නිලැසි -26

“මං කෙනෙක්ට ආදරේ කරනව මනූ..”

නිලැසි හැඬුම්බර ස්වරයකින් පැවසුවාය අනෙක්පස හුන් මානවි දිගු සුසුමක් හෙලන හඬ ඇසිණි.ඒ සුසුම නිලැසිගේ කතා කිරීමේ ශක්තිය අවදි කළේ ය.

“අපි ආදරේ කරන්න ඕන කසාද බැඳලා ළං කර ගන්න නෙවෙයිනෙ මනූ.ඔයා ඒක දන්නවනෙ.”

තමන්ට වඩා වසර පහළොවක් පමණ වයසින් වැඩි මානවීට අක්කා කියන්නට හුරු නොවුණේ ඇයිදැයි නිලැසිට මතක නැත.නමුත් දන්නා දා පටන් ඈ තමන්ට ලොකු බබා යැයි ඇමතූ බව නිලැසි සිහි කළා ය.

“ජීවිතේ හිස්තැනක් තිබ්බා.එයා ඒක පිරෙව්වා.ඒ උනාට මට එයා ගාවට යන්න බෑ මනු.මට තිසරු ඩිවෝස් එක දෙන් නෑ..”

කිංකිණි ස්වරයකින් හිනැහෙන මානවීගේ හඬ ඒ කතාවට පිළිතුරු ලෙස ගලා ආවේ ය.ඇය කතා කළේ ඉන් මිනිත්තු කිහිපයකට පසුව ය.

“තිසරුගෙයි ඔයාගෙ අම්මගෙයි වෙනසක් නෑ.තමන්ට ආදරේ නොලැබුණත් තමන් ආදරේ කරන තැන අහිමි කර ගන්න ඒ මිනිස්සු අකමැති..”

මානවී නිසා කිසිම දවසක තම නිවසේ ගැටුමක් ඇති නොවූ අන්දම පුදුම සහගත බව නිලැසි සිහි කළා ය.තාත්තාගේ ප්‍රසංග සහ ගීත එළි දැක්වීම් වෙනුවෙන් ඇපකැප වන ඇය තාත්තාගේ පෙම්වතිය බව නොසඟවා පිළි ගත්තේ නිලැසි පමණකි.කලායතනයේ සිසුන් රහසේ කතාබහ කරන ඒ මාතෘකාව ගැන මානවීගෙන් සෘජුව විමසීමට සිත් වූයේ ද නිලැසිට පමණි.

“ආදරේ කරන්නේ අයිති කරගන්න නෙවෙයිනෙ ලොකු බබා..”

මානවී ඒ ප්‍රශ්නයට දුන්නේ එහෙම පිළිතුරකි.අවුරුදු පහළොවක දාසයක කෙල්ලක කාලයේදීවත් ඒ ආරංචියට කෝප ගන්නට නිලැසිට නොසිතිණ.ඇය මානවීගේ තීරණය ගැන පුදුමයට පත් වූවා ය.

“ඔයා මැරි කරන්නකො මනූ.ඇයි ඔහොම ඉන්නේ? මොකද තාත්තා ඩිවෝස් වෙනව කියලයැ..”

යොවුන් ගායිකාව වෙතින් යෞවනය පලා යද්දී ඇයට විවාහ වන්නට සිහි කළේ ද නිලැසි ය.මානවී ශෝකි සිනාවකින් දෙතොල් තෙරපා ගනිමින් නිහඬව මිනිත්තු කිහිපයක් ගෙවා දැම්මා ය.ඇයට ආදරය කරන්නට තරුණයන් තරග කරද්දී ඈ තාත්තාට ආදරය කරන හේතුව නිලැසිට අපැහැදිලි ය.නමුත් මානවී සතුව විවාහ නොවන්නට පැහැදිලි හේතුවක් තිබිණ.

“කෙනෙක්ට පණ වගේ ආදරේ කරද්දී කොහොමද ලොකු බබා වෙන මනුස්සයෙක්ව බඳින්නේ?මට ඒක කරන්න බෑ.ඔයාලගෙ අම්මා ඔයාලා තුන් දෙනා ගැන ඇහැ ගහගෙන හිටියට රාජේන්ද්‍ර සර් ගැන හොයන්නේ නෑ.ෂෝස් වලට එහෙම ගියාම මං නැත්නම් සර් හොඳටම ලෙඩ වෙලා..”

ඇය එසේ කියන්නේ ගර්වය මුසු හඬකිනි.

“අපෝ අර මානවීගෙන් තමා මල කරදරේ.අසපුව දේවාලයක් කරගෙන සර්ව දෙයියෙක් කරගෙන ඉන්නව මදිවට අපිව බැතිමත්තු කරගන්න හදන්නේ.බලන්නකො තියන පවර් එක.සර්ගෙන් ඉගෙන ගන්න ඕනවටම පාඩුවෙ ඉන්නව..”

ප්‍රසංගයකට සැරසෙන ඕනෑම මොහොතක කලායතනයේ සිසුහු එසේ දෙස්දෙවොල් තබන්නට නොපැකිලෙති.ඔවුන් මානවීගේ දැඩි මැදිහත්වීම නොඉවසන බැවින් මානවී රාජේන්ද්‍රගෙන් බැනුම් අසන අවස්ථා පවා තිබිණ.නමුත් රාජේන්ද්‍රගේ කටයුතු ඉතා නිවැරදිව ඉටු කරන්නට මානවී ඔහුගෙන් එල්ලවන දෝෂ දර්ශන පවා දරා ගත්තා ය.

“මාව එයා කොච්චර එපා කිව්වත් මට දැන් එයාව අත් අරින්න බෑ මනූ අක්කා..”

නිලැසි කම්පිත ස්වරයකින් එසේ කියද්දී ඈ වැළඳ සනසන්නට මානවීට උවමනා විය.

“ඇත්ත ආදරයක් ජීවිතෙන් අයින් කරගන්න එපා ලොකූ.ඊටපස්සේ ඇවිදින මළ මිනියක් වෙන්න වෙනව.කසාද බඳින්න දරුවො හදන්න බැරි උනාට කමක් නෑ.ඇත්ත ආදරේකට ජීවිතෙන් යන්න ඉඩ තියන්න එපා.”

නිලැසි ඉන්පසු බොහෝ වෙලාවක් මානවීට එරන්ද ගැන පැවසී ය.ඇයට උවමනා වූයේ ඔහුගේ ප්‍රේමය යළි ලබා ගන්නට ඔහු වෙත යාම වරදක්දැයි කවුරු හෝ විමසීමට ය.වසර ගණනාවක් වරදෙහි බැඳෙමින් මිනිසෙකුගේ රාගය සන්තර්පණය උදෙසා කැපවෙමින් සිටි මානවී සිතා සිටියේ ඇය රාජේන්ද්‍රගේ සැබෑ ප්‍රේමය බව ය.රසාදරී ලෝකය දකින වික්‍රමාරච්චි මහත්මිය වූවාට රාජේන්ද්‍රගේ ජීවිතය තමන් බව ඇය ඇදහී ය.රාජේන්ද්‍ර රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙමින් තමන් ගැයූ එකම ප්‍රේම ගීතයකටත් වඩා තමන්ගේ බිරිඳ වෙනුවෙන් අමරදේවයන්ගේ වචන ගැයීමට අවැසි බව කියමින් “තාත්තා වුවත් මා බත සරි කරන” ගයද්දී මානවීට කෝපයක් හෝ ඊර්ෂ්‍යාවක් හට ගත්තේ නැත.

“රසාදරී මිස්ට රටේ මිනිස්සු ආදරෙයි.සර් වගේ මනුස්සයෙක් බලා කියාගන්න කෙනා මිස් කියලා හිතන් ඉන්න මිනිස්සු නොදන්නේ ඒ දේ කරන්නේ මම කියලා.ඒකට මොකද..රසාදරී මිස්ට නිලැසියි දිගැසියි නිම්නයි මුළු ලෝකෙම උනාට මගේ ලෝකේ සර් විතරයි..”

එවැනි උමතු කල්පනාවලින් තම ජීවිතය විනාශයට ඇද දා ගත් මානවී ඈ ගමන් කරමින් හිඳින මාවතේ ඇවිද යන්නට නිලැසිට ද ආරාධනා කළා ය.ප්‍රේමය අයත් කර ගත යුතු නැති බවට පවසන වදන් තරමට එයට මුහුණ දීම පහසු නොවන බව ඈ තේරුම් නොගෙන සිටියා ය.දැන් ඇය නිලැසිගේ දෑස් ද අන්ධ කරමින් සිටියා ය

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles