මවකගේ ලෝකය -12

ඔෆිස් එකේ හිතවතියකගෙ දුවක් පෙම් සබඳකමක් ඇති කර ගෙන. දැන් ඒ දුව නිවාස අඩස්සියට පත් වෙලා. කොහෙවත් යන්න එන්න බෑ. යාළුවො ඇසුරු කරන්න බෑ. ටෙලිෆෝන් කෝල්ස් ගන්න බෑ. කෑම බීම ටික කාමරේට සපයල දුවව ගෙදරම හිරකාරියක් කරල.

හිතවතී ඒ ගැන කියනකොට මගෙ හිතට ඇති වුණේ දුකක්. වේදනාවක්. කණගාටුවක්. දුවේ, මට ඔයා මතක් වුණා. මගෙ දුවත් දැන් ටික ටික යොවුන් වියට එළඹෙමින් ඉන්නෙ. ඔයාගෙ ඇස් දිළිසෙන හැටි මට පේනව. ඔයාගෙ සම දීප්තිමත් ව බබළන හැටි මට පේනව. ඔයාගෙ සිනහව සුන්දර වෙන හැටි මට පේනව. ඒ අතරින් මට මගේ ම යොවුන් විය මැවි මැවී පේනව.

යෞවනය කියන්නෙ ජීවිතයෙ සුන්දරතම කාලය. සමනල් කාලය කියල ඒ කාලය හැඳින්නුවත් වැරදි නෑ. ඒ තරමට සැහැල්ලුවෙන් සතුටෙන් ඒ කාලය ගත වෙන්නෙ. කවුරු හරි මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ ලස්සන ම කාලය මොකක්ද කියල, දෙවරක් නො හිතා මං කියන්නෙ ඒ මගෙ නව යෞවනය කියල.

පාසල් සමය! ආයෙ කැඳව ගන්න පුළුවන් නම් ආපහු යන්න නොදී බදා වැළඳ ගන්නව මම. ඒ තරම් බරක් පතලක් නැති සැහැල්ලු සමයක් ආයෙ කිසි දා ක අපේ ජීවිත වලට උදා වෙන්නෙ නෑ පුතේ. මළ ගෙදරකදි වුණත් හිනා වෙන කාලයක් ඒ. හිනාවට කතාවට සීමා පනවා ගන්න නො දන්න කාලයක් ඒ. ඒ වගේ ම ආදරය කියන හැඟීම කුළුඳුලේ ම හිතට එබිකම් කරන කාලයත් ඒකමයි.

පුතාගෙ අම්ම කවදාවත් ඒ නව යොවුන් හැඟීම් වලට ගරහන කෙනෙක් නෙවෙයි පුතේ. මං ඒ යුගය හිතේ හැටියට නිදහසේ වින්දා. අදත් ඒ සමහර සිදුවීම් මතක් කරනකොට හිතේ ඇවිත් නතර වෙන්නෙ සිනහවක්. මගෙ දුවගෙ නව යොවුන් වියත් ඒ තරමට ම, පුළුවන් නම් ඊටත් වඩා සුන්දර වෙනවනම් මං කැමතියි.

“මොකද අහසයි පොළොවයි අල්ලල ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ…ම්…තනියම හිනාත් වෙවී…”

දූගෙ තාත්තා මං ළඟට එනකලුත්  මං දැක්කෙ නෑ. මං එයා දිහා බලල හිනා වුණා. ඒ සිනහව අදට නෙවෙයි මගෙ යෞවනයට අයිති එකක් කියලමයි මට හිතුණෙ.

“මට මගෙ ඉස්කෝලෙ කාලෙ මතක් වුණා. ඒ කාලෙ හරී ආසාවෙන් හිටිය තමයි තරුණ වෙන්න…ඔෆිස් යන්න…ඒත් ආපහු හැරිල බලනකොට දුවල ගිහිං බදා ගන්න හිතෙන්නෙ ඒ කාලෙ අනේ”

“හ්ම්”

දූගෙ තාත්තා කම්මුලේ අත තියං මගෙ දිහා බලා ගත්තා. ඔෆිස් එකේ හිතවතී ගෙ දුවට අත් වෙලා තියෙන ඉරණම ගැන මං කියෙව්වෙ හැබෑ දරු දුකකින්.

“ඔයාගෙ දුව එහෙම කළොත් ඔයා වුණත් ඒ විදිහට හැසිරෙන්නැති වෙයිද?”

දූගෙ තාත්තගෙ ප්‍රශ්නයෙන් මං අහසෙන් පොළොවට කඩං වැටුණා වගෙයි මට දැනුණෙ.

“තමංගෙ තරුණ දරුවන්ගෙ ප්‍රශ්න වලදි ගොඩක් දෙමව්පියො හැසිරෙන්නෙ ඒ වගේ තමයි රමී. ඒ ඉතිං දරුවන්ට ආදරේ නැති කමත් නෙවෙයිනෙ. කරදර වලින් දරුවො බේරගන්න ඕන නිසා. ඒකට වෙන මාර්ගයක් නැති වුණහම එතනට යන්න දෙමව්පියන්ට සිද්ද වෙනව. ළමයි දැනගන්න ඕන දෙමව්පියන්ව එහෙම තැනකට තල්ලු කරන්නෙ නැතුව ඉන්න”

තාත්තගෙ කතාවත් එක්ක මං ඒ තරං එකඟ නොවුණත්, ඒ වෙලාවෙ තර්ක විතර්ක කරන්න මං උත්සාහ කළෙත් නෑ. මට මතක් වුණේ මගෙ තාත්තා මාව හදපු හැටි. මගෙ තාත්තා මට මග පෙන්වපු හැටි. මගෙ තාත්තා මාව විශ්වාස කරපු හැටි.

“අපිට ලෝකෙ හදන්න බෑ. ඒත් ලෝකෙ අනිත් කෙළවරට තනියම ගිහින් එන්න වුණත් පුළුවන් විදිහට අපි ඔයාව හදන්න ඕනෙ”

තාත්තා නිතර එහෙම කියනව මට මතකයි. එයාට ඕන වුණේ ශක්තිමත් දුවෙක් හදන්න. මං ඇවිදගෙන ගියේ තාත්තයි අම්මයි මං වෙනුවෙන් හෙමිහිට ගොඩ නගපු ඒ මාවත දිගේ.

මගේ දුවේ. මටත් ඕනෙ මගෙ දුව එහෙම දරුවෙක් වෙනව දකින්නයි. එහෙම නිදහස් සිතිවිලි ඇති ශක්තිමත් දුවෙක් වෙනව දකින්නයි.

කවදාවත් මගෙ හීන ඔයා ලවා හැබෑ කර ගන්න මට ඕන නෑ. ඔයා හැබෑ කර ගන්න ඕන ඔයාගෙ හීන. ඔයා යන්න ඕන ඔයාගෙ ඉලක්ක වලට. ඒ ගමනෙදි පහන් වැටක් වෙලා එළිය හදන්න අම්මයි තාත්තයි ඉන්නව. ඒත් පුතේ ඔයා ඒ ගමන යන්න ඕන ඔයාගෙ ඇස් දෙකෙන් පාර බලාගෙන. ඒකයි වැදගත් ම දේ.

යෞවනයෙ දි හිතක් දඟ කරන හැටි අම්ම නොදන්නව නෙවෙයි. අම්මට වුණත් ආදරේ කියන දේ අරුමයක් වුණෙ නෑ. පිරිමි ළමයින් ගෙ කෙළි කවට කම් වලට අම්ම ආගන්තුක නෑ..මගෙ දුවත් ජීවිතේ ඒ මිහිරියාව ඒ වයසෙදි විඳින්න ඕන. ඒකට අම්මගෙන් කිසිම තහනමක් නෑ. ඒත් පුතේ, ඒ මිහිර විඳගන්න ඕන බුද්ධිමත් විවෘත මනසකින් කියන එක ඔයා වටහා ගන්නම ඕනෙ.

චාටු කතා කියාගෙන කුමාර ලීලාවෙන් ඕන තරම් අය එයි ඉස්සරහට. ඒ අයව අඳුන ගන්න පුළුවන් නම් ඔයා කවදාවත් ඒ චාටු කතා වලට රැවටෙන්නෙ නෑ. ඒ චාටු කතා කාරයන්වත් රවටල ගෙදර එන්න ඔයාට පුළුවන් වෙන්න ඕන.

මගෙ හිතවතී කියන විදිහට එයාගෙ දූ චාටු කතා අකාරයෙක්ටයි රැවටිලා ඉන්නෙ. ඒකයි ඒ අම්මට වුණත් දූගෙ ආරක්ෂාව වෙනුවෙන් දැඩි පියවරක් ගන්න සිද්ද වෙලා තියෙන්නෙ.

මගෙ දුවේ. මං ආස නෑ කිසිම හේතුවක් මත ඔයාගෙ නිදහස සීමා කරන්න. ඒක මොන තරං මානසික හිරිහැරයක් ද කියල ඒ වයස පහු කරල ආව මං හොඳට දන්නව. ඔයා පිපෙන්න ඕන මලක් වගේ. ඒ මල පිපෙන්නත් කලින් කඩල දාන්න ඕන නෑ. ඔයා ඉගිලෙන්න ඕන කිරිල්ලියක් වගේ. ඔයාගෙ තටු කපල කූඩුවක හිර කරන්න මට ඕන නෑ. ඒත් ඒ නිදහස භුක්ති විඳිමින් ඔයා ඉන්න ඕන අවදියෙන්. අන්න ඒකයි වැදගත් ම දේ.

උන්මාද චිත්‍රා ව එක්ටැම් ගේක හිර කළත් එයාව ප්‍රේමයෙන් හංගන්න කාටවත් පුළුවන් වුණෙ නෑ. හිර කිරීමක් කියන්නෙ කොච්චර අසාර්ථක දෙයක් ද කියල ඒකෙන් ම පැහැදිලි වෙනව. අම්මයි තාත්තයි කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ පුතේ ඔයාට එහෙම කරන්න. ඔයා මේ ලෝකෙ දකින්න ඕනෙ. මේ ලෝකෙ සැරිසරන්න ඕනෙ. ඔයා කැමති විදිහෙ පුද්ගලයන් ඇසුරු කරන්න ඕනෙ. ඒ හැම තැනකදිම පරිස්සම් වෙන්නත් ඕනෙ.

චූටි කාලෙ ඔයා දොයියනකොට අම්ම සුරංගනා කතා කිව්ව. හැබැයි පුතේ ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක් නෙවෙයි. ඔයාට සුරංගනා කතාවක චරිතයක් වෙන්න බෑ. එහෙම වෙන්න ඕනත් නෑ. පොළොව පය ගහල ජීවත් වෙන්න පුළුවන් ගඍනු ළමයෙක් වීමයි වටින්නෙ. ඔළුව කෙළින් තියාගෙන ජීවිතේට මූණ දෙන්න පුළුවන් ගෑනු ළමයෙක් වීමයි වටින්නෙ.

නිසි වයසෙදි නිසි දේ කරන්න. පාසල් සමයෙදි ඉගෙන ගන්න. තුරුණු වියේදි ආදරේ කරන්න. ආදරේ කියන්නෙ හරි ම ස්වභාවික හැඟීමක්. හැබැයි පුතේ ඒකට නිසි වෙලාව එනකල් කලබල වෙන්න එපා. මොකද ඔයා තෝරගන්න කෙනා ආදරේ කරන්න වගේ ම ජීවත් වෙන්නත් ගැලපෙන බව ඔයාට ම වැටහෙන්න ඕන. එහෙම කෙනෙක් ලැබුණ දාක, ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හමු වුණ දාක ලෝකෙට රහසින් එයාව ඇසුරු කරන්න ඕන නෑ. එක්ක එන්න එයාව ගෙදරටම. අඳුන්නල දෙන්න අම්මටයි තාත්තටයි. එයා අපි වගේ ම ඔයාට ආදරෙයි නම්, අපි වගේ ම එයත් ඔයාව බලා ගන්නව කියල දැනෙනව නම්, ඔයා තරමටම අපිත් එයාට කැමති වෙයි.

මගෙ සුදු දුවේ;

අවබෝධයෙන් අපි මේ ගමන යමු. තහංචි රැකවල් නැතුව නිදහස් ව නිවහල් ව ජීවිතේ විඳිමු. හැබැයි පරිස්සම් වෙන හැටි ඉගෙන ගනිමින් යමු.

More Stories

Don't Miss


Latest Articles