සීත මාරුතේ -52

මට යළි අදීශ් පණ්ඩිතරත්න හමු වන්නේ  හපුතලේ වැලිමඩ මාර්ගයේ දී ය. සිතිවිලි එකලාස නැති සැඳෑවක කුමක් කරන්න දැයි සිතමින් මා එතැන ස්කූටිය නතර කර ගෙන, පැත්තකින් එහි හේත්තු වී ඈතින් පෙනෙන පහල මිටියාවත් දෙස බලා සිටියදී හදිසියේ ම ඔහු කොහෙන්ද පහළ වූයේ ය. මා අසලින් ම කිසිවෙකු වන බව දැනී හිස හරවා බලත්දී, ඒ කළු මුහුණ කදිම සුදු සිනහවකින් සැරසී තිබිණ. 

“හම්මෝ අල්ල ගන්න තියන අමාරුවක්”

ඔහු කතාව පටන් ගත්තේ එසේ ය. මම මඳ සිනහවකින් දෑත් පපුව මත බැඳගත් වන ම ස්කූටියෙන් මෑත් වීමි.

“අල්ල ගන්න කිව්වෙ…”

සැබැවින් මට එහි අරුත දැන ගන්නට ඕනෑ විය. 

“නෑ නෑ…මං දෙතුන් සැරයක්ම කොලේජ් එකට ආව. ඕබීඒ එකේ වැඩ වලට..ඔයා පේන්න ඉඳීද කියල මං ටිකක් බැලුව. හැබැයි හිටියෙ නෑ පේන්න. දැං තමයි හම්බ වුණේ”

“ඇයි මාව හෙව්වෙ…”

“නිකං ඉතිං…එදා ඩ්‍රොප් කරල ගියාට කන්ටැක්ට් නම්බර් එකක්වත් ඉල්ල ගන්න බැරි වුණානෙ..මොකද වුණේ කියල බලන්නයි හෙව්වෙ”

“තෑන්ක්ස්. හොයල බලන්න හිතුණට”

ආඩම්බර කමකට නොව මා එසේ කීවේ මනුස්ස කමට ය. අනිත් අතට ඔහු යහපත් තරුණයෙකු බව ඒ මුල් හමුවීම මට පසක් කොට සිටියේ ය. ඊටත් වඩා අදීෂ් හා මුණිවර අතරේ වන පාසල් සම්බන්ධය නිසා මට ඔහු ගැන දැනුණේ මිත්‍රශීලී හැඟීමකි.

“ඔයා දැං ඕකේද…නැත්තං තාමත් අවුලෙන්ද ඉන්නෙ..”

මම දෙතොල් තද කර සිනහවක් නගා ගතිමි. ඔහු ඇස් වඩාත් කුඩා කොට මදෙස බලා සිටියේ ය. එදා මා ව ගුරුතලාවෙන් දමා ගියාට පසුත් ඔහු ට මා සිහි වූවා යි සිතීම මා තුළ විශේෂත්වයක් ඇති කරනා ලදී. කෙනෙකු ගේ හදවත තුළ ජීවත් විය හැකි මිනිසෙකු වීම සතුටට හේතුවකි. අපි ඕනෑ ම කෙනෙක් එවන් සතුටක් රහසින් හෝ විඳින්නට කැමැත්තෝ වෙමු.

“ආයෙ මං ඕකේ වෙයි ද කියල දෙයියොවත් දන්නෙ නැතුව ඇති”

සමහර වෙලාවට මිනිසුන් සිනහ වන්නේ හඬන්නට බැරි කමට ය. ඒ වගේ ම තමන් ගේ හදවත් වල හැංගී ඇති කටුක සත්‍යයන් ඔවුහු හැම කෙනෙකු ඉදිරියේ ම විවෘත නොකරති. මම කොහොමටත් එවන් විවෘත ගැහැනු ළමයෙකු නොවෙමි. නමුත් අදීෂ් ඉදිරියේ වඩාත් විවෘත හා නම්‍යශීලී වීමේ පහසුවක් මට දැනෙමින් තිබිණ.

“ඒ කිව්වෙ…”

“ඒක ටිකක් අමුතු කතාවක් අදීශ්”

සිනහව අතරින් ම මගේ ඇස් තෙත් වී ගෙන ආවේ ය. දෙවියන් සමහර දේවල් දකින්නට කැමති කොයි ආකාරයට ද කියා සැබවින් ම සිතා නො හැකි අවස්ථා උදා වේ. මේ ද එවන් මොහොතකි. කිසි සේත් මා බලාපොරොත්තු නොවූ ලෙස මුණිවර ගේ අලුත් ම සුදු පැහැති ජීප් රථය වංගුවෙන් මතු වූයේ ය. මගේ ඇස් තරමක් විසල් වන්නට ඇත. හදවත ගැස්ම වැඩි වූ බවත් නිසැක ය. අප පසු කොට අඩි කිහිපයක් ඉදිරියට ගොස් ඔහු රිය නතර කළේ ය. දොර හැර ගෙන මුණිවර ඉන් බැස ගත්දී මට හිතුණේ ම ඉස්සර වාගේ මට ඔහු බැණ වදිනු ඇති බවයි. නමුත් ඔහු අප වෙත පැමිණියේ මා දෙස බලා ගෙන නොවේ.

“අදීශ්..කොහොමද මචං…”

“මුණිවරය…මං ඊයෙත් ගියා බං කොලේජ් එකට. බ්ලඩ් ඩොනේශන් ප්‍රෝග්‍රෑම් එක පෝය දවසට දාගන්න ලෑස්ති කර ගත්ත”

“ඒක හොඳයි. මං මේ ටිකේ ටිකක් බිසී වෙලා බං. කරගෙන පලයංකො. වෙලාවට මං එතන ඇති හරිද…”

“හරි බං. ඉතිං..උඹට කොහොමද දැං…”

මා බලා සිටියේ ඔහු දෙස ම ය. මුණිවර සාවඥ සිනහවක් නගා ගත්තේ ය. 

“සමහර මතක නැති වෙලා ගිය එකත් හොඳයි කියල හිතෙනව බං. මේ..එහෙනං මං එන්නද අදීශය…”

“හරි මචං එහෙනං හම්බ වෙමු ආ”

මගේ හුස්ම හිර වී ගෙන තිබිණ. ඔහු රිය වෙත ගියේ නිකමට ඇස් බැල්මක් හෝ මවෙත හෙළන්නේ නැතිව ය. දෑස් කඳුළු දිය ඇලි බවට පත් වන්නට ගියේ මොහොතකි. ඈත පෙනෙන මිටියාවත් හා නිල් කඳු දෙස බලා ගෙන මම ඒ කඳුළට ඉඩ දුන්නෙමි.

“මන්දාකිණී”

අදීශ් ගේ ස්වරයේ විශ්මයක් තැවරී තිබිණ. ටික වෙලාවක් යන තෙක් මට යමක් පවසා ගත හැකි වූයේ නැත. නමුත් ඒ කාලය තුළ දී අදීශ් ට යම් යම් දේවල් හිතා ඒ ගැන නිගමන වලට එළඹිය හැකි වන්නට ඇත. 

“ඔයා…මුණිවරව…”

මම එහෙමම ඈත බලා ගෙන හිස ඉහළ පහල සැළුවෙමි.

“එයාට මං හිටිය මතකය නැති වෙලා ගිහිං”

“ඕහ් ගෝඩ්. දැන්නෙ මට මීටර් වෙන්නෙ. එහෙනං ඒකයි මේ. හැබැයි මතක අමතක වුණත් ඌ ඊරිසියාවෙ පිපිරුව. මං දන්නෙ එච්චරයි”

“මාව එදා ඔයාගෙ කැබ් එකට යට කරල මැරුවනං හැම දේම ඉවරයිනෙ අදීශ්. ඇයි ඔයා එහෙම නොකළෙ…”

“ආ යූ ක්‍රේසි…දැං අඬන්නැතුව හොඳ ළමය වගේ ගෙදර යන්න. ඔයා මෙහෙම පාරවල් වල අඬන එක රන්මුතුගේ සර්ට වුණත් හොඳ නෑනෙ. ඕන දේකට සොලියුශන් එකක් තියනව. ටිකක් කාලෙට ඉඩ දීල බලමු. ම්…”

ඔහු හැසිරුණේ කාලයක් තිස්සේ මා ගැන දැන උන් කෙනෙකු සේ ය. අදීශ් පණ්ඩිතරත්න කෙරේ මා තුළ පහන් හැඟීමක් ඇති කරවන්නට ඒ හමුව හේතු විය. 

පරණ සම්බන්ධය ගැන මතකය අමතක වී තිබිණි ද මුණිවර අලුතෙන් මා ගැන සිතන්නට පටන් ගෙන ඇතැයි නංගී ඇතුළු මගේ මිතුරියන් දෙදෙන මුල සිට ම පැවසූහ. මේ අහඹු හමුව තුළ සිදුවීම් සිදු වූ ආකාරය ඒ මතය තවත් තහවුරු කරතැයි යන්න ඔවුන් ගේ මතය විය. නමුත් අලුත් ආදරයක් ගැන මා තුළ වූයේ ඇල්මැරුණ හැඟීමකි. මුණිවර ගේ හදවතේ මා සිටි තැනට එන්නට ධාරා දැනටමත් කටයුතු සැලසුම් කරමින් හිඳිනා බව මට රහසක් නොවී ය. ඇගේ පැත්තෙන් ඇය වැරදිකාරියක නොවේ. මා මුණිවර  හා මිස්ට් ෆීල්ඩ් අත් හැර නතර වන්නට ගත් තීරණයත් සමග ඔහු ට සමීප වන්නට ඇය ට වූ බාධක ඉවත් වී මාර්ගය වඩාත් පැහැදිලි වන්නේ ය. ඒ ගැන කිසිවෙකුට දොස් කිව නො හැක. 

අනිත් අතට මා ගැන ඔහු ට තිබෙන්නේ අප විසින් පවසා සිටින ලද අදහසක් පමණි. මා ශාරීරික වශයෙන් මිස්ට් ෆීල්ඩ් වලින් ඉවත් වීම, කවුරුන් හෝ විසින් ඔළුවට දමන ලද ඒ කෙටි කාලීන මතකය ද ඈත් කොට මුළුමනින් ධාරා ට ලං වන්නට ඔහු ට හෙතුවක් වනු ඇත. ඉතින් එබඳු තත්වයක් යටතේ දී, මා අදීශ් සමග කතා කරමින් සිටිනු දැකීම මුණිවර තුළ ඊර්ෂ්‍යාව දල්වන හේතුවක් වන්නේ කෙසේ ද?

මා මිස්ට් ෆීල්ඩ් රැකියාවෙන් ඉවත් වී සතියක් ගෙවී ගිය තැන හැන්දෑවක මුණිවර ගේ රිය ගුරු නිවාසය ඉදිරියේ නතර විය. ඒ වෙලාවේ අප පස් දෙනා ම බරාඳයෙහි තැන් තැන් වල හිඳ තේ බොමින් සිටියෙමු. මා සිටියේ පඩිය උඩ බිම හිඳගෙන ය. රිය නතර වූ ගමන් ම මුණිවර ඉන් බිමට පැන ගත්තේ අසරු වේශයෙනි. මා නැගී සිටින්නට ගිය ද මට නැගිටුණේ නැත. ඔහු පඩි කිහිපය නැග ආවේ දිවගෙන වාගේ ය. 

“එක්ස්කියුස් මී සර්”

හෙතෙම මුලින් ම අප්පච්චි ගෙන් අවසර ඉල්ලා සිටියේ ය. නමුත් ඒ කවරක් සඳහා දැයි කිසිවෙකුට සිතා ගත නො හැකි වන්නට ඇත.

“මන්දාකිණී ඔයා අරව මේව ගොඩක් මිස්ට් ෆීල්ඩ් එක ඇතුලෙ පටං අරගෙන දැන් ඒ ඔක්කොම දමල ගහල මේ විදිහට ගෙදරට වෙලා ඉන්න එක වැරදියි නේද… සර් මාව මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්න එපා. ඒව මං දන්න දේවල් නෙවෙයිනෙ. අර හෑන්ඩ්ලූම් රෙදි වලින් ඇඳුම් මහන්නයි…තව ඒව මේව හදන්නයි…ඒ මදිවට අලුතෙනුත් ශොප් දෙකකට බඩු ඕනෙ. කොහොමද මං ඕව කරගන්නෙ…පටං ගත්තනං මන්දාකිණී ඒව කරං යන්න ඕනෙ. මේල් කරල රෙසිග්නේශන්ස් එවල ගෙදරට වෙලා ඉඳල බෑනෙ”

මේ මොහොතේ මෙතැන සිටින්නේ අඅරඹුමේදී මා දුටු කුඩා දේටත් නො සන්සුන් වන ආඩම්බරකාරයා ය. අප්පච්චි සිනහව සඟවා ගෙන අසුනෙන් නැගිට ගනු මට පෙනිණ. තව දුරටත් මා නම් සිටියේ නැගී සිටිය නො හැකි ලෙස දෙපා වල පැටවුණ බරකිනි. 

“ඒ කතාවෙත් ඇත්තක් නෑ කියන්න බෑ”

අප්පච්චි සන්සුන් ලෙස කීවේ ය.

“සර්…මං කරපු එක යෝජනාවකටවත් මන්දාකිණී කැමති වුණෙ නෑ. පොරොන්දුවක් වෙලා තියනවනං මගඅරින්න මට ඕන වුණෙ නෑ කියල සර් දන්නවනෙ. හරි ඉතිං ඒකට කැමති නෑ කියමු. හැබැයි මං අලුතෙන් කෙනෙක් වැඩට අරං ට්‍රේන් කර ගන්නකල්වත් මන්දාකිණීට මිස්ට් ෆීල්ඩ් අත්අරින්නැතුව ඉන්න තිබුණා”

නංගී මදෙස බලා ඇසක් ඉඟිමැරුවා ය. මම බර වූ හදකින් ඉවත බලා ගතිමි.

“ලොකු ළමයට මේ ගැන මොනා හරි කියන්න තියනවද…”

“අප්පච්චි. හරි එහෙනං..කාව හරි ට්‍රේන් කරනකල් මං වැඩට යන්නං”

පසු ගිය දින කිහිපය මා ගත කළේ කෙතරම් අපහසුවකින් ද කියා දන්නේ මා පමණ ය. මුණිවර ගෙන් සේ ම මිස්ට් ෆීල්ඩ් වලින් ද දුරස් වී හිඳීම හිතු තරම් පහසුවක්  දැනවූයේ නැත. ඇතැම් මොහොත වල මම දරා ගත නො හැකි අසහනයකට පත් ව මිස්ට් ෆීල්ඩ් පේන මානයට ස්කූටිය පැද ගොස් නැවත හරවා ගෙන ආවෙමි. ඒ වාගේ මොහොතවල් පපුව පුපුරා දමන්නට හැදුවේ ය. මුණිවර සේ ම මිස්ට් ෆීල්ඩ් ද මගේ ජීවිතයේ කොටසක් වී ඇති සැටි මට දැනී තිබිණ.

මුණිවර සන්සුන් වූයේ මගේ වචනයෙන් ඉක්බිති ය. අම්මා තනා දුන් තේ එක ඔහු විසින් තොල ගාන ලද්දේ  ආදි ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කරනා ලේ දන් දීමේ වැඩසටහන ගැන අප්පච්චි සමග කතා කරමිනි. 

“පරණ මතකය අමතක වුණාට අලුතින් ඉපදිලා ඉන්න මුණිවරටත් කෙල්ල නැති කර ගන්න බෑ වගෙයි”

අප්පච්චි අම්මා සමග කියනු මට ඇසුණේ ය. නැවත මිස්ට් ෆීල්ඩ් වෙත යාම බොහෝ හිත් රිදුම් ඇති කරනා හේතුවක් වන බව දැන සිටිය ද, උදේ එහි යන තෙක් රෑ මට නින්ද ගියේ ද නැති තරම ය.

සතුරු භීතියක් නොවන නිසාවෙන් යළිත් මට ස්කූටියේ මිස්ට් ෆීල්ඩ් යා හැකි විය. අලුත් තැනකින් අලුත් ජීවිතයක් පටන් ගන්නවා බඳු අලුත් සතුටක් හද තුළ මෝදු වෙමින් තිබි බව ඇත්ත ය. නමුත් මම පරණ සුවඳක් ඉව කරමින් සිටියෙමි.

මා දැක ලොකු තාත්තා සිනහ කටකින් විත් එකතක් මා වටා යවමින් මාව සිය සිරුරට සමීප කර ගත්තේ ය.

“දෙයියන්ට පින් සිද්ද වෙන්න ඕන…දෙවියො කියල කෙනෙක් ගැන ආයෙත් මගෙ හිතේ පොඩියට විස්වාසයක් ඇති වුණා”

“කාව හරි ට්‍රේන් කරනකල් මං එන්නං ලොකු තාත්තෙ”

“මගුලක් කතා කරනව. වෙන කාවවත් ට්‍රේන් කරන්න ඕන නෑ. අපි දෙන්නට මේක කරං යන්න පුළුවන් ලස්සනට. හැබැයි අද ඉඳල මාත් මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ කියල යන්නයි මං ආවෙ. මීට වැඩිය පුහුල්පොල තනියම ගෙවන ජීවිතේ මට හොඳයි”

“එහෙම වුණානං මං එහෙ ඇවිත් ලොකු තාත්තව අපේ ගෙදර අරං යනව”

ලොකු තාත්තා හඬ නගා සිනහ වුණේ ය. මුණිවර සිය කුටියේ සිට අප දෙස බලා මා දකිත්දී ම ඉවත බලා ගත්තේ ය. එක් බලාපොරොත්තුවක් සුන් ව යමින් තිබී ද සතුටක ආලෝක පුංජයක් හිතේ ඈත කෙළවරක දැල්වෙන හැටි මට පෙනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content