත්මි”
ඒ කතා බහ නිමා වූයේ හිතේ වූ කළකිරීම තව තවත් උත්සන්න කරමිනි. මේ කළකිරීම ජීවිතාශාව පවා තුනී කර දමන්නකි. ඒ සියල්ල අමතක කරන්නට, ඒ සියල්ලෙන් ඈත් වෙන්නට මා වැඩක යෙදිය යුතු බව මට දැනෙන්නට විය.
“මට මොනා හරි කරන්න ඕන අත්තම්මා”
රෑ කෑමෙන් පසු අප ඉස්තෝප්පුවේ පුටු වල වාඩි වී සුළං වදිමින් සිටියදී මම කීවෙමි. අත්තම්මා පමණක් නොව සීයා හා තුෂී පවා මදෙස බැලුවේ කිසියම් කුතුහලයක් හදවතෙහි හිර කර ගෙන විය යුතු ය.
“ඒ කිව්වෙ ගයාත්මියො…”
“අම්මටත් ඉස්සරහට මං ගැන බලන්න බැරි වෙයි. මං මේ අම්මා ගැන කළකිරීමකින් කතා කරනව නෙවෙයි. ඒත් ඉස්සරහට එයාලට තව නංගිල මල්ලිලගෙ වුණත් වැඩ තියෙයිනෙ. ඒක නිසා එක්කො මං ජොබ් එකක් හොයා ගන්න ඕන”
“ජොබ් එකක් හොයන්නම කොච්චර දුක් විඳින්න ඕනද කියල ඔයාගෙ යාළුවගෙං ඇහුවම දැන ගන්න පුළුවන් නෙ ගයෝ”
ඒ සීයා ය. අත්තම්මා මදෙස මහත් දයානුකම්පාවකින් බලා හිඳ කතා කළා ය.
“අම්මට බැරි වුණාට අපිට පුළුවන් ගයා ගැන බලන්න”
මගේ හිත කඳුළු බර වී ගෙන ආවේ ය.
“නෑ නෑ නෑ. එහෙම කියන්න එපා නන්දා. අපි මේ වළ පයයි ගොඩ පයයි කියල ඉන්න මිනිස්සු. ඒ දරුව අපි නැති කාලෙක වුණත් කාටවත් බරක් නොවී ඔළුව උස්සගෙන ජීවත් වෙන්න ඕනෙ. ඒකට එයාටමයි කියල මුදලක් හරි හම්බ කරන්න ඕනෙ”
සීයා යථාර්ථය දුටුවේ ය. මට මා ගැන මහත් අනුකම්පාවක් නො දැනුණා කීවොත් මුසාවකි. මා වූ කලී කාටවත් අයිති නැති දරුවෙකි. තාත්තා ටත් අම්මා ටත් අලුතෙන් තනා ගත් පවුල් තියේ. ඒ එකදු පවුලකට හෝ මා අයිති නැත.
“කැම්පස් පටං ගන්නකල් මාත් ඔය ෆැක්ට්‍රි එකක හරි රස්සාවකට යන්න තීරණේ කළා අප්ප. වෙන කරන්න දෙයක් නෑ”
තුෂී සන්තාපයෙන් කියවූවා ය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ ඇගේ ඥාති සොයුරියන් දෙදෙනෙකු ම තව ම උපාධියට සරිලන රැකියා නො ලැබීම නිසා ඇඟළුම් ආයතන වල අත් උදවු කාරියන් ලෙස සේවය කරති. රට තුළ වන රැකියා ප්‍රශ්නය විසඳීමට බලයට එන කිසිදු ආණ්ඩුවක් පොහොසත් වූයේ නැති බව සීයා කීවේ ය.
පහුවදා මම ගෙදර ගියෙමි. ඒ, මගේ ළමා ඉතිරුම් ගිනුම සාමාන්‍ය ගිනුමක් බවට හරවා ගෙන ජීවිතය කොතැනකින් හෝ අරඹමියි චේතනාවෙනි.
“එතන සල්ලි කීයක් විතර ඇද්ද ගයා…ඔයාට පුළුවන් නං ඒක අපිට අරං දෙන්නකො. අපි ඉක්මනටම ආපහු දෙන්නං”
මා ආ හේතුව කී ගමන් අම්මා කීවා ය. මගේ සිත් හි නැගුණේ තරමක කේන්තියකි.
“අම්මෙ. මට මොකක්හරි දෙයක් කරන්න තියෙන්නෙ ඔය සල්ලි ටික විතරයි. මං ගැන මංවත් බලා ගන්න ඕනෙ”
“ඔයා කතා කරන්නෙ හරියට මෙච්චර කල් ඔයා ගැන බලා ගත්තෙ ඔයා වගේනෙ”
“ඒත් ඉස්සරහට මං ගැන බලන්න කෙනෙක් නෑ නේද…”
අම්මා කොහොම හිතුවා දැයි නො දනිමි. නමුත් දුර්වල නොවී මම මගේ ස්ථාවරයේ සිටියෙමි. ආපසු අවිස්සාවේල්ලේ එන්නට මා මහරගම බස් නැවතුම වෙත ඇවිද එත්දී කුසල් ගේ යතුරු පැදිය ඇවිත් මා ළඟ නැවතුණේ කොහෙත් ම මා නො සිතූ ලෙසිනි.
“ගෙදර ආවද…ඇයි මට කිව්වෙ නැත්තෙ…”
ඔහු දැඩි ව ප්‍රශ්න කළේ ය.
“උවමනාවකට ආවෙ. ඉක්මනට යන නිසා කිව්වෙ නෑ”
මා කීවේ අර්ධ සත්‍යයකි. ගෙදර එන බවක් මා ඔහු ට නො කියා හිටියේ හිතා මතා ම ය.
“හරි හරි නගිනව නගිනව”
ඔහු අතක වූ හෙල්මට් එකක් මවෙත දිගු කළේ ය. කුමක් කරන්නදැයි සිතා ගත නො හැකි ව මම පාෂාණිභූත වීමි.
ඊළඟ කොටස සිකුරාදා ට.