ඒ උදයට හිරු පෑව්වේ එසේ නො කොට බැරි කමට යයි අමාරසී ට සිතිණ. කාර්යාලයට යනවා ද නැත් ද කියා තැවෙමින් අතීරණයක උන් ඇය අන්තිමට යන්නට හිත හදා ගත්තා ය. අද නො ගියත් හෙට නො ගියත් හැම දා ම නො යා සිටිය නො හැකි ය. ප්‍රශ්න වලින් පලා යා නො හැකි බව යහනේ සිට ම ඇය සිතට ඒත්තු ගැන්නුවා ය. ඒ වෙනුවට ප්‍රශ්න වලට මූණ දිය යුතු ය. සමහර විට ප්‍රශ්න ත් එක්ක පොර බදන්නට වුව සිදු විය හැක. නමුත් ප්‍රශ්න වලින් පලා නොයා යුතු ය.
එසේ සිතා යන්නට සූදානම් වූවා ට අමාරසී තුළ කිසිදු උද්යෝගයක් නොවිණි. එය තනිකර ම ගිනි ගොඩකි. මහත් අවිනිශ්චිත නොසන්සුන්තාවයකි. දියේ ගිලෙන්නට යත්දී ඇති වන හුස්ම හිර වීමේ අපහසුතාවය මෙබඳු විය හැකැයි ඇය ට සිතිණ. නමුත් ගිලෙනවාට වඩා පිහිනන එක පහසුය කියා කතාවක් තිබේ. වතුරට පැන්නා ද නිකං ම වැටුණා ද කියා අදාල ම නැත. දිය රැලකට නතුව ගසා ගෙන යා නො හැකි ය.
නිර්මලා ගේ මූණ දෙස කෙළින් බලන්නට බැරි බවක් අමාරසී ට දැනිණ. රහස් ගිලගෙන ඉන්නා හිතක් වුව කියවා ගන්නට අම්මා සමත් බව අමා දනී. ඇයට වුව දැනෙන්නට හිත මතුපිටට නො ආ යමක්, සිහිනයකින් ගෑ සුවඳක් සේ හිත් පත්ලේ තැවරී ඇති යමක් අම්මා ට දැනේවියි ආගන්තුක බියකින් යුවතිය අසහනයට පත් ව සිටියා ය.
නිර්මලා සිද්ධ වූ කිසිත් ගැන කතා කළේ නැත. ඒ අජිත් ගේ දැනුම් දීමක් මත ය. ඒ නැත ද සිය වැඩිමල් දියණිය ගේ හදවතට අත තැබිය යුත්තේ ප්‍රවේසමෙන් බව නිර්මලා දනී. කුඩා සන්දියේ පටන් ම ඇය අනිත් දෙදෙනා ට වඩා වෙනස් ය. නො කියනා දේවල් ඕනෑ තරම් ඇගේ හද නිධානයෙන් සොයා ගන්නට පුළුවන. එය වූ කලී ඉතා සියුම් ගැටීමකින් වුව රිදිය හැකි බිඳිය හැකි හිතකි.
“පරිස්සමෙං. කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ”
හැමදාමත් පුරුද්දට, ගෙන් පිට වෙන්නට පෙර දෙකට නැවී වඳිත්දී නිර්මලා අමාරසී ගේ හිස අත ගා කීවා ය. පුරුදු හිනාව දියණිය ගේ මුහුණ අතැර ගොස් ඇති බව අම්මා දුටුවා ය.
බස් එකේ දී ත් කවුළුවෙන් එපිට බලා ගෙන අරමුණක් නැති කල්පනාවක නිමග්න වූවා මිස අමා තාත්තා එක්ක වැඩිපුර කතා කළේ නැත. ඇගේ හිත පැයට සැතපුම් ගණනක වේගයෙන් අයාලේ දුවමින් තිබිණ. හිතන්නේ මොනවා දැයි ඇය දැන සිටියේ නැත. සිතිය යුතු විශේෂ යමක් ඇය ට වූයේ ත් නැත. නමුත් එහිත එක තැනක රැඳුණේත් නැත.
නිවැරදි ව දමනය කර නො ගත හොත් හිතක් සරන්නේ කුලප්පු වූ අශ්වයෙකු මෙනි. ඉවක් බවක් නැත. ඉවසීමක් කල් යල් බැලීමක් නැත. අරමුණක් හෝ දිශානතියක් ද නැත. මේ වෙලාවේ අමා සිය හිත ට අයාලේ යන්නට හැර තිබුණා ය. එසේ කොට බලා ඉන්නට ඇය ට ඕනා වී තිබිණි. හිතුවක්කාර කමක් කොට කුරිරු සතුටක් විඳීමේ රහසිගත ආශාවක් ඇය යට කර ගනිමින් තිබිණි. අමාරසී මේ සියලු සිතිවිලි වලට අවනත වෙමින් ද එකඟ වෙමින් ද ඔහේ සිටියා ය. සිතක් පාලනයෙන් මුදා ලනවා කියන්නේ තමන් ට තමන් අහිමි කර ගන්නවා වාගේ දෙයකි. හිතක් හිතුවක්කාර ලෙස කටයුතු කරන්නට ගත්දී අයිතිකරු ගේ මැදිහත්වීමක් නොවුණොත් මොනවා සිදු වී කොතැනින් නතර වේ දැයි සිතිය නො හැකි ය.
“බහිමු”
ඒ වාගේ හිතුවක්කාර කලාපයක හිත අතැර දා සිටි වෙලාවේ අජිත් අමාරසී ගේ අතට ඇඟිල්ලෙන් ඇන ඇගේ හිතේ ලනුව ඈ අතට පත් කළේ ය. සියල්ල එකලාස කර ගත් කලබලයකින් ඕ බසයෙන් බැස ගත්තා ය. ගුරු පාරේ ඇවිද යත්දී ද වෙනදා වන දඟකාර හුරතලය වෙනුවට අමා වෙත වූයේ කල්පනා භරිත ශෝකයකි.
“පරිස්සමෙං. මොන දේ සිද්ද වුණත් කල්පනාවෙං”
පිය ගැට පෙළ පා මුල දී අජිත් කීවේ ය. නො කියූ කතා කෝටි ගණනක් අම්මා ගේත් තාත්තා ගේත් ඒ වචන කිහිපය තුළ වූ බවක් අමාරසී ට දැනිණ. ඕ පිය ගැට දෙක තුනක් නැග ගොස් නැවත හැරී තාත්තා වෙත ගියා ය. ඒ වෙත්දීත් ඔහු එතැන ම බලා සිටියේ ය.
“තාත්…තෙ”
අමා ගේ හඬ බිඳී ගියේ ය. ඇගේ ඇස් වල වන වියවුල් සහගත බව ඔහුට හොඳට ම දැක ගත හැකි විය. එය උමතුවක් වාගේ යමකි. කියන්නට ගොඩක් දේවල් තියනවා සේ දැනුණත් කිසිවක් කියවුණේ නැත. මේ මහා විශ්වයේ ඇය දුහුවිලි අංශුවක් තරම් ක්ෂුද්‍ර වී ඇති සෙයක් අමාරසී ට දැනෙමින් තිබිණ.
අජිත් දියණිය ගේ හිස මත සිය අතක් තැබුවේ ය.
“අවුල් වෙන්න එපා. තාත්ත ඔයාව අඳුරනව. මොනා සිද්ද වුණත් තාත්ත ඉන්නව ඔයත් එක්ක”
කෑ ගසා හඬන්නට තරම් දුකකින් අමාරසී දුක් වින්දා ය. නමුත් ඕ සුසුමක්වත් පිට වෙන්නට දුන්නේ නැත. දෙතොල් තද කර ගෙන ආපසු හැරුණ යුවතිය හැල්මේ පඩි පෙළ නැගෙන්නට වූවා ය.
ඉස්මත්තෙහි, වීදුරු දොරට ඔබ්බෙන් හිඳ දෑත් පපුව මත බැඳ ගෙන දිසත් මේ සියල්ල බලා උන්නේ ය. නමුත් අමාරසී පිය ගැට පෙළ තරණය කරන්නට පෙර හෙතෙම සිය කුටියට වැද හොත්තේ ය. අඩු තරමින් ඇය මේසය වෙත පැමිණි බවක් හෝ නොදුටු සෙයින් ඔහු වැඩක යෙදුණු බවක් හැඟවී ය.
වෙනදා සිනහව ඇගේ මුහුණේ නො වී ය. හැම කෙනෙකුට ම සිනහ වූව ද ඒ වෙනදා සිනහව නොවේ. ඒ අව්‍යාජ සිනහව නොවේ. ඒ සිනහවෙන් වසා ගත් ගිනි කන්දක් පපුව මැද විය. පැසවමින් බුබුළු දමනා ලෝ දියක් ඇතුළත විය. සිනහවට අමතර ව ඇය වචනයක් හෝ කියා ගත්තේ අත්‍යවශ්‍ය ම දේකට පමණි. අමා ට දැනුණේ ඇය ව මුළුමනින් අගුලු වැටී ඇතිවා මෙනි. දිසත් ගේ අත්සන ගන්නට තිබුණ මිලදී ගැනීමේ පත්‍රයක්, තරුෂි ඇතුළට යන අවස්ථාවක ඇගේ අතේ යවා අත්සන ගෙන්වා ගන්නට තරම් අමාරසී අක්‍රිය ව පැවතියා ය.
“මොකද…”
තේ බොන ගමන් දිලිනි නො සැලකිලිමත් සෙයියාවකින් විමසුවා ය. අමා උත්තර දෙන්නට ගියේ නැත.
“රසී.. මොකද වෙලා තියෙන්නෙ…”
“මොකටද…”
“ඔයාට. ඔයා මෙතන හිටියට මෙතනමද ඉන්නෙ කියල මං දන්නෑ. මොකක් හරි ප්‍රශ්නයක්නං කියනව..හැම දේම හිතේ හිර කරං කන්දක් වගේ හිටියහම…කොයි වෙලාවෙ හරි ගිනි කන්දක් වෙලා පුපුරනව. නැත්නං කොයි මොහොතක හරි නාය යනව. ඔය කොයික වුණත් අන්තිමට කන්දට කන්ද නැති වෙන එකයි වෙන්නෙ”
එවර දිලිනි කතා කළේ තරමක් තදිනි. අමාරසී මුව මඳක් හැර පියා පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය.
“වුණේ…මොකද්ද ඒ වුණේ කියල මං තාමත් හිතනව”
අන්තිමට ඇය සිහින් හඬින් කොඳුරා ගත්තා ය. දිලිනි යෙහෙළිය දෙස බැලුවේ මහ භයානක යමක් කියවුණා බඳු විශ්මයකිනි.
“මිස්ට දිසත් ගෙ වයිෆ් අපේ ගෙදරට ඇවිත් කෑ ගහල ගියා. එයා ඩිවෝස් එක ඉල්ලන්න හේතුව මං කියල”
දිලිනි ගේ පපු කුහරය ඇතුළේ ද සුළි සුළඟ හමා යන්නට විය. ඇය බිරාන්ත ව යෙහෙළිය දෙස බලා සිටින්නට වූවා ය. සිදූ වූව ඉතා කෙටියෙන් අමා විස්තර කළා ය.
“පිස්සු ගෑනියෙක්”
දිලිනි හෙමිහිට මිමිණුවා ය.
“ඔයා පරිස්සමෙං”
ඇය ට දැනට කියන්නට සිහි වූයේ එපමණකි.
සිය දිවා ආහාර පාර්සලය දිසත් වෙනුවෙන් තබා එත්දී අමාරසී ගේ පපුවේ වෙනදා නොවූ බරක් විය.
දිසත් හිටියේ කෙසේ අමා ට මුහුණ දෙන්නද කියා නො දැන ය. ඔහු හුඟක් ඒ ගැන හිතුවේ ය. තරුෂි අතේ අමා ඇගේ ලිපි ගොනුවක් එවා තිබියදී ඔහු ඊට අත්සන දමා දුන්නේ රිදුණ හදකිනි. වැස්ස වුණත් අකාලයේ නො වට යුතු ය. අකල් වැස්සකට නො සිතූ මොහොතක මූණ දෙන්නට වීමේ අපහසුව තව දුරටත් ඔහු ට දැනෙමින් තිබිණ.
අන්තිමට ගීතානි අතේ දිසත් අමා වෙත පණිවිඩයක් එව්වේ ය.
“ගිය මාසෙ පීඕ ඩීටේල්ස් අරං එන්න කිව්ව”
අමා ඉතා හෙමිහිට ෆයිල් එකට අත තැබුවා ය. බුර බුරා නැගෙනා ගින්දර තවමත් නො වෙනස් ය. සිය අගුලු වැටුණු කය දරා ගෙන ඇය වීදුරු කාමරයට ගියා ය.
“අමා ඉඳගන්න”
එය දරා ගන්නට බැරි තරම් ආදරයක් අතුරා ලූ ආරාධනයකි. අමාරසී අසුන මතට වැටුණා ය. දෙපා වල හිරි වැටී ගල් වුණ විලාශයක් ඇය ට දැනිණ. දිසත් තත්පර කිහිපයක් ෆයිල් එකේ ලිපි පෙරළමින් සිටියේ ය. සැබවින් ඔහු ඒවා බොරුවට පෙරළුවා පමණකි.
“මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ..”
ලිපි ගොනුව දෙස බලා ගෙන ම එසේ විචාල දිසත්, නෙතු ඔසවා බැලුවේ ඇගෙන් පිළිතුරක් නොවූ තැන ය. අමාරසී යන්තම් හිස දෙපසට සැළුවා ය.
“ඒක වෙන්න ඕන දෙයක් නෙවෙයි කියල මං දන්නව. ඔයා වගේ ළමයෙක්…ගෙදරට කොහොම මූණ දුන්නද කියල හිතද්දි…මට මං ගැන ම කේන්තියි”
අමාරසී හිටියේ යටි තොල කොනක් සපමිනි. අභ්‍යන්තරය බරපතල රිදුමකට පත් ව ඇති විට බාහිර රිදුම් දැනෙන්නේවත් නැත.
“මට හිතන්න තිබුණ කේෂි ෆලෝ කරයි කියල. තාමත් මං එයාව හරියට තේරුං අරං නෑ”
ඔහු තමන් ට ම දොස් පවරා ගත්තේ ය.
“ඔයාගෙ අම්මයි තාත්තයි වුණත් මොනව හිතුවද දන්නෑ. මං පිළිගන්නව. මමයි වැරදි. මං වැඩ කළේ පොඩි ළමයෙක් වගේ. දුර දිග බලන්නැතුව. ඔයාට එහෙම චෝදනාවක් කරපු එකට මං වගකියන්න ඕන”
අමාරසී ගේ පපුවේ හරි මැද ම ඒ වචන ටික වැදිණි. හී පහරක් වැදුණා සේ ඕ කෙළින් ම දිසත් ගේ දෑස් දෙස බැලුවා ය. එහි ගැඹුරට කිමිදෙනා උත්සාහයක් දරමින් බැලුවා ය. ඒ බැල්ම තියුණු වූයේ ය. මුවහත් වූයේ ය.
ගැහැනියක ගේ හදවත පිළිබඳ ව කොන්දේසි විරහිත වගකීමක් ගැනීමට ප්‍රේමයේ දී බැඳී සිටිත හැකි පිරිමියා යනු ඇය සොය සොයා සිටි පිරිමියා ය. මීට පෙර ඈ ලං වූ පිරිමින් දෙදෙනා ම සතුව ඒ පුරුෂ ලක්ෂණය වූයේ නැත. ඔවුන් බැලුවේ වගකීම් වලින් ලිස්සා ගොස් ඇඟ බේරා ගැනීමට ය. අඩු තරමින් ප්‍රේමය කියනා වගකීමෙන් හෝ බැඳෙන්නට ඔවුන් සමත් නොවූ හැටි ඇය ට සිහි විය.
කේෂි ගේ චෝදනාව ට ලක් වීම ගැන මේ මොහොතේ අමාරසී තුළ හදිසි කැමැත්තක් ඇති විය. කේෂි ගේ ඇස් වල වූ ඊර්ෂ්‍යාව ඇය ට මතක ය. ඇය වගේ සියල්ල සපිරි ගැහැනියක ගේ ඊර්ෂ්‍යාවට බඳුන් වීම ම ලෙහෙසි දෙයක් ද? නමුත් අමා ඇසිල්ලකින් ඒ මානයෙන් මිදුණා ය. ප්‍රේමය කියනා හැඟීමට කිසි දා තක්සේරු වටිනාකමක් දිය නො හැකි ය. කාගේවත් රාමු තුළ ප්‍රේමය සිර ගත කළ ද නො හැකි ය. ප්‍රේමය පවත්නේ ඊට අදාල හැඩ තල අතරේ ය. එය මිනිස් බලපෑමෙන් ස්වාධීන ය. ප්‍රේමය හැම විට ම එක ම හැඩයක් දරන්නේ ද නැත. ජලය, එය අඩංගු වන්නා වූ බඳුනේ හැඩය දරන්නා මෙනි. පුද්ගලයා ගෙන් පුද්ගලයා ට ප්‍රේමයේ වයනය වෙනස් ය. කේෂි ට අනුව එය වෙනස් ස්වභාවයක් දරනවා ඇත. ඇය ද ගැහැනියකි.
“එයා…පව් නැද්ද…”
අන්තිමට ඕ අමාරුවෙන් උගුරේ ස්වර තන්ත්ර පාදා ගෙන කතා කළා ය. දිසත් පුටුවේ පසු පසට වැටුණේ ය.
“මං කිව්වෙ…එයාට…එයාට…මන් දන්නෑ…”
හිතේ තියෙනා දේවල් කියා ගන්නට බැරි බවක් ද කිව්වත් ඒවා ඉතා ප්‍රාථමික මට්ටමේ බොළඳ අදහස් වනු ඇත කියා ද කියා දැනී ඕ සිය අදහස අතැර දැමුවා ය. දිසත් ටික වෙලාවක් නිශ්ශබ්ද ව සිටියේ ය. ඊළඟට අත් දෙක මේසය මත දිගු කොට පුටුවේ වඩාත් ඉදිරියට නැඹුරු වී අමාරසී ගේ මූණට එබුණේ ය. කෙනෙකු ගේ ජීවිතයට අදාල අතිශය පෞද්ගලික සිදුවීමක් තවත් කෙනෙකු ගේ ජීවිතය මත්තේ සිතා මතා හෝ නො සිතා ම හෝ බලපෑමක් ඇති කරන්නට හේතුව දෛවය ද කියා ඔහු සිතමින් සිටියේ ය. නමුත් මේ මොහොතේ අදහසක් ප්‍රකාශ කර ගත නොහැකි තරමට දිසත් ද කැළඹීමට ලක් වන්නට විය.
ඇය ට යමක් කියන්නට ඕනෑ විය. අමා ගේ දෙතොල් මල් පෙති ලිහී සිනහවකට අර ඇන්දේ ය. නමුත් ඇය ඒ නො කියා සිටියා ය.
අමාරසී වීදුරු කුටියෙන් පිටතට එත්දී දිලිනි එතැනින් යමින් සිටියා ය. ඇය අතට ලිපි ගොනුව පත් කළ ඕ එහෙම ම වොෂ් රූම් එකට වැදුණා ය. ඉදිරියේ වන විසල් කැඩපතින් සිය පිළිබිඹුව ඇය ට පෙනේ. අමා මොහොතක් ඇය දෙස ම බලා සිටියා ය. පෙර දා රාත්‍රියේ පටන් ම වූ අගුලු ලූ ස්වභාවයෙන් ඈ මිදී ඇති බව අමා ට දැනිණ. ඇය බය නැතුව කැඩපතට සිනහ වූවා ය. දිසත් ඉදිරියේ කියවෙන්නට ගිය, ඒත් නො කියා හිටිය දේ ඇගේ තොල් පෙති අතරින් පිටමං වූයේ ය.
“මං හිතන්නෙ මං එයාට කැමතියි. එයාගෙ වයිෆ් ඩිවෝස් එක දුන්නත් නැතත්…මං හිතන්නෙ දැන් තමයි මං ඒක හරියටම තේරුං ගත්තෙ. මොනවත් ම බලාපොරොත්තු නොවී මං එයාට ආදරෙයි. ඒ ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න බැරිනං මැරෙන්න වුණත් මට පුළුවන්”
සිය සිරුරේ සංසරණය වෙමින් පැවති රුධිරය උනුසුම් වන සෙයක් අමා ට දැනිණ. ඇය එය සොයා ගත්තා ය. අවසානයේ ඇය එය හැඳින ගත්තා ය. සංසාර චක්‍රයේ කවදා කොතැනකදී හෝ අමතක නොවෙන තරම් තදින් හිත රිදවා ගන්නට හේතු වූ ප්‍රේමය එයයි. මෙවරත් ඇය ට එය හමු වී තියේ. පරණ රිදුම්, විශ්වයේ යම් තැනක සුරක්ෂිත ව තිබි පරණ රිදුම්, භවයෙන් භවයට රැගෙන යන යටි හිත කියන මතක ගබඩාවෙහි නිදන් ගත ව තිබි පරණ රිදුම්, ඒ සුව නොවන රිදුම් අලුත් වී අලුතෙන් ම ඈ රිදවමින් තිබිණ. අමා යළි සිය අසුන වෙත ආවේ ඒ රිදුම් හදවතින් පිරිමදිමිනි.
ඇය පෙම් කරමින් සිටියා ය!