සුහදිනී -26

“ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ”

කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක් නොවේ. එක්තරා  මොහොතක රන්මිණි හෝ නිම්නා මේ සම්බන්ධයෙන් දිගු විස්තරයක් කළ අන්දම ඇයට සිහියේ තිබේ.ඒ ගැන අන්තර්ජාලයේ සොයා බලන්නට සිටියද සකීට ඒ කටයුත්ත ද මඟ හැරී ගියේ ය.

“මට ඔයාව හොඳට දැකල පුරුදුයි කියන කතාව මිනිස්සු ඇත්තටමත් කියනවා, ඊට වඩා බොරුවට කියනව.”

එක් ප්‍රශ්නයකට පිළිතුරු නොලැබුණු තැන අහස් දිගටම කතා කරන්නට තීරණය කර තිබිණ.

“අපි අතින් සෑහෙන්න අවභාවිතා වෙන වචන තියෙනවා.ඔය ආදරේ කියන වචනෙ ගන්න.මිනිස්සු දැන් මේක නොකියන තැනක් තියනවද? නොකියන කෙනෙක් ඉන්නවද? ආදරයක් එහෙම ලේසියෙන් උපදින්න පුළුවන් ද කියලා මං හැමතිස්සෙම හිතනව.”

ඒ කතාව වෙනුවෙන් මොනවා හෝ කියන්නට සකීට සිතිණ.අහස් ප්‍රමුඛ කණ්ඩායමට ආදරේ බව බොහෝ අය පවසන්නේ මූනිච්චාවට නොවේ.රටේ ඇති ඉතා අඳුරු සහ පහසු කාල පවා දරා ගන්නට ඔවුන්ගේ එක් ජයග්‍රහණයක සතුට හේතු වේ.ඒ නිසා ඒ සතුට උපදින ආදරය බොරුවක්යැයි සකීට සිතෙන්නේ නැත.

“ඒක ඇත්ත සකී.මං කියන්නේ ඒ වගේ අහිංසක ආදර ගැන නෙවෙයි.ෆේස්බුක් එකේ ඔයාට ආදරෙයි කියල කමෙන්ට් දාන යාලුවො කීදෙනෙක් ඔයාට ඇත්තටම ආදරෙයි ද? මූණට පණ දෙන යාළුවෝ කී දෙනෙක් ඔයාට ඇත්තටම ආදරෙයි ද? අපිට අඩුම තරමේ ඔය වගේ ලස්සන වචනයක් මිනිස්සු රවට්ටන්න පාවිච්චි නොකර ඉන්න තිබුණ නං ඒක ලොකු දෙයක්.ඒත් කවුරුවත් එහෙම කරන්නෙ නැති තරම්.”

සකීගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.එහා ඉම අයිති වූයේ නිම්නාට ය.සකීට කිසිම දිනක ඔවුන්ට නොකියා යන ගමන් තිබුණේ නැත.ඇය සරසවියේ කොහේවත් නොසිටීම ගැන මිතුරියන් කලබල කලබල වීම සාමාන්‍ය දෙයක් බව සකී ඊළඟ මොහොතේ සිතුවා ය. ඒ කලබලය සහ මිතුරියට කියන්නට ඕනෑ මොනවාදැයි සිතීම නිසාම ඈ අතින් ඇමතුම මඟ හැරිණ.නැවත නිම්නාට ඇමතුමක් ගන්නට උත්සාහ කළ ද දුරකථනයේ ප්‍රමාණවත් මුදල් නැති බවක් පැවසේ.සකී අපහසුතාවයට පත් වූවා ය.අහස් කිසිවක්ම නොපවසා ඔහුගේ ජංගම දුරකථනය ඇය වෙත දිගු කළේ ය.සකී අතට නොගෙන එහි වෝල්පේපරය දෙස බැලුවා ය.සෑමවිටම පුවත් මවන අහස්ව මීට කලකට පෙර ජනප්‍රිය වූ එක්තරා සුන්දර සිදුවීමක් ඒ දෙස බලා සිටිද්දී ඇයට සිහිපත් විය.දුරකථනය තිරය සරසන්නේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම් සගයෙකුගේ කුඩා දියණියකි.ළදරු වියේ පසුවන ඇය පියා තරමටම තාරකාවක වෙමින් පවතී.ඇය මුණ ගැසෙන ඕනෑම මොහොතක අහස් සහ සිඟිත්තිය අතර ඇතිවන සුන්දර මිත්‍රත්වය සම්බන්ධ අන්තර්ජාලයේ සංසරණය වූ ඡායාරූප කිහිපයක් සකීගේ ජංගම දුරකථනය තුළ ද ගබඩා වී තිබේ.සකීගේ දෑස් යොමු වී ඇති දිශාව දෙස බැලූ තරුණයා සිනාවක් මවා ගත්තේ ය.

“මට ඇත්තටම ආදරේ කරන කෙල්ල.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්නෙ ඔය.”

ළදැරිය ඇගේ තාත්තාට තරමට ම විශ්වාසයෙන් අහස්ට තුරුළුව සිටින ඡායාරූප කිහිපයක්ම අහස් සකීට පෙන්වූයේ ය.ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හැරී නැති නිසාම ජනප්‍රිය නොවූ ඒවා ය.

“පහුගිය කාලේ මට වෙච්ච දේවල් එක්ක මං හිතුව කවදාවත් කසාද නොබැඳ ඉන්න.ඒ උනාට ජීවිතේ තනිකම ගැන ගානක්වත් තිබුණෙ නෑ.කවුරු නැතත් මට මේකි ඉන්නවා කියලා මම දන්නවා.”

ළදැරිය අත දරන මොහොතේ ඇගේ තාත්තාගේ මුහුණේ ඇඳෙන හැම ආදරය රේඛාවක්ම අහස් ගේ මුහුණේ ද ඇඳී යන ආකාරය සකී නිරීක්ෂණය කළා ය.තමන් නොසොයන ලෙසත් හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් රෝහලට පැමිණි බවත් නිම්නාට වට්ස් ඇප් පණිවිඩයක් ලෙස යවා දුරකථනයේ අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කර දමන තුරුම ඇය අහස්ගේ මුහුණ හොරැහින් නැරඹුවා ය.ඔහු දවසක ඉතා හොඳ තාත්තා කෙනෙකු වන්නට ඉඩ ඇතැයි ඇයට සිතේ.නමුත් එය වචන කරන්නට ඇයට නොසිතේ.

“මම රිලේෂන්ශිප් ගැන හති වැටිලා හිටියේ.ඇත්තටම ට්වින් ෆ්ලේම් එකක් ගැන හිතන අස්සෙ කොහෙටවත් නැති අෆෙයාස් නම් කීයක් මට තිබ්බද?”

කිසිම දිනක කිසිම තරුණයෙකුට ආදරය නොකළ යුවතිය ඔහුව අසා සිටියා ය.හදිසියේ මැදියම් රාත්‍රියේ භීතියෙන් කෑගසමින් නැඟී සිටින්නට තමන්ට කී වාරයක් සිදුවූවාදැයි ඔහුට නොකියා ඇය අසා සිටියා ය.ඇතැම් රාත්‍රීන්වල නොකඩවා පෙනුණු සිහිනයක් ඇයට සිහි වේ.ඒ ඔහුගේ වනය තුළ ඉබාගාතේ යන සිහින ය.ඒ සිහින වල අර්ථය ඒ මොහොතේ වටහා නොගත්තද ඒ ඔහු “කොහෙටවත් නැති සම්බන්ධතා” ගෙනගිය දවස් වන්නට ඇතැයි දැන් ඇයට වැටහේ.

“ඔයාට කිසිම දවසක කවුරුවත් හිටියේ නෑ. ඒ ගැන මම දන්නවා.”

ඔහු ඒ දන්නේ කෙසේදැයි සකී නෑසුවා ය.තෝරා ගන්නට නොහැකි සිහින ගැන කතා කරනවාට වඩා ඒ ඕපාදූපය සියුම් කියන්නට ඇතැයි සිතන්නට සකී කැමති ය.සිහින නිසා ඇය ඕනෑවටත් වඩා බියපත් වී ඇත.සිහින සැබෑ වන්නට යන බවක් සිතන මොහොතක ඒ සිහින වල ඇති බියකරු සෑම දෙයක්ම සැබෑ ජීවිතයට පැමිණෙමින් ඇතැයි නො සිතා සිටින්නට ඇයට නොහැකි ය.

“මට මේවා තෝරන්න ඇත්තටම තේරෙන්නෙ නෑ සකී.ඒත් මං ඔයාගෙ ක්‍රෂ් එක කියල කැම්පස් එකේ ළමයි බාගෙට බාගයක් විහිළු කරනවා කියන කතාවට වඩා කතාවක් මට ආරංචි වුණා.”

ඔහු ඇය දෙස බලා සිටින්නේ තීක්ෂණ බැල්මකිනි.ඒ ප්‍රතිවාදී ක්‍රීඩකයන් කන්නට පෙර ඔහු බලන බැල්මයැයි සිතද්දී හදවත වේගයෙන් ගැහෙන මොහොතක පවා සකීට සිනාවක් ඉපදේ.

“මට මේවා ජීවිතේට සියුම් කියන්නේ නෑ.හයේ පන්තියෙ ඉඳල මගේ සහෝදරය වගේ ළඟ ඉන්න මනුස්සයාටත් දැන් මගේ රිලේෂන්ශිප් ගැන කිසිම විශ්වාසයක් නෑ.ඒ නිසා එයා මට වඩා එයාගෙ කැම්පස් එකේ නංගී ගැන හිතනවා කියලා මං දන්නවා.”

සියුම් නොකීව ද අහස් මොනවා හෝ දන්නා බවක් සකීට හැඟී යයි.ඇය ඒ සම්බන්ධ කුතුහලයෙන් පිරී ගියා ය.

“මම ගැලපීමක් නැති කතා ඔහේ කියවගෙන යන එකේ ඔයත් මේකට උත්තරයක් දෙන්න.ඔයා බලන්නෙ නැතුව මඟ අරින මැචස් හැමදාම අපි පරදිනවා යි කියලා ඇයි ඔයාගෙ යාලුවො කියන්නෙ? ඇයි ඔයා බලන මැච් විතරක් දිනන්නේ.සමහරවිට ඔයා නොබලා ඉන්න මැච් එකක් දෙකක් අපි දිනුවත් ඔයා නොබලන හැම මැච් එකේදී මම ෆේල් වෙන්නේ කොහොමද?”

සකී වචන ගලපන්නට උත්සාහ කළා ය.වචන නූපදින බව වැටහුණද ඇය වචන හෙමින් සීරුවේ එක්රැස් කළා ය.

“මං හීනයක් දකිනව.ඒ හීනෙ ඔයා ඉන්නෙ මහ විල්ලුවක,මං කියන්නෙ ලොකු කැලෑවක් වගේ තැනක අතරමං වෙලා.”

සකීගේ දෑස් මතින් කඳුළු ගලා යයි.පහදා විස්තර කළ නොහැකි හේතුවකට ඇගේ දෑසින් කඳුළු ගලා යයි.අහස් ඇගේ හිස් මුදුන මත අතක් තැබුවේ කිසික්ම නොකියා ය.හඬ නොනඟා ගලා යන කඳුළු වැල් ඉකියකට මුසු වන බව සකීට වැටහෙන්නට විය.

(ඔබේ ප්‍රතිචාර වැඩිපුර ලැබෙන තරමට,ඔබ දිගු ප්‍රතිචාර දක්වන තරමට දිග කොටසක් ලියන්නට සතුට ලැබෙනු ඇත.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles