හිමල්ක බොහෝ වෙලාවක් මට සවන් දුන්නේ ය. ප්‍රශ්නයක් අසන අතරම විසඳුම් සෙවීම දිනුකගේ සිරිත ය. ඊෂා කරන්නේ ගැටළුව ගැන බියපත් ව හෝ කෝපයට පත් ව කෑගැසීම ය. කලබල වීම ය. එහෙත් හිමල්ක බොහෝ විට කරන්නේ ඕනෑ තරම් වෙලා කියවන්නට ඉඩ හැර අසා සිටීම ය.මේ හැම ක්රමයම සාර්ථක වන තැන් ඇතැයි අපේ මිතුරුදමේ අතීත දවස් සිහි කරමින් මම සිතුවෙමි.
“ඔයා ඇත්තටම හිතනවද අයියා ඔයා යූස් කරනවා කියලා..”
හිමල්ක මගෙන් අසන්නේ තීරණාත්මක පැනයකි. මම හිස දෙපසට වැනුවෙමි.
“මිනිස්සු කටෙන් නෙවෙයි වෙන තැන්වලින් කතා කරනවා කියලා කතාවට කියනවා පිනී අහලා තියනවද? මට ඇත්තටම මලිඳු ගැන කියන්න තියෙන්නේ එච්චරයි පිනී..”
අනතුරුව ඔහු කියන්නේ සන්සුන් ව නමුත් දැඩිව ය. හිමල්ක කෝප ගන්නේ නැත. ඔහු සන්සුන් තරුණයෙකි. නමුත් ඔහුගේ දෑස අද කෝපයෙන් බර වී ඇත.
“මලිඳු කියනවනෙ ඔයා එයාට ආදරේ බව දන්නවා.ඒක නොදන්නවා වගේ ඉන්නවා කියලා. ඒක එහෙමනම් එයා ඔහොම ඔයාගේ ඇලෙන්න එන්නයි ඔයාගේ ලයිෆ් එක ගැන ප්‍රශ්න කරන්නයි ඕනෙත් නෑනෙ. අන්න එතකොටනම් ඔයා හෝප්ස් තියා ගන්නවා. ඒත් පිනී ඔයාට අමෝද අයියා හෝප්ස් දුන්නේ කවද්ද?”
සැබෑවකි. අමෝද අයියා මට ප්‍රේමාරාධනා කරනු තබා එවැනි ඉඟියක්වත් ලබා දී නැත.
“අයියා ඔයාට බර්ත්ඩේ එකට ස්පෙෂල් තෑග්ගක් දුන්නා. ඒක හොඳම යාළුවෙක්ට කරන්න බැරි දෙයක් යැ. ඔයා ආසාවෙන් ඉන්න ගවුං ගන්න ඔයාට හොරෙන් ඊෂා කී දවසක් ශොපින් කරාද, මේ දවස්වල ඔයා කියවන්න ආසාවෙන් ඉන්න පොත් ගැන දැන ගන්න දිනුකයා කොච්චර ට්‍රික්ස් දැම්මද.. හරි ඉතිං! ඔයා ඩ්‍රීම් කැචර්ස් වලට ආසා නිසා මම හිතට ෆිට් වෙන එකක් හොය හොයා ෆේස්බුක් පේජස් කීයකට මැසේජ් කරාද.. අපි ඔක්කොම යාළුවෝ පිනී. අනිත් කෙනා සතුටු කරන්න එයාගේ මූණට හිනාවක් ගේන්න අපි කරන්නේ හොඳම දේ..”
මලිඳු සහ හිමල්ක මොනතරම් වෙනස්දැයි හිතමින් මම හිමල්කව අසා හුන්නෙමි. ඔහු නොනවත්වාම කියවා යයි.
“අපි අපේ යාලුවන්ට ආදරේ වෙන්න ඕන පිනී. යාලුකමකට වැදගත් අවුරුදු ගාණ නෙවෙයි. මං වෙනස් මනුස්සයෙක් කියලා මට තේරුණාට පස්සෙ අවුරුදු ගාණක් එක පන්තියේ හිටිය කොල්ලො මට මොනතරම් කුණුහරප කිව්වද… ඒත් කොලේජ් එකේ අවුරුදු දෙකකදී ඔයාලා මොනතරම් කිට්ටු වුණාද.. දිනුකට තිබ්බනෙ කතා අහගන්න වෙයි කියලා මාව මඟාරින්න. දිනුක තමයි මගේ සහෝදරයා. ලෝකෙම මාව අත් ඇරියත් දිනුක මාව අත් අරින් නෑ.ඒ බැඳීම මේ අවුරුදු ගාණක එකක්ද.. යාලුකම් අවුරුදු ගණන් රකින එක නෙවෙයි ලස්සන. විනාඩි පහකට හරි හිතක් නොරිද්දන එක. ඒකත් ලව් කරනවා වගේ වැඩක්.නොගැලපෙනවා නම් යාලුකමක් වුණත් අයින් කරන්න ඕනෑ.”
හිමල්ක කියන්නේ කුමක්දැයි මට නොවැටහුණා නොවේ. ඔහු කියන්නේ මලිඳු නිසා වියවුලට පත් වීම අතැර දැමිය යුතු බව ය. එය පවසන තරම් පහසු නැත. අනිත් අතට එක්වරම එසේ ඈත් වන්නට මලිඳු ඉඩ දේදැයි විශ්වාස ද නැත.
“අයියා මෙවෙලෙ ඉන්නේ ප්රස්නෙකනෙ පිනී. අවුරුදු ගාණක මතක එයාව හර්ට් කරනවා ඇති.එයා හිත හදා ගන්නකං පාඩුවෙ ඉමු. ඔයාලා අතරේ අෆෙයා එකක් තිබ්බා වගේ කතා මලිඳු වගේ උන් කියයි. ඒත් එහෙම එකක් නෑනෙ. ඔයයි ඊෂායි දෙන්නම අවුල් වෙලා ඉන්නේ අයියා දැන් ආපහු වෙනස් නිසානෙ.හිත හැදෙනකොට එයා හෙමින් ඕකේ වෙයි. කාලෙට ඉඩ නොදී මොන ප්‍රස්නයක්වත් විසඳෙන් නෑ.එක එකාට බොර දියේ මාලු බාන්න දෙන්න එපා..”
මම ඒ වචන කිහිපය තදින් හිතේ අලවා ගතිමි. අමෝද අයියාගේ හදිසි වෙනස නිසා මා පෙළෙන්නේ ඇයිදැයි මට පැහැදිලි නැත.නමුත් ඔහු මට සැලකුවේ ද සලකන්නේ ද නැගණියකට පරිද්දෙනි. මේ දවස් ගෙවී යන්නට ඉඩ දී බලා සිටින්නට ඊෂාට හැකි නම් මට එය අසීරු කරුණක් විය නොහැක.
හිමල්ක මට හිඳින්නට ඉඩ හැර නික්ම ගියේ ය. මම ඔහු පැවසූ දේ ගැන සිතමින් සටහනක් දිග හැර ගතිමි. මලීෂා මවෙත ආවේ ඒ මොහොතේ ය.
“මේ.. ඔයා අද කැන්ටින් එකේ ඇඬුව ද..”
කේලම් පියඹා යන්නේ කපුටන් හත් දෙනාගේ කතාව මෙන් ය. ඊෂා මෙතැන සිටියා නම් මලීෂාට හොඳ දෙකක් කියන්නට පසුබට නොවනු ඇත. නමුත් දැන් මා මෙතැන තනියම ය. ප්‍රශ්නයට මුහුණ දිය යුත්තේ තනිව ය.
“යාලුවෙක් එක්ක කතාවක හිටියේ. පොඩි දේකට ඇඬුණා..”
මම නොසැලකිලිමත් හඬකින් ඈ ඇමතුවෙමි.
“ඔයයි මලිඳුයි පොඩි කාලේ යාලුවොලු නේද..”
ඇයට ඕනෑ නැති දෙයක් නැත.
” පොඩි කාලේ නෙවෙයි. අපි නේබර්ස්ලානේ. හැමදාටම යාලුවෝ..”
ඇය මදෙස බලා සිටියේ සමච්චලයෙනි.
“ඔයා ඊෂාගේ අයියා එක්ක අෆෙයා එකක් තියනවලු නේද.. ඉතිං ඔහොම මලිඳු ගාව අඬන්න තියා ගත්තම…”
මා කෝපයෙන් දැවෙන බව මට දැනිණ. මලීෂාගේ කල්කිරියාව ගැන අප දන්නා බොහෝ කාරණා ද නොදන්නා නමුත් ආරංචි වන දේ ද අපමණ ය. ඇය ඇගේ ආකාරයට ජීවත් වීම මට ගැටලුවක් නැත.ඒ ඇගේ ජීවිතය ට. නමුත් මට අභූත චෝදනා සහ කතන්දර කියන්නට ඈට ඇති හයිය ගැන ප්‍රශ්න නොකර සිටිය යුතු නැත.
“ලැජ්ජා නැද්ද මලීෂා. ප්‍රයිවෙට් ස්කූල් එකක ඉගෙන ගත්තු හොඳ ෆැමිලි එකක ළමයෙක් නේද ඔයා. ගමකින් ආව මටවත් නැති ගතිනෙ ඔයාට තියෙන්නේ. ඔහොම ඕපාදූප හදන්නේ ඇයි. අමෝද අයියා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා ඔයාට හිතා ගන්න ඕන නම් හිතා ගන්න. වැඩියෙන් ඇත්ත දැනගන්න ඊෂා ආවම පුලුවං.. අනික මං මලිඳු ගාව ඇඬුවම ඔයාට මොකද?”
මලීෂා සමච්චල් බැල්ම තවත් තියුණු කර ගත්තා ය.
“මට නම් කිසි අවුලක් නෑ.. අපේ නෙතූගෙන් ගුටි කන්න ලෑස්තිවෙලා ඉන්නකො මලිඳු ගාව අඬන්න ගිහිං..”
ඇය ගස්සාගෙන යන්නට ගියේ ගින්නක් අවුලවා තබමිනි. ඒ ගින්නට නොදැවී ඉන්නට තරම් හයියක් තිබුණ ද ඊයේ පෙරේදා වනතුරු ද පෙම්වතෙකු සිටි නෙත්මිට මලිඳු සමඟ ඇති සම්බන්ධය සිතා ගත නොහැකිව මා පැටලී යන බව මට දැනුණි.