(අ)හිමි සිහින -176

තමන්ගේ කෙනෙක් රෝගී වී පසු වෙද්දී “හොඳම වෛද්‍යවරුන් ලවා” තමන්ගේ සමීපතමයාට ප්‍රතිකාර කරවීමට කිසිවෙකුත් පැකිලෙන්නේ නෑ.නමුත් සුධාරකට එවැනි වාසනාවක් ලැබුණේ නෑ.ඔහු රෝහලේ සාමාන්‍ය වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබමින් සිටියා.මේ සියල්ලම ගැන හිතද්දී මට හිතෙන්නේ එක් දෙයයි.

අපේ ජීවිතය තුළ සිදුවන සමහර දේ දෛවයට පිටින් මෙහෙයවන්නට හැකියාවක් නෑ.

ඔහු සිටින තත්ත්වය ගැන එවකට රාජ්‍ය නායකයා දැනුවත් කරන්නට මම බොහෝ තද උත්සාහයක් ගත්තා.නමුත් ඒ අවස්ථා එකක්වත් සාර්ථක වූයේ නෑ.නායකයාට සමීප මගේ මිතුරන් ලවා ඒ උත්සාහය ගන්නට මම තැත් කළත් මට කිසිවෙකුත් උදව් කළේ නෑ.ඒවා පවා දෛවයේ තීරණ බව සිතමින් මම සිත හදා ගන්නට තවමත් තැත් කරනවා.

වෛද්‍යවරුන්ම පමණක් නොවේ,විවිධ විශ්වාස මත පවා රෝගීන් සුව කරන අය ගැන පවා මම විශ්වාසය තැබුවා.ඒ මිනිසුන් කරන්නේ බොරු බව අනිත් අය කියද්දී පවා මට ඕනෑ වූයේ මල යකෙකු ලවා හෝ සුධාරකව සුව කරගැනීමයි.සෑම  දිනයකම මම පසුවදා අවදි වූයේ “හෙට කාට කෝල් කරලද සුධාරක ගැන අහලා බලන්නේ?” සිතමින්.කොහේ හෝ සිටින ඕනෑම වර්ගයක වෛද්‍යවරයෙකු ලවා ඔහුව සුවකර ගැනීම පමණමයි මට වුවමනා වූයේ.

සුධාරකගේ සමහර මිතුරන් විවිධ වෛද්‍යවරුන් සහ ඔහුට උපකාරයක් ලබා ගත හැකි බලය හිමි මිනිසුන් වෙත මා රැගෙන ගියා.සමහර වෙලාවට සහෝදරත්වය පැමිණෙන්නේ ලේ බැඳීමෙන් නොවේ.එය හදවතේ බැඳීම මත රඳා පවතිනවා.එවැනි බැඳීමක් සුදාරක සමඟ ඇති අය මට ඕනෑම උපකාරයක් කරන්නට සැදී පැහැදී සිටියා.ඔවුන්ගෙන් ලැබෙන උදව් මත ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් සාධනීය දෙයක් කරන්නට මම උත්සාහ ගත්තත් ඒ සෑම අවස්ථාවක්ම ව්‍යාර්ථ වී ගියා.

විවාහ සහතිකය!

වැට කඩුල්ලක් වී සෑම අවස්ථාවකම මගේ මාවත අවහිර කළා.මට ඔහු ගැන කිසිම අයිතියක් නැති බව ඒ නීතිමය ලියවිල්ල මට ප්‍රකාශ කර සිටියා.

මට අවශ්‍ය වූ එකම දෙය “නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.වඩා හොඳ වෛද්‍යවරුන්ට ඔහු පරික්ෂා කිරීමට ඉඩ දෙන්න.”යන  කාරණාවයි.මම ඒ යෝජනාව ඉදිරිපත් කරන සෑම මොහොතකම දිල්හානි එයට එරෙහිව ලිපි නිකුත් කර තිබුණා.

“ඔය ඇති, ඔහොම තියන්න!! වෙන්න ඕනේ දේ හොඳම දේ තමයි ඔය සිද්ධ වෙන්නේ.”

ඇය සෑම විටම ප්‍රකාශ කර සිටියේ එවැනි දෙයක්. නමුත් සිදුවන්නේ හොඳම දෙය නොවන බව මා දැන සිටියා.

නමුත් රෝගීවී සිටින මිනිසෙකුට තමන් අසල තමන්ට ආදරය කරන කෙනෙකු සිටිය යුතුයි.ඔහුව වඩාත් හොඳින් රැකබලා ගන්නට හැකි කෙනෙකු උපස්ථාන කටයුතු කළ යුතුයි.සුධාරක සිටි තත්ත්වය අනුව ඔහුට නිතරම අතීතය මතක සිහි වන ලෙස කවුරුන් හෝ ඔහු සමඟ සමග කතා කිරීම ඉතා ප්‍රයෝජනවත් වුණත් ඒ මොහොතේ එවැනි කිසිවක් ම සිදු වූයේ නැහැ.ඒවා ඒ අයුරින් සිදු වූවා නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීම අසීරු නොවන බව මම හොඳින්ම දන්නවා. සමහර අවස්ථාවලදී ඉතාම හොඳ වෛද්‍යවරුන් සම්බන්ධ කරගන්නට හැකියාව තිබුණත් ලැබෙන පීඩනය හමුවේ වෛද්‍යවරුන්‍ට ප්‍රතිකාර කරන්නට හැකි වූයේ නෑ.

ඔහුට සිහිය ඇති වෙලාවේ ඈතින් සිටි සතුරන් මේ අවස්ථාවේ ඔහුගේ සමීපයට වී සිටීම මොනතරම් දෛවයේ සරදමක් දැයි කියන්නට මම දන්නේ නෑ.

මට දිගින් දිගටම සුධාරක බලන්නට හැකියාව නොලැබී යද්දී මම සෑම බලාපොරොත්තුවක්ම අත්හැර ගත්තා.බොහෝ රෝගී වෙන අවස්ථාවල ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ගනිද්දී මට ඔහු බලන්නට ප්‍රධානියා ඉඩ ලබා දුන්නේ මේ අතර.ඔහු කාමරයේ සිටියදී ඔහු දකින්නට මට ඉඩ නොලැබුණේ එය ඥාතීන්ට ආරංචි වීමට ඉඩ ඇති නිසා විය යුතුයි.නමුත් හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටියදී කිසිවෙකුට නොදැනී බලන්නට යන්නට මට හැකි වුණා.  

“අනේ මැඩම් දැන් නම් හිත හදා ගන්න වෙයි.”

සුධාරක අසල සිටි නිලධාරීන් එසේ කියන අවස්ථාවල පවා තත්ත්වය බොහෝ දරුණු වෙමින් ඇතැයි මම විශ්වාස කළේම නැහැ.ඒ නිසා හදිසි ප්‍රතිකාර ඒකකයට පවා මම ගියේ ඔහු සුවපත් වෙතැයි යන තදබල විශ්වාසයෙන් යුතුවයි.ඒ වෙද්දී ඔහු නිව්මෝනියාව සෑදී පෙණහළු ආසාදනයට ලක් වී ප්‍රතිකාර ගනිමින් සිටියා.

එදා මට අලුත් අදහසක් ඇති වුණා.අප්පච්චි කියමින් මගේ සුධාරක අසල දැවටෙමින් සිටි මගේ දියණියට අප්පච්චි මඟ හැරී ගොස් දැන් විශාල කාලයක් වෙනවා.මගෙන් ඔහු සම්බන්ධ කාරණා විමසුවා ට අප්පච්චි දකින්නට නැතිව දියණිය හිඳින්නේ ශෝකයෙන් බව මම හොඳින්ම දන්නවා.රෝගාතුරව සිටින තාත්තා කෙනෙකු සුවය ලබා නිවසට එනතුරු බලා සිටින දියණියකගේ දවස් තරම් වෙන කිසිවකුගේ දවස් දිගු නැහැ.මගේ දියණියට ද ඒ එසේම බව මා දැන සිටියා.ඉතින් මේ ඇයට අප්පච්චි දකින්නට හොඳම කාලය බව මම සිතුවේ මගේ හිත වෙනත් කතාවක් මට මුමුනමින් තිබූ නිසාදැයි මම කියන්නට දන්නේ නැහැ.එහෙත් රතු රෝස මල් කළඹක් රැගත් මම ද සුදු රෝස මල් කළඹක් රැගත් මගේ දියණිය ද අප්පච්චි දකින්නට ගියා.

“සමහරවිට ඔයාට ආයේ අප්පච්චි දකින්න නොලැබුණොත් රත්තරනේ!”

සුදාරකගේ ජීවිතය පමණක් නොව මේ මොහොතේ පවතින තත්ත්වය නිසාද මට එසේ සිතෙන්නට ඇති.හිතන්නට නුවුමනා සිතුවිල්ලක් වුණත් මම ඒ ලෙස සිතමින් සිටියා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles