මහරගම බෝ ගහ අවට පරිශ්‍රය අතුරු සිදුරු නැති ව ජනී ජනයා ගෙන් පිරීතිරී ගොස් තිබුණේ ය. තද බදය අස්සේ ඉතා හෙමිහිට ඉදිරියට ඇදෙන රිය, පෙළක් තනා තිබුණේ ය. කුසල් ට වැඩි වෙලා මෙතැන යතුරු පැදිය නවතා ගෙන සිටිය නො හැකි ය. පිටුපස වන රිය සමූහය අතොරක් නැති ව නලා හඬවයි. තව මොහොතකින් මෙතනට පොලිස් නිලදරුවෙකු වුව පැමිණෙන්නට බැරි නැත. මම මොහොතක් ඒ කලබැගෑනිය හා මුහු වෙමින් ඉතා කෙටි කළබල සිතිවිල්ලක නිමග්න වීමි.
අවිස්සාවේල්ල බසයක් පිටකොටුවේ සිට මගීන් පටවා ගෙන එමින් සිටියේ ය. එය අප ඉදිරියේ ගොළුබෙලි ගමනක ඇදෙත්දී මම උවමනාවෙන් එදෙස බැලුවෙමි. ගණ දෙවි නුවණ පහල වූයේ එවෙලේ ය.
“මාමා ඉන්නව බස් එකේ. මාව දැක්කා එයා. මං යනව”
කියා ගෙන මඳක් ඉදිරියට දිව ගිය මම බසයේ එල්ලී ගතිමි. ඒ තුළ අල්ලා ගන්නට තබා හුස්ම ගන්නටවත් ඉඩ කඩ බිඳක් වූයේ නැත. මේ වෙලාවට පිටකොටුවේ සිට පැමිණෙන බසයකින් මීට වඩා වෙනස් යමක් බලාපොරොත්තු විය නො හැකි බව මම දනිමි. සියල්ලට වඩා උහුලා ගත නො හැකි වූයේ හුස්ම හිර කරවන දහදිය දුගඳයි.
මා හිතා ගෙන ආවේ මහරගමින් හරවන බස් එකක නැගෙන්නටයි. එතකොට වීදුරු කවුළුවක් අයිනේ අසුන් ගෙන කල්පනා ලෝකයක් තනා ගෙන යන්නට පුළුවන. නමුත් කුසල් ව මුණ ගැහුණේ මගේ සියලු අපේක්ෂාවන් බිඳ දමමිනි.
ඔහු ට අහු වෙනවා ට වඩා, දවස පුරා වැඩ කර වෙහෙසී ගෙදර යන මිනිසුන් ගේ දහදිය පුසුඹ උහුලා ගන්නා එක හොඳ යයි මම ක්ෂණික ව තීරණය කළෙමි. කුසල් බස් එක හඹා එනවා ද කියා මා කිහිප වරක් බෙල්ල කරකවමින් බැලුවත්, සෙනග අතරේ කිසිවක් පැහැදිලි ව දැකිය හැකි නො විණ. කෙසේ වෙතත් මට දැනෙන්නට වූයේ ජයග්‍රාහී සතුට කි.
උපායශීලී වීමෙන් කෙසේ හෝ කුසල් ව මගහැර ගත යුතු ය. කූඩැල්ලෙකු සේ මගේ ඇඟේ එල්ලීගෙන ලේ ටික බොන්නට ඔහු ට ඉඩ තනා නො දිය යුතු ය.
තෙරපුණ බස් රථයක අපහසුවෙන් පැමිණීමේ අසහනයක් මට නො විණි. තුෂී, නත්තසූරිය වැට කෙළවර යකඩ ගේට්ටුවේ එල්ලී මග බලා සිටියා ය.
“අනූ නවයෙන් බේරුණේ”
ඉක්මනින් ඇයට කතාව කියා ඉක්මනින් ම හිත නිදහස් කර ගන්නට මට ඕනෑ විය. උගුල් දෙකකින් ම බේරී නිරුපද්‍රිත ව ගෙදර පැමිණි මා ගැන මට දැනුණේ සාඩම්බරයකි.
“අද ගිය ෆැක්ට්‍රි එකේ වැඩට එන්න කිව්ව හෙට ඉඳං”
“මගෙ සල්ලි වලිං කරන බිස්නස් එක ගැනත් මං හිතුව”
“ඒ මොකද්ද…”
“ඒ අදහස ආවෙත් අර හිර වෙලා ආපු බස් එකේදි. ඒකෙ ගෑනු කෙනෙක් මගදි බහින්න ලෑස්ති වුණා. සෙනග පිරිලනෙ. ඒ මනුස්සයගෙ අතේ රෝස පැලයක්”
“හුටා. මිනිස්සුංගෙ ඇඟේ කටු ඇනෙනවනෙ”
“ඔවු. අමාරුවෙං එහෙට මෙහෙට වෙලානෙ ඉඩක් දෙන්නෙ. එතකොට රෝස කටු ඇනෙනව. ගෑනුන්ට වඩා පිරිමි තමයි බැන්නෙ. කොතනක ගියත් එතනිං කැලෑ ගහක් හරි අනේ ලස්සනයි කියල අරං යන ජාතියක්නෙ මේ ගෑනු කියන්නෙ. උස්සගෙන ගියාට හුඟක් වෙලාවට ඕව හිටවන්නෙත් නෑ. ළිඳ ළඟ හරි ටැප් එකක් ළඟ හරි වතුර බාල්දියක කුණු වෙලා යන එක තමයි ඔය පැළ වල උරුමෙ. අරව මේව කිය කිය”
“මං හිටියනං හිනා වෙලා මැරෙයි”
“ගෑනු අය එච්චරටම ආස දෙයක් නිසා…ඇත්තටම මාත් හරි ආස දෙයක් නිසා…මට හිතෙනව තුෂී ප්ලාන්ට් නර්සරි එකක් පටං ගන්න”
මා තුළ ඉමහත් උද්‍යෝගයක් විය. තුෂී කෙළින් මගේ මූණ දෙස බැලුවා ය. මගේ හදවතේ වන බලාපොරොත්තු සහගත අධිෂ්ඨාන ශක්තිය ඇගේ ඇස් වල ද සනිටුහන් ව තිබෙනවා මම දුටිමි.
“නියමයි. මට කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනව”
“මං දන්නව. ඒත් ඔයා හෙට ඉඳන් වැඩට යන්න. ෆ්‍රී වෙලාවල කරන්න පුළුවන් දෙයක් කරමු”
“මට මතක් වෙන්නෙ ඉස්කෝලෙ යද්දි මිස්ගෙ ටේබල් එක උඩට ලස්සන ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එකක් කරන්න ඔයා වෙච්ච මහන්සිය. හොඳ මල් නැත්තං ඉස්කෝලෙ පිට්ටනිය වටේ ඇවිදල කැලෑ මල් ටිකක් හරි කඩං ඇවිත් ඒක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඇරේන්ජ්මන්ට් එකක් කරනවනෙ විනාඩි ගාණකිං”
මම දිගු සුසුමකින් මිදුණෙමි. මල් එක්ක මගේ ඇති බැඳීම සංසාරයෙන් එන එකක් විය යුතු ය. නමුත් එය දිනෙක මගේ ආදායම් මාර්ගය කර ගන්නට, මේ බසයේ එන තුරා මා සිතා හිටියේ නැත. ඉරණම වූ කලී පුදුමාකාර දෙයකි. එය කෙසේ ලියවී තිබෙනවා දැයි අප වුව දැන ගන්නේ ප්‍රතිඵල උදා කරන්නට ගත් පසුව ය.
“අනේ ඔය නිකං තියන වත්තනෙ. ඒ වත්ත මල් වලින් පිරිල යනවයි කියන්නෙ මොන තරං දෙයක්ද…ගයා කැමති හැටියකට ඕන දෙයක් කරගන්න. අපෙං අහන්න දෙයක් නෑ”
ගෙවත්තෙහි කොටසක් පැළ තවාන සඳහා යොදා ගන්නට අවසර ඉල්ලූ වේලේ අත්තම්මා කීවා ය. පැය කිහිපයක් තුළ මම බලාපොරොත්තු කන්දකින් හදවත පුරවා ගෙන සිටියෙමි.
“නත්තසූරිය ප්ලාන්ට් නර්සරි. ඒක තමයි නම”
ලා සඳ පානේ මිදුලට වී පැළ තවාන සිතින් දකිමින් සිටියදී මට හදිසියේ ම කියවිණ. තුෂී ඇස් ලොකු කර ගෙන මදෙස බැලුවා ය.
“ඒකට ඊට වඩා ගැලපෙන නමක් ලෝකෙ කොතනකවත් වෙන නෑ. සමහර දේවල් සිද්ද වෙන්නෙ හරි පුදුම විදිහට ගයා. ඒ දේවල් සිද්ද කරන්න ඉරණම අපිව කොහෙට කරකෝල අතාරිනවද කියල හිතා ගන්න බෑ”
“මටත් එහෙම මොකද්ද දෙයක් දැනෙනව. ඒක මොකද්ද කියල මට හරියටම තේරෙන්නෙ නෑ. හැබැයි මොකක් හරි වෙන්න යනව. අම්මට ආයෙ මැරි කරන්න ඇරල…මාව අත්තම්මලගෙ ගෙදර ගෙනත්…ඔයාවත් මං ළඟට ගෙනත් දීල…ඉරණම මොකක්ම හරි කරන්න යනව”
“ඒක එහෙමම වෙන්න අරිමු. තව කෙනෙකු ත් ගෙනත් දීල තියනව කියල හිතෙන්නැද්ද…”
“තව කෙනෙක්…”
“හ්ම්. හමිං බර්ඩ්”
“පිස්සු අනේ ඔයාට”
“බලං ඉමුකො”
මට නිදිමතක් වූයේ ම නැත. නිදි වරා ගෙන මම අන්තර්ජාලයේ සැරිසරමින් පැළ ලබා ගත හැකි තැන් විපරම් කළෙමි. ආරම්භ කළ යුත්තේ කඳුකර පලාත් වල තවාන් වලින් ගෙනෙන පැළ අලෙවි කිරීමෙනි. ඊළඟට පැළ තවානකට අදාල පාඨමාලාවක් හෝ හදාරා අවශ්‍ය න්‍යායික දැනීම රැස් කර ගත යුතු ය. ඊට පස්සේ නත්තසූරිය පැළ තවාන තුළ ම පැළ බෝ කිරීම වැනි ව්‍යාපෘති ඇති කර ගත හැකි ය.
පසු දා උදේ තුෂී වැඩට ගියා ය. හුදෙකලාවක් දැනුණත් මම ඒ තුළ මට අවශ්‍ය තොරතුරු රැස් කිරීමේ හා දැනුම පුළුල් කිරීමේ කටයුතු වල නියැළුණෙමි.
“මේ යුගාන්ත අයියගෙං වුණත් ගයාගෙ වැඩේට උදව්වක් ගන්න බැරි වෙන එකක් නෑ ගයා”
හැන්දෑවේ වැඩ ඇරී යුගාන්ත ගේ හදන තැනට පැමිණ තේ බොන්න අපේ ගෙදරට ගොඩ වූ වේලේ අත්තම්මා කීවා ය.
“ඔව් ඔව්. අපිටත් ඕව ගැන එච්චර දැනීමක් නැති එකේ…මේ අයියගෙං අහල විස්තර දැන ගන්න. මොකද බිස්නස් වලට සල්ලි යට කරද්දි පොඩ්ඩක් දන්න අය එක්ක කතා කරන එක හොඳයි ගයාත්මියො”
සීයා අත්තම්මා ව අනුමත කළේ ය. යුගාන්ත මදෙස බැලුවේ තරමක විමතියකින්, ප්‍රශ්නාර්ථයෙන් වාගේ ය.
“ඇයි ගයා මොකද්ද කරන්න යන්නෙ…”
“ප්ලාන්ට් නර්සරි එකක් අයියෙ”
“මෙහෙද…ෂා මරුනෙ. අත්තම්මලගෙ ගාඩ්න් එක දැක්ක මුල්ම දවස් වල මගෙ ඔළුවටත් ආපු අයිඩියා එකක් තමයි ඔය. ඒ වගේ බිස්නස් එකකට මේ ලෑන්ඩ් එක අයිඩියල් ගයා. මරු මරු. නියමයි”
හිත තුළ සතුට වාං දමන්නට ගත්තේ ය. මම ලොකු හුස්මකින් හදවත පුම්බා ගතිමි.
“ගයා කොහෙන්ද පැළ ගන්න ඉන්නෙ…”
“මං දන්න තැනක් නෑ අයියෙ. ඒත් ඔය මහරගම පැත්තෙ වුණත් පැළ විකුණන්නෙ උඩහ පැති වලින් ගෙනත්නෙ.එහෙම තැන් වලින් ගන්න ඕනෙ”
“අන්න පොයින්ට් එක. ඒගොල්ලො බණ්ඩාරවෙල පැත්තට යන්නෙ මෙතන පහු කර ගෙන නෙ. ඔයාට පුළුවන්නං එහෙට වඩා පොඩි ගාණක් තියාගෙන විකුණන්න…කොළඹ ඉඳල එන අය මෙතන නතර කර ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලො හිතනවනෙ ට්‍රාන්ස්පෝට් වලට වියදං කර ගෙන කාලෙ ගත කර ගෙන තව උඩහට යනවට වඩා ඔයාගෙං ගන්න එක ලාබයි කියල. හැබැයි මෙතන හොඳ කලෙක්ෂන් එකක් තියෙන්නත් ඕනෙ. එයාලට එහෙ යන්න ඕනම නැති වෙන්න”
මම යන්තම් හිස සලමින් ද, හිතේ මල් යායක් පිපෙන්නට හරිමින් ද ඔහු කියන ඒවා අහගෙන සිටියෙමි.
“අනේ පුතේ නිවාඩු පාඩු වෙලාවට මේ කෙල්ලට උදව්වක් කරන්න. අපිට දැං ඕවට දුවන්න පනින්න බෑනෙ”
“අපි යමු බණ්ඩාරවෙල පැත්තෙ නර්සරි වලට. ඉස්සෙල්ලම පැල දැකල ගයා ඒ ගැන අයිඩියා එකක් අරං ඉන්න ඕනෙ. මෙහෙ ඒව ඩිස්ප්ලේ කරන විදිහ ප්ලෑන් කර ගන්නත් ඕනනෙ”
“තුෂීට වීක් එන්ඩ් එකේ නිවාඩුනෙ. අපි පොඩ්ඩක් ගිහිං එමුද අයියෙ…”
“වියදං ගැන අපි බලා ගන්නං පුතා”
“මොනාද සීයා කියන්නෙ…ඕගොල්ලො මට දීපු බත් වලට තේ වලට වියදං බැලුවනං”
සීයා හඬ නගා හිනැහුණේ ය.
“ගණං බලන්නැති මනුස්සකම…ආදරේ පිරිච්ච මනුස්සකම…කොච්චර හෙව්වත් හොයාගන්න ලේසි නැති දේ පුතා”
“ඒ අතිං පුතා අවාරෙ පිපිච්ච මලක් වගේ”
අවාරේ පිපුණ මලක් වූ කලී සුවිශේෂ මලකි. මල් සුවඳක් මසිත තැවරී තිබිණ. කුසල් පිළිබඳ ව සිත් හි උපදින බිය ජනක සිතිවිලි මම හිත අස්සේ ම ගුලි කර ගෙන සිටියෙමි.
ඊළඟ කොටස අඟහරුවාදා ට..