ඔබත් විදෙස්ගත වෙනවාද? ආර්ථිකය හා පවුලේ ආරක්ෂාව තහවුරු කරගැනීමට මේගැනත් සිතන්න

අද බොහෝ කාන්තාවන් සිය පවුලේ ආර්ථික අවශ්‍යතා සඳහාවිදෙස්ගත වී රැකියාවක නිරත වීම සාමාන්‍ය දෙයක්. විදෙස්ගතවන කාන්තා ඔබ පවුලට මෙන්ම මෙරට ආර්ථිකයට ද සිදුකරන්නේ විශාල සේවයක්. එමෙන්ම ඔබ ආර්ථික දුෂ්කරතා ජයගන්නා මෙන්ම අනාගත ආර්ථික ශක්තිය වර්ධනය කරන දිරිය කාන්තාවක්. Smart Lady තුලින් අප අද ඔබට පවසන්නට යන මෙම කරුණු ඔබගේ අපේක්ෂිත අනාගත අරමුණු ඉටුකර ගැනීමට වැදගත් වේවි.

ඔබ විදෙස්ගත වීමේදී රැකියා අංශ දෙකක් සඳහා යොමුවිය හැකිය.එනම්; ගෘහාශ්‍රිත රැකියා ( Domestic careers ) , ගෘහාශ්‍රිත නොවන රැකියා( Non – Domestic careers ) අංශය යි. ඇතැම්විට ඔබට මෙම අංශ දෙකෙහිම රැකියා සඳහා විදේශ රැකියා ඒජන්සි හරහා පිටත් වන්නට මෙන්ම විදෙස් රටක සිටින හිත මිතුරෙකු රැකියාවක් සොයා visa ලැබීමෙන් විදෙස්ගත වන්නට ත් පුළුවනි.

ඔබේ විදෙස් ගමන් බලපත්‍රය, visa (විදෙස් රටකට ඇතුල් වීමට අවසර ලබාදෙන ලියවිල්ල) , රැකියා ගිවිසුම, ගුවන් ටිකට් පත පිළියෙළ කර ගන්නේ කෙසේද යන්න දැනටමත් සිතා ඇති. එහෙත් ඔබ පිටත් වීමට පෙර මෙම කරුණු පිලිබඳ අවධානය යොමු කිරීම නිවසේ වාතාවරණය සකස් කර යන්නට ඔබට වැදගත් වේවි.

  • ඔබ විදෙස් රැකියාවට යෑමේ අරමුණු පැහැදිලි කරගන්න.
  • එනම්, අපේක්ෂා කරගත් අදායම ලබාගැනීමයි. නිවාසක් සෑදීම, වාහනයක් ගැනීම හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වැනි දේ මෙම අරමුණු අතර තිබෙන්න පුළුවන්.
  • ඔබේ ආර්ථික සැලසුම සකසන්න.
  • කුඩා පොතක් ගෙන එහි සටහන් තබන්න. ඔබ අවුරුදු 2ක් සඳහා විදෙස් ගත වනවානම්, එම මාස 24 සඳහා අදායම් වියදම් සැලසුම් කරන්න. (ඔබට නියමිත කාලය තුල ඔබ අපේක්ෂිතඉලක්ක සපුරා ගැනීමට ඔබ බලාපොරොත්තුවන ඉතිරි කිරීම්, වියදම් පාලනය කරගත හැකි ආකාරය මෙහි දී සැලසුම් කරන්න)
  • දරුවන්ගේ සුරක්ෂිතබව තහවුරු කරගන්න.
  • ඔබ විදෙස්ගතවී සිටින කාලය තුල දරුවන්ගේ සුරක්ෂිතභාවය පිලිබඳ ඔබේ ස්වාමියා හෝ භාරකරුට දරුවන්ගේ මව වශයෙන් ඔබ හඳුනාගත් අවශ්‍යතා, විශේෂතා පිලිබඳ නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්න.
  • දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකම හා අනාගතය යහපත් ලෙස ගොඩ නගාගන්නා ආකාරය ආදරයෙන් පැහැදිලි කරදෙන්න.
  • එවිට ඔවුන් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වියහැකි සම්භාවිතාව අවමකර දරුවන් අපේක්ෂිත අරමුණු වෙත ගමන් කරවීමට ඔබට හැකිවනු ඇත. එමෙන්ම තම දරුවන්ට නිසිලෙස අධ්‍යාපනය ලබාදීමට ස්වාමියාට හෝ භාරකරුවන්ට පවරන්න.
  • ඔබගේ ස්වාමිපුරුෂයාට හෝ භාරකරුට, දරුවන් හා වියපත් දෙමවුපියන් ආදරයෙන් රැකබලාගන්නා ආකාරය කරුණාවෙන් පවසන්න.
  • දරුවන් මවකගේ උණුසුම නොමැතිව සිටින සෑමවෙලාවකම එම අඩුව නොදැනෙන ලෙස ක්‍රියා කරන්නේ කෙසේද යන්න ඔබේ ස්වාමියා හෝ භාරකරු සමග සාකච්ඡා කරන්න.
  • ඔබගේ දරුවන් සඳහා ඉතිරි කිරීමේ බැංකු ගිණුමක් ආරම්භ කර ඔබගේ වැටුපෙන් මාසිකව නිශ්චිත මුදලක් එම ගිණුම වෙත බැර කිරීමට සැලසුම් කරන්න.
  • නැවත නැවත විදෙස් ගත වනවාට වඩා කෙටි කාලයක, විදෙස් ගත වී ඔබේ අරමුණු ඉටු කරගැනීමට අනාගත සැලසුමක් ඔබම නිර්මාණය කරගන්න.
  • ඔබ මහන්සි වී උපයා මෙරටට එවන මුදල නිසි අයුරින් ආයෝජනය කරන්නට ත් අනිසි දේ සඳහා වියදම් නොකිරීමට ත් ස්වාමියා/ පවුලේ සාමාජිකයින් දැනුවත් කරන්න.
  • විදෙස් ගත වීමට පෙර ඔබ යන්නන බලාපොරොත්තුවන රටෙහි නීතිය, සංස්කෘතිය, භාෂාව,සිරිත් විරිත්, මුදල් භාවිතය පිලිබඳ අවබෝධයක් ලබාගන්න.
  • එය ඔබට අන්තර්ජාලය ඔස්සේ මෙන්ම, රාජ්‍ය ආයතන මගින්ද ලබාගත හැකිය. (උදා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය)
  • ඔබට හැකි සෑමවිටම මෙරට සිටින පවුලේ සාමාජිකයන් සමග කතා කිරීමට හෝ ලිපියක් එවීමට කටයුතු සකසා ගන්න.

(දුරකථන මාර්ගයට අමතරව Skype, Viber, talk ray වැනි මාර්ග සඳහා අන්තර්ජාලය ද භාවිතා කිරීමට දැන් හැකියාව ඇත.) ඔබගේ දුරකථන අංක,සේවා ස්ථානයේ ලිපිනය,ගමන් බලපත් අංකය ඔවුන්ට ලබාදෙන්න.

  • ඔබගේ රැකියාවට අදාල තොරතුරු අතරමැදියන්ගේ මාර්ගයෙන් තොරව සෘජුවම රැකියා නියෝජිත ආයතනයෙන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාගන්න.
  • එවිට ඔබට වංචාවන්ට හසු නොවී ආරක්ෂාකාරී විදේශ රැකියාවකට යොමුවීමට හැකිවනු ඇත.
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබාදෙන පුහුණුවට අනිවාර්යයෙන් සහභාගී වන්න.
  • ඔබ විදෙස් රටකට ගියවිට මුල්දින වලදී තනිකමක් ඉතා තදින්ම දැනේවි. නමුත් හිත ශක්තිමත් කරගන්න. වැරදි ආශ්‍රයන් වෙත යොමුවන්නේ නැතිව සිටින්නට තදින් සිතට ගන්න.
  • ලිංගික හැඟීම් පාලනය කරගන්න. ඔබ අදහන ආගම වෙත සිත යොමුකර සිත පාලනය කරගන්න. එය ඔබත් ඔබේ අනාගතයත් අනවශ්‍ය ගැටළු වලින් ආරක්ෂා කරනු ඇත.

ඔබට යම් මගපෙන්වීමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක Smart Lady අප, එම ගැටලු විසඳා ගැනීමට සහාය වීමට සුදානම්. ඉදිරි ලිපිය තුලින්, විදෙස් ගත වීමට අවශ්‍ය ලියවිලි සහ ඒවා ලබාගන්නා ආකාරය, අයදුම් කරන ආකාරය, අදාල ආයතන සම්බන්ධයෙන් ද ඔබව දැනුවත් කිරීමට අප සුදානම්.

නිලක්ෂි

Related Articles

Don't Miss


Latest Articles