“ලොකුවට කවුරුත් එන පාටි එකක් නෙවේ රවිඳු.ඔයාලා කීප දෙනෙකුයි නංගිගෙ යාලුවෝ දෙතුන් දෙනෙකුයි සහනුයි එයාගෙ වයිෆුයි විතරයි එන්නේ.”
දියණියගේ උපන්දින සාදය ගැන හිමාෂා එසේ පැවසූව ද කුඩා දියණියට හොඳ ත්‍යාගයක් ගන්නට රවිඳුට සිත් විය.අයියාගේ කුඩා පුතුට සෙල්ලම් බඩු මොනතරම් තිබුණත් ඇති වීමක් නැත.ඔහු ප්‍රිය කරන්නේ සෙල්ලම් වාහන වලට ය.එහෙත් මේ දියණියකි.දියණියක ප්‍රිය කරන්නේ මොනවාටදැයි සිතමින් ඔහු බොහෝ වෙලාවක් කල් මැරුවේ ය.
“සොෆ්ට් ටෝයිස් කීපයක් ගන්නවා.ලස්සන බෝනික්කෙක් එහෙම එක්ක.”
අනතුරුව රවිඳු තීරණයකට එළඹියේ ය.කුඩා දියණියක හුන් සිහින ඔහුට සිහි වූයේ ඒ ත්‍යාග තෝරමින් හිඳින මොහොතේ ය.වෙනුරිට ඒ හීන ඉතා නුදුරේම සැබෑ වනු ඇත.එය උහුලන්නට අසීරු වේදනාවක් බව රවිඳුට දැනෙයි.ඇය අහිමි වී ගිය වග ඔහුට තවමත් පිළිගන්නට අසීරු ය.
“බ්‍රේකප් එකකට පස්සෙ අපි හිතන්නෝනෙ දාලා ගිය මනුස්සයටත් වඩා අපි ගැන.සමහරවිට තව කෙනෙක්ට අපිව එපා වෙන්න ලොකුම හේතුව අපිට අපිව අමතක වෙලා තිබ්බ නිසා වෙන්නත් පුලුවන්.”
වෙනුරි ගැන වේදනාත්මක කතා අසා හුන් මොහොතක හිමාෂා එසේ පැවසූ අන්දම රවිඳුට සිහිව ආයේ ය.ඇය කියන කතාවේද වරදක් නොවේ.ඇතැම්විට තමන්ට තමන් මඟ හැරී ඇති වග අපට වැටහෙන්නේ නැත.එහෙත් අප සමීපයේ රැඳෙන අය එය ඉක්මනින්ම ග්‍රහණය කරගන්නට සමත් වේ.
“තව කෙනෙකුට ආදරේ කරන්න ගිහින් අපි තමන්ට තමන්ට නැති කරගන්නවා නම් අපි එතනම පරාදයි රවිඳු.”
හිමාෂා එසේ පැවසූ මොහොතේ පටන් රවිඳු ජීවිතය ගැන නැවතත් නැවතත් සිතන්නට ගත්තේ ය.ජීවිතය තමන්ගේ පාලනයෙන් ගිලිහෙන්නට ඉඩ හැරීම නිසා තවදුරටත් වෙනුරිට විඳවීමක් නැති බව ඔහු තේරුම් ගෙන තිබිණ.සැබෑවටම ඈ හිඳින්නේ ඇය ගොඩ නගා ගත් සුරක්ෂිත ලෝකයක ය.ඒ ලෝකයට පිවිසීමට දැන් රවිඳුට ඉඩක් නොවේ.එහෙත් ඔහුගේ ලෝකය බිඳ වැටෙද්දී අම්මා,තාත්තා පමණක් නොව අයියාට සහ අක්කාට පවා තමන් වෙනුවෙන් තැවෙන්නට සිදු වන බව දැන් ඔහුට වැටහෙයි.
“ජීවිතේ ගැන මෙච්චර තේරුම් ගත්තු ඔයාට කිට්ටු වුණානම් මට සැනසිල්ලෙ ඉන්න පුලුවන්.”
රවිඳු එසේ මුමුණා ගත්තේ දිනාරාට ගත් ත්‍යාග රැගෙන වෙළඳ සැලෙන් නික්ම එද්දී ය.දියණියක සමඟ තනි වූ විවාහක කාන්තාවකට ආදරය කිරීම පහසු නොවේ.ඇය ඔහුට වඩා වසරක් පමණ වැඩිමහලු ය.ඇගේ වයසත් දික්කසාදයත් අම්මාගේ දැඩි දෝෂාරෝපණයට ලක් වන බව රවිඳු හොඳින් දැන සිටියේ ය.එහෙත් හිමාෂාට තමන් ආදරයෙන් බැඳෙමින් හිඳින බව ඔහු තේරුම් ගෙන අවසන් ය.
“අනිත් ගෑනුන්ට විහිළු කරා විහිලු කරාට හිමාෂට විහිලුවක්වත් කරන්න මම නම් බයයි.ගිනි කන්දක් වගේ ගෑනියෙක්.කොයි වෙලාවේ පුපුරයි ද කියන්න දන්නේ නෑ.”
කාර්යාලයේ හිතවතෙකු දිනක් එසේ පැවසු අන්දම රවිඳු සිහි කළේ ය.හිමාෂා ගෞරවාන්විත ජීවිතයක් පවත්වාගෙන යන ගැහැනියකි.ඇගේ තනිකම ඇයට ළං වීමට ආයුධයක් කර ගන්නට ඉඩ දෙන්නට ඇය කිසිවෙකුට ඉඩ නොදුන්නා ය.එනිසාම ඇය තරමක නපුරු වග සියල්ලෝම විශ්වාස කරති.සමීප වූ ටික කාලයේදී හිමාෂා ඉතා සංවේදී යෞවනියක බව රවිඳු අවබෝධ කරගන්නට සමත් වූයේ ය.නමුත් ඒ සංවේදී බව ආදරය පිළි ගන්නට තරම් වේයැයි ඔහුට විශ්වාස නොවේ.
“යාළුවෙක්ගෙ බර්ත්ඩේ එකක් අම්මෙ.පොඩි පාටියක්.”
සෑහෙන වෙලාවක් සූදානම් වී නිවසින් පිටව යන්නට සැරසෙද්දී රවිඳු අම්මාට පැවසී ය.ඒ ගමන ඔහුට විශේෂ එකක් වග හැඟෙද්දී අම්මාට මතුව ආවේ සිනාවකි.ඔහුට නැවත එවැනි විශේෂ ගමන් ඇත්නම් ඇයට සතුටකි.නමුත් වේදනාව ඔහු තවම අතීතයේ ගිලී හිඳීම ය.
“ගෙනියන තෑගි ගොඩක හැටියට යාලුවා නම් විශේෂ කෙනෙක්?”
ඇය පුතුට සරදම් කළේ එනිසා ය.රවිඳු හිනැහුණේ ඒ සරදම පිළිගත් ලීලාවෙනි
“පොඩ්ඩක් විතර.”
ඒ වචන දෙක අම්මාට මුළු හවස් වරුවම විසඳන්නට ප්‍රහේලිකාවක් ඉතුරු කළ බව රවිඳු දනියි.නමුත් ඔහුට එහි ගැටළුවක් නොවී ය.අම්මාට ඒ ප්රහේළිකාව විසඳීම සරල සහ පහසු නොවන බව පමණක් ඔහු දැන සිටියේ ය.