සඳ කත් මිණි ඇස් – 27

සූර්යා සතුටෙන් කෑම පිසුවා ය. රෑ බෝ වී ගෙදර යනු පිණිස, හෝරා දෙක තුනක් ගත කරන්නට අපාට්මන්ට් එකට එන බව ආලෝක දවාලේ කීවේ ය. සාමාන්‍යයෙන් ඔහු සූර්යා ගේ ගෙදරින් රෑ කෑම කන්නේ නැත.

“අම්මගෙ මූණ නරක් වෙනව බඩගිනි නෑ කිව්වහම”

දවසක් ඔහු කෑම ප්‍රතික්ෂේප කළේ එසේ කියා මඳහසක් පාමිනි. ඒ මඳහස තුළ කැටිව තිබූ හැඟීම් සමුදාය තේරුම් ගනු වස් සූර්යා මඳ වෙලාවක් ඔහු දෙස බලා ගෙන ම සිටියා ය. අම්මා ත් පෙම් කරනා ගැහැනියත් යන දෙදෙනා අතරට මැදි ව අසරණ වන පිරිමියෙකු ගේ ශෝකප්‍රාප්ත ඇතුළාන්තය ඇයට මැනවින් දැක ගත හැකි විය. ඇයට ඒ මැනවින් තේරුම් ගන්නට ද හැකි විය. එවන් තත්වයක දී බොහෝ කාන්තාවන් කරන්නේ ඒ පිරිමියා ව තව තවත් පීඩනයට ලක් කරමින් අම්මා ට වඩා ඔහු ගේ ලෝකයේ ඇයට වැඩි ඉඩක් තිබෙනවාද කියා දැන ගන්නට ය. නො තිබුණත් එය එසේ යයි ඔහු ලවා කියවා ගන්නට ය. එය එසේ යි පසක් වන දේවල් ඔහු ලවා සිදු කරවා ගන්නට ය.

නමුත් සූර්යා කිසි සේත් එසේ නො කළා ය. ඔහු ගේ ම මව සමග පමණකුදු නොව වෙනත් ඕනෑ ම කාන්තාවක සමග හෝ ඔහු හේතු කොට ගෙන තරඟයකට වැටෙන්නට හෝ ඒ තරඟයෙන් දිනන්නට හෝ ඇයට ඕන කමක් දැනුණේ නැත. ඇය ගේ ප්‍රේමය වූ කලී තරඟයකට හසු නොවූ නිරායාස සිතිවිලි මාත්‍රයකි. එය හරියට ගහක මලක් පිපෙනවා බඳු සව්මිය ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයකි  මලකට ලොව කිසිදු මලක් සමගින් කිසි සා තරඟයක් ඇත්තේ නැත. හැම මලකට ම ඊට හිමි නිසි තැනක් තිබේ. හැම මලකට ම ඊට ආවේණික සුන්දරත්වයක් හා වටිනාකමක් තිබේ!

ආලෝක එසේ කීවාට පස්සේ කිසි දාක රෑට කෑම කා යන්නයි බල කරනු තබා සූර්යා ඉල්ලා සිටියේ හෝ නැත.

රෑ වෙන තුරු හෝරා කිහිපයක් ගත කොට යනවා කී නිසා ඇය ඉතා තදින් කුස නො පිරෙනු වස් නූඩ්ල්ස් එකක් පිළියෙල කළා ය. එළවළු හා කුකුළු මස් යොදා ගෙන සුප් එකක් ද පිළියෙල කළා ය. මේසයට වයින් බෝතලයක් තබන්නට ද සූර්යා අමතක නොකළා ය.

“කාල ඉමු. එතකොට ඔයාට රෑ වෙලා ගෙදර ගිහිනුත් කන්න පුළුවන්නෙ”

පුංචි හතරැස් කෑම මේසය සූදානම් කොට ඈ සිය ප්‍රේමවන්තයා ට ඇරයුම් කළේ බබළනා ඇස් වලිනි. ලා කහ පාට එළියක් තැවරුණ ගෘහ භාණ්ඩවලින් හිස් වූ  හුදෙකලා කුඩා ආලින්දයේ, ඉටි පන්දමක් දැල්වූ කුස ගිනි දල්වනා සුවඳ ඉහිරෙන මේසය වෙතින් පැරණි බටහිර වින්ටේජමය පෙනුමක් දර්ශනය විය.

“සඳළුතලේ ඉඳං පාන් නැත්තං කේක් කාපල්ල කියපු මාරි ඔන්ටෝනියෝ බිසව මතක් කරවනව මට ඔයා”

ආලෝක සූර්යා වෙත ගොස් ඇගේ ගෙල පා මුල කිති ගැන්වෙනා සුළු හාදුවක් තැවරී ය. සිය බඳ වටා වෙලී තිබුණ ඔහු ගේ දෑත සූර්යා සිය දෑතින් දැඩි ස්නේහයකින් වැළඳ ගත්තා ය.

“ඔයා හිතන්නෙ මෙහෙම චූටි චූටි දේවලින් ජීවිතේ හිස් වෙලා තිබිච්ච තැන් ටික ටික පිරෙද්දි…ඔයා දාල ගෙදර ගිහිං මට තනියම නිදා ගන්න පුළුවන් කියලද…ඒක හරි අමාරුයි සූර්යා. දැං මට ඔයා මතක් වෙනව වැඩියි. ඔයා ඕන වෙනව වැඩියි. ආදරේ කියන දේ මෙච්චර අසරණ අනාථ හැඟීමක් වෙන්න දෙන්න බෑ”

“සමහර දේවල් තියනව හදිස්සි නොවී ඉන්න තරමට වටිනාකම් දැනෙනව වැඩියි. වයින් වුණත් රස පරණ වෙනකොට”

ඇය එසේ කීවේ මේසය මත වූ වයින් බෝතලය දෙස බලමිනි. පැන්ට්‍රි කබඩ් එක තුළ ඔවැනි බෝතල කිහ්පයක් තිබිණි ද ලංකාවට පැමිණි පසු ඇය වයින් හෝ බීවේ නැත.

“බීල අහු වෙන්නෑ උඹ”

ආලෝක සූර්යා ගේ කොපුලක් තදින් සිප ගත්තේ ය. ඒ වාගේ ආදරණිය තර්ජන වලට යටත් වීම තුළ වන මිහිරියාව, ස්ත්‍රීවාදය කර පින්නා ගත් ගැහැනුන්ට කිසි දා විඳ බලන්නට ලැබෙන්නේ නැත.

ලාංකිකයන්, හෝරා ගණනක් තිස්සේ පිසිනා ආහාර විනාඩි ගණනකින් භුක්ති විඳ අවසන් කරනවා ය කියා කතාවක් තිබේ. නමුත් බටහිර රට වල මිනිස්සු විනාඩි කිහිපයක දී ආහාර පිස ඒවා හෝරා ගණනක් තිස්සේ හෙමිහිට කිස ගනිති. මේ දෙකෙහි වන වෙනස, ආහාර වල ප්‍රණීත රසයත් සමගින් ජීවිත බැඳීම් වල රස ගවේෂණය කිරීම හා බැඳුන යමකි. එදා ආලෝක ද ඒ නූඩ්ල්ස් රැල් වල රස වින්දේ ඉතා හෙමිහිට ය. පරණ වූ වයින් පරණ නොවූ ආදරයක රස නහර පිනවී ය.

“මට මේ ජීවිතේදි මෙහෙම සතුටෙන් ඉන්න පුළුවන් වෙයි කියල මං හිතල තිබුණෙ නෑ. ඇත්තටම මේක නොහිතපු වෙලාවක නොදන්වා ම ආපු සතුටක් ආලෝක”

සූර්යා සිය ඇත්ත ම හැඟීම පිටතට දැම්මා ය. ආදරයක් වඩාත් රොමාන්තික වනුයේ හිතේ හිර කොට තබා නොගෙන සැබෑ හැඟීම් ඇති සැටියෙන් බෙදා ගැනීම තුළ ය. වයින් නිසා දෝ ආලෝක වෙනදාට වඩා විවෘත ව ද සැහැල්ලුවෙන් ද හැසිරුණේ ය.

“ඒක පුදුම තනි කමක්. ඔයා හිතා ගන්න වයින් බිබී සේන් ගඟ දිගේ බෝට්ටු පදින තනි වෙච්ච ගෑනියෙක් ගැන..හැබැයි ඒ තනිකම ඇතුළෙත් මාර ඊස්තටික් ෆීලින් එකක් තියෙනව ආලෝක. වයින් වල වුණත් ඒක නැතුව නෙවෙයි. වයින් වලට පුළුවන් අපි ඇතුළෙ ඉන්න ඊස්තටික් මිනිහව එළියට ගන්න”

“හරියට දැං මං වගේ”

ආලෝක හඬ නගා හිනැහුණේ ය. ඇය ඇස් පිය නො සලා ඒ සිනහවේ හතර මායිම තුළ සැරිසැරුවා ය. ගැහැනියක ගේ පාළු හදවතට පිරිමියෙකු, ඇය ව  උත්තරාර්ද්‍ර ගෝලයේ සිට සමකය හරහා දක්ෂිණාර්ද්‍ර ගෝලය තෙක් ගෙන යා හැකි පිරිමියෙකු එනවා කියන්නේ, වචව කොයි තරම් දුන්නත් විස්තර කළ නො හැකි හැඟීමකි.

“ඒ පුදුම තනිකමින් ඒ ගෑනිව මුදවන්න ආදරේ කරන පිරිමියෙක්ට ගත වෙන්නෙ තත්පර කීපයයි. ඒකම පුදුම සුන්දර දෙයක්…මං හරි ආදරෙයි ආලෝක. මෙහෙම ආදරයක් විඳල මැරුණහම මොකද නෙවෙයි…මෙහෙම ආදරේ කරල මැරුණහම මොකද කියලයි මං කියන්න ඕන. සමහර වෙලාවට අපිට ආදරේ ලැබෙනව ආලෝක …නොලැබෙනව නෙවෙයි. ඒත් ඒක පොඩ්ඩක්වත් අපිට දැනෙන්නෙ නෑ අපි ආදරේ කරන්නෙ ඒ කෙනාට නෙවෙයිනං. ආදරේ කරන එකයි මේ ලෝකෙ තියෙන උතුම් ම දේ. මං අද ඒ උතුම් ම සතුට විඳිනව. මුළු හිත පුරාම විඳිනව. ඔයාට ආදරේ දැනෙයි කියල හිතෙන ඕනම විදිහකට කන්ඩිශන්ස් නැතුව ආදරේ කරන්නයි මං ආස. එතකොට තමයි නියම නිදහස දැනෙන්නෙ…”

ආලෝක අසීමිත ප්‍රේමයෙන් සූර්යා ගේ උර මඬල වටා වමත යවා ඇය ව ඔහු වෙතට වඩාත් ලං කර ගත්තේ ය. සූර්යා රැවුල් කොට වැවුණ ඒ කොපුලක් මත දෙතොල් තබා සිප ගත්තා ය..

“මං අහල තියෙනව කතාවක්…දානයක් දෙන්න පිරිතක් කියවන්න එහෙම හිතුවට පස්සෙ..ඒ ගැන හිතන ගානෙ පින් රැස් වෙනවලු. ඒක හොඳට කරන්න හිතන හිතන ගානෙ ඒ හිතිවිල්ලම පිණක් වෙනවලු. ඔයා ට රස කෑමක් හදල දෙන්න ඕන කියල හිතං මං උයන්න ගන්න එක එහෙමයි කියල මට හිතෙනව ආලෝක. ඒ හිතිවිල්ලක් ගානෙ එකතු වෙන්නෙ ආදරේ…වැඩි වෙන්නෙ ආදරේ…”

කිසි ම දිනෙක සිය සැමියා ගැන සූර්යා තුළ එහෙව් ආදරයක් ජනිත වී නැත. ඔහු ගැන හිත් හි වූයේ බැඳීමකි. ගෞරවයකි. එය කිසි සේත් දැන් මේ දැනෙමින් පවත්නා හැඟීම නොවේ.

“අම්ම කෙනෙක්  වෙද්දි මං හිතුවා වෙන මොනා නැතත් ඒ මදැයි කියල. ඇත්තටම ඒකත් මාරම දෙයක් තමයි ආලෝක. දරුවෙක් ඉන්නකොට ගෑනු කෙනෙක්ට වෙන මොනාත් නැති වුණත් කමක් නෑ කියල හිතෙන වෙලාවක් එනව. ඒක අම්ම කෙනෙකුට විතරක් විඳ ගන්න දැන ගන්න පුළුවන් හැඟීමක්. දරුවො වෙනුවෙන් කැප වෙනකොට ඒගොල්ලො ලොකු වෙනව බලං ඉන්නකොට..ඒක වෙනස්ම සතුටක් ආලෝක..ආදරේ කියන දේ මගෙ ජීවිතේට නැත්තටම නැති වෙලා ගියා කියල දැනෙද්දි වුණත් මං ජීවත් වුණේ ඒ සතුටත් එක්ක. ඒත් කුකුල් පැටව් ටික වට කර ගත්ත කිකිළියක් වගේ…වෙස්ටර්න් කන්ට්‍රි එකක ළමයි හදන අම්ම කෙනෙක්ට ඉන්න බෑ. ෆස්ට් චාන්ස් එකේදිම ඒ ළමයි බලන්නෙ තටු හයියද බලන්න..කැමිල් වුණත් එමිලි වුණත් එහෙමයි. එයාල ඈත් වුණාට පස්සෙ තමයි ආලෝක මං ඔයාට තදින් ම ආදරේ කරන්න ගත්තෙ. ඒක තමයි ආදරේ උමතුව කියන්නෙ. ඒ පිස්සුවට මං කොච්චර ආදරේ කළාද කියල ඔයා දන්නවද…මට ඩීප්‍රෙශන් ආව තදටම. ඒත් මං මැරුන්නෑ ආලෝක. සුයිසයිඩ් කර ගත්තෙ නෑ”

“මමයි බීල ඉන්නෙ. මේකියි කියවන්නෙ”

ආලෝක තදින් සූර්යා ව වැළඳ ගත්තේ ය. ඒ හැම තත්පරයක ම වූයේ ප්‍රේමයේ උන්මාදය බව ඇය දැන සිටියා ය.

කෑමෙන් පස්සේ ඔවුහු බැල්කනියෙහි බිම වැතිර අහස දෙස බලා සිටින්නට වූහ. එය හරි පුදුම ය. ප්‍රංශයේ දී උඩ බැලුවත් අහස පේන්නේ මේ විදිහට ය. මිනිසුන් ට කෙතරම් ලං වී, දුරස් නොවී ඉන්නට හැකි දැයි කියා දෙන සොබා දහමේ පාඩමක් සේ සූර්යා ට ඒ දැනිණ.

“ඔය තාරකා රාශි වයසට නොයන එක ගැන ඔයාට මොනාද කියන්න තියෙන්නෙ…අපි පොඩි කාලෙත් ඔරායන් ඔහොමමයි. හරි අසාධාරණයි. අපි විතරක් වයසට යවල සොබා දහම ඒගොල්ලංව ඒ විදිහටම තියං ඉන්නව”

සූර්යා පැත්තකට හැරී සිනහ වෙන්නට වූවා ය. ජීවිතය මේ වගේ දවස් වලින් ම පිරී පැවතියේ වී නම් කෙතරම් බරැති මතක ගබඩාවක් අනාගතය වෙත ගෙන යා හැකි ව තිබිණි ද?

“මේ සූර්යා. දැං ඔය ඕන තරං තරු කඩා වැටෙනවනෙ…”

“හ්ම්”

ඇය සිය සිනහව ගිලගෙන, කැමිල් පොඩි කාලේ ඇසූ ප්‍රශ්නයකදී සේ ආලෝක දෙස බැලුවා ය.

“සමහර වෙලාවට උල්කාපාත වර්ෂා කියලත් වැටෙනවනෙ”

“ඕ ඉතිං…”

“ඒ කිසි දවසක ඔය තාරකා රාශි වල තරුවක් වැටුණෙම නැද්ද ඇත්තට..”

“ආ…”

සඳැල්ලේ බිම දිගා වී උන් සූර්යා ට හිඳවිණ. මේ වගේ ප්‍රශ්නයක් කවදාවත් කැමිල් නම් අසා නැත.

“එතකොට ඒව විතරක් වැටෙන්නැතුව ඉන්නෙ…තරු වලත් වීඅයිපී කේස් තියෙනව වගේ නේ…නැත්තං ඔය තාරකා රාශියක දැං අවුරුදු දහස් ගාණක ඉඳලම තරුවක අඩු පාඩුවක් වෙලා නෑනෙ”

“සෑහෙන්න ඇත්තක් තමයි”

සූර්යා නිකටේ ඇඟිල්ලක් තියා ගෙන අහස දෙස බලාන කල්පනා කරන්නට වූවා ය. ආලෝක ඈ තමන් වෙතට ඇද ගත්තේ ය. සූර්යා මහ හයියෙන් සිනහ වෙවී තරුවක් සේ ආලෝක ගේ පපුව මතට කඩා වැටුණා ය.

“මටත් ඕනෙ පුතෙක්”

සූර්යා ට එක් වර ම දැනුණේ වායු ගෝලයේ කැළඹීමක් වන් දෙයකි. කන් අගුළු වැටී ගියා බඳු තත්වයකි. ආලෝක ගේ පපුව මත හිඳ හිස නගා ඕ ඔහු ගේ මුහුණ දෙස බැලුවා ය. ආලෝක ඇස් කුඩා කර ගෙන සිටියේ ය. ඒ වගේ ඇස් ඇති පුතෙක්!

සූර්යා යළි සඳැල්ලෙහි ටයිල් බිම මත වැතිර ගත්තා ය. තරු පිරි අහස වී පැදුරක් සේ ය. මේ අසංඛ්‍යය වූ තාරකා මණ්ඩල අතරේ ගැහැනියක ගේ හා පිරිමියෙකු ගේ ඒකායන ප්‍රාර්ථනයකට වන ඉඩ කොයි තරම් ද කියා සිතන්නට ඇය උත්සාහ කළා ය. එයත් පැරීසියේ නොත්‍රදාම් දේවස්ථානය පේන මානයෙහි දී සේන් ගඟේ යාත්‍රා කරන්නෙකු හට දැනිය හැකි ආකාරයේ ෆැන්ටසිමය හැඟීමකි.

ආලෝක ගෙදර ගියාට පස්සේ සූර්යා නාන කාමරයේ කැඩපත ඉදිරියට වී බෝ වෙලාවක් ඇදෙස බලා සිටියා ය. හෙමින් සිය කුස පිරිමැද්දා ය. සුදු නෙළුමක් සොඬින් ගත් සුදු ඇත් පැටවෙක්!

උදේ ම නටාෂා ට එන්න කියා ඇය දුරකතන ඇමතුමක් දුන්නා ය.

“ඇයි…එනි ප්‍රොබ්ලම්…”

නටාෂා ගෙට ගොඩ වූයේ එසේ අසමිනි.

“මොන ප්‍රශ්නද මේ මට…අද ශොපින් කරන්න ඕනෙ. ඒකයි”

“ඇයි සුමන්…ඕ නෝ…ආලෝක එක්ක යන්නෙ නැද්ද…”

“පිරිමින්ගෙයි ගෑනුගෙයි ආසාවල් දෙවිදිහක්. ඉතින් ශොපින් ගිහින් කාලෙ ගත කරන්න ඒගොල්ලන්ට කරදර කරනවට වැඩිය හොඳ යාළුවෙක් එක්ක ඒ ගමන යන එක. අපි හැම වෙලේම දේවල් තෝර ගන්න ඕන එයාලට අපිව එපා වෙන විදිහට තව තවත් ඕනෙ වෙන විදිහට”

“ඕ මයි ගුඩ්නස්…කොහේ තිබිලද ඔය වගේ දේවල් ඉගෙන ගත්තෙ…ඒ කාලෙ ඩගී එක්ක ශොපින් ගිය හැම දවසකම අපි ගෙදර ආවෙ රණ්ඩු වෙලා. ඒත් තාමත් ඔයා කියනකල් ඒකට හේතුව දැනගෙන හිටියෙ නෑ”

“පිරිමි ලෝකයයි ගෑනු ලෝකයයි කියල දෙකක් තියෙනව. ඔය දෙක මික්ස් කර ගන්න ගිය තැන තමයි ඔක්කොම අවුල් වෙන්නෙ. එහෙනං අපි යමුද මැඩම්…”

සූර්යා දොර වසා යතුර අත් බෑගයෙහි දමා ගත්තා ය. සඳ කත් මිණ එහි පත්ලේ වන බව සැක හැර දැන ගත්තා ය. පැරීසියේ දරුණු හුදෙකලාවකදීත් ඇය ව රැක ගත් මැණික!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles