සීත මාරුතේ -17

සමන් පිච්ච මල් පුදා පහන් දල්වා, මම නෙතු පියාන අංජලී කරණීය ව බුදුන් වැන්දෙමි. හිත තුළ ඇති ව තිබුණේ අප්‍රමාණ වූ සැහැල්ලුවකි. හිතක් සැහැල්ලුවට පත් වන කල කොහේදෝ සිට විත් එය සතුටෙන් පිරේ. ඒ වූ කලී සනාතන ලෝක ධර්මයකි. හරියට අව පීඩන කලාපයක් කරා වැඩි තැනෙක සිට සුළඟ හමා එන්නා මෙනි.

හිස ඒ මේ අත හරවන්නේ බලන්නේ නැති ව මම මේසය ළඟට ගොස්, කොට ගවුම් සාය පිළිවෙලකට එක්තැන් කර ගෙන අසුන් ගත වීමි. ජීවිතය එක්තරා හැරවුම් ලක්ෂ්‍යයකට එළඹ තිබේ. ඉරණම එහෙම ය. අපට වඩාත් ම ඕනෑ දේවල්, අප සොය සොයා සිටි දේවල් වැඩි පුර ම දන්නේ ඉරණම ය. අපට අමතක වුව ද ඉරණම ට ඒ අමතක වන්නේ නොවේ. කල් යල් බලා කොයි මොහොතක හෝ එය අප දෙපා මුලට ම වඩම්මවා ලන්නට ඉරණම රහසේ කටයුතු කරයි. මම නැවත නැවත ද සොබා දම් බලයේ ඒ අපූර්ව ශක්තිය උර ගා බලමි.

වීදුරු දොර හැර ගෙන මුණිවර අභිෂේක් බණ්ඩාර මගේ කුටියට ඇතුළු වූයේ ය. මම ඇස් දෙක පුරා ඔහු උරා ගතිමි. දෑත් කලිසම් සාක්කු වල ඔබා ගෙන, යන්තම් හිස බිමට හරවා ගෙන, ඒත් ඇස් බැල්ම මවෙත දල්වා ගෙන ඔහු මගේ මේසය ළඟට ම ආවේ ය. ඒ දිලිසෙන කළු සපත්තු අඩි වැදුණේ පොළොවේ නොව මගේ හදවත් බිත්ති මත ය. ඔහු දකින විට මේ තරම් ගැහෙන්නට හදවතට වන බිය කුමක් ද කියා මා දන්නේ නැත.

“තෑන්ක් යූ…තෑන්ක් යූ සෝ මච් මිස්ට මුණිවර”

ඊයේ කියන්නට අමතක වූ ස්තූති කතාව මම උදයෙන් ම මතක් කොට ගතිමි.

“අම්…මේක පොඩි දෙයක්. ඔයාගෙ කොලිෆිකේශන්ස් වලට හරියන තැනක් හම්බ වෙනකල්”

“මං මිස්ට් ෆීල්ඩ් වලට ආසයි. ආදරෙයි”

මා ඒ කීවේ මුළු හදවතින් ම ය. 

“හොඳ තැනක් හම්බුණාම යයි. මෙහෙ ඉතිං බලන්න කොල්ලෙක්වත් නෑනෙ”

“හ්ම්. කොල්ලෙක්නං නෑ තමයි. ඒ වුණාට මං යන එකක්නං නෑ. මැරෙනකම්ම”

ඔහු ට ක්ෂණික සිනහවක් නැගිණ. ඒ අර උන්මාදනීය සිනහව ය. ඒ සිනහව මගෙන් වහන් කර ගන්නට ඔහු මඳක් හිස අනිත් පැත්තට හැරවූයේ ය. ආපසු මදෙස බැලූ ඒ මුහුණේ එක සිනා පොදක් හෝ වූයේ නැත. ඒ නම් විශ්මිත වෙස් පෙරළීමකි. ඒ විදිහට ක්ෂණික ව ඉරියව් වෙනස් කොට සජීවී ව පෙනී සිටින්නට මා දන්නා දක්ෂතම නළුවෙකුට වුව හැකි ය කියා මම නො සිතමි.

“යමුද…”

කියා ගෙන ඔහු ආපසු හැරිණ. යමුද කියා ප්‍රශ්නාර්ථයෙන් විමසුවා ට ඔහු කිසිදු පිළිතුරක් බලාපොරොත්තු වූයේ නැත. ද යන්නක් අගට යෙදුවාට එය විධානයක් පමණි. කොහොමත් ඔහු ට ඉල්ලීම් කොට පුරුද්දක් නැති බව දැන් මම දනිමි. ඔහු ගේ තීරණ ඔහු ක්‍රියාත්මක කරයි. ඒවා ට ඔහු වටා සිටිනා අය නිරායාසයෙන් අනුගත විය යුතු ය. නමුත් සිය තීරණ ගැන මුණිවර ට තිබෙනා විශ්වාසය පුදුම සහගත ය. එය වූ කලී සසරෙන් ගෙන එන ලද පුරුද්දක් සමග බැඳුනක් විය යුතු ය. මා කෙතරම් ඒ පෞරුෂයට වසඟ වී ඇත් ද යතොත්, ඔහු ට මගේ ඇස් වහ කට වහ නො වැදේවා යි මම ම පැතුවෙමි.

මා ගියේ ස්කූටිය දෙසට ය. නමුත් මුණිවර එවැන්නකට සූදානමක් නො පෙන්වා දිය දහර මතින් දිවෙනා කුඩා පාලම දෙස බැලුවේ ය.

“පයින් ද යන්නෙ…”

මම කුඩා දැරියක ගේ හුරතල් හඬකින් ඔහු ගේ මුහුණ විනිවිද බැලුවෙමි. මුණිවර බැලුවේ මගේ කෙටි ගවුම දෙස ය. මම යටි තොලසපා ගනිමින් එක අතකින් ගවුම් සාය මඳක් පහළට ඇද්දෙමි. ඔහු ඉවත බලා ගත්තේ ය.

“මේක…කොට වැඩියි කියල මට හිතුණෙ නෑ”

හෙතෙම කිසිත් නො පවසා ම පාලම දෙසට අඩියක් දෙකක් තැබුවේ ය. මම කෙටි අඩි කිහිපයක් තබා දුවමින් ඔහු ට සමීප වීමි.

“මං..ආයෙ ඔෆිස් එද්දි මේව අඳින්නෙ නෑ”

“ඔහොමත් අවුලක් නෑ”

මුණිවර ඉවත බලා ගෙන කීවේ ය.

දෙවියනි ඒ නිමේශය මගේ ජීවිතයට ලබා දුන්නා ට මම ඔබ වහන්සේ ට හුස්ම ගන්නා තෙක් ම ස්තූතිවන්ත වෙමි. වචන වලින් කිසි සේත් විස්තර කළ නො හැකි මිහිරියාවක් මා මත් කරන්නට වූයේ ය. මුණිවර මට ඉතා ළඟින් ගමන් කරමින් සිටී. ඔහු ළඟින් හමනා පිරිමි සුවඳින් මම  පෙනහලු පුරවා ගනිමින් සිටියෙමි.  ඔහු ගේ අතක දෑතින් ම එල්ලී හිස මඳක් ඔසවා ඔහු දෙස බලන්නට මට ඕනෑ ය. පොල් තෙල් බෝතලයක් බී, බණ්ඩක්කා කරලක් කා මම ඔහු ගිල දමමි. මා තුළ ම ඔහු සඟවා ගමි. 

ඒ ළමා සිතිවිල්ල මගේ මුවගට සිනහවක් ගෙනෙන්නට සමත් වූයේ ය.

අත් යන්ත්‍ර රෙදි නිශ්පාදනය කරනා අංශයට සැලකිය යුතු දුරක් පයින් ඇවිද යා යුතු වේ. නමුත් මේ මොහොතේ මට එය කිසි සේත් දුරක් වූයේ නැත. පේෂ කර්මාගාරය තව සැතපුම් ගණනක් දුර වූවා නම් නියනා සිතිවිල්ල මා තුළ වන්නට ඇත.

එය තරමක් පැරණි ගොඩනැගිල්ලකි. අතින් රෙදි වියනා යන්ත්‍ර දහයක් පමණ එහි වේ. මෝස්තර නිර්මාණය ගැන උපාධියක් තිබුණ ද අත් යන්ත්‍ර රෙදි හෙවත් හෑන්ඩ්ලූම් ගැන මම කිසිත් නො දැන සිටියෙමි. දැන සිටි එක ම දෙය නම් ඒ රෙදි අතින් වියනා බව ය. සයිට් රවුන්ඩ් යන ගමන් මම මෙතැන නතර වී ඔවුන් ට ලබා දෙන නූල් හා ඔවුන් විසින් වියා නිමවන ලද රෙදි සඳහා පොතේ සටහන් දමා ගෙන ගොස් ඇත්තෙමි. නමුත් සැබවින් අත් යන්ත්‍ර වලින් රෙදි වියන්නේ කෙසේද කියා හෝ මා ඇතුළට විත් ඔවුන් සමග කතා බහ කොට තිබුණේ නැත. 

එය මට ඉතා දුරක තිබි විෂය ක්ෂේත්‍රයකි. නමුත් හදිසියේ ම ඒ මගේ ජීවිතයට බෙහෙවින් සමීප වූවා වන් හැඟීමකින් මම ඒ යන්ත්‍රයක් පිරිමැද ආදරයෙන් හුස්මක් ගත්තෙමි. දැනට ද යන්ත්‍ර වල නොයෙක් රටා මවමින් රෙදි වියෙමින් තිබුණේ ය.

මුණිවර පේෂ කර්ම ශාලාවට ගොඩ වත්දී, එතෙක් ඈතට ද ඇසෙමින් තිබූ රෙදි වියනා යන්ත්‍ර වල ටක් ටකස් හඬවල් නතර විය. ශාලාව මීයට පිම්බා සේ නිහඬ වූයේ ය. මම ආදරණීය මඳ සිනහවකින්, රෙදි වියමින් සිටි හැම මාතාවක් දෙස ම බැලුවෙමි. සැබවින් එතැන තරුණ කාන්තාවක සිටියේ ම නැත. ඒ සියලු මව්වරු සිය ජීවිත වල මැදි විය ඉක්මවා සිටි අය ය. ඇතැම් විට වයසට ද වඩා වයස් ගත පෙනුමක් ඔවුන්ගෙන් විද්‍යමාන වූවා වන්නට පුළුවන. තවමත් ඔවුහු ජීවිතයත් සමග ඔට්ටු වෙමින් සිටිති.

“අම්…මං මේ කියන්න ආවෙ…මේ අම්මල වියන රෙදි අපි මෙච්චර කල් කළේ එහෙමම විකුණන එකනෙ. ඇත්තට ම මේ රෙදි විවීම ගැන මට ලොකු ආසාවක්වත් උනන්දුවක්වත් නෑ. මේ අම්මල දන්නවනෙ. මේ හෑන්ඩ් ලූම් මැෂින් ටික විකුණල ඒ ෆැක්ට්‍රි එක වහල දාන්න ගිය වෙලාවෙ මං මැෂින් ටිකයි අම්මලවයි මෙහෙට අරං ආවෙ අම්මලගෙ රස්සාවල් නැති වෙයි කියන බයට. මේකෙන් මට ලොකුවට ලාබයක් ලැබුණෙ නෑ”

ඉතා කරුණාවන්ත හඬකින් මුණිවර ඒ මව්වරුන් අමතන්නට වූයේ ය. සැබවින් මේ මොන තරම් ආදරණීය වූ මිනිසෙකු ද? ඔහු ගැන මහත් ස්නේහයකින් මගේ පපුව පිම්බෙන්නට විය. ඒ මගේ ය කියනා හැඟීමකි. නමුත් මට මෙහි මගේ ය කියන්නට වන්නේ කුමක් ද? කවුරුන් ද?

“අනේ සර් මේක වහල දාන්නද හදන්නෙ…”

එක මවක් නැගිට කම්පිත ව විමසුවා ය. මම මුණිවර ගේ මූණ බැලුවෙමි. ඔහු සිය සිනහවෙන් ලෝභ නැති ව ඔවුන් ට සංග්‍රහ කළා ය.

“මට තමයි හිනා පොදක් දෙන්න බැරි. හම්…”

මම බොරු කේන්තියකින් සිතුවෙමි.

“නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි. අම්…ඕගොල්ලො මේ මිස්ව දන්නවනෙ. මේ මිස් මෙහෙම බටු ඇටේ වගේ හිටියට මෝස්තර නිර්මාණය කියන විෂය ලොකුවට ඉගෙන ගෙන ඒ ගැන උපාධියකුත් අරගෙනයි මේ ඉන්නෙ”

එහෙම කියමින් ඔහු මදෙස හෙළු මඳ සිනහවක් රැඳි බැල්ම මියෙන මොහොතේ ද මට මතක් වෙනු නියත ය. ඒ බැල්මෙහි ඒ තරම් ආදරයක් තැවරී තිබිණි. 

“ඉතිං මේ මිස් දැං ඔයාල වියන රෙදි වලින් මෝස්තර දාල ඇඳුම් මස්සන්නයි යන්නෙ. අපි ඉක්මනට මේ බිල්ඩින් එකට එහා පැත්තෙ තැන ටිකක් මොඩිෆයි කරල මැෂින්ස් ටිකක් දාල වැඩේ පටන් ගන්නව. මං මේ ගැන මීට වඩා මොනාත් කියන්න දන්නෑ. මේ මන්දාකිණී මිස්ට ඕන දේවල් අම්මල පොඩ්ඩක් බලල ඒ විදිහට කරල දෙන්න. හරි. එහෙනං එච්චරයි”

මම මඳක් ඒ යන්ත්‍ර අත පත ගා බැලුවෙමි. ඒ මවක කී ආකාරයට අත් යන්ත්‍ර රෙදි නිශ්පාදනයේ දී මුලින් ම සිදු වන්නේ බොබින් වලට නූල් ඔතා ගැනීමයි. එය සිදු වන්නේ බයිසිකල් රෝදයක් හා තවත් එවැනි  රෝදයක් යොදා ගෙන සකසා ඇති වයිඩින් එක නමැති යන්ත්‍රයක් මගිනි. ඒ බොබින්, ක්‍රීල් එක නමැති රඳවනයක දවටා එයින් නූල් පටවල් වියන යන්ත්‍රය වෙතට ගෙන විත් රෝලක එතෙන්නට සලස්වයි.එක අතකින්  බැටන් එක නම් වන ඉදිරි පසින් වන පොල්ලක් අදින ගමන් අනිත් අතින් අත් වැල එහෙ මෙහෙ කරයි. අත් යන්ත්‍ර වලින් රෙදි විවීමේ කාර්යාවලිය ගැන ඔවුන් විස්තර කළ දෙයක් ඊට වඩා මගේ මනසේ හොඳින් ග්‍රහණය වූයේ නැත. ඒ මුණිවර එතැන සිටි නිසා නොව එය එතරම් ම සංකීර්ණ ක්‍රියාවලියක් වන නිසා ය. නමුත් ඕනෑ තරම් වෙලාවක් එදෙස බලා සිටිය හැකි බවක් මට දැනිණ. එය එතරම් ම චමත්කාරජනක දර්ශනයකි. නූල් සමූහයක් විවිධ රටා ගැන්වූ අලංකාර රෙද්දක් සේ වියන්නට ඒ ගැහැනුන් සතු වන සංයමය හා හැකියාව විශ්මිත ය. නමුත් ඔවුන් ගේ හැකියාවන් ට මේ භූමිය මත නිසි අගය කිරීමක් කිසි දා කෙරී නැති බව නිබොරු ය. 

“ඒ අම්මල එච්චර මහන්සි වෙලා කරන හරිම ලස්සන වැඩේට තැනක් දෙන්න ඕන. මං ඒක කරන්න පුළුවන් තරං මහන්සි වෙනව මිස්ට මුණිවර”

ආපසු එන ගමනේ දී මා ඔහු ට එසේ කීවේ හදවතින් ම ය.

අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය යනු දැන් දැන් මෙරටින් බැහැර ව යන දෙයකි. ඊට හේතුව අලුත් පරම්පරවෙන් එය ඉගෙන ගන්නට දක්වන අඩු නැඹුරුවයි. ඒ නිසා දැනට කර්මාන්තය රැඳී පවතින්නේ මැදි විය ඉක්මවා වියපත් වෙමින් හිඳිනා වැඩිහිටියන් කිහිප දෙනෙකු අතරේ පමණකි. අත් යන්ත්‍ර රෙදි වල මිල අධික ය. බොහෝ විට ඒවා අලෙවි වන්නේ ධනවතුන් හා සංචාරකයන් අතරේ ය. එසේ වන්නට හේතුව ද නිශ්පාදනය අඩු වීම ය. වග කිව යුතු අයගේ මැදිහත් වීමක් නො වුව හොත් තව බෝ කල් යන්නට පෙර මේ අගනා කර්මාන්තය අපට අහිමි වනු ඇත.

මුණිවර මගේ කැබින් එකට නව ගෘහ භාණ්ඩ එකතු කොට ප්‍රති සංවිධානයක් කළේ ය. මා සිටියේ අභ්‍යන්තර වශයෙන් තෘප්තිමත් බවක ය. ඒ ප්‍රීතිය දෑස් වලින් කලඑළි බහිනා එක වැලැක්විය නො හැකි වනු ඇත. මෝස්තර නිර්මාණයේ නවතම ප්‍රවනතා ගැන මම අන්තර්ජාලය ඔස්සේ යම් අධ්‍යයනයක් කළෙමි. ඕනෑම කටයුත්තක් එහි උපරිම සාර්ථකත්වයට එළඹෙන්නේ අධ්‍යයනයන් ඔස්සේ ය. 

ඒ තරම් වැඩ ගොඩක් තනි පුද්ගලයෙකුට පාලනය කර ගත හැකි දැයි කෙනෙකු විමසන්නට පුළුවන. ආශාවෙන් වැඩෙහි යෙදෙනවා නම් කොයි තරම් වැඩි වුණත් ඒ වැඩ කළ නො හැකි නොවේ. මා මට නියම වූ සියලු කටයුතු වල නිරත වූයේ සතුටෙනි. අනිත් අතට වැඩ කිරීම මගින් අලුත් සතුටක් ජීවිතයට එක් වේ.

“නංගි මොනා හරි කිව්වද…”

ඒ අතරේ දිනක් මුණිවර මා විමසූයේ ඔහු ගේ කැබින් එකෙහි ඔහු ඉදිරියේ හිඳ අලුතෙන් විවෘත කරන්නට නියමිත සාප්පුව ගැන කතා කරමින් සිටිනාතරවාරයේ ය. ඔහු අදහස් කළ දේ මට එක වර පැහැදිලි වූයේ නැත.

“විදුනි..නෑ මිස්ට මුණිවර. ඇයි මොකද්ද…”

මගේ අතේ වූ ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ එතකොට ම ය. මම විශ්මයෙන් ඔහු දෙසත් දුරකතනය දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෙමි.

“විදුනි..”

“දැං කට් කරන්න”

මම තරමක විපිළිසර බවකින් යුතු ව ඇගේ ඇමතුම විසන්ධි කොට දැමුවෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content