බෙඩ් ටයිම් ස්ටෝරි – 6

ටුටූ ට ෆොටෝ එකක්..

ඔන්න ලස්සනම ලස්සන චූටි කුකුලු පැටියෙක් හිටියා. අපි එයාට ටුටූ කියමුකෝ. ටුටූ ඉන්නෙ කැමරා මාමගෙ ගෙවල් ලඟ. ටුටූට හරිම ආසයි ෆොටෝ එකකට ඉන්න. කැමරා මාමා කැමරාවත් එල්ලගෙන ෆොටෝ ගන්නවා එයා නිතරම දකිනවා. එයාගෙ ලස්සන ෆොටෝ එකකින් එයාගෙ ගෙදර බිත්තිය හැඩ වෙලා තියෙනවා එයා හීනෙනුත් දැක්කා.

මරා මාමා හැමෝගෙම ෆොටෝ ගන්නවා. ඒත්, කවදාවත් ටුටූගෙ ෆොටෝ එකක් ගත්තෙ නැහැ. ඉතින් මොකද කරන්නෙ? අවසානයෙදි ටුටූ හිතුවා මාමා ට වැඩ වැඩි නිසා එයාවත් ගිහින් මතක්කරන්න ඕනා කියලා, එයාගෙත් ෆොටෝ එකක් ගන්න කියලා…..

ඉතින් ඔන්න ටුටූ කැමරා මාමගෙ ස්ටුඩියෝවට ගියා. ඇතුල් වෙන තැන දෙපැත්තෙම ලස්සන ලස්සන පින්තූර පිරිලා. ඒ එක පින්තූරෙක එයත් ඉන්නවා ටුටූ සිතින් මවාගත්තා. ඒත් ස්ටුඩියෝව ට ඇතුල් වෙන්න හදනකොටම කවුද කෑ ගහන්න ගත්තා.

“මෙන්න කුකුල් පැටියෙක්… මෙයා කොහෙන් ආවද ? ශෝ ශෝ…… යන්න යන්න…… ” 

කලබලේ අස්සෙ යාන්තම් ටුටූ එලියට පැන ගත්තා. එයාට හරිම දුකයි. ඇයි එයාලා මගේ ෆොටෝ එකක් ගන්න අකමැති, ටුටූ දුකෙන් හිතුවා. එතකොටම එයා දැක්කා කැමරා මාමා එලියට එනවා. ලස්සන අක්කා කෙනෙක් එලියේ පුටුවක වාඩි කරවලා කැමරා මාමා එයාගෙෆොටෝ ගන්නවා. ටුටූත් ඒ ලගටම ගියා. කවුද කෑ ගැහුවා. “ෆ්රේම් එකේ කුකුලු පැටියෙක්!” 

ඒ වැඩෙත් හරි ගියේ නැහැ. ඔන්න ආයෙමත් දවසක ටුටූ කැමරා මාමගෙ ස්ටුඩියෝවට එබිකම් කලා. එදා ලස්සන චූටි බබෙක් ගෙ ෆොටෝ ගන්නවා. බබා බෑ කියලා අඬනවා. ටුටූ ඉක්මනින්ම ගියා එතැනට. එයාට හරි පුදුමයි බබා ෆොටෝ වලට ඉන්න බෑ කියන එකට. එයා බබා ගාවට ගිහින් “අඬන්න එපා බබෝ…” කියලා කිව්වා. ලස්සන නැටුමක් නැටුවා.

මෙන්න බබා හිනාවෙන්න පටන් ගත්තා. හැමෝටම සතුටුයි. ටුටූ නටන අතරේ කැමරා මාමා එයාගෙ ලස්සනම ලස්සන ෆොටෝ ගොඩක් අරගෙන. ටුටූට හරිම සතුටුයි. ඒ විතරක් නෙවෙයි, කැමරා මාමාගේ ස්ටුඩියෝවට එනතැනම ලොකුම ලොකු බෝඩ් එකක් තියෙනවා. ඒකෙ ඉන්නෙත් ටුටූ තමා. ටුටූ ව නොදන්නා කෙනෙක් නම් ඒ පැත්තේ නැහැ.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles