මතක දිගහැරුම 8 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අටවන දිගහැරුම ,

ජපන් අම්මා සහ තාත්තා විසින් ඔවුන්ගෙ නිවසේ මට වෙනමම කාමරයක් වෙන්කර තිබුනි. සාම්ප්‍රදායානුකූල ජපන් නිවසක් වූ එහි මට වෙන් කර තිබූ කාමරය සියලුම සැප පහසුකම් වලින් සපිරි එකක් විය . නාන කාමරයක් ද සහිත වූ එහි පොළවට ජපන් නිවෙස් වල පොළවට සාමාන්‍යයෙන් භාවිතා කරන tatami නම් වූ පන් පැදුරු එළා තිබුණි . ඔවුන් ඇඳන් භාවිතා නොකරන අතර සිරිත් පරිදි මා වෙනුවෙන් ඉතාම සුව පහසු මෙට්ටයක් කාමරයේ විය. පාවිච්චියට නොගන්නා අවස්ථාවල එය අකුලා කබඩ් එක තුලට දමන්නට හැකිය. පෙරවනයද ඉතා අපූරු එකක් වූ අතර එහි සවි කර ඇති ප්ලග් එක විදුලියට සම්බන්ධ කර ක්‍රියාත්මක කළ විට පෙරවනය රත්වේ. එය සකස් කර තිබුණේ සීතල දිනවලදී ප්‍රයෝජනයට ගත හැකි වන ලෙස ය . තවද , එම කාමරයේ පියානෝ එකක්, massage chair එකක් සහ පොත් මේසයක් වූ අතර ජපන් අම්මා සහ තාත්තා විසින් මට වුවමනා වේ යැයි හැඟෙන සියලුම පොත් පත් , පාට පාට පෑන් පැන්සල් සහ පාසල් බෑග් ද ගෙනැවිත් සූදානම් කර තිබුණි.

සතියක් පමණ මම ඔවුන්ගේ නිවසටම වී සිටි අතර ජපන් අම්මා විසින් ඔවුන්ගේ විවිධ වූ කෑම බීම වලින් මට සංග්‍රහ කළාය . ඒ අතරතුර මම මා සතුව තිබූ පොත්පත්වලින් ඉතා හොඳින් ජපන් භාෂාව ඉගෙනීමේ සහ කතා කිරීමට පුහුණු වීමේ කටයුත්තෙහි නිරත වීමි .

සාමාන්‍යයෙන් මා ලද ශිෂ්‍යත්වය ලැබූ ළමුන් සියලු දෙනාම ඇතුළත් කරන්නේ රජයේ පාසල් වලටය .නමුත් මගේ ජපන් අම්මා සහ තාත්තා විසින් හා ඇතුළත් කර තිබුණේ හිරෝෂිමා නගරයේ වූ හොඳම පෞද්ගලික පාසලටය .Jogakuin high school නම් වූ එය ඔවුන්ගේ දියණිය ඉගෙනගත් පාසල වූ අතර එහි ඉගෙනීමට වරම් ලැබීමට තරම් මා ඉතාම වාසනාවන්ත වූයෙමි. සියලු පහසුකම් සහිත පාසලක් වූ එය උදෑසන 8 සිට හවස 4.30 වනතුරු පැවැත්විණ. මට ජපන් භාෂාව භාෂාව ඉගැන්වීම සඳහා එහි වෙනමම ගුරුවරයෙක් ද විය.

ටික දිනක් ගත වන විට එහි සිටි යහළුවන් සියලු දෙනාම පාහේ මා සමග සුහද වූ අතර ඉංග්‍රීසි වචන වලින් ද සංඥා වලින්ද අප එකිනෙකාගේ අදහස් හුවමාරු කර කර ගැනීමට උත්සහ දැරීම එක්තරා ආකාරයක විනෝදයක් ද විය.

බොහෝ දෙනා මා සමග මිතුරු වීමට මා අසලටම පැමිණ මා සමඟ කතා කිරීමට උත්සාහ කළ අතර මගේ රට ගැන පැවසූ විට Ceylon tea සහ gems යනුවෙන් පවසමින් ඔවුන් මගෙන් වැඩි දුර තොරතුරු විමසන්නට විය. මගේ රටට ඉතා ආදරය කරන කෙනෙකු වූ මා මගේ රට ගැන විස්තර පැවසුවේ ඉතා ආඩම්බරයකින් සහ අභිමානයකින් ය.

එකල ජපානයට පැමිණීම එතරම් පහසු කටයුත්තක් නොවීය. එම නිසා ජපානයේ වෙනත් රටවල් වලින් පැමිණි අය වැඩි දෙනෙක් නොසිටි අතර පාසලේ තත්වයද එසේ වූ හෙයින් මා සියලු දෙනාගේම ආදරයට සහ අවධානයට පාත්‍ර විය .

මා පාසල් ගියේ tram car වල වන අතර මා ඒවා එනතුරු නැවතුම්පළෙහි සිටින විට ජපන් ජාතික කාන්තාවන් සහ පිරිමි අය පැමිණ මා සමග කතා කරයි . ඇතැමුන් මාව අතගාමින් ” ඔයා හරි උසයි නේද ? ” , ” ඔයාගේ ඇස් ලොකුයි ” , ” ඔයාගේ පාට හරිම ලස්සනයි ” කියමින් මා වර්ණනා කරයි.

ජපන් අම්මා සහ තාත්තාත්, පාසලේ සියලු දෙනාත් ජපන් භාෂාව කතා කිරීම නිසා සහ මගේ උත්සාහය, උනන්දුව සහ කැපවීම නිසාත් මාස තුනක් වැනි කෙටි කාලයකදී මට හොදින් ජපන් භාෂාව කථා කිරීමට හැකි විය . ජපන් භාෂාව හැකි වූ විට මා කොරියානු භාෂාවද , පරිගණක පිළිබඳව ද ඉගෙනීම ආරම්භ කළෙමි .

මගේ සියලු අධ්‍යාපන වියදම් සහ කෑම බීම වියදම් ජපන් අම්මා සහ තාත්තා දැරූ අතර මගේ අනෙකුත් පෞද්ගලික වියදම් සඳහා තාත්තා විසින් මුදල් එවිය යුතු විය .නමුත්, මගේ ගමන් වියදම් සඳහා තාත්තා විශාල මුදලක් වියදම් කළ නිසා ඔවුන්ට බරක් විය යුතු නැත යන හැඟීම මා සිත තුළ විය. ඉන්පසු මා මුදල් හම්බ කිරීමට කැමති බව මගේ ජපන් අම්මට කීවෙමි . එයට කිසිදු විරෝධයක් නොදැක්වූ ඇය ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ඇගේ මිතුරියන්ගේ දරුවන් කිහිප දෙනෙක්වම මට සූදානම් කර දෙන ලදී.

පාසල අවසන් වී මා නිවසට පැමිණි විට හවස 6 ට පමණ ජපන් අම්මාගේ මිතුරියන් පැමිණ ඔවුන්ගේ නිවෙස් කරා මා කැටුව යන අතර මා ඔවුන්ගේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. එයද මට ඉතා විනෝදජනක අත්දැකීමක් විය. ඉතා කාරුණික වූ ඔවුන් ඔවුන්ගේ විවිධ වූ ආහාරවලින් මට සංග්‍රහ කළ අතර ඇතැම් දිනවල මා නැවත නිවසට පැමිණෙන්නේ ඔවුන්ගේ නිවෙස් වලින් රාත්‍රී ආහාරයද ලබා ගෙන සතුටු සාමිච්චියේද යෙදීමෙන් අනතුරුවය.

මා එලෙස ඉංග්‍රීසි ඉගැන්වූ එක් දරුවෙකුගේ මවක් සතුව රූපලාවණ්‍යාගාරයක් පැවති අතර ඇය මට රූපලාවණ්‍ය පිළිබඳ බොහෝ දෑ කියා දුන්නාය. මේකප් කරන ආකාරය ,සම ලස්සනට තබා ගැනීමට කරන සත්කාර සහ හිසකෙස් නිරෝගීව තබා ගැනීමට කරන සත්කාර ඇතුළු බොහෝ දෑ මා ඇගෙන් ඉගෙන ගත්තෙමි. ඔවුන් බොහෝමයක් රූපලාවන්‍ය සත්කාර ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන සිදුකරන බැවින් අදටත් ඈ කියා දුන් බොහෝ දේ මට ප්‍රයෝජනවත් වේ.

මගේ අම්මා මට කුඩා කල සිටම සියලු දේ ඉගැන්වූ අතර කේක් සෑදීම ද ඒ අතරින් විශේෂ විය . දිනක් මම මගේ ජපන් අම්මාට කේක් එකක් සකසා දුන් විට ඇය බෙහෙවින් සතුටට පත්විය . ඉන්පසු ඇය ඇයගේ මිතුරියන් ගේ උපන්දින සාද සහ වෙනත් සාද සඳහා, උත්සව සඳහා කේක් සෑදීමේ අවස්ථාව මට ගෙන දුන්නාය. මා ඔවුන්ට කේක් සාදා දුන් විට ඔවුන් මට මුදල් ලබාදුන් අතර දරුවන්ට ඉගැන්වීමෙන් ද මා අතට මුදලක් ලැබිණ .

ඉන්පසු මා අවන්හලක අර්ධකාලීන සේවයට ගිය අතර එමගින්ද මට මුදල් ලැබිණ .මා එම අවන්හලේ සේවය කර බොහෝ රාත්‍රී වී නිවෙසට පැමිණෙන්නේ දුම්රියේ වන අතර ඒ කිසිම දිනයක මට කිසිදු කරදරයක් හෝ කිසිම පුද්ගලයෙකුගේ බලපෑමක් ඇති වී හෝ නරක බැල්මකට හෝ ලක්වී නැත . එය විශේෂ කාරණාවක් වන අතර ජපානයේ මිනිසුන් අතර වූ විනය , අනෙකාට ගරු කිරීම සහ හැදියාවට එය හොඳම හොඳම උදාහරණයකි. සාමය අගයන ජාතියක් වූ ජපන් ජාතිකයන් කාන්තාවන්ට අතිශය ගරු කරන පිරිසක් වූහ.

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles