“මම හරියට නතර වෙන්නැතුව වැඩ කරන මැෂින් එකක් වගේ. දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. සති අන්තයේ ගෙදර හිටියත් වැඩවල අඩුවක් ඇත්තෙම නෑ. සතියෙ දවස්වල මම වැඩ ඉවර කරලා ගෙදර එනකොට දුව නිදි. මට මං ගැනම පුදුම තරහක් ඇති වෙනවා.” – පින්ලන්තයේ ජීවත් වන කරී.
හුඟදෙනෙක්ට හැඟෙන්නේ කරීට හැඟුණු විදිහටයි. බ්‍රිතාන්‍යයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයකට අනුව ඒ රටේ සේවකයන් 5දෙනෙක්ගෙන් එක් කෙනෙක් රැකියාව නිසා ඇති වන පීඩනයෙන් ලෙඩ වෙනවා. ඒ වගේම 4දෙනෙක්ගෙන් එක් කෙනෙක් පීඩනය නිසා රැකියාව කරන අතරතුර අඬනවා. 2009 දී ඇති වූ ආර්ථික බිඳ වැටීම නිසා වෙන කවරදාකටත් වඩා විෂාදයට ගන්න ඖෂධ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
ලංකාවේ තත්වය සොයා බැලුවොත් එයත් මීට දෙවැනි වන්නේ නැහැ. හේතුව අද බොහෝ දෙනා රැකියාව නිසා හෝ වෙනත් ගෘහ කටයුතු නිසා හෝ ව්‍යාපාරික අරමුණු නිසා අසාමාන්‍ය ලෙස කාර්යබහුල වී සිටීමයි. කොහොමවුණත් දිගින් දිගට ම පීඩනයට ඔරොත්තු දීමට සිදුවීම මනසට විතරක් නොවෙයි ශරීරයටත් කොහෙත්ම හිතකර වන්නේ නැහැ.
Tension හෙවත් මානසික පීඩනයෙන් කාලයක් තිස්සේ අඛණ්ඩව පැවතුණොත් ඔබ මනසින් වගේම ශරීරයෙනුත් රෝගී තත්වයට පත්වෙන්නත් පුළුවනි. ඒ නිසා ඒ ගැන ඔබේ පුළුල් අවධානය යොමුවිය යුතුමයි.
බොහෝ දෙනෙකුට ජීවිතයේ දී මානසික පීඩනයට ලක්වන්නට සිදුවුණු අවස්ථා ඇති. සමහර අවස්ථාවල දී මානසික පීඩනයක ඔබ සිටින බව ඔබට නොවැටහෙන්නටත් ඇති. හේතුව එහි ස්වරෑප ගැන ඔබ දැනුවත්ව නොසිටීම විය හැකියි.
මානසික පීඩනයට හේතු
- අනාරක්ෂිතබව (ආර්ථික හෝ වෙනත් හේතු නිසා)
- කාර්යබහුලකම
- පෑහිලා වැඩ කරන්න බැරිකම
- වේදනාකාරී අත්දැකීම්
- සෞඛ්‍ය ගැටලු
- අධික වෙහෙස
- නින්ද නොයෑම
- මානසික අවපීඩනය
- සබඳතා පලුදු වීම
මානසික පීඩනයක් දැනෙද්දී අපේ ශරීරයෙන් නිකුත් වන හෝමෝන නිසා හුස්ම ගැනීමේ වේගය, හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය වැඩි වෙනවා. ඒ වගේම ශරීරයේ තැන්පත් වෙලා තියෙන රුධිර සෛල සහ ග්ලූකෝස් අපේ රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. පීඩනයට හේතු වන දේට මුහුණ දෙන්න ඔබව සූදානම් කරන්නේ එම ක්‍රියාවලියයි. පීඩනයට හේතු වූ දේ නැති වුණාට පස්සේ ඔබේ ශරීරය නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා. ඒත් එය දිගටම තිබුණොත් කනස්සල්ල හෝ පීඩනයත් දිගටම තියෙයි.
එය ඔබව මානසිකවත් ශාරීරිකවත් ලෙඩ කරනවා. ඒ නිසා මානසික පීඩනය පාලනය කරගන්නේ කොහොමද කියලා දැනගන්න එක වැදගත්.
මානසික පීඩනය පාලනය කිරීම
පීඩනය හිතන තරම් නරක දෙයක් නෙමෙයි. ඇමරිකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ ආයතනයක් ඒ ගැන මෙහෙම කියනවා. “වයලීනයක් වාදනය කරද්දී එහි තත්වල ආතතිය අඩු වුණොත් ඇති වන හඬේ රසයක් නැහැ. ඒ වගේම තත්වල ආතතිය වැඩි වුණාමත් හඬේ රසයක් නැහැ. තත් කැඩෙන්නත් ඉඩ තියෙනවා. මානසික පීඩනයත් ඒ වගේයි. අධික පීඩනය ජීවිතයට අනතුරක්. ඒත් යම් තරමක පීඩනයක් දැනීම ජීවිතයට ප්‍රයෝජනවත්. පීඩනය අඩුත් නැතුව වැඩිත් නැතුව තියාගන්න විදිහ අපි දැනගන්න ඕනේ.”
එක් එක් පුද්ගලයා පීඩනයට මුහුණ දෙන විදිහත් වෙනස්. එක් කෙනෙකුට පීඩනයක් වන දෙයක් තව කෙනෙකුට පීඩනයක් නොවෙන්න පුළුවන්. එදිනෙදා වැඩවලදීත් ඔබට පීඩනයක් දැනෙනවා නම් නොහිතපු දෙයකට මුහුණ දෙන්න සිදු වුණොත් දැනෙන පීඩනය ඔබට කොහොමටවත් දරාගන්න බැරි වෙයි.
සමහරු නොයෙක් ක්‍රමවලින් පීඩනය අඩු කරගන්න උත්සාහ කරනවා. අසාමාන්‍ය විදිහට කෑම කනවා. එහෙම නැත්නම් පැය ගණන් රූපවාහිනිය හෝ පරිගණකය ඉස්සරහා ඉන්නවා. ඒත් ඒවායින් පීඩනය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙමනම් පීඩනය පාලනය කරගන්නේ කොහොමද? හුඟදෙනෙක් මේ වගේ අවස්ථාවලදි ආගමික උපදෙස් අදාළ කරගැනීමෙන් මානසික පීඩනයට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. ඔබටත් ඒ උපදෙස්වලින් ප්‍රයෝජන ලබන්න පුළුවන්.
මානසික පීඩනයට හේතු ගැන තව දුරටත් කතා කරමු
1.අනාරක්ෂිතබව
අපේ ජීවිත සියයට සියයක්ම සුරක්ෂිතයි කියලා කියන්න බැහැ. බයිබලයේ කියන්නේ ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම’ සිදු වෙන්න පුළුවන් කියලයි.
හිතේ තියෙන දේ පවුලේ කෙනෙක්ට හෝ විශ්වාසවන්ත මිතුරෙකුට කියන්න. එය මානසික පීඩනයෙන් ගොඩ එන්න මඟක් කියා අධ්‍යයනවලින් සොයාගෙන තියෙනවා. සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙක් වගෙයි.
නිතරම කරදරයක් වෙයි කියලා හිත හිතා හිටියොත් ඔබ මානසිකව දුර්වල වෙයි. ඔබ හිතන දේවල් කවදාවත් සිද්ධ නොවෙන්නත් පුළුවන්.
2.කාර්යබහුලකම
රැකියාව, ඉගෙනීමේ කටයුතු, දරුවන්ගේ වැඩ හෝ මහලු දෙමව්පියන්ව බලාගැනීම වැනි එදිනෙදා තියෙන දහසකුත් වැඩ නිසාත් පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒ වගකීම් පැහැර හරින්න බැහැ. එහෙම නම් දැනෙන පීඩනයට මොනවද කරන්න පුළුවන්? විවේකයක් ගන්න. වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් දේවල් පසුපස හඹා යනවාට වඩා සුළු හෝ විවේකයක් ගැනීම හොඳයි. වැදගත් දේට මුල් තැන දෙන්න. වියදම් අඩු කරගැනීමෙන් හෝ රැකියාව වෙනුවෙන් වැය කරන කාලය අඩු කරගැනීමෙන් ජීවිතය සරල කරගන්න. කලින් සඳහන් කළ කරී ආගම ඇසුරෙන් ජීවිතය වෙනස් කරගත්තා. එයා තම ව්‍යාපාරය විකුණලා පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න පුළුවන් විදිහේ රැකියාවක් හොයාගත්තා. එයා මෙහෙම කියනවා. “ඉස්සර මං අනිත් අය ගැන හිතුවේ නැහැ. ඒත් දැන් එහෙම නෙමෙයි. අපිට සල්ලි ගොඩක් නැති වුණත් ලොකු සහනයක් දැනෙනවා. පවුලේ අය එක්ක, මිතුරන් එක්ක ගත කරන්න කාලයත් තියෙනවා. දැන් මට දැනෙන සහනය මං ආයිත් රස්සාවක් නිසා නැති කරගන්න කැමති නැහැ.”
3.පෑහිලා වැඩ කරන්න බැරිකම
අනිත් අයත් එක්ක විශේෂයෙන්ම රැකියා ස්ථානයේ අයත් එක්ක ගැටුම් ඇති කරගැනීම මානසික පීඩනය වැඩි කරනවා. ඔබටත් ඒ ගැටලුව තියෙනවා නම් මේ යෝජනා අත්හදා බලන්න. කවුරු හරි ඔබේ හිත රිදෙව්වා නම් සන්සුන්ව ඉන්න උත්සාහ කරන්න. මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවන්න ඉඩ තියෙනවා. ඔබට ඇති ගැටලු පෞද්ගලිකව සහ අනිත් කෙනාගේ ගෞරවයට හානියක් නොවන විදිහට විසඳගන්න අනිත් පුද්ගලයාගේ හැඟීම් සහ අදහස් තේරුම්ගන්න උත්සාහ කරන්න. ඔබ ඒ විදිහට හිතලා බලලා වැඩ කරනවා නම් ‘ඉක්මනින් කේන්ති’ යන්නේ නැහැ. එතකොට ඔබට නොතේරෙන ඔබේ අඩුපාඩු තේරුම්ගන්නත් ඔබට පුළුවන් වෙයි.
සමාව දෙන්න. සමාව දීම හොඳ දෙයක් විතරක් නෙමෙයි මානසික පීඩනයටත් හොඳ ඖෂධයක්. 2001දී කළ අධ්‍යයනයකින් හෙළි වුණේ “සමාව නොදී වෛරය හිතේ තියාගැනීම” හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය “වැඩි වීමට හේතු වෙනවා” කියායි.
4.වේදනාකාරී අද්දැකීම්
කාම්බෝජයේ ජීවත් වන නෙයින් ඛේදජනක අද්දැකීම් රැසකට මුහුණ දුන් කාන්තාවක්. 1974දී ඇය බෝම්බ පිපිරීමකින් බරපතළ ලෙස තුවාල ලැබුවා. ඊළඟ අවුරුද්දේ ඇගේ දරුවන් දෙදෙනාත් මවත් ස්වාමිපුරුෂයාත් මිය ගියා. 2000 වසරේදී ඇගේ නිවස සහ ඇය සතුව තිබූ සියලුම දේවල් ගින්නෙන් විනාශ වුණා. ඊට වසර තුනකට පසු ඇගේ දෙවෙනි ස්වාමිපුරුෂයාත් මිය ගියා. ඇයට ජීවිතය එපා වුණා. ‘වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳයි’ නමුත් ඇය ජීවිතයට මුහුණ දෙන්න මඟක් හොයාගත්තා. කරී වගේ ඇයත් ආගමික උපදෙස් ඇසුරෙන් ප්‍රයෝජන ලැබූ අතර ඒ ගැන අනිත් අයටත් කියා දෙන්න කාලය යෙදෙව්වා. ඇගේ අද්දැකීමත් 2008දී බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් සොයාගත් දේට සමානයි. එනම් “පීඩනයකින් සිටිද්දී අන් අය වෙනුවෙන් යමක් කිරීමෙන් පීඩනයෙන් මිදෙන්න පුළුවන්” බවයි.
මානසික පීඩනය අඩු කරගන්න නම් . . .
මුලින්ම කළ යුතු වන්නේ ජීවන රටාව වෙනස් කරගැනීමයි. ඒ සඳහා සමබර ආහාර වේලක් ගැනීම, ප්‍රමාණවත් නින්දක් ගැනීම සහ ව්‍යායාම් කිරීම ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම නිවාඩුවක් ගැනීම, පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙනගැනීම සහ අත්වැඩ කිරීම වැනි දේවල්ද පීඩනය අඩු කරගන්න උදව් වෙනවා කියා ඔවුන් තවදුරටත් පවසනවා.
විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල දී මුහුණ දෙන මානසික පීඩන තත්වයන් සහ ඒ තත්වයන් පාලනය කරගන්නා ක්‍රම ගැන අපි ඉදිරි ලිපියෙන් කතා කරමු.