සියල්ලටම වඩා ප්‍රේමය උසස් බව ලොවටම පසක් කළ හැරී- මේගන් රාජකීය ආදර අන්දරය.

“මම විශිෂ්ට ප්‍රේම කතාවකට කැමතියි”

මේ 2017 වසරේ Vanish Fair සඟරාව හා කළ සාකච්ඡාවකදී මේගන් මාක්ල් ප්‍රකාශයක්. සැබැවින් ම ඇය විශිෂ්ට ප්‍රේම කතාවක හිමිකාරියක් වුණා. ඇගේ ප්‍රේම කතාව මහා බ්‍රිතාන්‍යය පමණක් නොව මුලු ලොවම කැළඹවූ බව පැවසීම මුසාවක් නොවෙයි. සසෙක්ස් හි ආදිපාද බ්‍රිතාන්‍ය රජ කුමරු හා මේගන්ගේ ආදර කතාව අපි අද කියවමු.

ඔවුන්ගේ පළමු හමුවීම Blind Date එකක්. මේ හමුවීම සූදානම් කරන්නේ ඔවුන්ගේ පොදු හිතවතෙක් විසිනුයි. සාමාන්‍යයෙන් blind date සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා අඩුයි. එහෙත් මේ හමුවීම සුවිශේෂයි. ඇය දුටු විගසම ඇය තමයි ගැළපෙනම කෙනා ලෙස සිතුණු බව හැරී කුමරු පවසනවා.

පළමු හමුවට සහභාගී වීමේදී ඔහු ඇය ගැනවත්, ඇය ඔහු ගැනවත් තොරතුරු දැන සිටියේ නෑ. ඔහු කාරුණිකදැයි පමණක් තමන් මිතුරාගෙන් විමසූ බවයි මේගන් ප්‍රකාශ කළේ.

ඒ 2016 ජූලි මාසයයි. එය ඉතා සරල හමුවක් වුණා. එය අවසන් වන විට ඔවුන්ට අවශ්‍ය වූයේ නැවත ඉක්මනින් ම මුණ ගැසෙන්නටයි. එය දුටු වනම ආදරයෙන් බැඳීමක් වගෙයි. අපි හෙට මොකද කරන්නේ කියා ඔවුන් කතා කළ සැටි ඇය සිහි ගන්වනවා.

හමුවීම් දෙකකින් පසු හැරී කුමරු මේගන්ට බොට්ස්වානා හි නිවාඩුවක් ගත කරන්නට ආරාධනා කරනවා. ඔවුන් එහිදී තරු පිරි අහස යට කඳවුරු බඳිමින් කාලය ගත කළ බවයි පැවසෙන්නේ. එහිදී ඔවුන් ඉතා ආදරයෙන් හා අවබෝධයෙන් කටයුතු කරන්නට අඩිතාලම දමාගත් බවත් ඔවුන් පවසනවා. මේගන්ට හැරී කුමරු විසින් දමන ලද ගිවිසගැනීමේ මුදුවේ එක් දියමන්තියක් බොට්ස්වානාවලින් රැගෙන ආවක්.

ඔවුන්ට හොර රහසේ ආදරය කරන්නට හමුවුණේ මාස හයක් පමණයි. පුවත්පත් වාර්තාකරුවන් ඡායාරූප කිහිපයක් සමඟින් ම ඔවුන්ගේ ආදර කතාව ලොවට හෙළි කර තිබුණා. හැරී මේගන්ට සිය පියා වන චාල්ස් කුමරු සහ සහෝදරයා වන විලියම් කුමරු හඳුන්වා දෙන්නේ මේ අතරයි. මේගන් මාක්ල් හැරී කුමරුගේ ළඟම හිතවතුන් මෙලෙස හමුවීමට ඉතා කැමැත්තෙන් සිටි බව සඳහන් වෙනවා. චාල්ස් සහ විලියම් යන දෙපළ ම ඇගේ හමුවීමෙන් සතුටට පත් වූ බවයි කියැවෙන්නේ.

මෙයින් පසු ඔවුන් ප්‍රසිද්ධ සමාජයේ යුවළක් ලෙස නොබියව හැසිරෙන්නට වුණා. පවුල් දෙකෙහිම ආශිර්වාදය ලැබුණු පසු නොවැම්බරයේ Nottingham Cottage හි එක් සුන්දර රාත්‍රියක හැරී කුමරු මේගන්ගේ අත පතන්නට අවසර ඉල්ලා සිටියා. එදින ඔවුන් රාත්‍රී ආහාරය සඳහා roasted chicken එකක් හදමින් සිටි බවත් එය ඇයට විශාල surprise එකක් වුණ බවත් ඇය BBC පුවත් සේවයට කියා තිබුණා. එමෙන්ම, එය සුන්දර – ස්වභාවික මෙන්ම ඉතා ප්‍රේමණීය වූ බව ද ඇය සඳහන් කර තිබුණා.

හැරී කුමරු මෙම ගිවිසගැනීමේ මුදුව සඳහා බොට්ස්වානාවලින් මෙන්ම සිය මව වන ඩයනා කුමරියගේ මැණික් ගල් එකතුවෙන් ද මැණික් ගල් කිහිපයක් ලබා ගෙන තිබුණා. ඔවුන් කළ පුවත්පත් සාකච්ඡා සෑම එකකම පාහේ ඔවුන්ගේ පැහැදිලි අනාගතය ගැන සලකුණු තිබුණා.

මේගන් ඇමරිකානු රංගන ශිල්පිනියක් ලෙස නමක් දිනා තිබූ කෙනෙක්. Suits කතා මාලාවේ ප්‍රධාන චරිතයක් ඇය කතාමාලා හතකම රඟ දැක්වූවා. එහෙත් විවාහයත් සමග ඈ රංගනයට සමු දෙන්නේ හැරී කුමරු වෙත ඇගේ සියලු අවධානය සහ කාලය කැප කළ යුතු බව කියමින්.

2018 මැයි මාසයේදී ආදර කතාව පල දරමින් ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය පැවැත්වුණා. තනි සුදු ඉතා ගවුමකින් සැරසුණු ඈ ඉතා චාම් සහ ඉතා ම සුන්දර මනාලියක් ලෙස එදින හැඩගැන්වී සිටියා. සියලු රාජකීය සම්ප්‍රදායන්ට එකඟවයි ඔවුන් මංගල උත්සවය සූදානම් කර තිබුණේ.

“ඇය ඉතා පරිපූර්ණයි. ඇය මා කෙරෙහිත් මා ඈ කෙරෙහිත් ඉතා ඉක්මනින් හා තදින් බැඳුණා” මේ වරෙක හැරී කුමරු කළ ප්‍රකාශයක්. කලින් විවාහයකින් නීතියෙන් වෙන් වී සිටි නිසාත්, අප්‍රිකානු සම්භවයක් ඇති නිසාත්, රංගන ශිල්පිනියක් වීම නිසාත් මේගන්ට රැජිනගෙන් විරෝධතා ඒ යැයි සියලු දෙනා මත පල කළත් එය එසේ සිදු වූයේ නෑ. රැජිනගේ පූර්ණ ආශිර්වාදය ඔවුන්ගේ සරණ බන්ධනයට ලැබුණා.

විවාහයෙන් පසු සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස නව නම්බු නාම ඔවුන්ට ලැබුණා. නව නිවස්නය ලෙස Windsor හි Frogmore Cottage හි ජීවත් වන්නට ලැබුණා.

2019 මැයි 6 වනදා ඔවුන්ගේ ආදරයේ සංකේතය ආචි පුත් කුමරු ඉපැදෙනවා. “එය මැජික් එකක්. ලොව හොඳ ම පිරිමි දෙදෙනා ම මා සතු වෙනවා. මට හරිම සතුටුයි” මේ දරු උපතින් පසු මේගන් ගේ අදහසක්.

2020 ජනවාරි මාසයේ ඔවුන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කරනවා. නුදුරේ ම රාජකීයත්වයෙන් මිදෙන බවටයි ඒ. මෙය ඔවුන් ඉන්ස්ටග්‍රෑම් හි පලකරන්නේ දීර්ඝ සාකච්ඡා කිහිපයකින් පසු බවයි සැලකෙන්නේ.

“අප ජ්‍යෙෂ්ඨ රාජකීය නිලයන්ගෙන් ඉවත් වී ආර්ථික ව ස්වාධීන වන්නට තීරණය කළා. එහෙත් රැජිනට සියලු ආකාරයේ බැඳීම් සහ සේවය පවත්වා ගෙන යන්නට අප සූදානම්” ඉන්පසු ඔවුන් උතුරු ඇමරිකාවේ සහ එංගලන්තයේ වසමින් සමාජසේවා කටයුතු සහ අනුග්‍රාහක කටයුතුවල යෙදෙන බව තව දුරටත් ප්‍රකාශ කර තිබුණා.

ආදරය, ස්වාධීනත්වය සහ නිදහස වෙනුවෙන් හැරී – මේගන් යුවල කදිම නිදසුනක්.

Related Articles

Don't Miss


Latest Articles