එදා හැන්දෑවේ අමාරසී ගෙදර යන විටත් යොහාන් පැමිණ සිටියේ ය. ඇගේ තොල් මත්තට වෙනදාට එන කෘතීම වූ ව්‍යාජ සිනහව හෝ පැමිණියේ නැත. ඇය මුණිවතින් කාමරයට ගොස් යහනත පෙරළී ගත්තා ය.
ඇරඹුම ම මේ තරම් වියළි ගිම්හානයක් වෙත්දී ඒ යුග දිවිය කෙතරම් නම් කටුක ශුෂ්ක කලාපයක් වනු ඇත්ද? දිසත් කීවා සේ මල් සියල්ල කඩා දැමුවත් වසන්තය නිසි යාමයේ දී පැමිණෙන්නේ ය. ඒ වන තුරා සන්සුන් ව බලා හිඳිනවා මිස අකාලයේ ගිම්හානයට වැද කර්කෂ ව යන්නේ කුමට ද? කවුරුන් වෙනුවෙන්වත්, කිසිවෙකුට හෝ ඕනෑ ලෙස සිය ජීවිතය මත්තේ ඩෙඟා නගන්නට නො දෙමියි අමාරසී තදින් සිතා ගත්තා ය.
“රසී…අර ළමය බලං ඉන්නව”
කාමරයේ දොර රෙද්ද මෑත් කළ නිර්මලා කසු කුසුවක සරින් කීවා ය. අමාරසී නිහඬ ව නිසල ව සිටියා ය.
“රසී”
නැවතත් නිර්මලා ගේ හඬ! එවර එහි යම් කිසි කේන්තියක් ද තැවරී තිබුණ සෙයකි. අමාරසී හීයක වේගයෙන් හැරී අම්මා දෙස බැලුවා ය.
“මට ඔළුව කැක්කුමයි. අම්ම කතා කරල ඉවරනං එයාට යන්න කියන්න”
අමාරසී ගේ හඬට වෙනදා නැති වේගයක් ආරූඩ වී තිබිණ. ඊට වැඩි වේගයකින් නිර්මලා දියණිය වෙත පැමිණියා ය.
“මාත් එක්ක කතා කරන්න නෙවෙයිනෙ ඒ ළමය ඇවිත් තියෙන්නෙ. ඔයත් එක්ක කතා කරන්න”
“මට කතා කරන්න දෙයක් නෑ”
“මොකද්ද…”
“මට කතා කරන්න දෙයක් නෑ”
අමාරසී කතා කළේ කෑ ගසා මෙනි. සිවිලින් ගැසූ කාමරයෙන් පිටතට ඒ හඬ පැහැදිලි ව නො ඇසුණ ද එය යොහාන් ගේ කන වැකේවියි නිර්මලා බිය වූවා ය. දියණිය දෙස දැඩි බැල්මකින් බලා උන් ඕ තොමෝ තව දුරටත් කිසිත් නො දොඩා කාමරයෙන් පිට ව ගියේ අමාරසී ගේ හිතුවක්කාරකම් ගැන දන්නා නිසාවෙනි. ඇගේ දරුවන් තිදෙනා ගෙන් අහිංසක ම අමාරසී බව නිර්මලා දනී. නමුත් මුරණ්ඩු ද ඇය ම ය.
“රසීට ඔළුව කැක්කුමයිලු. පුතා හෙට එන්නකො”
නිර්මලා මවා ගත් සිනහවකින් කීවා ය. ඈ සිටියේ මහත් අපහසුවකිනි. බොරු කියන්නට හෝ බොරු කරන්නට ඇය අවංකව ම අකමැති ය. යොහාන් තව ටික වෙලාවක් ඉන්නට ම හැදුවේ ය. දැන් ඉතින් අමාරසී කිසි සේත් ඔහු සමගින් කතා කරන්නට නො එන බව දන්නා නිර්මලා අමාරුවෙන් ඔහු ව පිටත් කොට ගත්තා ය. යොහාන් යතුරු පැදියේ නැගී ගිය ඉක්බිති ඇය කෙළින් ම ආවේ දියණිය ගේ කාමරයට ය.
“මොන යකෙක් වැහිලද ළමයො…මොකද අර ළමයත් එක්ක කතා කරන්න එළියට ආවෙ නැත්තෙ…ඔළුව කැක්කුමයිනං දැන් ඔය හොඳට ඉන්නෙ…”
“මං කැමති නෑ. මං බඳින්නෑ ඔය මනුස්සයව. ඒකයි”
“මොකද්ද…”
අත දිගු කර ඇඳ මායිම පසක් කර ගත් නිර්මලා එහි දාරයෙහි යන්තම් හිඳ ගත්තා ය. ඇය තරම් හොඳින් අමාරසී ව හඳුනනා වෙනත් කෙනෙකු නැත. යොහාන් ගේ විවාහ යෝජනාවට ඇය ඔහු ව නොදැක ම කැමැත්ත දෙත්දීත් ඇගේ පපුවේ හිරියක් ඇති විය. නමුත් ඔහු ඥාතීන් සමග පැමිණි වෙලාවේ හෝ ඇය සිය අකමැත්ත ප්‍රකාශ කළේ නැත. එසේ විණි නම් මෙය මේ තරම් දුර දිග යන්නේ ද නැත. දැන් නැකත් බලා මංගල්ලයට දින ද නියම කර ගෙන ඉවර ය. නිර්මලා ගේ පපුව ගැහෙමින් තිබිණ. යොහාන් ට මෙවැන්නක් කෙසේ නම් පවසන්න ද? දැනටමත් ඔවුන් සියලු කටයුතු සංවිධානය කරමින් පවතී. කිසි දා බොරුවක් කොට නැති ඇය ට දැනුණේ ඇය මහත් බොරුකාරියක වන්නට යනවා මෙනි.
“ඇයි පුතේ මේ හදිස්සියෙ…”
ඇගේ කට හඬ වෙව්ලා ගියේ ය. අමාරසී ට අම්මා ගැන මහත් දුකක් ඇති විය. ඇය ජීවිතයේ සතුටක් විඳි ගැහැනියක නොවේ. කිසිදු වරදක් නොකළ ද තාත්තා ගේ බීමත නිසා නිරපරාදේ ඕ ගුටි කෑවා ය. බැනුම් ඇහුවා ය. එයට මූලික හේතුව තාත්තා සමගින් අම්මා කට ගසාගෙන යාම බව පහු වෙත්දී අමාරසී තේරුම් ගත්තා ය. තාත්තා කෝප ගැන්වූයේ අම්මා ගේ ම වචන ය. තාත්තා මත් වී ආ වෙලාවට කට වසා ගෙන ඉන්න යයි අමාරසී කොතෙක් කීව ද නිර්මලා ඒ වරද යළි යළිත් කළා ය. එසේ කොට අනිවාරතේ ගුටි කෑවා ය. ඇතැම් දින වල තාත්තා ගේ පහරවල් නිසා අම්මා ගේ අත් නිල් වී ඉදිමී තිබූ හැටි ඇයට මතක ය.
එවන් දිනෙක හෝ නොතිබූ තරම් බය, සැක, සංකා මේ මොහොතේ නිර්මලා ගේ වත පුරා පැතිරී තියේ.
“අනේ මට එයාව බඳින්න බෑ අම්මෙ”
යහන පා මුල බිම හිඳ ගත් අමාරසී නිර්මලා ගේ උකුලෙහි හිස තියා ගත්තා ය. තැති ගෙන සිටි නිර්මලා ගේ ඇඟිලි, අමාරසී ගේ හිස පිරිමදිත්දී පවා වෙව්ලමින් තිබිණි.
“එහෙම කියන්න දැං පරක්කු වැඩියි නේද…”
“මං එයාව බැඳල ගිහිං මගෙ ජීවිතේ අපායක් වුණාට කමක් නැද්ද අම්මෙ…දමල ගහල ආයෙ ගෙදර එන්න වුණොත්…සමහර විට ළමයෙක් දෙන්නෙක්වත් අරගෙනම ගෙදර එන්න වුණොත්….එතකොට පරක්කු වැඩි නැති වෙයිද අම්මෙ…එක වචනයක් ආපහු ඇද ගන්න බැරි කමට මං ජීවිතෙංම වන්දි ගෙවන්න ඕනද අම්මෙ”
නිර්මලා ගේ පපුව දෑවේ ය. ඇස් ද පිච්චෙනවා සේ දැනිණ. මේ කෙල්ලගේ අනාගතය ගැන හිතන විට අම්මා වශයෙන් ඇගේ හදවතෙහි නැගෙන්නේ බියකි. අජිත් කෙතරම් බේබදු පියෙකු වී ද ඉගෙන ගන්නට ඕනෑ වූ ඇය ට හැකි උපරිමයෙන් ඉගැන්නුවේ ය. ණය තුරුස් වී හෝ ඇගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍යයි කියන තරම් මුදල් සොයා දුන්නේ ය. රුව ගුණ අතින් ද අමාරසී කියන්නේ ගෙදරට දොළොස් මහේ පහනකි. එහෙව් ඇය අද තව වන තුරා විවාහ වීම වෙනුවෙන් ඇසුරු කළ පිරිමියෙකු ගැන ගෙදරට දැනුම් දී නැත. මිණි පහනක් වන් දියණියක් නිසි වයසේ දී විවාහයක් කර නොගැනීම කියනා ලෝක අපවාදයෙන් ඇය මුවහ කර ගැනීම, අම්මා වශයෙන් නිර්මලා ගේ පපුවට වද දෙන්නා වූ බරකි. මිනිසුන් කියන්නේ කට කැඩුණ කතා ය!
“රසී තාමත් බඳින්නැතුව ඉන්නෙ හොඳ බූට් එකක් කාලද”
කියා ඥාතිවරියක නිර්මලා ගේ මූණට ම ඇසුවා ය. පිරිමින් ගැන සිය හදවතෙහි තිබෙනා හැඟීම ගැන අමාරසී කිසි දවසක අම්මා සමග හෝ විවෘත ව කතා කොට නැත. තාත්තා වශයෙන් අජිත් ට ද උනන්දුවක් නැති එකේ සුදුසු කෙනෙකු බලා ඇය සරණ පාවා දෙන්නට ඇය පබසරා සමගින් කටයුතු කළේ ඒ සියලු කාරණා නිසාවෙනි. නමුත් මේ වගේ දුරක් විත් දැන් අමාරසී යොහාන් ට අකමැතියි කියයි.
නිර්මලා පබා ට දුරකතන ඇමතුමක් ගෙන කුටු කුටු ගා මේ සිදුවීම කීවා ය.
“එයා බැහැයි කියනවනං අපි බලෙං කරන්නෙ කොහොමද පබා..”
“අම්ම මාර කතාවක්නෙ කියන්නෙ. දැං මං අර මිනිස්සුන්ට මොනාද කියන්නෙ…එයා ඔය හදන්නෙ ඕකත් මග අරින්න. දැන් මට අවුරුද්දක ළමයෙකුත් ඉන්නව අම්මෙ. අක්ක මට වඩා අවුරුදු හතරක් වැඩිමල්. එයා තවත් බඳින්නැතුව ඉන්න හේතු හොයන්නෙ ඇයි…මේ සැරේනං එයාට නටන්න දෙන්න බෑ”
නිර්මලා දුරකතනය තැබුවේ අසරණව ය. හැම පැත්තෙන් ම තැලෙන්නේ ඇයයි. විවාහයේ මුල් යුගයේ පටන් ම ඇගේ හදවත නිතර ම පැවතුණේ උතුරමින් ගොජ දමනා වතුරක් පරිද්දෙනි. කොයි වෙලේත් ගින්දර ය. දැන් ය කියාත් වෙනසක් නැත්තේ සසරේ කළ ලොකු පාප කර්මයක් නිසා විය යුතු යයි ඕ සිතුවා ය.
මොන තරම් හිත් කරදර තිබුණත් ගෙදරක අම්මලාට පැත්තක් අල්ලන් ඇඳකට වැටී ඉන්නට විදිහක් නැත. එහෙම හිටියොත් ගෙදරක් ම බඩ ගින්නේ ය. කල්පනා කර කර ලූනු කපන්නට ගිහින් නිර්මලා අත කපා ගත්තා ය. ඈ “ආහ්” කියා අත ඇද ගන්නකොට ම අජිත් කුස්සියේ ය.
“කපා ගත්ත නේ…මෙලෝ පරිස්සමක් නැතුව වැඩ කරන මනුස්සයෙක් තමයි. හැමදාම මොකක් හරි කර ගන්නවනෙ. එක්කො කපා ගනී..එක්කො පුච්චගනී..එක්කො තලා ගනී…”
“නැතුව ඉතිං…ගෙදර වැඩ කරන මනුස්සයට තමයි ඒ ඔක්කොම වෙන්නෙ…හාමුලා වගේ නිකං ඉන්න මිනිස්සුන්ගෙ අත් කැපෙන්නෙ කොහොමද අවුරුදු ගාණකට පිහියක් අල්ලල නැතිකොට”
කුස්සිය බිත්තියේ ගසා ඇති ප්‍රථමාධාර පෙට්ටියෙන් වෙළුම් පටි රෝල ගෙන තනිව ම කැපුම් තුවාලය වෙලා ගන්නා අතරේ ඇය එකට එක කීවා ය. කැපුණා නොව කන්ටේනර් එකකට යට වුණත් මේ මනුස්සයා කට නවත්වන්නේ නැතැයි සිතමින් අජිත් ඇගේ අතින් වෙළුම් පටිය උදුරා ගෙන එය ගැට ගැසුවේ ය.
“මං මේ අද අමුවෙන් ම ආවෙ අර හෝතම්බුවව අල්ලගෙන කතා කරන්න. කෝ මිනිහ ඇවිත් නෑ නේද..”
ශීතකරණය හැර සිසිල් වතුර බෝතලයක් ගෙන උගුරට හලා ගන්නා ගමන් අජිත් බිරිඳ විචාලේ ය. නිර්මලා නූල් බෝලයක් සේ පැටලිලි සහගත වතකින් සැමියා දෙස බැලුවා ය.
“ඒ යකාට දැන්මම කියන්න ඕන කෙල්ල මේකට කැමති නෑ කියල”
“අපි එක සැරයක් කිව්වනෙ කැමතියි කියල. එක එක සැරේට එක එක ඒව කියන්න බෑනෙ ඒයි. ඔයා ටිකක් මේ ගැන රසීගෙ හිත හැදුවොත් නේද හොඳ…ඔයා පරහට ඉන්නකොට එයත් බලන්නෙ මේකත් අල්ලල දාන්නනෙ. එහෙම කොහොමද දැන් මෙයා චූටි කෙල්ලෙක් නෙවෙයිනෙ. අනික යොහාන් කියන්නෙ දියුණු වෙන්න බලන කොල්ලෙක්. ඉතිං ඒ වගේ ළමයෙක්ව බඳින එකේ තියන වැරැද්ද මොකද්ද…අනික බඳින්නෙ තමුං සම්බන්දයක් ඇති කර ගත්ත කෙනෙක් ව නෙවෙයිනං…අකමැති වෙන්න තරං හේතුවක් බැලූ බැල්මට ඇත්තෙත් නැත්තං…ඕකෙ තෝර තෝර ඉන්න තියෙන්නෙ මොනාද කියල මන් දන්නෑ. ඔයා තමයි ඒ ළමයගෙ ඔළුව අවුල් කරන්නෙ. අන්තිමට වෙන්නෙ පබා ගෙන් ඉන්න හම්බෙන්නැති වෙන එකයි”
නිර්මලා කතා කළේ මෘදු නෝක්කාඩු ස්වරයකිනි. මේ වෙලාවේ අජිත් ව අමනාප කර ගනු වෙනුවට ඔහු ව සහාය කර ගෙන අමාරසී ගේ හිත හදන්නට ඇය කල්පනා කළා ය. නැත්නම් පබා ගෙන් ද විසුමක් වන්නේ නැත.
“දැන් රසී කිව්වද බෑ කියල..”
“හ්ම්”
“එහෙනං ඕක වෙන්නෙම නෑ. එච්චරයි කතාව. ආයෙ මට බටර් ගාගෙන එන්න ඕනෙ නෑ”
එසේ කියමින් කුස්සියේ පොඩි පුටුවෙන් නැගිට ගත් අජිත්, අඩි කිහිපයක් ඉදිරියට ගොස් නැවතත් නතර වූයේ ය. නිර්මලා සිටියේ අනාථ අසරණ හැඟීමකින් සැමියා දෙස බලා ගෙන ය.
“පබාගෙන් ඉන්න හම්බෙන්නෑ කියන්නෙ…එයා අපේ අම්මද…”
අජිත් අඩි හප්පමින් කුස්සියෙන් ගෙට යන්නට ගියේ ය. හුළං ගිය බැලුමක් සේ නිර්මලා බලා සිටියා ය.
අමාරසී ට වැඩිමලා වන රුක්ෂාන් සේ ම බාලයා වන පබසරා ද ළමා වියේ පටන් ම තාත්තා සමග කටයුතු කළේ පරහට ය. අමාරසී පවා තාත්තා ගේ චර්යාව අනුමත නොකළ ද ඇය ඔහු ගේ හිත රිද්දන්නට ගියේ නැත. ටික ටික වැඩි වියට එළඹෙත්දී වැඩිමලාත් බාලයාත් තාත්තා සමග වචන හරඹ වල පවා පැටළුණහ. අම්මා ට ගහන්නට එපා යයි කිහිප වතාවක් ම රුක්ෂාන් අජිත් ට හොඳින් කීවේ ය. ඒ වචන ගඟට කැපු ඉණි සේ අපතේ යත්දී දවසක් රුක්ෂාන් ගේ සීමාව ද ඉක්මවා ගියේ ය. අජිත් විසින් පහර දෙන්නට යන නිර්මලා ඉදිරියේ හිට ගත් හෙතෙම,
“තව පාරක් හරි අම්මට ගැහුවොත්…මං බලන්නෑ කවුද කියල ඇත්තමයි…”
කියමින් දත්මිටි කමින් අජිත් ට තර්ජනය කළේ ය. ඒ මොහොතේ නිර්මලා ව අත් හළ අජිත් සිය පුතණුවන් සමගින් පැටළුණේ ය.
“මූ මට ගැහුව..දැක්ක නේද..මටයි මූ අත ඉස්සුවෙ”
කියමින් දිගින් දිගට ම රුක්ෂාන් ට චෝදනා කරන්නට ගත්තේ ය. මේ පිය පුතු අරගලය වූ කලී ඒ මොහොතේ ඇති වූවක් නොවේ. රුක්ෂාන් ගේ කරදඬු උස් මහත් වන්නට පටන් ගනිත්දී තාත්තා ට පුතාත් පුතාට තාත්තා ත් රුස්සන්නේ නැතිව යමින් තිබිණි. ඔවුන් මොනවා කළත් ඔවුන් ට වැරදි විය. දෙපැත්තෙන් ම ගතු කීවේ නිර්මලා ට ය. දෙපැත්තෙන් ම තැළුණේ ද ඇය ය. එදා, පියා ට තර්ජනය කොට චෝදනාවට ලක් වූ දා රුක්ෂාන් ඇඳුම් කෑලි ටිකක් ද බෑග් එකක දමා ගෙන ඒ වෙලාවේ ම ගෙදරින් දොට්ට බැස්සේ ය.
“අනේ පුතේ යන්න එපා පුතේ”
කියමින් නිර්මලා පුතු ගේ ඇඟේ එල්ලී ඔහු රඳවා ගන්නට තැත් කළා ය. රුක්ෂාන් අම්මා ට ද සැර වූයේ ය.
“තවත් මේ තාත්ත කියන මනුස්සය ඉන්න තැනක හිටියොත් මං මිණිමරුවෙක් වෙන එකයි වෙන්නෙ”
එදා දොට්ට බැසි පිම්ම රුක්ෂාන් අදට ද බෝඩින් කරුවෙකි. අජිත් ගෙදර නැතැයි අනුමාන කරනා වෙලාවක විත් ඔහු අම්මා ව බලා ඈ අතට කීයක් හෝ දී යයි.
උදේ පාන්දරින් ම යොහාන් ගේ යතුරු පැදිය අමාරසී ලා ගේ දොරකඩ නතර විණි. ඒ හඬ ඇසෙත්දී අමා ගේ පපුවේ ගින්නක් පත්තු විණි. ඊට හේතුව අජිත් තවමත් ගෙදරින් පිට ව ගොස් නොතිබීමයි. අමාරසී ද හිටියේ කාර්යාල ට යන්නට සූදානම් වෙමිනි. අජිත් ගේ බත් මුල ඔතා පසෙකින් තැබූ නිර්මලා, යතුරු පැදියේ හඬට ගැහෙන හදින් ඉස්සරහා ට ආවා ය.
“කෝ රසී ඉන්නවද අම්මෙ..”
යොහාන් හෙල්මට් දෙක පුටවක් උඩින් තබා කොණ්ඩය අතින් සැකසුවේ ය.
“ඔෆිස් යන්න ලෑස්ති වෙනව”
“එහෙනං මාත් එක්කම යන්න පුළුවන්”
අමාරසී පිටත දෙබස් වලට කන් දී ගෙන සිටියා ය.
“ඊයෙත් එයා ඔළුව කැක්කුමක් කියල ඉස්සරහට ආවෙත් නෑනෙ. ඇත්තටම ඔය විකාර වලටනං මං කැමති නෑ. එයාට කතා කරන්න ඕනෙ මට. මගෙ විදිහට එයා හැඩ ගැහෙන්න ඕනනෙ. නැත්තං ඉස්සරහට තමයි ප්‍රශ්න”
සපත්තු බිම වදින හඬින් නිර්මලා හිස හරවා බැලුවා ය. අජිත් ඔෆිස් බෑගයත් අතින් ගෙන ඉස්සරහාට එමින් සිටියේ ය. පපුවේ බිත්තර සීයක් එක වර තැම්බිය හැකි රස්නයක් වන බව නිර්මලා ට දැනිණි.