“කෝස් එක බැලුවද?”
වචන තුනකි. මලිඳු හැරුණු විට මගේ ජීවිතයට වඩා සමීප පිරිමි යහළුවන් වූයේ දිනුක සහ හිමල්ක ය. හිමල්ක මටත් ඊෂාටත් වඩාත් සමීප ය. ඔහු අප දුකකින් හිඳින්නේ නම් හිනා උපදවන වීඩියෝ හොයමින් එවන, කෑවද බීවා ද විමසන, දකින දකින අලුත් මෝස්තරයේ ඇඳුම් වල සේයාරූ එවන මිතුරෙකි. චැට් කිරීමට කම්මැලි කොල්ලෙකු වූ දිනුකගෙන් ලැබෙන්නේ ඇමතුම් ය. ඔහු කටහඬකින් පවා අපේ වෙනස්කම් අල්ලා ගන්නෙකි. නමුත් මලිඳු සියල්ලන්ටම වඩා වෙනස් ය. ඔහු අහසක් බඳු ය.සමහර වෙලාවට ඉතා කුඩා වෙනසකට පවා බොහෝ සංවේදි ඔහු ඇතැම් විටෙක කිසිම හෘදය සංවේදි බවකින් තොර ය.
“අනේ මට බැරි වුණානේ…”
මා සිතූ පරිදි ම ඔහු කෝප විය. සංවාද අවසන් කරන සලකුණ වූ හරි ලකුණ පැමිණියේ ය. ඉතින් මා මෝඩියක සේ කරුණු දැක්වීම අරඹා තිබිණ.
හදිසියේ ඊෂාගේ නිවසට මාරු වූ හැටිත් සරසවියේ ගොඩ ගැසුණු වැඩ ගැනත් මතු වූ කතාව අවසන් වූයේ ඊෂාගේ ප්‍රේම කතාවෙනි.
“ඌ කැමති ඔයාට නෙවෙයි ද?”
මලිඳු ද වැරදි වැටහීමක හිඳින සෙයකි.
“පිස්සුද අනේ.. එයා මළ ගෙදරදී අපි එක්කම හිටිය නිසානෙ ඔය”
මම වහා නිවැරදි වූයෙමි.
“මට වැඩිය අල්ලන්නේ නැති ඩයල් එකක්..”
මලිඳු එතැනින් පසු කිසිත් නොකී ය. ඔහුගේ චැට් කිරීම අවසන් විය. එහෙත් ඔහු ඔන්ලයින් පසු වන බව පෙනිණ.
සිතා ඵලක් නොවන දේ ගැන නොසිතමින් ස්නානය කළ මම මඟ හැරී ගිය සටහන් පිරික්සුවෙමි.එහැම පාඩමක් ම හිමල්ක පැහැදිලි සටහන් ගොනුවකින් මා අත තබා ඇත.නොතේරෙන දෑ අසා ගන්නට දිනුක ඕනෑම මොහොතක උදව් දෙන බව ද විශ්වාස ය. මට ඇත්තේ හොඳින් ඉගෙන ගන්නට ය. දෛවය මා කෙරෙහි කරුණාවන්ත වන දිනෙක වසර ගණනක ඒකපාර්ශ්වික ආදරය මවෙත ලබා දෙනු ඇතැයි දැඩිව විශ්වාස කිරීම මට පහසුවකි. ඉතින් මම ඒ විශ්වාසයේ ගිලුණෙමි.
“සුදු මැණිකේ, අපි පාක් එක පැත්තේ යං..”
හවස් යාමයේ ඊෂා කාමරයට එබුණේ දිවා ආහාරයෙන් පසු ද මම දිගින් දිගටම මඟ හැරුණු පාඩම් වල ඇලී ගැලී සිටිද්දී ය. වෙනසක් උවමනා බව සිතුණු නිසා මම ද ඒ යෝජනාව පිළි ගත්තේ කැමැත්තෙනි.
ඇඳ පැළඳගෙන පහත මාලයට එද්දී ඊෂාගේ අම්මා හුන්නේ පත්තරයකට ඇස අලවාගෙන ය. ඈ අපට හිනා කටක් පා කළා ය.
“පිනිදි දූ දිගටම පාඩම් කරාද නිදා ගත්තද?”
“එයා පොත් දිය කරලා බිබී හිටියේ අම්මා… මේ පාරත් ඒ ප්ලස් ගනී කියලා ඉරිසියාවේ මං මේ පාක් එකට ඇදන් යන්නේ…”
ඊෂා ගලා හැලෙන නදියක් සේ කිංකිණි හඬින් හිනැහෙන්නී ය.
“පාඩම් වැඩ ටික අල්ලා ගත්තද පුතේ.. “
ආන්ටි අසන්නේ සාලය අස්පස් කරමින් හුන් විමලා දෙස ද නෙත අලවමිනි.
“හිමල්කයි ඊෂායි නෝට්ස් ඔක්කොම කම්ප්ලීට් කරලනෙ ආන්ටි… දිනුකගෙන් අහගන්න ඕන අමාරු තැන්..”
මම කීවෙමි.
“දිනුක කියන්නේ අර අතුරුගිරියේ ළමයා නේද.. ඒ ළමයා නම් හොඳයි තමා. ඔයාලගේ බැච් එකේ දක්ෂ ළමයත් එයාද..”
නැන්දම්මා බෑනා ගැන නොදැන දෙන චරිත සහතිකය අසමින් මම ඊෂාට ඇසක් ගැසුවෙමි.ඇගේ අම්මා එය නුදුටුවා ය. ඊෂා මලක් සේ පිපී ආවා ය. පිබිදුණු වතින් අම්මා දෙස බැලූ ඈ හදිසියේ යළි මුහුණ අකුලා ගත්තා ය.
ආන්ටි සති අන්තය පුවත්පතේ ටැබ්ලොයිඩ් අතිරේකය ඉවතට දැමූයේ නොසැලකිලිමත් මුහුණකිනි.
“විමලා ඔය කුණු වලට මේ කුණු ගොඩත් ගන්න.. “
මඳ වෙලාවකට කලින් හිනාවකින් කතාවක් ඇරඹූ ඊෂාගේ අම්මාගේ මුව ඇදවී ගොස් ය. නොතේරුම් නොසන්සුන්කමක් මා වෙලා ගත්තේ ය.
“පික්මී එක ආවා.. අපි යන්නම් අම්මි.. “
ඊෂා මා ඇදගෙන එළියට පැනගත්තේ ඒ තත්පරයේ ය. ත්‍රීවිලරයට නැග ගත් වහා මම කුතුහල මල්ල ලෙහා දැමුවෙමි.
“ආන්ටිට මොකෝ වුණේ.. දිනුක ගැන අවුලක්වත්…”
“නෑ බං..දිග කතාවක්.. මං කියන්නං පාක් එකට ගිහින් නිස්කලංකේ..”
උද්‍යාන බංකුවක් මත හිඳ ගන්නා තුරුම අපතර වූයේ නිහැඬියාවකි. ඊෂා සිසිල් බීම රැගෙන එනතුරු මම බොරලැස්ගමුව වැව මතට වැටෙන හිරුරැසට ඇස අලවා ගතිමි. උද්‍යානය සහ ව්‍යායාම මං තීරු කාර්යබහුල ය. හැමතැනකම ආදරය පිරී ඇත. නගරයක නිදහසේ හිඳින්නට මෙවැනි තැනක් හෝ නැතිනම් ඉතා කුඩා ඉඩමක තනා ගත් සුවිසල් නිවෙස්වල වැසියන්ගේ ජීවිත වඩා අසීරු වන්නට හැකි බව මම සිතුවෙමි. සීතල පිනි සේල වැටුණු කඳුකරයට අයත් මලක් වූ මට කොළඹ කලබලකාරීබව ඇතැම්විට දරා ගත නොහැකි තරම් ය. නමුත් මේ දවස් ගත විය යුත්තේ මෙහෙව් කලබලයක ය. කඳුකරයේ නිහැඬියාව මගේ ගල් වී ගිය හිත දරා ගන්නා එකක් නැති බව මට දැනෙයි.
ඊෂා පැමිණ හිඳගත්තේ මා නිමක් නැති සිතුවිලි ගොන්නක ගිලෙද්දී ය.
“ඒ පත්තරේ කවර් පේජ් එකේ හිටියේ තිවංකි..”
“අර ඇක්ට්‍රස්??”
තිවංකි දකින්නට නැති ටෙලි නාට්‍යයක් නැති තරම් ය. ඊෂාගේ අම්මා ඈ සමඟ තරහින් හිඳින කාරණය මට පැහැදිලි නැත.
“අපේ අයියා ඉස්සර ඔය දිනුක වගේ හොඳ මනුස්සයෙක් පිනී.. එහෙම බ්‍රයිට් නම් නෑ. හැබැයි තාත්ති දැනන් හිටියා බිස්නස් බාර අරන් ලස්සනට කරයි කියලා.. රස්තියාදුවකට වැටිලා නැතුව හොඳ ලස්සනට හිටියා..”
සීත කළ දෙහියුෂ බිඳක් තොලෙහි තවරා ගත් ඊෂා වැව් දියට ඇස අලවා බලා හුන්නා ය.
“තිවංකිලා අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා…අයියට අවුරුද්දකට වගේ බාලයි.. දෙන්නාගේ අෆෙයා එකක් තිබ්බා.අම්මලා ඉතින් හරියට කැමති වුණා.. එයාලා ආදරෙන් ඉන්න ඇති. “
“පස්සෙ…”
“තිවංකිට රූ ටීවි එකේ අවුරුදු කුමාරිට යන්නම ඕන කියලා නටන්න තියාගත්තා..ඉස්සර වගේ නෙවේනෙ දැන් ඕවට වැඩියෙන් යන්නේ මේවගෙ කෙල්ලොනෙ.. අයියා කැමති වුණේ නෑ..තිවංකි ගියා.. දිනුවා..”
” මට තිවංකිව ඒ කාලේ ඉඳන් මතකයි. ඊට පස්සේ එයා ගැන හුඟාක් ගොසිප් හැදුණානෙ.. අනේ මන්දා ඕවානම්.. හැබැයි…….”
ඊෂා දෙනෙත් හකුලා ගත්තා ය.
“අන්න ඒකයි.මේ රටේ ගොසිප් කියන්නේ කාලකන්නි ජරාවක් තමයි. හොඳට ඉන්න මිනිස්සුන්ටත් ගොසිප් හැදෙනවා. හැබැයි තිවංකියි ඩිලානුයි ගැන ගිය ගොසිප් ඇත්ත. පස්සේ ඩිලාන් අර ගයාෂි මැරි කරාට ඒ කතාව ඇත්ත. එතැනින් පස්සේ ආපු කතාත් ඇත්ත වෙන්න ඇති. තිවංකිට එයාගේ ජනප්‍රියකම දරා ගන්න බැරි වුණා.. අයියාට තිවංකිගේ විකාර දරා ගන්න බැරි වුණා..”
ඊෂාගේ විදෙස්ගත අයියා ගැන මා මේ අසන පළමුවැනි වතාව ය. ඉතින් මා ඇයට කතා කරන්නට ඉඩ හැරියෙමි.
“ඕනෑම කෙනෙක්ට රිලේෂන්ශිප් එකක් නවත්තන්න අයිතියක් තියේ පිනී. මැරේජ් එකක් වුණත්. ඒත් තිවංකි හිතුවේ එයා ඕනතරමක් දේ කරලා ආවම අයියා එයාව බාර ගනී කියලා. ලොකු බිස්නස් ෆැමිලි එකක එකම පුතාගේ වයිෆ් වෙලා සරුංගලයක් වගේ ඔහේ පාවෙන්න එයාට ඕන වුණේ… ඒක මේ තිවංකිට විතරක් අදාළ දෙයක් නෙවේ..එහෙම ගෑනු ඕනතරං.. පිරිමිත් ඉන්නවා..”
ඇත්තකි. වැඩි දියුණුවක් නැති අපේ කඳුකරයේ පවා සබඳතාවයකට අවංක විය නොහැකි ගැහැනු සහ පිරිමි සිටිති. කැඩී යන පවුල්, පියවරු නැති දරුවන් එහි පමණක් හිඳින බව මම සිතා සිටියෙමි.
නැත.
එය පොදු ධර්මතාවයකි.
“අයියා ඕස්ට්‍රේලියාවට ගියේ ඉන්පස්සේ..ඇත්තටම කොහොමහරි කරා මිසක් උනන්දුවක් ඇතුව නම් ඩිග්‍රි එක කළෙත් නෑ. පුදුම විදියට බීමට ඇබ්බැහි වෙලා ඉන්නෙත්. ලබන සතියේ එයා එනවා පිනී.. මං දන් නෑ එයා කොහොම ඉඳී ද මොනවා කරයිද කියලවත්.. අම්මි ඒකයි ඔය තිවංකිගේ ෆොටෝ එකක් දැක්කත් කේන්ති ගන්නේ..”
මම ඊෂාගේ අතින් අල්ලා ගතිමි.
“අයියාට දැන් විසි හයක් විතර නේද? ප්‍රපෝසල් එකක් බැලුවොත්?”
ඊෂා හිනැහුණා ය.
“එයා එයාට ළං වෙන ඕනෑ කෙල්ලක් රිද්දලා අහකට දාන කෙනෙක් වෙලා පිනී.. අපේ ගෙදර ඔයාට සේෆ් නෑ කියලා මං කියන් නෑ. එයා ඇඟට පැනලා රේප් කරන ජාතියේ එකෙක් නෙවේ තමා. කොහොමත් ඔයා වගේ අහිංසක ළමයෙක් දිහා නම් බලන එකක්වත් නෑ. හැබැයි එයා ආවම ඔයා වැඩිය කතාවට යන්න එපා. ඒ දිනුකලා මලිඳුලා ජාතියේ කෙනෙක් නං නෙවෙයි…”
මා ඊෂා වෙත ආවේ සැනසීමකින් ඉන්නට ය. නමුත් ඉදිරියේ දිස්වෙන රතු එළි ගැන මහත් භීතියකින් මගේ සිත දැවෙන්නට විය.
ඊළඟ කොටස බදාදාට.