අහිමි සිහින – 164

සුධාරක සුවපත් කර ගැනීමට මා  පමණක් ඔහු ඇමතීමේ තේරුමක් නොමැති බව මට වැටහුණා.ඒ නිසා මට ලැබෙන කුඩා කාලසීමාවේ ඔහුගේ කනිෂ්ඨයන්ද ඔහු වෙතට යවන්නට මම කටයුතු කළා.සිරුරෙන් දැවැන්ත තරුණයන් තමන්ගේ වැඩිමහල් සහෝදරයා අසල වැලපෙන්නාක් මෙන් සුදාරක අසල වැළපුණු අන්දම මට තවමත් මතකයේ තිබෙනවා.

“නැගිටින්න සර්.මේ කාලේ අපට කරන්න කොච්චර වැඩ තියෙනවද? ඔෆිස් යන්න පරක්කු වෙනවා සර්.වාහනේ ගෙනල්ල තියෙන සර් තමයි පරක්කු.සර් ටක් ගාලා ලෑස්ති උනා නම් අපට ඉක්මනට යන්න තිබ්බා”

වැනි දේ කියමින් ඔවුන් ඔහු ඉදිරියේ කියවූ තරමක්.අප සමග රැඳෙනවා ටත් වඩා වැඩි කාලයක් සුදාරක රැඳුණේ තමන්ගේ කාර්‍ය මණ්ඩලය සමඟ.ඔවුන්ගේ කට හඬ ඇසෙද්දී ඔහු හැකි අයුරින් අතපය සෙලවූ අන්දම අපට බලාපොරොත්තු ගෙන එන්නටත් සමත් වුණා.

ජීවිතය තුළ අපට කර්ම ගෙවා දැමීමට සිදුවන බව ඒ සිදුවීමේ ආකාරයෙන් සිදුවද්දී මට නිරන්තරයෙන්ම සිතුණා.අපි සියල්ලන් ම සහ සුධාරක එක්ව ගෙවා දැමිය යුතු අසීරු කාලයක් ගෙවා දමන බව සිතන්නට මම සහ ඔහුගේ කාර්ය මණ්ඩලය පුරුදු වුණා.

මේ වෙද්දී අපි සුදාරක සමග අනුරාධපුරේ සති කිහිපයක් ගෙවා දමා තිබුණා.නැවත කොළඹ එන්නට තරම් මානසිකත්වයක් අපට තිබුණේ නැහැ.ඒ අතර කොළඹට ගොස් ගෙවල් දොරවල් පිරික්සා බලා රැගෙන ආ යුතු දේවල් රැගෙන නැවත අනුරාධපුරයට එන්නට සුදාරකගේ ඥාතීන් කතිකා කරගත්තා.දියණිය බලන්නට සමග පැමිණෙනවා දැයි මගෙන් විමසන්නට ද සුධාරකගේ නංගි කෙනෙක් අමතක කළේ නැහැ.

“මම යන්නෙ නෑ.දූ ඉන්නේ මගේ අම්මත් එක්ක. මට වඩා අම්මාව මට විශ්වාසයි.ඔයාලට පුලුවන්නම් අපේ මහ ගෙවල් පැත්තට ගිහිල්ල අම්මලාට අවශ්‍ය කරන බඩු ටිකක් අරන් දෙන්න.'”

ඒ කොරෝනා සමය නිසා සිතූ අයුරින් වෙළඳ සැල් වෙත යන්නට හැකියාවක් තිබුණේ නැහැ.ඒ නිසා මගේ අම්මා සහ තාත්තාට යම් අපහසුතා ඇතැයි සිතූ මම ඔවුන්ට බඩු බාහිරාදිය රැගෙන යන්නට මගේ නෑනා අත මුදල් ද තැබුවා.ඔවුන් ඒ වගකීම අකුරටම ඉටුකළ බව මගේ අම්මා මට පැවසුවා.සිත් අමනාපකම් වූවාට ඔවුන් එය මොහොතේ මට කළ උදව්ව ඇත්තටම ප්‍රසංසනීය එකක්. සහෝදරියන් කොළඹට පිටත් වූයේ සුදාරකගේ අම්මා අනුරාධපුරේ නවතමින්.ඇය මා සමග ගනුදෙනුවක් නැතත් දිගටම අනුරාධපුරයේ රැඳී සිටියා.ඇය මට පහර දුන් පසු ඇය සමඟ කතා කරන්නට මට හිත එකඟ කරගන්නට බැරි වූ නමුත් ඇය මා සමග එකම නවාතැනේ රැඳී සිටියා.අප නවාතැන් ගත් තැන සිටි අත්උදව් කරුවන් මේ වෙද්දි මගේ ආහාරපාන මට සැපයූවේ වෙනම නිසා නැන්දම්මා සමඟ එක්ව ආහාර ගැනීමටවත් මට උවමනා වූයේ නැහැ.

කොළඹ ගියේ ඥාතීන් පිරිස එන්නට දින කීපයක් ප්‍රමාද වුණත් සැබෑවටම මට ඒවා ගැන සොයන්නට කාලයක් තිබුණේ නැහැ.ඔවුන් දින කිහිපයකට පසු නැවත පැමිණියේ මුළුතැන්ගෙයට උවමනා කරන විදුලි උපකරණ කිහිපයක් ද රැගෙන

“මෙතන අය දිගටම අපිට උයල කන්න දුන්න නේ.අපි උයාගෙන කනවා.”

ඔවුන් මට එසේ පැවසුවා.අපි නැවතී සිටියේ සුධාරකගේ සේවා ස්ථානයට අනුබද්ධ තැනක නිසා මට ඒ යෝජනාවේ වරදක්ද පෙනුණේ නැහැ.නමුත් ඊළඟට ඔවුන් පැවසූ කතාව නිසා වරද ඇති තැන මට පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තා.

“ඔයා මෙහෙන් කන්න.අපි ඔයාට උයන් නෑ.”

ඒ වචන කිහිපය තුළ තිබුණේ ඔවුන් මා ප්‍රතික්ෂේප කර අවසන් බව මිස අන් කිසිවක් නෙවෙයි.බොහෝ දේ ක්‍රම ක්‍රමයෙන් සිදු වන්නට පටන් ගෙන ඇති බවත් ඒවා දරා ගන්නට සිදු වන බවත් මම තේරුම් ගත්තා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles