“මං ආයෙ බැන්දනේ.මට දුවෙක් ඉන්නවා.”
මම එහෙම කිව්වේ සතුටකින්ද දුකකින් ද කියන්න ඇත්තටම මම දන්නේ නැහැ.නමුත් මම එහෙම කීවේ ඔහුට මා සතුටින් ඉන්නා බව අඟවන්න බව මට හිතෙනවා.
“දුවෙක් ඉන්නවානම් ඔයා වගේම ලස්සන ඇති නේද?”
සුධාරක එහෙම කියලා මගේ පුංචි දූ ගැන විස්තර අහන්න පටන් ගත්තා.මම කාලයක් මගේ මුළු ලෝකයම වුණු මිනිසාට මගේ දැන් මුළු ලෝකයම වී සිටින පුංචි ජීවිතය ගැන විස්තර කරන්න පටන් ගත්තා.ඒ කතාබහ ගැන මට එදා පුංචි වෙනසක් දැනුණා.අපි අපෙන් සමුඅරගෙන දාසය වසරකටත් වඩා ගෙවී තිබුණත් එකිනෙකා අමතා ගත්තේම නැහැ.පැරණි මතකය අමතකම කර දමා අපි අලුත් ලෝකවල ජීවත් වුණා.
“මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න..”
කියලා මම නුවරට දීග ගියාම ඔහුට හිතෙන්නත් ඇති.එහෙම හිතුණා නොහිතුණා අපි ආයේ කතා නොකරන්න නිහඬවම ගිවිසුමක් අත්සන් කළා වාගේ හැඟීමක් ඒ කාලයේ මට තිබුණා.යුධ සමයේ සටන් පෙරමුණේ සිටිමින් අලුත්ම යුධ තොරතුරු රූපවාහිනී මාධ්‍යවේදින්ට ලබාදෙන නිර්භීත සෙන්පතියාට එක වචනයක් හෝ කතා කර සුබ පතන්නට මට සිතුණෙ නැහැ.ඒ අපි අපට අයත් නැති නිසා.අපි එක දවසක් අහම්බයකින් මුණ ගැහුණු වතාවේ පවා මිත්‍රත්වයක් හෝ ඉදිරියට පවත්වාගෙන යාමේ උවමනාවක් මට තිබුණේ නැහැ.නමුත් මේ මුණගැසීම එය එසේ නොකරමින් තිබෙන බව මට වැටහෙන්නට පටන් ගත්තා.
අපි එදා බොහෝ වෙලාවක් කතා කළා.ආදරය කළ මිනිසාට එසේ බොහෝ වෙලාවක් කතා කරමින් ආගිය තොරතුරු කතා කිරීමත් ජීවිතේ අමුතුම තිගැස්මකින් පිරවූ සිදුවීමක්.කොහොම නමුත් ඒ කතාව එතැනින් අවසන් වුණා කියලයි මට හිතුණේ.
ඒත් මට හිතෙන හැමදෙයක්ම ඇත්ත වුණේ නැහැ.කොහොමටවත් නැහැ!!
සුධාරක එදායින් පසු නැවත නැවතත් මා අමතන්නට පටන් ගත්තා.එය මා තරමක් බයට පත් කළ කාරණාවක්.එයට මුල්ම හේතුව චමල්ට දුරකථනයක් තිබුණේ නැහැ.ඔහු පාවිච්චි කළේ මගේ දුරකථනය සහ ෆේස්බුක් ගිණුම.එය ගැටලුවක්.එයට නම් කොහොම හරි උත්තර හොයන්න තිබුණා.
නමුත් සුධාරක මෙහෙම චරිතයක් නෙවේ.ඔහු සම්බන්ධතාවයන්ට ඉතා අවංක කෙනෙක්.කාන්තාවන්ට පැණි පෙරන පිරිමි බහුල ලෝකයක ඔහු තමන්ගේ ආදරවන්තියට බොහෝ අවංක වෙන මිනිසෙක් බව වෙන කාටත් වඩා හොඳින් දන්නේ මම.බිරිඳක් සිටින ඔහුට පැරණි පෙම්වතියට නිතර නිතර අමතන්නට හේතු ඇතැයි මට සිතා ගන්න බැහැ.ඔහු එවැනි පන්නයේ මිනිසෙකු නොවන බව මම හොඳින්ම දන්නවා.
මේ වුණේ මොකක්ද??
ඒ දේ තේරුම් ගන්න නොහැකිව මම නූල් බෝලයක් මෙන් පටලැවෙන්නට පටන් ගත්තා.ඔහු හිඳින්නේ හොඳ මානසිකත්වයක ද කියන රතු එළිය මගේ හදවතේ දැල්වෙන්න පටන් ගත්තා.ඇත්තටම ඔහු ඉන්නේ ප්‍රශ්නයක බව මට හිතෙන්න ගත්තේ ඔහු කිසිවක්ම නොකියා හිඳියදී.
“මට ඔයාව බලන්න ඕන මැණිකේ..”
ඔහු නැවත නැවත එහෙම කියන්න ගත්තා.එය එතැනින් නතර වූයේ නැහැ.ඔහු නිතරෝම ආදර වදන් කියමින් මා අමතන්නට වුණා.