ආරණ්‍යාට සවස් යාමයේ දේශනයක් තිබිණ.ඇය එහි නොයා මෝක්ෂ සොයා ගියා ය.මේඝට සමුදු පසු ඇයට නැවතත් ඉගෙනුමෙහි යෙදෙන්නට තරම් මානසිකත්වයක් නොතිබිණ.මෝක්ෂ සිටියේ ගෙදර ආ ගමන් ය.බිනරි මුළුතැන්ගෙයට වී පුඩිමක් සකසමින් සිටියා ය.
“මං එනව කියලා නැන්දා දැන ගත්තද?”
ඈ වටා දෝතම යවන ගමන් ආරණ්‍යා අසන්නේ ආදරයෙනි.බිනරි ආරණ්‍යා දෙස බලා හිනැහුණේ සරදමට ය.
“ඔව්, අම්මයි දූයි හිතන් ඉන්නේ මට අනුන්ගෙ හිත් කියෝන ඥාණේ තියනව කියලනෙ.අම්මත් හිතන් ඉන්නෙ එයා නොකියන ඔක්කොම මම කියෝගන්න ඕන කියල.දූත් පටන් ගත්තද?”
ආරණ්‍යා බිනරි නැන්දා දෙස බලා සිටියේ ආදරයෙනි.අම්මා කියන අන්දමට බිනරි නැන්දාගේ පණ්ඩිතකම නොවුණානම් අම්මාගේ ජීවිතය බොහෝ අසීරු වන්නට තිබිණ.
“වෙන එකක් තියා ඔයා ලැබුණු කාලෙ මම බිනූට දීපු වදයක්.කිරි හිර කරගෙනද බයයි කියයි.ඔයා ඇහැරෙන් නෑ කියයි.අරකද මේකද? මෝක්ෂත් වඩාගෙන ඇවිල්ලා බිනූ ඔයාටයි මටයි දෙන්නටම බැන බැන ඔයාගෙ ප්‍රශ්න විසඳනවා.”
අම්මාට අප්පච්චිගේ අත අතැරෙන්නට ගිය තැන්වල පවා බිනරි නැන්දා සිටි බව අම්මා පැවසුවේ මෑත කාලයේ දී ය.සමාන සුඛ දුක්ඛ මිතුරියක කියන්නේ එහෙම අයට ය.වේදනාවනම් නිසලිට එවැන්නියක වන්නට නොහැකි වීම ය.
“ඔයාට මගෙ හිත කියවන්න ඕන වෙන් නෑ.ඒකට මෝක්ෂයියා ඉන්නව.”
ආරණ්‍යා මුළුතැන්ගෙයි කබඩයක් විවර කර බිස්කට් පැකැට්ටුවක් සොයා ගන්නා අතර කීවා ය.බිනරි අස්පස් කරන අතර යෞවනිය දෙස බලා හිනැහුණා ය.
“එක අතකට මට හිතෙනව කෙල්ලෙ උඹලා දෙන්නා කසාද බැන්දුවානම් හරි කියල.අර මෝඩි නාහෙන් අඬන් නැතුව සතුටින් ඉඳීනෙ.දැන් ඔය පෙළෙන පෙළිල්ල පේනවනෙ.”
අම්මා බිනරි නැන්දාට මේඝ ගැන කියන්නට ඇතැයි ආරණ්‍යා සිතුවේ ඒ වචන නිසා ය.ඇය පැමිණියේ අම්මා සහ මහේන්ගේ අතීතය ගැන දැනගත් කාරණා මෝක්ෂ සමඟ බෙදා ගන්නට ය.ඒ කතාව එතරමටම ඇය පීඩනයට පත් කරන්නට සමත් වී තිබිණ.
“අම්මා මේඝ ගැන නැන්දාට කීවද?”
බිනරි එයට කිසිත් නොකියා හුන්නා ය.අනතුරුව ඇය පැවසුවේ වෙනම කතාවකි.
“මේඝ ඉපදුණු දවසෙ ඉඳලා මේකලාට තිබ්බෙ දුක තමයි.එයාගෙ තුරුල්ලෙ මගෙ කොල්ලාවත් නොහිටියානම් මේඝගෙ ඉපදිල්ල මේකලාගෙ ලෙඩ වැඩි කරන්න තිබ්බ.”
අම්මා කියන්නේ ඇගේ පමා වූ දරු සිහිනයේ වේදනාව නිමා කළේ මෝක්ෂ අයියා බව ය.එය දරුවෙකු වදන්නට ප්‍රමාද වන සෑම ගැහැනියකගේම පොදු හැඟීම බව ආරණ්‍යා සිතා සිටියා ය.නමුත් මේ කතාව වෙනස් ය.අම්මාගේ වේදනාව මේඝ ඇගේ පුතු නොවීම ය.
“චූටි දුව,අම්මාගෙ ඉරණමේ ලියවිලා තියෙන්නෙ කොහෙන් කොහොමහරි මේඝ එයාගෙ පුතා වෙන්න නම් ඒක වෙයි.එකම දේ, ඔයා රිද්දා ගන්න එපා.එකම දේ ඔයා මේඝට ළං වෙනවනම් ළං වෙන්න ඕන ඒ මහේන්ගෙ විතරක් නෙවෙයි ලක්ෂිගෙත් පුතා කියල මතක තියාගෙන.”
ආරණ්‍යා මේසයේ ඉරි අඳිමින් නිහඬව සිටියා ය.ඇයට මේඝගේ වචන සිහියට එයි.
“නිකම්ම නිකං සැකයක් ඔලුවට අරගෙන ඔයාගෙ අම්මා අපේ තාත්තගෙන් බ්‍රේකප් වෙනකොට ඒක ඇත්තක් කරන්න වැඩ කරපු අපේ තාත්තට සමාව දෙන්න අමාරුයි නේද? ඇත්තටම එයාට කරන්න තිබ්බෙ මේකලා ආන්ටි ඒ හිටිය සැකෙන් එයාව ගලෝගන්න එක.ඒ වෙනුවට එයා ඇත්තටම අපේ අම්මා එක්ක යාලු වුණු එක මට අනුමත කරන්න බෑ.සැක කරන රණ්ඩු කරන මානසිකත්වය නම් හදා ගන්න තිබ්බා.සමහරවිට මේකලා ආන්ටි ඉන්න ඇත්තේ මල්ලි නැති වුණාට ස්ට්‍රෙස් වෙලානෙ.ඒත් තාත්තා ඒ කරපු දෙයින් තාත්තටත් ජීවිතේ සතුට නැති වුණා.අනිත් හැමදේම ප්ලෑන් කරලා දිනාගත්තට ආදරේ කියන්නෙ එහෙම දිනාගන්න බැරි දෙයක් කියලා අපේ අම්මත් දැනගන්න ඇති.ඒ කතාව සහමුලින්ම ඛේදවාචකයක්.මිනිස්සු අනිත් අයගෙන් පලිගන්න හරි රිද්දන්න හරි මෝඩ වැඩ කළාම එහෙම දේවල් තමයි වෙන්නෙ.”
මේඝ පැවසූ දේ නිසා මහත් වේදනාවක් ඉතිරි වූ බව ආරණ්‍යා දනියි.නමුත් ඉතා සුළු කාරණා හන්දා සම්බන්ධතා බිඳ දමා ගන්නට තරම් ප්‍රේමයක් අනුවණ විය යුතු ද යන්න ඈ ඉනික්බිතිව සිතුවා ය.
“ලක්ෂි ආන්ටි ඇත්තටම නරකද නැන්දි?”
ආරණ්‍යා ඇසුවේ හදිසියේ ය.ආරණ්‍යාට තේ කෝප්පයක් පිළි ගන්වන අතර බිනරි සිනාවක් තොල් මතට ගත්තා ය.
“අනුන්ට අයිති දේවල් සැලසුම් හදලා අයිති කරගන්න කෙනෙක් හොඳද චුටි දූ?
ඒ ප්‍රශ්නයට දෙන්නට පිළිතුරක් ආරණ්‍යාට තිබේ.එහෙත් ඇය කරබා ගත්තා ය.
“අතීතෙ නිවැරදි කරන්නනම් ඕන නෑ.ඔයාල දෙන්නා ගැලපෙනවා කියලා ඔයාලට හිතෙනවනම් විතරක් තීරණයක් ගන්න ඒ ඇති.මහා ලොකු දේවල් හිතන්නම ඕන නෑ.”
ආරණ්‍යා මෝක්ෂ සොයා උඩුමහලට යන්නට පෙර බිනරි එසේ පැවසුවා ය.ඉතා සුළු කාරණාවලට පවා ඉකිලන මේකලාගේ දියණිය එසේ නැති බවත් ඇය ශක්තිමත් තරුණියක බවත් බිනරි දනියි.නමුත් ආදරයට මොනතරම් දේ වෙනස් කළ හැකිදැයි ඈ සිතුවේ පාළුවට ගිය වෙදැඟිල්ල දෙස බලමිනි.