විවාහය යනු ජීවිතයටම එක් වරක් ගන්නා ඉතා සිහි බුද්ධියෙන් ගත යුතු තීරණයකි. බොහෝ තරුණියන් දුරදිග නොබලා මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමෙන් සිදුවන ඛේදවාචකයන් මේ සමාජයෙන් ඕනෑ තරම් අහන්නට ලැබෙනවා.
අද අපි ඔබට කියන්නට යන්නේ එසේ දුරදිග නොබලා ගත් තීරණයක විපාක විඳි තරුණියකගේ කතාවක්
සමාධි 17 වියැති පාසල් යන යුවතියක්. ඕනෑම තරුණියකටම මෙන් ප්‍රේම ආරාධනා ඇයටත් අඩුවක් නැතුව ගලාගෙන ආවා. යතුරු පැදියක නැගී ඇය පසුපස හඹා එන එක් තරුණයෙක් කෙරෙහි ඇගේ හිත ඇදී ගියේ ඇයටත් නොදැනීමයි. සති කීපයක් යන්නටත් මත්තෙන් එම දිනේශ් නැමති තරුණයාගේ ආරාධනාව පිළිගත් සමාධි ඉන්පසුව ආදරයේ රසමුසු තැන් සොයා යන්නට ගත්තේ අධ්‍යාපන කටයුතු පවා අමතක කරමින්
අමතර පන්තිද මග හරිමින් දිනේශ් හා ඇවිදින්නට ගිය සමාධිව දිනක් ඇගේ පියාගේ අතටම අහුවෙන්නේ මේ අතර.ආපසු නිවසට පැමිණි සමාධිට පියාගේත් මවගේත් තරවටු සහ අවවාද ඉතා තදින් ලැබුනත් සමාධිගේ හිතුවක්කාරකම ඊට වඩා බලවත් වෙනවා
දින කීපයක් ඇතුලත දිනේශ් හා ගත් තීරණයක් මත ගෙදරින් පලා යන සමාධි නතර වන්නේ දිනේශ්ගේ නිවසේ. විවාහ වන්නට තරම් වත් වයස සපුරා නොමැති සමාධිව දිනේශ්ගේ මව ඒ මොහොතේ පිළිගන්නේ නොරිස්සුමෙන්.
අධ්‍යාපන කටයුතු පවා කඩාකප්පල් කරගනිමින් දිනේශ් හා ජීවත් වන්නට පටන් ගත් සමාධි දෙමව්පියන්වද අමතක කර දැම්මේ තමා දිනේශ් හා පැමිණි බව ඔවුන්ට දන්වමින්
ගෙදර දොරේ කටයුතු කිසිවක් නොදැන සිටි සමාධි දින කීපයක් යන්නටත් මත්තෙන් නැන්දම්මාගේ දෝෂාරෝපණ වලට ලක් වන්නේ මේ අතර.
” මගේ පුතාව රවට්ට ගත්ත එකී “
ඇයට නිතරම අහන්න වෙන්නේ එහෙම. හරි හමන් රැකියාවක් වත් නොකල දිනේශ් මවගේ සහ අසල්වැසියන්ගෙ උදහස් වලින් බේරෙන්නට සිතමින් සමාධිට වයස දහ අට ලැබූ විගස ඇයව විවාහ කරගන්නවා.
කල් යත්ම දිනේශ්ගෙන් පෙර ලැබූ ආදරය වියකී යනවිට සමාධිට අසීමිත ලෙස ඉවසනවා හැර වෙන කිසිවක් කරන්නට ඉතිරි වන්නේ නෑ.
වයස අවුරුදු දහ නමය ගෙවී යන විට සමාධි පුතෙකුගේ මවක් වෙන්නෙ මේ අතරදි.නතර වෙයි සිතූ නැන්දම්මාගේ කෙණෙහිලිකම් එන්න එන්නට වැඩි වෙද්දි අලුත උපන් දරුවාගේ කටයුතු කරගන්නවත් තේරුමක් නැති සමාධි දැඩි පීඩාවට පත් වෙනවා.
දිනක් දරුවාගේ හැඬීම නතර කරගන්නට අපොහොසත් වූ සමාධි කෙරෙහි නැන්දම්මාගේ කෝපය උත්සන්න වෙනවා
” හිතුමනාපෙට ළමයි හදාගෙන අපිට කනක් ඇහිලා ඉන්න නෑ “
නැන්දම්මාගේ වචන පපුව හූරාගෙන යද්දි සමාධිට ඉවසුම් නැතිව යනවා.දිනේශ් නිවසට එන තුරු බලාසිටි ඇය ඔහු ආ විගස ඔහුට මෙය කියනවා. නමුත් ඇයට ලැබෙන්නේ හොඳ පිළිතුරක් නෙමෙයි
” තමුසේ දැනගන්න එපැයි ළමයා නලවගන්න, දැන් මෙතන එනවා අම්මාට වැරදි කියන්න.තමුසෙගෙනෙ කට හොඳ නැත්තෙ “
නොසිතූ ලෙස දිනේශ්ගේ මුවින් පිටවන ඒ වචන සමාධිව ඉතා අසරණ කරද්දි ඇය තීරණයක් ගන්නවා.
තම කිරිකැටි බිළිඳාද තුරුලු කරගෙන නිවසට මදක් නුදුරින් වූ ළිඳ වෙත යන සමාධි මොහොතක් වත් පමා නොවී ඇගේ තීරණය ක්‍රියාත්මක කරන්නේ ඒ අයුරින් . ළිං පතුලේ සැඟවී ගිය සමාධිගේත් කිරි කැටි බිළිඳාගේත් සිරුරු ගම්වැසියන් විසින් සොයාගන්නේ ඊටත් පැය ගණනාවකට පසුවයි.
ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පතක වාර්ථා වූ සත්‍ය සිදුවීමක් තමයි ඉහත තියන්නෙ. මෙවැනි සිදුවීම් සමාජය තුල දකින්න ලැබීම ඉතාමත් අවාසනාවන්ත කරුණක්. ඕනෑම පුද්ගලයෙක් සියදිවි නසා ගෙන ගැටලු වලට විසදුම් සෙවීම කිසිසේත් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි . නමුත් සියදිවි නසා ගත් සෑම සිදුවීමක් පසුපසම එය වලක්වාගැනීමට ඉඩක් තිබුයදීත් එම වගකීම නිසි ලෙස ඉටු නොකල පිරිසක්ද සිටින බව අපි අමතක නොකළ යුතුයි.
පාසල් ප්‍රේම සබඳතා ගැන ආරංචි වූ විගස දෙමාපියන්ගේ ඉක්මන් හා කලඹලකාරී හැසිරීම් නිසාම බොහෝ දුරට එවැනි නොගැලපෙන සබදතා පවා දිගටම පවත්වාගෙන යාමට දරුවන් පෙළබෙනවා. දෙමාපියන් මිතුරන් ලෙස යොවුන් දරුවන් සමග ගණු දෙනු කරමින් මෙවැනි ගැටලුවකදී අනවශ්‍ය ලෙස කලඹලයට පත් නොවී උපක්‍රමශීලීව ගැටලු විසදා ගැනීමට පෙලඹීම ඉතාම වැදගත් . ඒ වගේම අවශ්‍ය නම් යොවුන් උපදේශන සේවාවකට යොමු වී තරුණ දරුවන් හා දෙමාපිය සබදතා නොබිදෙන ලෙස මේ ගැටලු විසදා ගැනීමට හැකියාවක් තිබෙනව. මේ සත්‍ය සිදුවීම් පෙලේදී සමාදිගේ දෙමාපියන් විසින් දරුවා දෙමාපියන් ප්‍රතික්ශේප කර පෙම්වතා විශ්වාස කරන මට්ටමට පත් නොවන ලෙස බුද්දිමත් අයුරින් කටයුතු කලා නම් සමාදිගේ මේ නොගැලපෙන සබඳතාවම ඇයම අවසන් කරන්නත් ඉඩක් තිබුනා. කෙසේ වෙතත් මෙම සිදුවීම තුල සමාදිගේ පෙම්වතා ගේ මව මෙන්ම සමාදිගේ දෙමාපියන් ද හැසිරුණ ආකාරය වෙනස් වූවා නම් මෙවන් කණගාටු දායක සිදුවීමක් වලක්වා ගන්නට තිබුනා