දිසත් සිය ඉල්ලා අස් වීම විද්‍යුත් තැපෑලෙන් අදාල අංශ වෙත යොමු කළේ ය. සියල්ල සිදු වූයේ හරි ඉක්මනින් කෙටි කාල පරාසයක් තුළ දී ය. ඔහු ගේ හදවතේ නිරන්තර මැවි මැවී පෙනුණ දර්ශනයක් විය. අමා පාද වල ඇඟිලි තුඩගින් එසවී, ගෙල මඳක් දිගු කොට ගිනුම් අංශය දෙස බලා ඇගේ මුදු ඇඟිල්ල දක්වමින් මුහුණ හදා ගෙන ‘බැඳල බැඳල’ යයි ඉඟි කළ සුවිශේෂ අවස්ථාව ය ඒ. එම මොහොතේ එය ඒ තරම් සුවිශේෂ අවස්ථාවක් හෝ සිදුවීමක් වෙතැයි දිසත් නිකමට හෝ සිතුවේ නැත. නමුත් ඇය පිරිමි හදක සිතිවිලි අතරේ චමත්කාරයක් වූයේ ඒ වෙලාවේ බව දැන් ඔහු ට දැනෙයි.
“අපරාදෙ එයා අපේ ඔෆිස් එකට ආවෙ. එයා නෑවිත් හිටියනං මේ කිසි දෙයක් නෑ. අන්තිමට ජොබ් එකත් දාල යන්න වුණ එකයි වුණේ”
රෑ කෑම මේසයේ දී, බත් පත අත පත ගාමින් අමාරසී සන්තාපයෙන් කෙඳිරුවා ය. අජිත් හා නිර්මලා උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ.
“එයා ආවෙ ඔයාව හොයාගෙන. ඒක එයා හිතා මතා කරපු දෙයක් නෙවෙයි”
අජිත් ගොළු ගැහී සිටියදී නිර්මලා කීවා ය. ඉරණම කියන්නේ එය ට බව ඇය සිතුවා ය. ඉරණම විසින් කරන්නට යෙදෙන දේවල් ගැන ඇතැම් විට පුදුම සිතේ. සිය යෞවනයේ දී අජිත් ලා යාබද නිවසේ කුළියට පැමිණියුරු නිර්මලා ට සිහි විය. ඔවුන් ගේ විවාහය එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූවකි. යම් කිසි කාලයක දී අජිත් බීමට ඇබ්බැහි වී නිර්මලා සමග ආරවුල් ඇති කර ගත්දී ඇගේ දෙමාපියන් සේ ම සහෝදරයන් ද ඒ විවාහය අතැර එන්නයි ඇයට යෝජනා කළහ. නමුත් නිර්මලා ගේ හිත කිසි දා ක ඊට ඉඩ දුන්නේ නැත. සියල්ල සිදු වන්නේ පතා ගෙන එන හැටියට ය කියා ඇය දැනුත් සිතන්නී ය.
“ඔයාව හොයා ගත්තට පස්සෙ එයාට ඕන තැනකට යන්න පුළුවන්. නියමිත තැනට එයාව අරං යයි. උඩ ඉන්න එක්කෙනා”
අජිත් කන ගමන් ම නිර්මලා දෙස බැලුවේ ය. ඇය සිතන පතන විදිහ මොන තරම් විද්‍යාත්මක ද කියා ඔහු දන්නේ නැත. නමුත් සිය අශ්ලීල දිවිය මෙහෙව් සංයමයක් ඇති තැනකට ගෙන එනු වස් නිර්මලා ගේ ඒ පැවතුම් වල වූ ඉවසිලිවන්ත කම බෙහෙවින් හේතු වූ බව, ආපසු හැරී අතීතය දෙස බලත්දී පිළිගන්නට ඔහු ට සිදු වේ. අමාරසී කියන්නේ නිර්මලා ට වඩා දැන උගත් කමින් ඉහළ තැනක ඉන්නා තරුණියකි. ඇය අම්මා ගේ ඉවසිලිවන්ත කම ජාන සංයුතියෙන් හෝ ගෙනැවිත් තිබෙනවා නම් හොඳ යයි අජිත් ට සිතිණි.
ආයතනයෙන් ඉවත් වීම ගැන දිසත් අමා තරම් කණගාටු වූයේ නැත. ඔහු එක්තරා ආකාරයක සැහැල්ලුවකට එළඹ තිබුණා සේ ය.
“අපි එක තැන වැඩ කරද්දි මිනිස්සු හැම දා ම අපි දෙන්නවම දකිනවනෙ. එතකොට මේ සිද්දිය අමතක කරන්න ඒගොල්ලන්ට හරි අමාරුයි. ඒත් මාත් එතන නැති වුණාට පස්සෙ…ටික දවසක් ඉතිං මතක තියෙයි…ඒත් එ් ටික දවසකට පස්සෙ ඕක දන්නෙම නැතුව යට යයි. ඒක ඔයාටත් මානසික සුවයක් වෙයි”
ඔහු දුරකතනයෙන් අමා ට කීවේ ය. නමුත් ඇගේ මුහුණ කඳුළු බින්දුවක් සේ වූයේ ය.
“ඒත් මට ඔයාව දකින්න නැති වෙනව”
දිසත් ගේ මුහුණේ ඇඳුණේ සිනහවකි.
“ටිකක් දුරින් හිටියට හිතෙන් ළඟින් ඉන්න පුළුවන්නං එච්චරයි. අනිත් එක මුළු දවස පුරාම පේන මානෙ ඉන්නවට වැඩිය එහෙම ටිකක් ඈතින් ඉන්නකොට අගේ වැඩියි”
“මට අගේ පෙන්නන්නද එතකොට මේ හදන්නෙ…”
දිසත් සිනහ වූයේ ය. ඒ සිනහවේ වූයේ ආදරයයි.
“මන් දන්නව කොහොමත් ඔයාට මං අගෙයි කියල. හැබැයි චුට්ටක් ඈතින් හිටියහම ඒක අපි දෙන්නටම වැඩියෙන් දැනෙයි. අනිත් එක මේ ඩිවෝස් කේස් එක ෆයිල් කරපු උණුහුමේ නිසා කවුරුත් අපි ගැන ඇහැ ගහගෙන හිටියට.. ටික දවසක් ගියාට පස්සෙ අපිට මීට් වෙන්න වුණත් පුළුවන් වෙයි”
ඇය නො දැන සිටියේ ඒ ටික දවස ගෙවා ගන්නා ආකාරයක් ගැන ය. නමුත් යෙහෙළියන් දෙදෙන ද මේ තීරණය මේ වෙලාවේ ගත හැකි හොඳ ම තීරණය ලෙස උත්කර්ෂයට පත් කළහ. බර වූ හදකින් වුව අමාරසී සිනා සී සිටියා ය.
එදා දිසත් කාර්යාලයට එන අවසන් දිනය විය. ඔහු ඇතුළට එත්දී ඈ ඇස් පිය නො සලා බලා උන් බවක් අමාරසී ට වුව නො දැනුණ තරමි. සුදු අත් දිග කමිසය හා අළු පාට කලිසම හැඳි ජේත්තුකාරයා ගේ දිලිසෙන සපත්තු පොළොවේ ගැටෙන හඬ අමාරසී ගේ හද බිත්ති දෙදරවා ලී ය. ඇය හුස්ම තද කොට අල්ලා ගෙන සිටියා ය.
ආයේ ෆයිල් එකක් උස්සා ගෙන වීදුරු කුටියට දිව යන්නට හේතුවක් නැතැයි සිතෙත්දී ඇගේ පපුව හිර වී ඇස් දැවුණේ ය. ඇසිල්ලකින් ඇස් කෙවෙනි පුපුරා කඳුළු පිටාර ගලන්නට හැදුවේ ය. අමාරුවෙන් මුත් ඕ නො හඬා සිටියා ය.
එදා දිසත් දිවා ආහාර ගත්තේ තරුණියන් තිදෙනා සමග ය. දකිනා අය ගේ ඇස් වල කටු ඇනීම ගැන ඔවුහු සතුටු වූහ.
“දැං ඉතිං කට්ටියට සනීපෙට නින්ද යයිනෙ. මිනිහෙකුගෙ සතුටක් දැක්කහම ඉවසගෙන ඉන්න තරං හික්මීමක් නැති මිනිස්සු”
“ඔය දෙන්නා මෙයා ගැන බලන්න. මං ගියත් ටික කලකට කට්ටිය ඕක අමතක කරන එකක් නෑ”
දිසත් අමාරසී දෙස බලා ඒ දෑස් ඉවතට ගත්තේ බලන්නට බැරි තරම් දුකක් ඒ මුහුණේ තැවරී තිබි හින්දා ය. ජීවිතය ඇතැම් විට ඉතා දුෂ්කර පරීක්ෂණ වලින් පිරී ගිය එකකි. අරමුණු කරා ගමන් කරත්දී ඒ පරීක්ෂණ වලට අසීරුවෙන් මුත් මුහුණ දෙනු විනා ඒවා අතැර යා නො හැකි ය. මේ මොහොතේත් හෙළිය හැකි කඳුළක් ඇගේ ඇස් වලට බර වී තිබිණ. ඒ කඳුළ පිස දා ඈ සිය ළයෙහි හොවා සැනසිය හැකි ලෝකයක නොව ඔවුන් සිටියේ. ඒ නිසා රිදුම් හෝ තුවාල හෝ පිරිමැද ගත යුතු වූයේ ද උනුන් වෙන් වෙන්ව ය.
“කොහොම හරි බොසා ට ආපු ගමං දොට්ට බහින තැනට වැඩ සිද්ද වුණා නේ…”
නිරෝෂන් කාටත් ඇහෙන්නට එසේ කීවේ අමාරසී ගැන හිතා මතා ම සඳහනක් නො කරමිනි. තරුෂි යෙහෙළිය දෙස හොරැහින් බැලුවා ය. අමා ඇස් දෙක පරිගණක තිරයෙහි අලවා ගෙන සිටියා ය. ඇගේ ළය පුපුරන්නට තරම් රිදුම් දෙමින් තිබිණ. මීට මොහොතකට පෙර දිසත් ගිනුම් අංශයේ සියල්ලන්ට ආයුබෝවන් කියා නික්ම ගියේ ඇය මහා දුක් අගාධයක ගිල්වමිනි.
“මිනිහෙක්ව ඇති කරන්න හරි නැති කරන්න හරි ගෑනියෙක්ට පුළුවන් කියන්නෙ ඕකනෙ”
ගීතානි පසෙක හිඳ ඇනුම් පදයක් කීවා ය. තරුෂිට මුව වසා සිටිය හැකි නොවිණි.
“දැං මිස් ගීතානි ගෙ මහත්තය ඔයා නිසා ඇති වෙලාද තියෙන්නෙ නැති වෙලාද…”
“අනේ මේ තරුෂි. හැම තිස්සෙම මාත් එක්ක පැටලෙන්න එන්න එපා හරිද…මේක යකාගෙ වැඩක්නෙ. මේ නෝනලට ඕන විදිහටනෙ අපිට මෙතන කතා කරන්නයි වැඩ කරන්නයි වෙලා තියෙන්නෙ”
ගීතානි කාල බෝම්බයක් සේ පුපුරා ගියා ය. නමුත් තරුෂි ගේ මුහුණේ වූයේ මඳහසකි.
“ඇයි ඉතිං මේ මිස් ගීතානි කේන්ති අරං. ඒ ගෑනු කියන ගොඩට මිස් ගීතානි අයිති නැද්ද..”
“දීකිරට බළල්ලුත් සාක්කි කියන්නෙ ඕවට තමයි. අපිට දුවල ඉන්න නිසා තමයි මේ විකාර දැක දැක ඇස් කන් පියන් ඉන්න බැරි”
“දුවල ඉන්න අම්ම කෙනෙක් නිසා විශේෂයෙන් පරිස්සං වෙන්න. මොකද අම්මලගෙ පව් දූල පිටිං යන්න පුළුවන් නිසා”
තරුෂි අසුනෙන් නැගිට ඉක්මන් ගමනෙන් සේදුම් කාමරය වෙත ගියා ය. පරිගණකය ක්‍රියා විරහිත කළ දිලිනි අමා ට ඇසින් ඉඟි කරමින් නැගී සිටියා ය. ගිනුම් අංශය ඉතා දැඩි නිහැඬියාවක ගිලී ගියේ ය.
අජිත් කිසියම් සැනසුමක් අත් වින්දේ ය. මේ කුණාටු සමය ඉක්මනින් පහව ගොස් දිසත් සමගින් පෙර දී වගේ සින්දුවක් කියමින් මී විතක් තොල ගාන්නට ඇත්නම් ඔහු සතුටු ය. නමුත් තවත් ටිකක් කල් බැලිය යුතු ය කියා හිත කියයි. වෙනත් පිය වරුන් සේ සිය දියණිය කලින් විවාහ වී සිටිනා තරුණයෙකුට පෙම් කිරීම අජිත් ගේ විරෝධයට හේතු වූයේ නැත. යොහාන් වගේ තනිකඩයෙකු ට වඩා දිසත් වාගේ විවාහකයෙකු ට කැමති වෙන්නට කාරණා ඔහු ට තියේ. නිර්මලා විහිළුවට “බෝතලේ වට කරන් ඉන්න පුළුවන්නෙ” කියා කීවාට, හේතුව එය ම නොවන බව අජිත් දනී. දිසත් කියන්නේ ආදරය ගැන සේ ම පවුල ගැන ද සංවේදී මිනිසෙකි. එහෙව් මිනිසෙකු බෑණා වෙන එක අමාරසී ගේ තාත්තා වශයෙන් අජිත් ට හිත් පහසුවකි. අනිත් කාරණය නම් විවාහ වීම යනු යමෙකු හිතා මතා කරනා වරදක් නොවන බව ද ඔහු විශ්වාස කළේ ය. එක් ව විසිය නො හැකි නම් අවබෝධයෙන් වෙන් ව යා යුතු ය. ගැලපෙන කෙනෙකු හා ජීවිතය බෙදා ගත යුතු ය.
ගිනුම් අංශයේ අලුත් ම ප්‍රධානියා වශයෙන් පැමිණියේ තරුණයෙකු නොවේ. වැඩිහිටි පුද්ගලයෙකු වන ඔහු දුටු මුල් ම වතාවේ අමා ට මතක් වූයේ දිසත් පැමිණි මුල් ම දා කෙල්ලන්ගේ පැවති කඩි කුලප්පුවයි. ඇගේ ඇස් වලට කඳුළක තෙත කාන්දු විය.
“අලුත් ඔෆිස් එකේ ලස්සන ගෑනු ළමයි ඇතිනේ..”
අමා වහා දිසත් ට කෙටි පණිවුඩයක් යැව්වා ය. ඔහු සිනා මුහුණක් එවා තිබිණ. අමාරසී කේන්ති මූණක් යැව්වා ය.
“ලස්සන ගෑනු ළමයි ඉන්නව. ඒත් හිතේ ඉන්නෙ ඔයා”
ඔහු ඊළඟට කියා එව්වේ ය. යුවතියගේ මුහුණට සිනහවක් ආවේ ය. ගැහැනු හිත් එහෙම ය. හාරා පාරා ආදරය විමසන්නට ඔවුන් කැමති ය. ආදරේද කියා නො අසා ම ආදරෙයි කියා කියනවාට කැමති ය.
“දැන් මුද්දත් නෑනෙ. ඉතිං කෙල්ලො මං දිහා බලනව”
ඔහු නැවත ද කියා එව්වේ ය.
“ඒ වුණාට ඒ කවුරුත් කැමති වෙන්නෑ. ඒගොල්ලො ලස්සන කෙල්ලොනෙ. මං වගේ කැත කෙල්ලෙක් කැමති වුණොත් මිසක්…”
අමාරසී වේගයෙන් ලීවා ය. අවුරුදු ගණනක් තිස්සේ වැඩ කරනා කාර්යාලය ඔහු නැති එක දිනට පාළුවට ගොස් ඇති බවක් දැනේ. අමා තුළ සංකා හැඟීමක් ඇති විණි.
“ඇති යාන්තං මේ සැරේ තට්ටෙ පෑදුණ චීෆ් කෙනෙක් එවල”
ගීතානි කියනවා ඇසිණි.
“හැබැයි මිස් ගීතානි වගේ අයට ඇප්ලයි කරන්න බැරි කමක් නැති වෙයි”
තරුෂි ඇඟට පතට නො දැනී කීවා ය. තරුණ පිරිස සිනහ වෙන්නට ගත් අතර ගීතානි රැවුම් මුහුණක් හදා ගත්තා ය.
එදා හැන්දෑවේ කේෂි දිසත් ට කතා කළා ය. ඇය ට දැනටමත් දිසත් ගේ නීතීඥවරයා කතා කොට තිබිණි.
“අපි මේක කතා කරල විසඳගමු දිසත්. මෙහෙම නඩු කියන්න ලැජ්ජයි මටනං”
ඇය වෙනදා ට වඩා යටහත් පහත් බවකින් කීවා ය.
“හරි ඉතිං එහෙනං ලේසිනෙ. ඔයා ඩිවෝස් එකට කැමති වෙන්න. එතකොට මේක කල් අදින්නෙ නැතුව කෙළවරක් කර ගන්න පුළුවන්”
“අපි ඩිවෝස් නොවී ඉමු. මං මගෙ වැරදි හදා ගන්නං”
“ඔයා වැරදි හදා ගන්න හිතපු එක හොඳයි. ඒත් ඔය කතාව කියන්න ප්‍රමාද වුණා වැඩියි කේෂි. මේ ඩිවෝස් එක වෙනව. මොකද…අපේ සම්බන්දෙ තව දුරටත් ඇදං යන්න බැරි තරමට ස්පොයිල් වුණා වැඩියි”
“ඔයාට ඕන අර කෙල්ලව බැඳ ගන්න”
දිසත් මුණිවත රැක්කේ ය. කේෂි බොහෝ දේ කියවා නික්ම ගියා ය. එසේ ගොස් පරාක්‍රම ව කුපිත කොට අමාරසී ගේ ගෙදරට එව්වා ය.
ඔහු එන විට අජිත් හිටියේ ඉස්තෝප්පුවේ සක්මන් කරමින් කල්පනාවක ය. අමාරසී දැන් බලා ගත් අත බලා ගෙන කල්පනා කරනවා වැඩි ය. ගෙදරට නො කියා හිටියා ට කාර්යාලයේ දී ඇගේ හිත රිදෙන දේවල් සිදු වෙන බව අජිත් අනුමාන කළේ ය. ඔහු ද රාජ්‍ය අංශයේ කාර්යාල කිහිපයක අවුරුදු තිස් ගණනක සේවා පුරුද්දක් ඇත්තෙකු වන බැවිනි.
වේගයෙන් නතර වුණ රියෙන් බැස නිවස දෙසට එන පුද්ගලයා දෙස අජිත් කුඩා කර ගත් නෙතින් බලා සිටියේ ය.