හිතුමනාපෙට ආලේපන තැවරීම සුදුසුද ?

තමන්ගේ රුව ලස්සන කරගැනීම අද බොහොමයක් දෙනාගේම  ජිවිතයේ අංක එක බවට පත්වෙලා. ඒ නිසාම විවිධ සබන්, ක්‍රීම් ඇතුළු ආලේපන වර්ග කිසිදු විමසිල්ලකින් තොරව ආලේප කිරීමට බොහොමයක් කාන්තාවන් පුරුදු වී සිටිනවා. ඇත්තටම එය  ප්‍රතිඵල දායකද?කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මේ ආලේපන භාවිතය ඔබට ගෙනෙන්නේ මොනවගේ ප්‍රතිඵලයක්ද?

බොහෝ අය ළදරු සබන් තමන්ගේ වැඩිහිටි අවශ්‍යතා සඳහාත් භාවිතා කරනවා. එසේ කරන්නේ එහි අන්තර්ගත දේවල් සමට සැර නැතැයි සිතාගෙන. එය නිවැරදි වුවත් බිලිඳු දරුවන්ට නිපදවූ ඒ සබන් ඔබේ සම පිරිසුදු කරන්නට සමත් වෙන්නේ නැහැ. එදිනෙදා ගෘහ සහ රැකියා කටයුතු වලදී පරිසරයට නිරාවරණය වන ඔබේ සම පිරිසුදු කිරීමට සුදුසු පිරිසුදු කාරකයක් තෝරා ගැනීමට ඔබ බෙහෙවින් සැළකිලිමත් විය යුතුම වනවා.

පාසල් යන වයසේ බොහෝ යොවුනන්  අද රුපලාවන්‍ය ආලේපන භාවිතා කරනවා.  එහෙත් මේ වයස සමට ඉතා හොඳින් පෝෂණයක් ලැබෙන වයසක් නිසා සමේ ආරක්ෂාවට අවශ්‍ය පෝෂණය ඇති තරම් තිබෙනවා. ඒ නිසා විවිධ සේදුම් කාරක ආදියෙන් මුහුණ සෝදා සමේ ස්වභාවික තෙල් තට්ටුව, ආරක්ෂක ස්තරය විනාශ කරගත යුතු නැහැ. උපතින්ම සම වියලිනම් පමණක් ඒ සඳහා සුදුසු ආලේපනයක් වෛද්‍ය නිර්දේශය මත භාවිතා කිරීම තමා වඩාත් සුදුසුම දෙය වන්නේ.

දිනයේ දිගු වේලාවක් අව්වේ සිටින, ක්‍රීඩා කරන යුවතියක් නම් අනිවාර්යයෙන්ම හිරු කිරණින් සම ආරාක්ෂා කරන ආලේපන භාවිතා කළ යුතු වනවා. ලංකාව වැනි සමක ආසන්නයේ රටවල සන් ක්‍රීම් භාවිතා කිරීමේදී එහි SPF අගය 30 වන ආලේපන තෝරා ගැනීමට සැළකිලිමත් වන්න.

අම්මාට සහ දියණියට එකම ආලේපන ගැළපෙන්නේ නැහැ. තම වයස් කාණ්ඩයට ගැලපෙන ලෙස ආලේපන භාවිතා කිරීමට සැළකිලිමත් වන්න.

වැඩිහිටි කාන්තාවන් වයස අවුරුදු 40 න් පසුව රාත්‍රී සමට අවශ්‍ය පෝෂණ සත්කාරකයක් ආලේප කිරීම වටිනවා. එයින් මුහුණේ ඇතිවෙන රැළි ගැසීම් ආදිය වැළකෙනවා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles