පොල් රොටි වෙනුවට ආටා පිටි රොටී

තරමක් මිල වැඩි නිසා සහ අවබෝධයක් නොමැතිකම නිසා තවමත් ලංකාවේ ආටා පිටි එතරම් ජනප්‍රිය නැහැ. ආටා පිටි නැතිනම් Whole Wheat Flour, ග්ලූටන් (Gluten) නොමැති නිසා මෙන්ම ඛනිජ සහ විටමින් ඉතා ඉහළ ප්‍රතිශතයක් අඩංගු නිසා පාන් පිටිවලට වඩා ශරීරයට ඉතාමත් හිතකරයි.  එසේම එය තන්තුමය කොටස් වලින් සපිරිනු  ආටා පිටි තරුණ මහලු සැමට පහසුවෙන් දිරවිය හැකි ආහාරයකි. පෝෂණයෙන් ඉතා උසස් ආටා පිටි වලින් රොටී, පිට්ටු, නාන්, චපාති සහ පූරි වැනි ආහාර වර්ග රැසක් සාදා ගැනීමට හැකියි. පොල් හිඟ මේ කාලයේ  පොල් රොටි වෙනුවට ආටා පිටි රොටී හදල බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ආටා පිටි කෝප්ප 02
  • කුඩාවට කපා ගත් රතු ළූණු ගෙඩියක්
  • කුඩාවට කපා ගත් අමු මිරිස්‌ කරල් 1/2
  • දුරු තේ හැඳි ¼
  • බටර් මේස හැඳි 02
  • රස අනුව ලුණු
  • උණු ජලය

සාදා ගන්නා අයුරු :

පිටි ටික භාජනයකට දමා එයට පොඩිකර ගන්නා ලද ළූණු, අමු මිරිස්‌, දුරු සහ ලුණු මිශ්‍රකර ගන්න. උණු ජලය ක්‍රමක්‍රමයෙන් එකතු කරගනිමින් මිශ්‍රණය මෘදු ලෙස අනාගන්න. බටර් ස්වල්පය බැගින් එක් කරමින් පිටි මිශ්‍රණය ගුලි කරගන්න. ඉන්පසුව පිටි මිශ්‍රණය එක සමාන ගුලි අටකට පමණ වෙන්කර ගෙන පැයක කාලයක්‌ පමණ රෙදි කැබැල්ලකින් වසා පිපෙන්නට හරින්න. අනතුරුව පිටි ගුලි පැතලි තැටියක තබා මෘදු ලෙස මට්‌ටම් කොට රවුම් හැඩයකට කපා ගන්න. ඉන්පසුව රොටී තැටියක් මද ගින්දරේ ළිපේ තබා මඳ දුඹුරු පැහැ ගන්නා තෙක්‌ පුළුස්‌සා උණුවෙන්ම පිළිගන්වන්න.

මෙම ප්‍රමාණ 4 – 6 අතර පිරිසකට සෑහෙයි. මාගරින් හෝ ගිතෙල් මේ සඳහා යොදා ගත හැක. ලුණුමිරිස්‌ හෝ මසාලා කරියක් සමඟින් උදේට මෙන්ම රාත්‍රියට ද මෙම රසවත්  ආටා පිටි රොටී පිළිගැන්විය හැක.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles