සුළං සීනු – 4

මගේ සිතුවිලි අහුර බිම වැටුණේ මධ්‍යම රාත්‍රියට කිට්ටු වෙද්දී සංකල්ප පැමිණි නිසා ය. ඔහු පැමිණි බව දැනී දෑස් තද කර පියා ගත් මම නින්දට වැටුණු සේ හුන්නෙමි.ඔහු සමඟ කතාවට වැටෙන්නටවත් මට ඕනෑ වූයේ නැත.

සංකල්ප සීනුව සෙමින් සිප ගනිද්දී මම දෑස් හැරියෙමි.සීනු සිහිනයෙන් “තාත්තී.. “කියමින් ඔහුට තුරුළු වූවා ය.සංකල්ප නිදි යහනට එන්නේ රෑ දෙගොඩහරියක වුව ද සීනු මගේ උණුසුමින් මිදී ඔහුට තුරුළු වේ.ඒ ඈට කුඩාම වියේ හුරු වූ දෙයකි. සීනුව තොටිල්ලක තබන්නට , ඈට වෙනම නිදන කාමරයක් ලබා දෙන්නට මට යෝජනා ගෙනෙන්නී නංගී ය. නමුත් සීනු උපන් දා පටන් අපේ යහනේ මැද නිදි කරවා ගන්නට මම පුරුදු වුයෙමි.අම්මලාට මා කැදැල්ලක සිර කරන්නට ඕනෑ විය.දරුවෙකු ද ආ පසු ඔවුන් සතුටිනි.නංගීට තරිඳුට තුරුළු වී ජීවිතය විඳින්නට අවැසි වුව ද මට ඕනෑ වූයේ පවුලක් පමණි.දේවක ජීවතුන් අතර නම් මම ද නංගී මෙන් සැමියාට ඇලී ගත් සුන්දර බිරිඳක් වීම නොවැලැක්විය හැකි දෙයකි.

එහෙත් මේ අම්මලාගේ උවමනාවට ගොඩ නැගූ පවුලකි.

“ඔයාට මතක තිබ්බද සීනුව ගන්න තිබ්බා කියලා..”

සීනුගේ අත් පා පිරිමදිමින් ඈ සෙමින් සිප ගනිමින් හුන් සංකල්ප ඇස් උස්සා මදෙස බැලී ය.අනතුරුව ඔහුගේ සන්සුන් සිනාව නැගී ය.

“ඔයා මට බැනලා වට්ස් ඇප් මැසේජ් තිස් අටක් එවලා තිබ්බා..”

ඔහු කියන්නේ ඉතා සන්සුන් ව ය.

නංගී විවාහ වූයේ ඇගේ පාසල් පෙම්වතා සමඟ ය. නමුත් “මූව ඩිවෝස් කරලා අම්මලායි පුතාලා දෙන්නයි එක්ක මං ලංකාවට එනවා අක්කේ” යැයි ඇමතුම් සතියකට මට අවම තුන් වතාවක්වත් ලැබේ. එහෙත් ඊළඟ දවසේ ඇගේ ෆේස්බුක් ගිණුමේ තරිඳු සමඟ ප්‍රේමණීය සේයාරූ හත අටක්වත් පළ වේ. ලෝචනා, මගේ මිතුරියට ආදරණීය පවුලක් ඇති බව මම දෑසින්ම දැක ඇත්තෙමි. නමුත් ඉඳහිට ඈ බුම්මාගෙන ගන්නා දුරකථන ඇමතුම් වලට චානක ආවේගයෙන් පිළිතුරු දෙන හඬ මට ද නෑසෙනවා නොවේ.

මගේ ජීවිතය වෙනස් වන්නේ එතැනිනි. සංකල්ප මා කොතරම් රණ්ඩුවට ආව ද එයට උල්පන්දම් දෙන්නේ නැත.ඒ වෙනුවට ඔහුට ඇත්තේ සන්සුන් සිනාවකි.සන්සුන් ව සිනා සෙන මිනිසෙකු සමඟ රණ්ඩු අල්ලා ඇති ඵල කිම ද?

“මං ජොබ් එකෙන් අයින් වෙනවා සංක.සීනු එහෙම බය වෙනවට මම ආස නෑ.අපි කවදාවත් එයාව එක්කන් යන්න එන එකක් නෑ හිතුවලු. පොඩි දරුවෙක් එහෙම හිතනවා කියන්නේ කොච්චර නරකද?”

සංකල්ප මඳ වෙලාවක් මදෙස බලා සිටියේ ය.

“ජොබ් එකෙන් අස් වෙන්න එපා.සීනු ලොකු වෙනවනෙ. එයා නීතාට දාලා ජොබ් එකට යන්න බෑ කියලා ඔයා මුලින් කියනකොටත් මම එපා කීවේ ඒකයි. මම වෙන ස්කූල් සර්විස් එකක් බැලුවා.ඒ නැත්නම් උදේ දවල් නීතාට කැබ් සර්විස් එකක් දාලා දෙමු..”

ඔහු ඒ කියන්නේ මගේ වැටුපට ලොබින් නොවන බව මම දනිමි.විවාහ වී පස් වසරක් ගෙවී ගොස් අවසන් ය.නමුත් ඔහු මා ගන්නා වැටුපේ ඉලක්කම් ගණන හෝ එය වැය වන්නේ කුමටදැයි දන්නේ නැත.නිවසේ බඩුබාහිරාදිය ගෙන එන්නේ ඔහු ය.ඒ හැරුණු විට “ඔයාටයි බබාටයි ඕන ඒවා ගන්න” පවසා ඔහු මා අත කාඩ් පතක් තබා ඇත. ඉතින් මේ කිසිසේත් මගේ වැටුප ගැන ගැටලුවක් නොවේ.

“මං නිදා ගන්නද පවී..හෙට උදේ හය වෙද්දී මං යන්න ඕන..”

එපමණකි. ඔහු තද නින්දේ ය.

පසුවදා මට නිවාඩුවක් ඕනෑ විය. නීතාට ඒ බව පවසා කාර්යාලයට නිවාඩු ඊ මේලයක් යැවූ මම බොහෝ වෙලා සීනු තුරුළු කරගෙන නින්දට වැටුණෙමි. අප අවදි වෙද්දී උදෑසන දහයට ආසන්න ය.නීතා උදෑසන ආහාරය ගන්නට එතරම් ප්‍රමාද වීම ගැන විස්සෝප වෙද්දී මම සීනුට කෑම කවන්නට පටන් ගතිම්.

“අම්මි, මට පෙට් කෙනෙක් ඕන..”

සීනු කඩල ඇටයෙන් ඇටය හපමින් කියන්නේ සුරතල් බැල්මක් නඟමිනි.

“අපි කැට් කෙනෙක් ගමු..”

මම යෝජනාවක් ගෙන ආවෙමි.

“මට ඕනි බව්වෙක්නෙ. ලෝචි නැන්දිට වගේ..කැට් එපා.”

සීනු හිස හරවමින් කියන්නී ය.

“අම්මි බව්වන්ට නම් කැමති නෑ චූටි බේබි. අපි පූසෙක් ගේමු..”

නීතා පසෙක සිට කතාවට සම්මාදම් වූවා ය. මා මේ නිවසට එද්දී මෙහි සුරතල් බල්ලෙකු වූ බවත් මා බල්ලන්ට අකමැති බව පැවසූ නිසා සංකල්ප ඒ බලු සුරතලා ඔහුගේ මහ ගෙදර රැගෙන ගිය හැටි ද ඈට අමතක නොවන්නට ඇත. නමුත් මා තරම් බල්ලන්ට පෙම් කළ කෙල්ලක පෙර දවස සිටින්නට නැත.වීදියක ගුලි ගැසී වැස්සට තෙමෙන, මිනිසුන්ගෙන් පහර කන කුඩා බලු පැටවුන් ඔසවාගෙන ඒම එදවස දේවකගේ ප්‍රියතම රාජකාරියක විය.ඒ ගැන ඔහුගේ අම්මා බැන අඬ ගසද්දී තාරුකා ද මම ද නංගී ද ඔහු වෙනුවෙන් උද්ඝෝෂණ පවත්වන්නට මැලි නොවීමු. ඉතින් කුඩා වියේ පටන් අපට බලු සුරතලුන් බොහෝ විය. කාලයක් යද්දී ලේන් එකේ විසූ සියළු දරුවෝ දේවක සොයා ගන්නා බලු පැටවුන්ගේ කැපකරු මාපියන් වන්නට පොර කන්නට පටන් ගත් හ.

“මේ ලේන් එක ළඟදිම සුහද මාවත වෙනුවට සුනක මාවත කරනවා..”

වැඩිහිටියෝ අපට හිනැහුණු අතර ආසන්නයේ ම සත්ව සායනයක් ඇරඹීම අපේ සතුටට හේතු විය.

“ඒක නම් දැම්මේ ඔයාලගෙ බලු රෑන නිසා.කොහොමත් මාසෙකට තිස් හතලිස් දාහක් ඔයාලගෙ බල්ලන්ගෙන්ම ඒ ඩොක්ට හම්බ කරනවා..”

දේවකගේ අම්මා අපට නෝක්කාඩු කීවා ය. දේවකට වෛද්‍ය විද්‍යාලයත්, දන්ත වෛද්‍ය පීඨයත් නූලෙන් මඟ හැරෙද්දී අප කම්පා වන විට ඔහු හුන්නේ උද්දාමයෙනි.

“වෙට් කෙනෙක් වෙන එක තමා මගේ හීනෙ..”

සත්ව ප්‍රේමියෙකුට බිරිඳ වන්නට බලා සිටි මට ඉන්පසු සුරතලුන් ඕනෑ වූයේ නැත.නමුත් මගේ කුඩා සීනු වෙනුවෙන් කළ නොහැක්කක් නැත.

“අපි තාත්තිට කියලා බව්වා යාලුවෙක් ගේමු..”

සීනු ගේ පුරා දුවන්නට ගත්තේ ප්‍රීතියෙනි.මම ඒ ප්‍රීතිය දෑස් මත තවරා ගනිමින් දේවක සිහි වී උනන කදුළු නවතන්නට වෑයම් කළෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles