“ඊෂා.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෑ.”
මට තවත් ප්‍රමාද වන්නට සිතුණේ නැත.වහා ඊෂාගේ අතින් අල්ලා ගත් මම ඇයට සියල්ල කියන්නට සිතුවෙමි.
“පොඩ්ඩක් ඉඳපං ඉතිං.. ඔය කියන්න යන දේ මම දන්නවා.. ඊට කලින් මොනව හරි කාලා ඉමු. දවසම හාමතේ ඔයා.”
ඊෂා මට නාන කාමරයට යන්නට උදව් කළ අතර ඈ සමඟ මලිඳු ගැන පවසන උවමනාවෙන් සිටි මට කාලය බොහෝ දිගු විය.රාත්‍රී ආහාරය ගෙන රෑ බෙහෙත් වේල ද ලැබෙන තුරු ඇය මට කිසිත් පවසන ඉඩක් දුන්නේ ම නැත.
ඉනික්බිති මලිඳුගේ සර්ව සම්පූර්ණ නාටකය ඊෂා සමඟ පවසන්නට මට හැකි විණි. සිතට සැනසුමක් දැනුණේ ඉන්පසුව ය. කතා කරනවාටත් වඩා මා හඬමින් සිටින බව දැනුණ ද ඊෂාට රහසක් සැඟවීම මහා බරක් බව මට දැනුණේ ඒ මොහොතේ දී ය.
“මට බයයි අයියයි දිනුකයි මලිඳු මීට් වෙන්න යයි කියලා. දැන් අයියා ඉන්නකොට මලිඳුගෙන් කෝල් මැසේජ් ආවා.මං අප්සට් යනකොට අයියට තරහ ගියා..”
ඊෂා කල්පනාකාරී ව මදෙස බැලුවා ය.
“දිනුක යන් නෑ පිනී. දිනුකවත් හිමල්කවත් මලිඳුව මීට් වෙන්න කීයටවත් යන් නෑ. අයියා යන්න පුලුවං තමා. හැබැයි එහෙම යන්න කලින් යන්න කලින් අපි ඕක අයියට කියමුකො..බය වෙන්න එපා අපි තරිඳි නංගිට හරි කියලා ඕක කියෝමු. ඇත්තම කතාව අපේ අයියා උඹටයි මටයි දෙන්නටම වඩා තරිඳිට ආදරෙයි.”
ඈ මා සැනසුවේ එහෙම කියමිනි.
“ඇයි දිනුකලා මලිඳු මීට් වෙන්න නොයන්නේ?”
ඊෂා වේදනාකාරී මඳහසකින් මොහොතක් මදෙස බලා සිටියා ය.
“මං ඔයාට කියන්නංකෝ පස්සෙ.. ගෙදර ගියාම”
ඒ රහස දැන ගන්නට මට ඕනෑ වුවද ඊෂා යළි ඒ ගැන කතාබහකට පැමිණියේ නැත. හදවතට දැනුණු සැහැල්ලුව නිසා මට වඩා සනීපයක් දැනෙමින් තිබූ අතර පසුදා රෝහලෙන් මට ගෙදර යන්නට ද ඉඩ ලැබිණි.
“ප්‍රශ්න හිතේ තියාගෙන අවුල් වෙන්න හදන්න එපා.ඒක තමයි මේ පොඩි පොඩි අසනීප වලට හේතුව..”
වෛද්‍යවරයා මට අනතුරු ඇඟවූයේ ය. එය ඉහ මුදුනින් පිළි ගන්නට ඉටා ගත් මම ගෙදරට යන අතර මුලින්ම කළේ මලිඳුට කෙටි පණිවිඩයක් තැබීම ය.
“එක්සෑම් ඉවර වෙනකං කතා කරන්න එපා මලිඳු. මට මේ දවස්වල එක්සෑම් නිසා ඔලුව හරියට ස්ට්‍රෙස්.”
ඔහු එයට මොනමොනවාදෝ පිළිතුරු එවූව ද එය නොබලාම මකා දමන තරමේ සවිමත් පිනිදි කෙනෙකු ඉතිරිව සිටියා ය. මට මා ගැන දැනුණේ පුදුමයකි. මලිඳුගේ එක් මැසේජ් එකක් එනතුරු නිදි වර්ජිත රෑ ගෙවමින් දුරකථනය පිරික්සූ දැරිය අත්දැකීම් වලින් පරිණත වීම ගැන සිහින් සතුටක් මා වෙළා ගනිමින් තිබිණ.
“එක්සෑම් ගැන නම් ලොකුවට හිතන්න එපා පුතේ. මේ ගමන කරන්න පුලුවන් තරම කරන්න. රිපීට් වුණොත් අපි ගෙවලා ආයේ කරමු. ඕක එච්චර හිතන්න දෙයක් නෙවේ හොඳ ද?”
ඊෂාගේ අම්මා මා හිස පිරිමැද කීවා ය.
“සල්ලි ගැන හිතන්න එපා. ඔය ගෑනු ළමයි හිතනවට වඩා ඔයාලා සල්ලිකාරියෝ දැන්.ඔයාලගේ ෂෙයාස් ගැන ඔයාලා හෙව්වෙ බැලුවෙ නැතුවට අයියා සේරම බෑන්ක් කරලා තියෙන්නෙ..”
ඈ වැඩිදුරටත් කීවා ය.
“මට සල්ලි ටිකක් ඉල්ලා ගන්න ඕන..”
ඊෂා වහා පැවසුවා ය.
“ඔන්න පටන් ගත්තා නාස්තිය. වෙඩින් එකට කලින් ගෙයක් එහෙම හදා ගන්න හිතුණම තමා සල්ලි වල අගේ දැනෙන්නේ.තාත්තිගෙ සල්ලිම ඉල්ලන්න ඕනයැ..”
ආන්ටී පවසන්නේ සිනාවකිනි.
“අපිට ගෙයක් හදන්නත් වෙනවා තමා..”
ඊෂා මුහුණ බැරෑරුම් කරගෙන එසේ පවසන්නේ දිනුකට බාල සහෝදරයන් දෙදෙනකුම සිටින නිසා ය.මට සිනාවක් උපදිද්දී ඒ බැරෑරුම් බව වැඩි වෙලාවක් මුහුණේ තබා නොගත් ඈ මවෙත නෝක්කාඩු බැල්මක් හෙළුවා ය.
“ඔයා මොකෝ හිනා වෙන්නේ. ආ.. ඔයාට ඉතිං ගෙවල් ඕන නෑනෙ..”
ඊෂා එසේ පවසන්නට ඇත්තේ මා මලිඳුව සහමුලින්ම අමතක කරමින් හිඳින බැවින් යැයි මම සිතුවෙමි. මා නැවත ආදරයක් හෝ විවාහයක් ගැන නොසිතන්නට තීරණය කර ඇති බව ඈ සිතනවා ඇතැයි සිතුව ද එය එසේ නොවන බව මට සිතුණේ ආන්ටී කාමරයෙන් නික්ම ගිය වහා ඊෂා මට නැඹුරු වද්දී ය.
“පිනී,ඔයා අවුරුදු ගාණක් මලිඳුව ක්‍රෂ් කරගෙන හිටියනෙ. ක්‍රෂ් එකටත් එහා ගිහිං ඒකට ලව් කරන්න ගත්තනෙ.මං ඔයාට රහසක් කියන්නද?”
මම රහස අහන්නට බලා සිටියෙමි.
“ඔයා මලිඳුට ආදරේ කරේ එයාගේ ආදරයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි තමා.ඒකට මලිඳු රිප්ලයි කරේ අන්තිම නරක තාලෙකට වුණාට ඔයාගේ ඉරණම නරක නෑ පිනී. ඔයා ආදරේදවත් නොදැන ඔයාට ආදරේ කරන කෙනෙක් ඉන්නවා..එයා ඔයාට හරි ආදරෙයි..”
ඒ කවුදැයි අසන්නට මට උවමනා නොවිණි. ඒ කවුදැයි වටහා ගන්නට මගේ කෙලි ඉව ප්‍රමාණවත් ය. නමුත් නියඟයකට හසු වී ගිය බිම් කඩක අලුත් මල් පැළ සිටුවන්නට මට ඕනෑ වූයේ නැත. මගේ හිත දරුණු නියඟයකට හසුව ගොස් ය.මා ආදරය කළ මිනිසා රැවටිලිකරුවෙකු බවත් මගේ අහිංසක ආදරය ඔහු මට සිනාසෙන්නට පාවිච්චි කළ බවත් දැන තවම දින දෙකක්වත් ගෙවී නැත. ආදරය යැයි කියන්නේ හදවත පීඩාවට පත් කරන්නක් බව සිතමින් හිඳින කාලයක ප්‍රේමයක පැටලී තේරුමක් නැත. මා පිළි ගන්නට බලා සිටින සුන්දර මිනිසෙකුට ඉන් සිදු වන්නේ අතිශය අසාධාරණයකි.
ඊෂා පැවසූ දේ ගැන නොදැන සිටින්නේ මා පමණක් බව පසුදා උදෑසන වන තෙක් මම දැන නොසිටියෙමි. උදෑසන ආහාරය ගන්නට සිතමින් පහළ මාලයට විත් මුළුතැන්ගෙය දෙසට යද්දී ඊෂාත් අයියාත් ආන්ටීත් කතා කරමින් හිඳින හඬ මට ඇසිණි. අනුන්ගේ කතාබහකට කන් දෙන්නට ඕනෑ නොවූව ද ඒ කතාව මා ගැන බව මට වැටහිණි.
“පිනිදිගෙ නංගිට එක්සෑම් ඉවර වුණාම අපි ඒ පැත්තේ ගිහින් එමු. ඊට කලින් ඔයාගේ හිතේ තියන දෙයක් ඒ ළමයට කියලා ඉන්න ලොකූ. ඒ ළමයට අකමැති වෙන්න හේතු තියනවා නම් එහෙම අපි එහෙම ගමනක් යන එක අන්තිම නරකයි..”
ආන්ටිගේ හඬ ඇසිණි.
“පිනී අකමැති වෙන්න තිබ්බ එකම හේතුව අර මෝඩ මූසලයා. දැන් ඒක හරිනෙ. හැබැයි ඉතිං ඌටයි උගේ අම්මටයි ඉක්මනින් කියන්න වෙනවා එක එක හෝප්ස් තියන් ඉන්න එපා කියලා..”
ඊෂා පවසන්නේ තරහිනි. මෑතක සිට ඈ මලිඳු සමඟ වඩා කෝපයකින් හිඳින බව මට නොදැනුණා ම නොවේ.
“පිනිදි මෙයාගේ යාලුවා කියලා මෙහෙ යන්න එන්න පටන් ගත්තම මට නිතර හිතුණා මෙහෙම දෙයක් වෙනවා නම් කියලා. ලොකූ ඒ කාලේ හිටපු හැටියට එහෙම දේවල් හිතලා තේරුමක් නැති නිසා මං ඒ කතාව හිතිම් අතෑරලම දැම්මා..”
ආන්ටි පවසන්නේ සැනසුම් හඬකිනි. ඇය අම්මා කෙනෙකි.දිනුකගේ සම්බන්ධය ගැන දැනගත් දිනයේ ද ඊෂා වැනි දඟකාර කෙල්ලකට දිනුක වැනි වගකීම්සහගත යෞවනයෙකු ලැබීමේ සතුට ඇය මා සමඟ බොහෝ වෙලා බෙදා ගත්තා ය. මා ඇගේ ලේලිය විය යුතු බවට ඇය තීරණය කර අවසන් බව මට විශ්වාස ය.ඒ තීරණය ගැන ඇය පසුවන්නේ සොම්නසිනි.
මම මුළුතැන්ගෙයට පිවිසුණේ තවදුරටත් එය අසා සිටීමේ අපහසුවක් දැනුණු නිසා ය. කෑම මේසයට හිඳ ගන්නවා වෙනුවට ඒ මත හිඳගෙන සැහැල්ලුවෙන් හිඳින අමෝද අයියාත් කඩල ඇටයෙන් ඇටය අහුලමින් හිඳින ඊෂාත් පළතුරු යුෂ සකසමින් සිටි ආන්ටීත් දෙස මම මොහොතක් බලා සිටියෙමි.මේ පවුලේ කොටසක් වීම සොම්නස උතුරා යන අත්දැකීමක් නොවන්නේදැයි මගේ හිත මා සමඟ තර්කයක් අරඹද්දී මම තවත් හීනයක ගිලෙන්නට ගොස් රිද්දා නොගන්නැයි හිතට තරවටු කළෙමි.
” පිනී, අර මලිඳු බෝඩ් වෙලා ඉන්නේ කොහෙද?”
අමෝද අයියා ඇසුවේ හදිසියේ ය. මට වචන අමතකව යන්නා සේ දැනිණ.
“නාවල..”
ඊෂා මට ඉස්සර වූවා ය.මලිඳු නවාතැන් ගෙන සිටින්නේ කොහේදැයි ඈට කී දිනය සිහි කරමින් මම අමෝද අයියා දෙස නෙත් කොණින් බැලීමි.
“ඌ ඔයාට ඒවා මේවා කියාගෙන එනවා නම් කියන්න. මං ගිහිං ඌට කතා කරන්නං..”
අමෝද අයියාගේ කතාව ඇසී ආන්ටී අප’තරට ආවා ය.
“මලිඳුට පිනිදි දුව අකමැති නම් ඒක පිනිදි දූම ඒ බෝයිට කියන්න.ලොකූ ඔයා මොකටද පොඩි කොල්ලො එක්ක රණ්ඩුවට යන්නෙ. නංගිලාගෙ පස්සෙ එන කොල්ලන්ට පාට් නොදා ඔයා වයසට වැඩ කරන්න..”
අමෝද අයියා කිසිත් නොකියා එතැනින් යන්නට ගියේ ය. ඔහු අප ගැන සොයන්නේ වැඩිහිටිකමට බව අඟවන්නට ආන්ටි පරණ කතාවක් ඇරඹුවා ය.ඊෂා පාසල් යන කාලයේ ඇය ගැන උනන්දු වූ තරුණයෙකුට අමෝද අයියාගෙන් එල්ල වූ ගැහැට ගැන කියමින් ඇය තත්ත්වය සමනය කරද්දී ඊෂා ද එයට හවුල් වූවා ය. මගේ අවධානය ඉන් බිඳී ගියේ දුරකථනයට ආ වට්ස්ඇප් පණිවිඩයක් නිසා ය.
“පිනී,මට ඔයාට ඊෂා ගැන කතාවක් කියන්න තියනවා. ඒක ඇහුවම ඔයාට ඔය ගෑනිව අප්පිරියා හිතෙයි..”
මම එදෙස මඳ වෙලාවක් බලා සිටියෙමි. අනතුරුව එය හිමල්කට ෆෝවර්ඩ් කර යවා ඒ මලිඳුගෙන් බව සටහන් කළෙමි.තනි තීරණ ගනිමින් කාලය නාස්ති කිරීමේ තේරුමක් නැති බව මගේ හිත මට අණ කරමින් තිබිණ.
“දහය වෙනකොට මං ඔහෙට එනවා. ඔය වස්සාට රිප්ලයි නොකර ඉන්න..”
හදවත් රැසක් සමඟ හිමල්ක මට පිළිතුරු එවූයේ මා සන්සුන් කරමිනි.