කරවල වලින් රසම රස මෝජුවක් කාලා තියනවද?

කරවල කියන්නෙ අපේ රටේ හරිම ජනප්‍රිය කෑමක්නෙ. 

හැබැයි, අපි අද හැමදාම කරවල බැඳුම්, කරවල තෙම්පරාදු එහෙමත් නැත්නම් කරවල හොඳි වෙනුවට අපිට පුරුදු මෝජුවක් නුපුරුදු කරවල වලින් හදාගන්න හැටි ඔබට කියල දෙන්නයි මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම්, මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කරවල 200 g ක් 

විනාකිරි මේස හැඳි 06 ක් 

අඹරාගත් අබ / අඹ පේස්ට් මේස හැඳි 04 ක් 

කහ කුඩු තේ හැන්ඳක්

ඔබේ රස අනුව කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු 

අඟලක පමණ රම්පේ කැබලි 02 ක් 03 ක්

කරපිංචා ඉත්තක කොළ

සීනි තේ හැඳි 03 ක් 

තලාගත් ඉඟුරු සුදුළූණු මේස හැන්ඳක්

රතුළූණු ගෙඩි 06 ක් 07 ක් 

අමු මිරිස් කරල් 03 ක් 04 ක් 

රස අනුව ලුණු කුඩු 

තෙල්

සාදාගන්නා ආකාරය 

මුලින්ම කරවල හොඳින් සෝදා කුඩා කැබලි වල්ට කපාගන්න.

ඊළඟට රතුලූණු වල පොතු ඉවත්කර හොඳින් සෝදාකින් තබාගන්න.

අමු මිරිස් හොඳින් සෝදා පිරිසිදු කරගෙන දෙකට පලා පසෙකින් තබාගන්න.

ඊළඟට, තෙල් තාච්චියක් ලිපේ තබා තෙල් රත්වන විට අමු මිරිස් ටික තාච්චියට දමා තද කොළ පැහැ වන තෙක් බැඳ තාච්චියෙන් ඉවතට ගෙන තෙල් ඉවත් වන තෙක් පසෙකින් තබාගන්න.

එම තාච්චියටම පිළිවෙලින් රතුලූනු සහ කරවලත් වෙන වෙනම එකතු කර රතුලූණු දුඹුරු පැහැ නොවන තෙක් සහ කරවල රන්වන් පාට වනතෙක්ද බැදගෙන පසෙකින් තබාගන්න.

ඊළඟට පැතලි මැටි භාජනයක් මද ගින්නේ ලිපතබා එයට විනාකිරි එකතු කරගන්න.

විනාකිරි රත්වීගෙන එන විට එයට කහ කුඩු, අඹරාගත් අබ, කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

එයටම රම්පෙ, කරපිංචා, සීනි සහ තලාගත් ඉඟුරු සුදුළූණුද එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.

දැන් බැදගත් රතුළූණු, අමු මිරිස් සහ කරවල එකතු කර රස අනුව ලුණු ස්වල්පයක් ද එකතු කර විනාකිරි මිශ්‍රණය කරවල, අමු මිරිස් කැබලි සහ රතුළූණු වල ගැවෙන සේ හොඳින් කලවම් කරගන්න.

ඔන්න අපි රසම රස කරවල මෝජුවක් හදන් ඉවරයි. රස බලන්න තමයි දැන් වෙලාව.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles