කදෝකිමි ඇස් -02

0
5119
කදෝකිමි ඇස්

ආරණ්‍යා අම්මාගේ කාමරයට එබුණේ රාත්‍රියේ මැදියම එළඹෙද්දී ය.අම්මා ලියන්නී ය.කෙළවරක් නැතිව ලියන්නී ය.ඇය තමන්ට පමණක් අයත් වස්තුවක් නොවන බව ආරණ්‍යා වටහා ගත්තේ මල්ලී උපදින්නටත් පෙර සිට ය.මේඝගේ කතාන්දරයට වහ වැටුණු දරුවන් අම්මාට ඇමතුම් ලබා දෙද්දී කිරි උරමින් සිටි ආරණ්‍යා කිරි බීම නවතා ඒවා අසා සිටි බව කියන්නේ අප්පච්චී ය.

“කොහොමටත් ඉතින් අම්මා වගේ තමා.තමන්ගෙ දෙයක් අනිත් අයට අයිති වෙනවට ඉරිසියාවයිනෙ..”

අප්පච්චි එසේ කියද්දී ආරණ්‍යා අම්මා වැළඳගෙන උස් සිනා නඟන්නී ය.සුදු අත්තම්මා ඇගේ රුව එහෙමපිටින්ම අම්මාට පිදූ අතර අම්මා ඇගේ රූපය අඩු නැතිව ආරණ්‍යාට පිදුවා ය.ආරණ්‍යා අම්මා සහ අත්තම්මා දෙස බලමින් ඇගේ අනාගත රූපය කියවා ගන්නා ආරණ්‍යා ඔවුන් තමා දෙස බලමින් අතීතය සිහි කරන බව සිතන්නී ය.

“මල්ලාට ගිෆ්ට් එකක් අරන් ආවා..”

ඇය එසේ කියද්දී මේකලා මායාදුන්න ලියමන නවතා දියණිය දෙස බැලුවා ය.ආරණ්‍යා අම්මා දෙස බැලුවේ හුරතලය උතුරන බැල්මකිනි.

“සොරී අම්මා..මට අමතක වුණා.ලියද්දී කඩා බිඳගෙන එන්න හොඳ නෑ කියලා..”

එය ආරණ්‍යා විසි එක් වසරක් තිස්සේ කරන වරදක් බව දන්නා මේකලා කිසිත් නොකියා හිනැහුණා ය.මේකලාගේ අප්පච්චි එය විසි අට වසරක් ම කළ වරදකි.ඔහුට නව ජීවන සැලසුම් සියල්ල සිහි වන්නේ මේකලා ලියවිල්ලක ඇලී ගැලී සිටියදී ය.නමුත් ඔහුගේ කතා අසා සිට වඩා සුන්දර ආදර කතා ගලපා ගන්නටත් ආරණ්‍යාගේත් සඳරැස්ගේත් කතාවලින් ළමයින් උදෙසා වඩා වටිනා දෑ ලියන්නටත් මේකලා වග බලා ගන්නී ය.ඇයට ඒ නිසා මේ කරදර සොඳුරු කරදර ය.

“අහන්නකො..අද මාර වැඩක් වුණානෙ අම්මා..”

ඒ “මාර වැඩේ” ඇතැම්විට කාණුවකට පෙරළි ගිය තුන්‍ රෝද රථයක් වැනි කමකට නැති ඕපාදූපයක් බව මේකලා නොදන්නවා නොවේ.නමුත් ඇය ඇහුම්කන් දෙන්නී ය.ආරණ්‍යා මේ තරම් සුන්දර දැරියක වන්නේ ම ඒ ඇහුම්කන් දීමේ ප්‍රතිඵලය නිසා බව මේකලාට විශ්වාස ය.

“අද ලිෆ්ට් එකකදි කොල්ලෙක් හම්බ වුණා..”

ආරණ්‍යාට හැඩට පෙනෙන කොල්ලන් බලන්නට කමකට නැති මාලා නාටක දෙස ද රියැලිටි තරග දෙස ද ක්‍රිකට් හෝ පාපන්දු තරග දෙස ද බලා සිටින්නට මේකලාට සිදු වේ.එවෙලෙහි ව්‍යාංජනයක් රොස් වූව ද මේකලා වහා ප්‍රකාශකයාට යැවිය යුතු සංස්කරණයක් ඉතිරි වී තිබුණ ද ආරණ්‍යාට වගක් නැත.අම්මා සිටින්නේ ඒවා අසන්නට ය.නිසලිට තවත් යාළුවන් ඕනෑතරම් සිටින්නට ඉඩ තිබේ.නමුත් අම්මාගේ හොඳම මිතුරිය තමන් බව අම්මා ම පවසන දෙයකි.අනෙක් අතට ඇගේ දුඹුරු ඇස් දෙකේ ඇති විශ්වාසනීයභාවය තරමට විශ්වාසයක් ආරණ්‍යාට ලෝකයේ කිසිතැනෙක සොයා ගන්නට නොහැක.

“එයාගේ නම මේඝ.ඔයා ඉපදුණේ අපේ අම්මා පොත ලිව්වට පස්සෙද කියලත් මට අහන්නනම් හිතුණා..”

ආරණ්‍යා එසේ කියද්දී මේකලා දියණිය දෙස විමසිලිමත් බැල්මක් හෙළුවා ය.අසන්නට ප්‍රශ්නයක් තිබේ

“ඔයාට ඒ දරුවා නමත් කිව්වද?”

මේකලාගේ පුස්තකාල කාමරයේ ඇති පොත් රාක්කවලින් බැස නටන අන්දමේ කිංකිණි සිනාවක් ආරණ්‍යා වෙතින් නික්මිණ.දියණියට දැන් විසි එක් වසක් බව මේකලාට සිහි විණ.”ලොකු දුවෙක්!” මේ කතා දැන් අසන්නට සිත එකඟ කරගත යුතු වේ.

“මං ලිෆ්‍ට් එකේ හිටියේ එයයි එයාගේ යාලුවයි එක්ක..ඒ යාලුවා පිස්සෙක්.මෑන්ස් කොමල කර කර හිටියා අම්මා.ඒත් මේඝ මාව දැක්කෙවත් නෑ.යාලුවට ඕන වුණා මේඝට මාව පෙන්නන්න.යාලුවා මේඝට කෝල් කරා.ෆෝන් ස්ක්‍රීන් එකේ මේඝ කියල වැටුණා.මං බලා ගත්තා.”

අම්මා දියණිය දෙස බැලුවේ මවාගත් රැවුමකිනි.ඇය නොනවත්වාම හිනැහෙන්නී ය.

“අර බෝයි මේඝ කියල මං තේරුම් ගත්තෙ එයා ෆෝන් එක අරන් යාලුවා දිහා බලල කට් කරා.පොඩ්ඩක් රැවුවත් එක්ක.”

දියණිය නොනවත්වා හිනැහෙන්නී ය.ඇයට කියන්නට තවත් රහසක් ඇති අන්දමක් දුටු මේකලා දියණිය දෙස විමසිලිමත් බැල්මකින් බැලුවා ය.ඈත දවසක අම්මා සහ ඈ අතර මෙපමණ විමසිලිමත් බවක් සහ මිත්‍රත්වයක් වූවානම් මේවා මෙසේ නොවන්නට ද වූ බව මේකලා තවම සිතන්නී ය.

“මං කොල්ලව ෆේස්බුක් සර්ච් කරා.රික්වෙස්ට් නම් කරේ නැහැ.”

මේකලා දියණිය පෙන්වූ සේයාරුව බලා සිටියේ ය.”විදුලි කොටන ඇස්! “ඒ ඇස් මේඝට කොහෙන්දැයි ඇයට සිතේ.මේඝ සේනාධීර! ඒ නම අනුව එය එසේ නම් ආරණ්‍යා පිය මනින්නට යන මාවත ගැන මේකලාට තදබල භීතිය සහ ශෝකයක් දැනේ.

හත් වසරක් තිස්සේ මඟ බලා නොයෙකුත් නින්දා ද අපහාස ද විඳ කුසට ගත් දියණිය වෙනුවෙන් කිසිදා එක් දෙයක් කරන්නට මේකලා පිළිණ දුන්නේ ශල්‍යාගාරයේදී ඈ දුටු මොහොතේ ය.

“මාව හොයාගෙන ඇවිල්ලා මාව අම්මෙක් කරාට ස්තූතියි රත්තරන්.ඔයාට ඕන විදියට ලස්සනට ජීවිතේ ගෙවන්න.අම්මා ඔයාට කවදාවත් නීති දාන්නෙ නෑ..”

ඒ පිළිණ දීම විසි එක් වසකට පසු බිඳී ගියේ මේඝගේ දෑස නිසා ය.මේකලා වහා ඒ ෆේස්බුක් ගිණුම අවහිර කර දැමුවා ය.

“ඕක ඔතනින්ම අමතක කරන්න සුදු මැණික!”

අම්මා නියෝගයක් නිකුත් කළ බව ආරණ්‍යා තේරුම් ගත්තා ය.ඇය අම්මා දෙස බැලුවේ තෙත් දෑසකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here