විවේකය සතුටින් ගත කරන්න කොළඹ අවට තිබෙන සුන්දර ඉඩකඩක්

පර්චස් තුනේ හතරේ දහයේ කූඩු වෙලා ඉන්න නාගරිකයන්ට විතරක් නෙමේ ඈත පිටිසර අයගේත් සිත දිනාගත්ත තැනක් ගැන කියන්නයි අපි සුදානම් වන්නේ. දියවන්නා ඔය අසබඩ තියෙන දියත උයන තමයි මේ සුන්දර උයන.දියවන්නාවෙන් හමන සිසිල් සුළඟ අපට දාහය අමතක කරවනවා.

කොළ පැහැයෙන් දිදුලන ගහකොළ, ඔයෙහි සිටින මත්සයින්, කොරවක්කන් , ඉබ්බන්, කොකුන් ආදී කුරුල්ලන් මොහොතකට අපට නාගරික පරිසරය අමතක කරවනවා .නිවාඩු දිනයක ඔබටත් දරුවන්ටත් ඇවිදින්න යන්න නියම තැනක් කියලා බය නැතිව කියන්න පුළුවන් වටපිටාවක මේ උයන නිර්මාණය වෙලා තියෙනවා.

කොහොමද එන්නේ ?

වාහනයක එනවානම් බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලය අසලට එන්න පුළුවන්. වාහන රැසක් ගාල් කළහැකි විශාල වාහන අංගනයක් මේ උයන සඳහා වෙන් වී තිබෙනවා. බස් එකක එනවානම් පිටකොටුවෙන් අතුරුගිරිය -කොළඹ ,මීගොඩ -කොළඹ, පැලවත්ත කොළඹ වගේ බස් එකක නැග්ගනම් කෙලින්ම දියත උයන ඉස්සරහින්ම බහින්න පුළුවන්. නුගේගොඩ පැත්තේ ඉඳලා එනවානම් 163 බස් එකේ නැග්ගනම් හරි. එතකොට කොට්ටාව -බොරැල්ල බස් එකත් දියත උයන ඉස්සරහින් යනවා.

පරිසරයේ ලස්සන විතරද ?

ඇත්තටම පරිසරය තමා විශේෂම. ඊට අමතරව දියවන්නා ඔයේ බෝට්ටු රවුමක් යන්නත් පුළුවන්. තව විවිධ සුරතල් මසුන් ප්‍රදර්ශනාගාරයක් තියෙනවා. එතනත් සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක්. ඒ විතරක් නෙමේ මල් පැල,  විසිතුරු මසුන්, එළවලු, පළතුරු, නිමි ඇඳුම් , සෙල්ලම් බඩු , ගෘහ අලංකරණ භාණ්ඩ ,ආදී අලෙවි සැල්ද වෙන්වූ ඉඩක පිහිටලා තියෙන්නේ සංචාරකයන්ගේ පහසුව සඳහාමයි. ඊට අමතරව විවිධ ආහාර, කැවිලි , පළතුරු බීම, අයිස්ක්‍රීම් අලෙවි සල් පිහිටි අංගනයකිනුත් දියත උයන සමන්විතයි. වැදගත්ම දේ මේ අලෙවිසල් ප්‍රමුඛ වෙළඳ නාම වලට අයත් ඒවා වීම සහ ඒවායේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර තිබීම.

ළමුන්ට වෙන්වූ ඉඩක්…

දියත උයනේ එක් පෙදෙසක් ළමුන්ට වෙන්වී තිබෙනවා.ඇති තරම් බයිසිකල් , ස්කුටර් පදින්න, දුවන්න, පෙරලෙන්න, බෝල ගහන්න ඇති තරම් ඉඩ තියෙනවා. ඒ පෙදෙසේ වැඩිහිටි ක්‍රියාකාරකම් නැති නිසා ආරක්ෂාව ගැනත් ගැටළුවක් නැහැ.

ආරක්ෂාව කොහොමද ?

තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න එක කොහොමත් හොඳයිනේ .ආරක්ෂක නිලධාරින් සිටියත් සියලු දෙනාම ගැන විමසිලිමත් වෙන්න ඔවුන්ට බැහැ. ඒ වගේම වටේටම දියවන්නා ඔය නිසා පුංචි දඟකාරයින් ගැන ඇහැ ගහගෙනම ඉන්න වෙනවා.

ව්‍යායාම් කරන්නත් නියමයි …

උදෑසන මෙන්ම සවස් කාලයේත් ව්‍යායාම් සඳහා පැමිණෙන්නන් මෙහි සුලබ දසුනක්.ඒ සඳහා වෙනම ඉඩක් වෙන්වී තිබෙනවා. නැතත් උයන පුරා ඇවිදින්න ඔබට කිසිවෙකුගෙන් බාධාවක් නැහැ.

ආහාර, පොලිතින් ඇතුලට ගෙනයාම තහනම් !

දන්නවනේ අපේ අයට කොච්චර කිවුවත් වතුරට මොනාහරි ජරාවක් දන්නේ නැතිව හරි . කන කෑම හැමතැනකම දාන්නේ නැතිව හරි, කුනූ හැමතැනම දාන්නේ නැතිව හරි ඉන්න හරි අමාරුයි. එයාල හිතන්නේ පිටරටවල් විතරයි ලස්සනට තියාගන්න ඕනා කියලනේ. මෙන්න මේ නිසා අලෙවිසල් ප්‍රදේශයේ මිසක් උයන ඇතුලට කිසිම ආහාර ද්‍රව්‍යක්, පොලිතින්, බිස්කට් පැකට් වගේ කිසිම දෙයක් ගේන්න දෙන්නේ නැහැ . පරික්ෂා කරලා තමා ඇතුලට ගන්නේ

සංගීතය ….

සංචාරකයන් බහුල සති අන්තයේ යුධ හමුදා සංගිත කන්ඩායම් ආහාර අංගනයේ සිට සංගීතය සපයනවා. ඉතින් මියුරු සංගීතයක රසය විඳින අතරේ ආහාරවල රස විඳින්නත් ඔබට අවස්තාවක් තියෙනවා.

ඉතින් දියත උයන ඔබේ විවේකි දවස විවේකයෙන් අර්ථවත්ව ගත කරන්න හොඳම තැනක් කියලා දවසක් ඇවිල්ලම බලන්න. අඩු වියදමකින් සුන්දර අත්දැකීමක් විඳගන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles