නිබ්බුත ගීත -16

මම ඕනෑ තරම් දෛවයේ කම්මුල් පහර වලට ලක් වුණ ගෑනු ළමයෙකු වෙමි. ඒවා කෙතරම් හුරු පුරුදු වී ද ඇතැම් විට වැදුණ පහරක් මා උඩු යටිකුරු කරන්නට සමත් වූ බව කිව යුතු ය. එවන් වෙලාවක කඳුළක් ඉනූ ඇස් වලින් ම සිනහ වී, පපුවේ පිරුණු සුසුමක් කාටවත් නෑසෙන සේ පිටත් කොට හැර බිම බලා ගත් අතීතයක් මට තියේ. නමුත් මම අප්‍රමාණ සිහින දකින්නියක වීමි. ඔළුවේ වහල වැදෙන තරම් උසැති දර මඩුවක් නිවහන කර ගෙන විසී ද හදවතින් මා සිටියේ ඉඩ පහසුකම් ඇති හිත නිවා සනසාලන ලස්සන ගෙදරක ය. ඒ ගෙදර මලින් පිරි උයනකි. අපේ මිදුලේ තාරකා මල් යාය දෙස බලා ගෙන මම ඒ සිහිනමය උද්‍යානයේ සරමි. රෝස මල් සුවඳින් පිරී ගිය සුළං ඔබ මොබ දඟ කරන ඒ මනරම් ගෙඋයනේ හදවතින් ඇවිදිමි. මල් වලට එබී රොන්සුණු සුවඳ විඳිමි. අනුන් ඇඳ ඉවත ලූ බාචු ගවුම් හැඳ සිටිය ද සිතින් අලුත් සළු වලින් ගත සරසමි. සුවඳවත් ව ජීවත් වෙමි.

ඒ මා දෛවය හෝ ඉරණම කියනා දේ බාර ගත් විදිහ කියා සිතමි. දෛවයට අභියෝග කිරීමක් ගැන අදහසක් මට වූයේ නැති බව විශ්වාස ය. 

මගේ ළමා වියේ මිතුරී මහ මගට ඇද ගෙන විත් මගේ කම්මුල් දෙකට ම පහර දුන් වෙලාවේත් ඉරණම එක්ක සේ ම ඈ එක්ක ද තරහක් මා තුළ ඇති වූයේ නැත. නමුත් එක දුකක් හිතේ විය. ඒ මේ කම්මුල් පහරට පෙර ඇයට මගේ පෙම් කතාව හෙළි කරන්නට බැරි වීම ගැන ය. මා එසේ නොකර සිටියේ ඇයගෙන් රහසක් සඟවා තබා ගැනීමේ අරමුණෙන් නොව රිදුමක් දුරස් කොට තැබීමේ අවිහිංසක චේතනාවෙනි. නමුත් අප සැලසුම් කරන විදිහ හා දෛවය සැලසුම් අඳින විදිහ පරස්පර විරෝධී බව මට පසක් කරමින් සියල්ල පුපුරා ගියේ ය. 

සඳනි ට මගේ කම්මුලට ගැසීමේ සාධාරණ අයිතියක් හා හේතුවක් ඇතැයි සිතමි. ඇය ලෝචන ට පෙම් කළේ සාමාන්‍ය පෙළ පන්තියේ සිටියදී ය. ඒ බව වඩා හොඳින් දැන උන් කෙනා ද, ලෝචනගෙන් ප්‍රතික්ෂේප වූව ද ඇය තවමත් ඔහු ට පෙම් කරනා බව දන්නා එක ම කෙනා ද මම වෙමි. එහෙයින් ඇයට අනුව මා කළේ වරදකි. මට ඒ වරදින් නිදොස් කොට නිදහස් වීමට අවැසි නැත. මට ඕනේ ඇය හඬනා කඳුළැල් පිස දා ඇය සනසන්නට පමණකි. 

“මොකද ආ මේ ඕගොල්ලන්ට වෙලා තියෙන්නෙ…හොඳම යාළුවො ඔහොමද ප්‍රශ්න විසඳගන්නෙ…”

අප ගැන සැක සහිත වී එතැනට ආ මධාරා අක්කා චෝදනාව පොදුවේ එල්ල කළ ද එය ඉලක්කගත වූයේ සඳනිට ය. ඒ වෙලාවේ ඇය මට පහර දෙන්නට තෙවන වරට එසවූ අත තදින් අල්ලා ගෙන ලෝචන ඇදෙස ගිනි පිටවෙන දෑසකින් බලා සිටියදී, ඒ අත උදුරා ගෙන සඳනි හඬා ගෙන දිව ගියා ය. මම කැබලි වලට කුඩු වී ගියෙමි. ඒ කැබලිති එක්කාසු කර ගෙන යළි ලෝචන ලා ගේ ගෙදරට ගොස් අන්තිම කේක් පෙට්ටියත් සාදා තබා මිස මා යළි ගෙදර ආවේ නැත. සමහර විට මා ඒ මැදුරට අඩිය තබනා අවසාන අවස්ථාව එය විය හැකි බවට හැඟීමක්  ඉන් පිට වෙත්දී මා තුළ තිබිණ.

ඊට පෙර මධාරා අක්කා මාව සිය කාමරය වෙත කැටිව ගොස් දොර වසා තබා මට කතා කළා ය.

“මං දන්නව නිබ්බුතා එහෙම පිටින්ම අවුල් වෙලා ඉන්නෙ කියල. මේ වගේ වෙලාවක පුළුවන් තරං සන්සුන්ව බලන් ඉන්න එකයි නිබ්බුතා කරන්න ඕන. බොර වුණහම වතුරක වුණත් පතුල පේන්නෙ නෑ. පැහැදිලිව දකින්නනං ඒ බොර වතුර පෑදෙනකල් ඉන්න ඕන. ඒකට ඕන කරන ඉවසීම ඔයාට තියනව කියල මන් දන්නව”

ඈ කතා කළේ මට හිතා ගන්නටත් බැරි තරම් නිවුණු හඬකිනි. මේ වාගේ විදාරණයක් සිදු ව ඇති වෙලාවක, සිය සොයුරා ඔවුන් ගේ මෙහෙකාරිය ගේ දියණිය ට පෙම් කරනා බව අඩමාන වශයෙන් නොව ඉඳුරා ම දැන ගත් වෙලාවක ඒ තරම් නිවී හිඳින්නට ඇය ට හැකි වූයේ කෙසේ ද කියා මම නො දනිමි.

“මට සමා වෙන්න අක්කෙ”

මම පුළුවන් තරම් මගේ ස්වරයෙහි කඳුළු නො තවරන්නට වග බලා ගතිමි.

“සමාව ඉල්ලන්න හේතුවක් නෑ නිබ්බුතා. අපේ එකාගෙ ඇස් ඔයා වටේ කැරකෙනකොට ඔයා ඕ ලෙවල් ක්ලාස් එකේ. මෙතන කොහෙවත් ඔයාගෙ වරදක් නෑ. අපේ මල්ලාගෙ වරදකුත් නෑ. ඕන මනුස්සයෙකුට අයිතිය තියනව තමන් කැමති දේ තෝර ගන්න. ඔය දෙන්නගෙ තීරණේ ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වතුර බොර වෙලා තියන වෙලාවෙ මේව අපේ අම්මල දැන ගන්න එක එච්චර හොඳ නෑ. මොකද නිබ්බුතා…ඕනම දේකට වෙලාවක් කලාවක් තියනව. ඒක නිසා පුළුවන් තරං සඳනිව කන්ට්‍රෝල් කරගන්න වෙනව. බලමුකො. මං එයාට කතා කරන්නං”

ළමා වියේ සිට මා දුටු දෙව් රුව සැබවින් ම දේවතාවක ගේ බව මා පසක් කර ගත්තේ ඒ වෙලාවේ ය. 

කෙසේ වතුදු මට හැඬුණේ ගෙදර ආ පසු ය. හැන්දෑවට මල්ලී ට පාඩම් කියා දීම උසස් පෙළ විභාගය නිම වූ දින සිට ම මම කර ගෙන ආවෙමි. මගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ දා සිට ඒ කෙරේ උනන්දුව වැඩි වූයේ මගේ සාමාර්ථයට නිවැරදි වටිනාකමක් ලැබෙන්නේ මල්ලී ගේ සාමාන්‍ය පෙළ කඩඉම සමත් වීම මත යයි යටි සිත නිතර ම මට මුමුණා කියන්නට ගත් නිසාවෙනි. කන් කෙඳිරි ගාමින් වුව මල්ලී මා පාඩම් කියා දෙත්දී අසා හිඳියි.

මේ හැන්දෑවේ පාඩම කියවන්නට ගත්තා ට, තුන් සිත කළඹවා ගෙන මට හැඬුම් එන්නට ගත්තේ ය. මල්ලී දැන් පොඩි එකෙකු නොවේ. සිදු වූව අසා ඔහු කල්පනා කරන්නට ගත්තේ පරිනත මිනිසෙකු සේ ය. 

“ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගෙයි සුදූ. මහ ගෙදර එවුන් එක්ක හැප්පෙන්න වෙලා තියෙන වෙලාවෙ සඳනිත් තරහ වෙලා මදුරාපුරලත් කොක්කක් දැම්මොත් තමයි වැඩේ”

“මට සඳීට හැම දේම තේරුං කරල කියන්න ඕන මල්ලි”

“මං හිතන්නෑ වැඩක් වෙයි කියල”

“මට එයා එක්ක තරහ වෙන්න බෑ”

“ඒත් එයාට ආයෙ ඔයත් එක්ක යාළු වෙන්නත් බැරි වෙයි”

“ලෝචන අයිය එයාට කැමති වෙනවනං…අද වුණත් සඳට ඉඩ දීල මට පුළුවන් පැත්තකට වෙන්න”

“ලෝචන අයිය කැමති වෙන්නෑ”

මල්ලී ගේ මුහුණේ විශ්වාසයක් ද දෙතොල් මත්තේ අඩ සිනහවක් ද වූයේ ය. එදා මල්ලී ට පාඩමක් නො කෙරුණ අතර අප කතා කරමින් සිටියදී ලෝචන පැමිණියේ ය. මගේ ඇස් දෙසට හෙළු එක් බැල්මකින් ඔහු මා හඬා ඇති බැව් වටහා ගන්නට ඇත. ලෝචන ගෙන් ලොකු සුසුමක් ගිළිහුණේ ය.

“සොරි”

ඔහු කීවේ බංකුව මත හිඳ බිම බලා ගෙන ය. මල්ලී නැගිට ගෙතුළට යන්න ගියේ ය.

“මට ඕන වුණේ එයාට ඕක හංග හංග ඉන්නෙ නැතුව ඇත්ත දැන ගන්න අරින්න. කොහොමත් සඳනි ඒ ඇත්තට මූණ දෙන්න ම ඕනනෙ. එතකොටවත් එයා මේ මගෙ ඇඟේ ඇලෙන්න හදන එක නතර කරයිනෙ කියලයි මං හිතුවෙ. අනික එයා එහෙම කරනකොටත් ඔයා මූණ හදා ගන්නෙ මාත් එක්කනෙ”

ලෝචන එහෙම කියත්දී කඳුළු අතරින් ම මගේ ඇස් මත සිනහ මලක් ද පිපී එන්නට ඇත. එ් වෙලාවේ මා හිස් තේ කෝප්ප දෙක ද ගෙන කාමරයෙන් නික්ම ගිය පසු, සිය තේ එකෙන් බාගයක් මට දීම ගැන සඳනි ලෝචන ට චෝදනා කොට තිබේ.

“එ් ළමය මොනාද හිතන්නෙ ඔයා බීපු තේ එකෙන් ටිකක් දුන්නහම. හරියට ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වගේ” 

අප දෙදෙනා අතරේ එහෙව් බැඳීමක් වන බව ලෝචන ඇයට කියා තියෙන්නේ එතකොට ය. සඳනි ඒ තරම් කලබල වී එහෙම හැසිරෙතැයි ඔහු සිතා නැත. නමුත් ඇය ව මම හඳුනමි. සඳනි කියන්නේ ඉතා ඉක්මනින් කළබල වෙන විදිහේ ආවේගශීලී තැනැත්තියකි. ඒ ආවේගය මත ඇය ඕනෑ ම දෙයක් කරන්නට හෝ කියන්නට පුළුවන. නමුත් ඒ මත, ඇය නරක ළමයෙකු කියා චරිත සහතික නිකුත් කරන්නට මම කිසි සේත් ඉක්මන් නොවෙමි. මා දන්නා සඳනි නරක ළමයෙකු නොවේ!

“අපේ අම්මට සඳනි කේළම කිව්වත්…බය වෙන්න එපා හරිද…”

ලෝචන අතිශය ආදරණීය දෑසකින් මදෙස බලා වගකීම් සහගත ස්වරයකින් කීවේ ය. මගේ හද බිත්ති පෙරළී ගියේ ය.

“අනේ අයියෙ…”

“මගෙන් ඇහුවොත් මං කියන්නෙ ඔව් කියල. ඔයත් එහෙම කියන්න. ඊට පස්සෙ එන විදිහකට මූණ දෙමු”

“අපේ අම්ම පොළොවෙ පස් කයි”

“අම්මට වැඩට එන්න එපා කියන එකනෙ කරන්න පුළුවන් ලොකුම දේ…මං ගෙදර වියදං බලා ගන්නං”

“ඒත්…”

සුවාසු දහසක් හිතිවිලි හා හැඟීම් එකට තෙරපී හා එක මත එක වැටී අවුල් වී මා වෙහෙස කරවී ය. ලෝචන ටික කලක සිට පෞද්ගලික ඉංජිනේරු ආයතනයක නිදහස් රැකියාවක් කරයි. මධාරා අක්කා ගේ විවාහ උත්සවයෙන් පසු ඔහු එම ආයතනයේ ස්ථිර ඉංජිනේරුවරයෙකු ලෙස සේවයට එක් වීමේ සූදානමින් සිටියේ ය. ඔහු ඔය ගෙදර වියදම් බලා ගන්නා කතාව කියන්නේ ඒ නිසා ය. නමුත් අපට ලෝචන මත යැපෙන්නට බලා සිටිය නො හැකි ය. එය කිසි සේත් මගේ හෘද සාක්ෂියට එකඟ වන්නක් නොවේ. මධාරා අක්කා ගෙන් කවර උදව්වක් ඉල්ලී ද ලෝචනට අඩුපාඩුවක් කියන්නට කිසි දා මා පෙළඹී නැත. 

ඔහු යන්න ගියේ හැකි තාක් මගේ හිත හදා තබා ය. අම්මා ගෙදර එන තුරු මගේ හද සන්සුන් කර ගැනීම නම් පහසු වූයේ නැත. මදුරාපුර මැදුරේ යම් කැළඹීමක් ඇති විණි නම් අම්මා අද ගෙදර එනු ඇත්තේ ඒ බර හිසින් දරා ගෙන ය. මුළු ජීවිත කාලය ම දුක් විඳි ගැහැනියක වශයෙන් මා නිසා මෙවන් දුකක් ද ඇයට විඳ ගන්නට සිදු වුවහොත් එය මට දරා ගත නො හැක්කක් වනු ඇත.

නමුත් අම්මා ගේ හැසිරීමේ කිසිදු වෙනසක් පෙනෙන්නට තිබුණේ නැත. 

“සඳනි තාම ගින්න පත්තු කරල නෑ”

කියා මල්ලී කීවේ ය. අම්මා ගේ වෙනසක් නැති වීම තාවකාලික සැනසුමක් වී ද මගේ හද සන්තානයෙහි සෑයක ගින්දර තිබුණේ ය. ඒ රාත්‍රියේ නින්දක් ළඟට එන්නේ නැති කම නිසා විඳ ගන්නට සිදු වූ චිත්ත පීඩාව මට මේ දැනුත් අද ඊයේ මෙන් සිහි කර ගන්නට පුළුවන. දවස පුරා ම වෙහෙස වීම නිසා අම්මා නම් වැටුණු ගමන් තද හුස්ම ගනිමින් නිදන්නට වූවා ය. ඇය ගැන අපමණ සන්තාපයක් මගේ හද නිධානයෙහි නිදන් ගත වී තියේ. දවසක අම්මා මේ කරදර වලින් නිදහස් විය යුතු ය. ඇය ට සැපවත් සේ ම සතුටු පිරි ජීවිතයක් උදා කර දිය යුතු ය. වසන්ති පුංචි කියනවා සේ රැකියාවක් සොයා ගෙන ඉගෙනුම් මෙතැනින් නතර කරන්නේ වී නම් මට එය කළ හැකි වනු ඇත. නමුත් තවත් ටික කලක් අසීරුවෙන් හෝ අප මේ දුෂ්කරතා ඉවසා දරා ගෙන ද ජීවිතය අල්ලා ගෙන ද සිටිය යුතු නො වන්නෙමු ද? 

රැහැයි හඬ අපේ කුඩා නිවස වට කොට ගෙන තිබිණ. නින්ද ප්‍රමාද වන බොහෝ රාත්‍රීන් වල මම ඒ සංගීතය හා ආත්මයෙන් මුහු වී ඉමි. කුප්පි ලාම්පු එළියෙන් රෑ වන තුරු විභාග වලට පාඩම් කළ බොහෝ රාත්‍රීන් වල මගේ තනි නො තනියට සිටියේ ත්, නිදි බර වන ඇස් විවර කොට පාඩම් අතරේ තියා ගන්නට කුසගින්න ද සමග මා කළ සටන ගැන වැඩිය ම දැන සිටියේත් ඔය රැහැයි සංගීත කරුවන් ය. ගෙතුළ දැල්වෙනා කුප්පි ලාම්පු එළිය හැරුණ විට මහ ගෙදර තෙක් යාය ම කළුවර විසින් ගිල ගෙන තිබෙන බව මම දනිමි. ලාම්පු තෙල් ටික පිරිමසා ගනු වස් අම්මා නිදන්නට යත්දී කුප්පි ලාම්පුව ද නිවන්නට පුරුදු වී සිටියා ය. 

“කරන පාඩමක් දවල්ට කර ගනිං කෙල්ලෙ”

සිය දැනීමේ හැටියට අම්මා එසේ කියනා නිසාවෙන් මා රෑ වන තුරු පාඩම් කළේ විභාග දින වල පමණ ය. වයර් පොටක් ඇද අපේ ගෙට බල්බ් එකක් දමා දෙන ලෙස අම්මා මහ ගෙදර ඇත්තන් ට කෙතෙක් ඉල්ලීම් කළ ද අද වන තුරු ම එය සඵල වූයේ නැත.

“කවුරු හරි එකෙක් පෙත්සන් ගැහුවොත් එහෙම…අනේ මේ ඔය කරදර පටලෝගෙන බෑ”

ආච්චි මමී ගේ පිළිතුර වූයේ එයයි. අන්තිමට අම්මා ඒ යෝජනාව කිරීම අත් හැර දැමුවා ය. කුප්පි ලාම්පුවෙන් හෝ අප යන්තම් ජීවිත එළිය කර ගත් විට, අප වෙනුවෙන් පහන් වැටවල් දැල්වූ සෙයින් කතා කරන්නට එන මිනිසුන් නම් බොහෝ ය!

නින්ද නො යාම රාත්‍රියකට කෙතරම් දඬුවමක් දැයි පසක් කොට දෙමින් ඒ රැය ගෙවී ගියේ ය. මල්ලී පුරුදු පරිදි පාසල් ගියේ ය. අම්මා වැඩට යත්දී මගේ පපුව ගිඩි ගිඩි ගා ගැහෙන්නට විය. දැන් අම්මා යන විට ඒ ගෙදර ප්‍රතිචාර කෙසේ වනු ඇත්ද යන බියෙන් නිදහස් වීම පහසු වූයේ නැත. නො සන්සුන් කල්පනා සමග මුහු වෙමින් මා ගෙයි මුල්ලේ බිම හිඳ සිටියදී එක වර ම ගෙතුළට දිගු හෙවනැල්ලක් වැටිණ. එවෙලේ හිටිය නොසන්සුන් බව නිසා ද මන්දා මම අතිශය බියට පත් වීමි. කෑ ගැහෙන්නට ආ මුව මගේ ම අතින් වසා ගත්තේ දොරකඩ සිට ගෙන අත් දෙක පපුව මත බැඳ ගෙන උන් සඳනි දුටු විට ය. ඇගේ මුහුණ මත වූයේ ඔරවා ගත් බැල්මකි. මම හෙමිහිට නැගිට ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...