පාට සේදුනු වත්සුණු -34

අරමුණක් එකතු වූ විට ජීවිතය වඩාත් ජව සම්පන්න වේ. මම ඒ උද්‍යෝගයේ රසය සජීවී ව විඳින්නට පටන් ගතිමි. ඒ ප්‍රවාහයට හසු වීමෙන් පස්සේ කෙනෙක් හුස්ම ගන්නේත් ප්‍රීතිමත් බලාපොරොත්තුවකිනි. මම අපේ අනාගතයේ සැලසුම් මගේ ම හද තුළ අඳිමින් ද සංස්කරණයන් කරමින් ද එහි සැරිසරන්නට වීමි.

“දැං තමයි ඔයා ඇත්තටම ජීවත් වෙන්නෙ”

කුඩා කල සිට මා ළඟින් ම උන් යෙහෙළිය ඒ වෙනස ඉව කළා ය.

“මෙච්චර කල් ඔයා හුස්ම ගත්තා විතරයි. කිසිම බලාපොරොත්තුවක් ඔයාගෙ ඇස් වල තිබුණෙ නෑ. අපි හදවතින්ම ජීවත් වෙනකොට අපේ ඇස් වල ඒක ලියවෙන්න ගන්නව. ඒක හොඳට බැලුවොත් කෙනෙක්ට කියවන්න පුළුවන් කතාවක්”

මා තුළ ජීවත් වූ බියගුළු කෙල්ල පරාජය කිරීමෙන් පස්සේ අම්මා හා අසංක සම්බන්ධයෙන් ද වඩාත් නිදහස් ලෙස හිතන්නට මට හැකි වූවා කියා සිතමි. අම්මා බලාපොරොත්තු වූ ආදරවන්ත සැමියා කිසි දාක අසංක වෙතින් ඇයට ලබා ගත නො හැකි වනු ඇති බවක් හිත මට කොඳුරා කීවේ ය. අම්මා දෙවන වරටත් පැරදී ඇති බව වඩ වඩාත් පසක් කර ගත හැකි ලෙස අසංක හැසිරෙමින් ද සිටියේ ය.

මුලදී කුරුලු ජෝඩුවක් සේ සිටි ඔවුන් අතර අඩදබර සිදු වෙන බවක් පෙනෙන්නට තිබිණි. මුලින් මුලින් ඒවා කාමරයට සීමා වූ කුටු කුටු ගෑම් පමණක් විය. නොහොඳ නෝක්කාඩුවක සලකුණු කියවා ගත හැකි වූයේ අම්මා ගේ මුහුණෙනි. නමුත් ක්‍රමයෙන් ඒවා කාමරයෙන් පිටතට ඇහෙන බැණ අඬගෑම් බවට පත් වන්නට විය. එක දවසක් කතා බහ දුර දිග ගොස් අසංක අම්මාට පහර දෙන්නට පැන්නේ ය. එසේ සිදු නො වුණේ අත්තම්මා ඔවුන් දෙදෙනා අතරට පැන අම්මා ව මුවහ කර ගත් නිසාවෙනි.

“පිස්සුද මනුස්සයො…මේ බඩ දරු ගෑනියෙක්ට අත උස්සගෙන යන්නෙ…පිරිමියෙක්ද තමුං…”

අත්තම්මා පුපුරා හැළුණා ය. තමුන් ගේ ඉලක්කය වැරදී යාම නිසා අසංක, ගොදුර ගිළිහුණ හිවලෙක් සේ පිස්සු වැටී සිටියේ ය.

“මේ…මං මේ බොහොම හොඳින් කියන්නෙ. කවුරුවත් අපේ ප්‍රශ්න වලට මැද්දට පනින්නැතුව හිටියොත් හොඳයි”

ඔහු අත්තම්මා වෙතට සිය දබරැඟිල්ල දිගු කළේ ය.

“තමුංගෙ ප්‍රශ්න විසඳගන්නවල මේ ගෙදරිං දොට්ට බැහැල ගිහිං. මොනා වුණත් මේ හරකිට ගහනව බණිනව බලං ඉන්න අපිට බෑනෙ”

“මට ඉන්න තැන අදාල නෑ හරිද…මට කොතනත් එකයි. ආයි මගෙ දේවල් වලට අත පය දාන්න ආපුදෙංකො මං බලා ගන්න”

අසංක ගෙන් පිටව ගියේ අම්මා දෙසට රවා ගෙන ම අත්තම්මා ට තර්ජනය කරමි. ඔහු ගේ ගෙ ගෙලින් අල්ලා සිර කරන්නට මට නො සිතුණා නොවේ. අසංක ඇතුළු බොහෝ පිරිමි සිතන්නේ සිය අත පය වල හයියෙන් ඔවුන් හා බැඳුණු ගැහැනුන් පාගා චප්ප කර දමන්නටයි. ඔවුන් හිතන්නේ කිසි දාක ඒ ගැහැනුන් ඔවුන් ට එරෙහි ව වචනයක් කතා නො කළ යුතුයි කියා යි.

නමුත් ඒ නොහොඳ කෝක්කාඩුව ඔවුන් දෙදෙනා අතර පැවතුණේ පහුවදා වන තුරු පමණි. ඔවුන් දෙදෙන කිචි බිචි ගාමින් හිනහෙන හඬ කාමරය පැත්තෙන් ඇසිණ.

“හනේ අම්මාපල්ල…අපිට ගහන්න ඕනෙ බූවල්ලෙන්”

අත්තම්මා උරහිසෙහි නිකට තබා ගනිමින් සිය හැඟීම් ප්‍රකාශ කළා ය. මේ ගැන මා යුගාන්තට කී විට ඔහු කළේ හිනහෙන එකයි.

“හස්බන් ඇන්ඩ් වයිෆ්ගෙ අමනාපකං තියෙන්නෙ බත් හැලිය ඉදෙනකල් විතරයි කියල කියන්නෙ ඒක තමයි”

“මෙයා කතා කරන්නෙ හරියට මීට කලිං කසාද දෙක තුනක් කරගෙන ඉඳල සෑහෙන්න අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් වගේනෙ”

මම ඔහු වෙතට අඩ බැල්මක් හෙළුවෙ

මි. 

“සමහර දේවල් අත්විඳින්නම ඕන නෑ ගයා. දේවල් සිද්ද වෙන විදිහ දිහා බලං ඉඳල අපිට අත්දැකීම් එකතු කර ගන්න පුළුවන්. ඒක තමයි වටින්නෙම”

“ඒ වුණත් මටනං අසංක ගැන තියෙන්නෙම සැකයක්. මන්දන්නෑ මට ඒ මනුස්සයව විස්වාස කරන්න බැරි ඇයි කියල”

“කුසල්ගෙ අත්දැකීම් ඒකට හේතුවක් වෙන්නත් ඇති”

මම තිගැස්සී ගිහින් යුගාන්ත දෙස බැලුවෙමි. මේ වෙලාවේ කිසි සේත් කුසල් සිහිපත් කරන උවමනාවක් මට වූයේ නැත. අනිත් අතට කුසල් කියන්නේ මවිසින් ගලවා දමා ආ මගේ අතීතට නමැති හැවයි. එය ගැලවූයේ මා නිසාවෙන් යළි එදෙස හැරී බලන අවශ්‍යතාවයක් වුව මට වූයේ නැත.

“මං එහෙම කිව්වෙ…පිරිමියෙක් ගැන ඔයාගෙ පළවෙනි අත්දැකීම කුසල් නිසා. කුසල් කියන්නෙ පිරිමි දිහා සැකෙන් බලන්න ඔයාට බලපෑම් කරන හේතුවක් වෙච්ච නිසා. සමහර විට…ඔයාගෙ පළවෙනි අත්දැකීම ඊට හාත්පසින් වෙනස් එකක් වුණානං…ඔයා හැම පිරිමියෙක්ම විස්වාස කරල හුඟක් පිරිමින්ට රැවටෙන විදිහෙ ගෑනු ළමයෙක් වෙන්න තිබුණ. මං හිතන්නෙ හුඟක් ගෑනු ළමයි පිරිමින්ට රැවටෙන්නෙ එයාලගෙ ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමංගෙම තාත්ත නිසා. ගොඩක් ගෑනු ළමයි ඉස්සල්ලම ආදරේ කරන පිරිමියා තාත්තනෙ. ගෑනු ළමයෙක්ගෙ හිතක් ඊළඟට ආදරේ කරන්න බලාපොරොත්තු වෙන්නෙත් තාත්ත වගේ පිරිමියෙක්ව. තාත්තට වගේ එයාල තමන්ට ලං වෙන පිරිමියට ගෞරව කරනව. විශ්වාස කරනව. ඒක විනාශ වුණොත් වෙන්නෙ ඒ ගෑනු කවදාවත් පිරිමි විශ්වාස නොකරන…පිරිමින්ට ගරු නොකරන තත්වෙකට පත් වෙන එකයි”

යුගාන්ත කතා කරගෙන ගියේ නැවතිල්ලේ ය. 

මට අවධාරණය කළ යුතු තැන් හොඳින් පසක් කර ගන්නට ඉඩ සලසමිනි. එහෙම පිරිමි විරලයි කියා තුෂී නිතර ම කියයි.  අසංක හෝ කුසල් වැනි පිරිමියෙකු ඉදිරියේ ආත්මය පාවා දෙන්නට සිදු නොවීම ගැන මම මගේ ඉරණමට ස්තුතිවන්ත වීමි.

අම්මා හා අසංක අතර අඩදබර එන්න එන්න ම වැඩි විය. ඔවුහු තව දුරටත් ඒවා අනිත් අය දැන ගන්නා එක ගැන කිසිදු ලජ්ජාවකින් හෝ බියකින් තොරව ම, එළිපිට දබර කර ගන්නට වූහ.

“මොකද්ද බං උඹලට වෙලා තියෙන්නෙ…”

අසංක නැති වෙලාවක අත්තම්මා අම්මා ට කෙලින් ම කතා කළා ය.

“උඹලගෙ ඕනකමට නේද ඕව කරගත්තෙ…දැං මරාගන්නෙ…මොකද්ද මේකෙ තේරුම…”

“ගෑනු මිනිස්සු අතරෙ ප්‍රශ්න ඇති වෙනව තමයි අම්මෙ. ඒක සාමාන්‍ය දෙයක්. මොකද අම්මයි තාත්තයි අතරෙ කවදාවත් ප්‍රශ්න ඇති වෙලා නැද්ද…”

අම්මා පණ්ඩිත කතාවක් කීවා ය. එයින් වූයේ අත්තම්මා උදහස් වන එකයි.

“ගෑනු මිනිස්සු අතරෙ ප්‍රශ්න ඇති වෙනව කියන එක උඹ මට කියල දෙන්න ඕන නෑ කෝසලා. මායි තාත්තයි අතරෙත් ප්‍රශ්න ඇති වෙලා තියෙනව තමයි. ඒත් අපි ලෝකෙ හිනස්සන්න ඔහොම මරාගෙන නෑ. බඩක් උස්සගෙන ඉන්න ගෑනියෙක්ට මිනිහෙක් තඩිබානව කියන්නෙ සාමාන්‍ය දෙයක් කියලද උඹ හිතන්නෙ. එහෙනං ඉතිං උඹ ගොං බඳින කණුවක් මිසක් ඇත්තටම වෙන වැඩකට ඇති ගෑනියෙක් නෙවෙයි. මිනිහෙක් ඉස්සෙල්ලම කරන්න ඕනෙ තමුංගෙ ගෑනිට ගෞරව කරන එකයි කියල උඹගෙ ඔය මහ ලොකු සුවාමි පුරුෂයට කියල දීපං”

අත්තම්මා අධික කෝපයකට පත් ව ඇති බව දැනුණෙන් දෝ අම්මා නිහඬ වූවා ය. ඉන් පසු දිනක් දෙකක් කෑ කෝ ගසා ගැනීම් ඇති නො වුණත්, යළිත් එය සාමාන්‍ය ලෙස සිදු වන්නට ගති. මෙතෙක් අනුන්ගේ පවුල් ප්‍රශ්න වලට අත නො දාන්නට දැඩි ව සිතා උන් සීයා පවා, එක් අවාසනාවන්ත දිනෙක ඊට මැදිහත් වූයේ ය. එදා අසංක අම්මා ට පහර දී ඇගේ කෙස් වැටියෙන් අල්ලා ආලින්දයට ඇද ගෙන ආවේ ය. සීයා කෝපාවිෂ්ඨ වූයේ ය.

“අතඇරපිය ඔය ගෑනිව. තමුං මොන තිරිසනෙක්ද මිනිහො…තමුංගෙ දරුවෙක්ව නේද මේ ගෑනි බඩේ තියං ඉන්නෙ…”

“මේ නාකියා…අපේ දේවල් වලට කතා කරන්න එන්නෙපා. මං කලිනුත් කියල ඇති”

“මොකද්ද මිනිහො කියන්නෙ…මගෙ වහළ යට ඉඳගෙන උඹ එනවද මාව යටත් කර ගන්න…”

සීයා ඔහු ළඟට ම යත්දී අසංක කළේ පිරිමියෙකුට කළ හැකි නින්දනීය ම ක්‍රියාවකි. ඔහු සීයාට පහරක් ගැසුවේ ය. මට කෑ ගැසිණි.

“ජරා මිනිහ. මොකද්ද ඒ කළේ…”

මා ඔහු වෙත පනින එක නතර කළ අත්තම්මා අන්තිම තීන්දුව දුන්නා ය.

“බැහැපිය දොට්ට. කෝසලා…මේ මිනිහට කියපං තව මොහොතක්වත් මේ ගෙදර ඉන්න බෑ කියල. එහෙම වුණොත් මං පොලීසියට කෝල් කරනව. උඹත් ඕනනං මූත් එක්කම පලයං. මූටනං තව විනාඩියක්වත් මේ වහළ යට ඉන්න බෑ”

අප අවට වායු ගෝලයෙහි පවා අමුතු කැළඹීමක් විය. අම්මා මී දෙනක සේ හඬන්නට වූවා ය.

“මගෙ තාත්තට ගැහුව. තමුසෙ මගෙ තාත්තට ගැහුව. මගෙ තාත්ත”

ඒ නම් රංගනයක් නො වන බව මම දනිමි. අම්මා දැඩි වේදනාවකට බඳුන් වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...