මුණිවර ගේ අතට මගේ අතේ මැණික් කටුව තද වී තිබියදී මසිත දිව ගියේ පෙර එක දවසකට ය. ඒ මිස්ට් ෆීල්ඩ් හි පිරිත් රාත්‍රියයි. මා කාර්යාල මේස ලාච්චුවෙන් ස්ටේප්ලරය ගෙන නික්ම යන්නට හදත්දී මුණිවර මගේ අතින් අල්ලා ගත්තේත් මේ විදිහට ම ය. ඒ වෙලාවේ රිද්මයෙන් ම දැනුත් මගේ හෘදය ස්ඵන්දනය වෙමින් තිබේ. ‘දුවන්න හදන්නෙපා’ ඒ වචන මේ මුළු මන්දාරම් අහස පුරා ම දෝංකාර දෙමින් මට ඇසේ. මේ අධිකතර සීතලේත් මට දහදිය දමනා බවක් දැනුණේ ය. මම ගල් ගැසී ඔහු දෙස බලා ඉන්නට වීමි. මුණිවර ට කිසිවක් සිහිපත් වී ද?
“මචං අදීශ් සොරි බං”
අදීශ් මගේ මුහුණත් මුණිවර ගේ මුහුණත් දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ය. මා සිටියේ ද අන්තයට අසරණව ය. මුණිවර කියන්නට යන්නේ කුමක් ද කරන්නට යන්නේ කුමක් ද කියා වැටහීමක් මට වූයේ ම නැත.
“උදේ වැස්ස නිසා මන්දාකිණීව ගෙදරින් එක්කගෙන ආවෙ මං”
අදීෂ් ගේ කළු මුහුණේ ලස්සන සුදු සිනහව පිපුණේ ය.
“හරි හරි. ඒකෙ අවුලක් නෑ. මං මන්දාකිණීව ගෙදරට ඩ්‍රොප් කරන්නං”
“වැස්ස නිසා ඒගොල්ලංගෙ අම්ම වැඩට යන්න එපා කිය කියන ඉන්නකොටයි මං ගියෙ. මං ගිය නිසයි මෙයාව එව්වෙ. ඒක නිසා මං ගිහිං අම්මට මෙයාව බාර දීල ඉන්නං. ඊට පස්සෙ උඹ මන්දාකිණීව එක්කං පලයංකො. වරෙං මල්ලි. අපිත් එක්කම යමු”
අදීශ් ගේ සිනහව අලුත් වූයේ ය. තවමත් මුණිවර මගේ අත ලිහිල් කර තිබුණේ නැත. ‘යං’ කියමින් මගේ අතින් ඇදගෙන ම ඔහු රථ ගාලෙහි වන රිය වෙත ගියේ ය. කාර්යාල පරිශ්‍රයත් රථ ගාලත් අතරේ ගල් අල්ලා තැනුණු සෙවිල්ලක් සහිත පෙත් මගකි. ඔහු ගියේ ඒ පාරේ නිසා කුඩයක අවශ්‍යතායක් නොවිණ. නමුත් තද වැස්ස නිසා හිරිකඩ හමා විත් අප තෙත් කළේ ය. මුණිවර ගේ අතින් ඇදී ගෙන යන ගමන් ම මම හැරී බැලුවෙමි. අදීශ් ඉණට අත් දෙක තබා ගෙන බලා ගෙන සිටියේ ය.
මුණිවර මා අතෑරියේ රිය දොර හැර මා ඊට ගොඩ කරවූ පසු ය. අනිත් පසින් විත් ඊට නැගුණ ඔහු ගේ මුහුණේ දඟකාර බවක් හා ජයග්‍රාහී බවක් එකට කැලතී තිබිණ. රිය පණ ගන්වමින් ම ඔහු ගුවන් විදුලිය ක්‍රියාත්මක කළේ ය. කීර්ති පැස්කුවල් ගේ ළයාන්විත හඬ එහි ගීතවත් වෙමින් තිබිණ. මුණිවර ඒ ගීයේ තාලයට උරුහම් බෑවේ ය.
“තව දවසක් හමු වී ඉමු මේ භවේ…එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ…ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන් සැරේ…තව දවසක් හමු වී ඉමු මේ භවේ…”
ඒ තද සීතලේ හදවත උණුහුම් වී යන බවක් මට දැනිණ. මුණිවර ගේ ගෙලෙහි එල්ලී ඉතා තදින් ඔහු ගේ කොපුලක් සිප ගන්නා ආශාවකින් මම වියරු වැටුණෙමි. නමුත් හිත තදින් යටපත් කර ගෙන මම වැහි වැටෙන අහස දෙස බලා ගතිමි.
“මඳ පවනේ මුසු කෙරුවේ යළි නො එනා මතක අපේ..නිදි පැදුරේ ගෙවෙන පැයේ සිහි කෙරුවා සුවඳ ඔබේ..ජීවිතේ…පාළුයි මගේ..තව දවසක් හමු වී ඉමු මේ භවේ..එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ…”
මගේ ඇස් වලට තෙතමනයක් දැනෙනා තරම් විය. පපුව පලා ගෙන එන විදිහේ ඉකියක් හිර වී ගත්තේ ය. යටි තොල තදින් සපා ගෙන ඇස් පියි ගනිමින් ම මම හිස පිටුපසට බර කොට ගතිමි.
වරක් මම මා හා බැඳුණු අතීතය අමතක වූ ඔහු ව ප්‍රතික්ශේප කළෙමි. ඒ මතකය හිස් තැනක් වූ කල අප පිවිසිය යුත්තේ අතීතයක් නැති අනාගතයකට යයි බිය වීමි. නමුත් අලුත් මිනිසෙකු ලෙස ඔහු මේ දනවමින් හිඳින්නේ ප්‍රේමය නොවේ යයි සිතන්නේ කෙසේ ද? මේ ඊර්ෂ්‍යාවත් මේ රැකවරණයත් ඒ ප්‍රේමය හා බැඳුණු ඒවා ය. ඔහු යළිත් මට පෙම් කරමින් සිටිනා බව සිතිය හැක. නමුත් අපේ සදාදරණීය අතීතය කෙසේ නම් මා ඔහු ට සිහිපත් කොට දෙන්න ද? ඔහු ‘මේ ගී කාටදැයි’ ගයත්දී මා හඬමින් අසා උන් බව දැන් ඔහු දන්නේ නැත.
“තරු දෙවැටේ පිපෙන සඳේ.. දුක වැඩලා ලොවට අපේ..කිරි සයුරේ මුතු පතුලේ..සැඟව ගියා මැණික මගේ ආදරේ ගීයක් වගේ..තව දවසක් හමු වී ඉමු මේ භවේ..එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ..ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන් සැරේ..තව දවසක් හමු වී ඉමු මේ භවේ…”
තද කර ගෙන උන්න ද ඇස් කෙවෙණි රිදවා ගෙන කඳුළු දෙපෙළක් පිටතට පැන්නේ ය. මම හෙළවෙන්නේ හෝ නැතිව සිටියෙමි මුණිවර උරුහම්බානා හඬ මට ඇසේ. මේ විදිහට හැසිරෙන්නේ ඇයි දැයි මා ඔහු ගෙන් කෙසේ නම් අසන්න ද?
“අදීශ් එක්ක යන්න බැරි වුණ නිසා වෙන්නැති නේ අඬන්නෙ…”
අහසින් පොළොවට වැටුණා සේ මා ගැස්සී ගියේ ය. ඇස් පිල්ලමකින් කඳුළක් විසි වී ගිහින් ඔහු ගේ තොල් පෙත්තක රැඳිණ. මට හිතුණේ ඔහු ගේ කමිස කොලරයෙන් ඇද මා ඔහු වෙත හරවා ගන්නට ය.
“අම්..ගෙදර ගිහිං ඊට පස්සෙ ඕන දිහාක යන එකයි. අදීශ් එයිනෙ ගෙදරට”
“මං කවුරු කියලද හිතං ඉන්නෙ ආ…මිස්ට මුණිවර ඔයාට අතීතෙ මතක නැති වුණාට මට අමතක වෙලා නෑ. ඔයා හිතන්නෙ මේක ලේසි දෙයක් කියලද..නෑ..හරි අමාරුයි. කොච්චර අමාරු වුණත් මං හිත හදා ගෙන ජීවත් වෙන්නයි මේ බලන්නෙ..ඇයි දෙයියනේ මෙහෙම කරන්නෙ…දැන් අර අදීශ් වුණත් මොනා හිතයිද…ඔයා හිතන්නෙ මං මේ කොල්ලෙක් දැකපු ගමං ඒ කොල්ලගෙ ඇඟේ එල්ලෙන්න බලං ඉන්න ජාතියෙ කෙල්ලෙක් කියලද..මට එහෙම අහේනියක්නං නෑ. අනිත් එක තුවාල වෙලා ලේ ගලල රිදිල තියෙන හිතකින් ආයෙ වෙන කොල්ලෙක් ගැන හිතන්න..මං ආදරේ කියල බොරුවක් කළේ නෑ. ඒක ජීවිතේ පළවෙනි පාරට කරපු ආදරේ. ජීවිතේ පළවෙනි පාරටයි පිරිමියෙක් මගෙ මූණ ඉම්බෙ…එදා ගෝල් වල බීච් හොටේල් එකේ බැල්කනි එකේ පිරිමියෙක් එක්ක රැයක් ගත කළේ පුරුද්දට නෙවෙයි. ආදරේ නිසා. ඒ ආදරේ මතක නැති මනුස්සයෙක් ළඟ මං ඉන්න ඕන කොහොමද කියල මං දන්නෑ. ඒක මං අලුතෙන් ඉගෙන ගන්න ඕන. මං ඒත් දරාගෙන ඉන්නව. ගෑනු ළමයෙක්ගෙ හිත කොයි විදිහද කියල කවදාවත් කවුරුවත් තේරුං ගන්නෙ නෑ. තේරුං කරල දෙන්නත් බෑ”
“ඉතිං මට මතක නැත්තං මැරෙන්නද කියන්නෙ…මං කිව්ව ඔයාව මැරි කරන්නං කියල”
ඔහු සැර දැමුවේ ය. මම ඊටත් වඩා හයියෙන් කෑ ගැහුවෙමි.
“කෙහෙල්මල් මැරි කිරිල්ලක් ගැන නෙවෙයි මං කතා කරන්නෙ”
උණු කඳුළු හැළුණේ ය. අත් බෑගයෙන් ටිශූ එකක් ගත් මම දෑසත් මූණත් නාසයත් පිස දා ගතිමි. හඬන්නට මට ඕන වී තිබුණේ නැත. ඔහු ඉදිරියේ කඳුළු වැටුණ එක ගැන සියුම් පසුතැවීමක් ද දැනෙන්නට වූයේ ය. ඉනික්බිති මුණිවර සිටියේ ගොළු වී ගෙන ය. එක අතකට ඔහු පව් කියා මට සිතිණ.මතකය නො එනා එක ඔහු ගේ දොසක් නොවේ. නමුත් මා සොයා ඇවිදින්නේ අතීතයේ දී මට හමු වූ ඔහු ව ය. දෙවියනි මට මා සොයා දුන මැන!
ගුරු නිවාසය වෙත එන තෙක් ඉන් පසු අප කතා කරන්නට ඇත්තේ අපේ හිත් සමග ය. අප්පච්චි බරාඳයෙහි හාන්සි පුටුවෙහි සිටියෙන්දෝ මුණිවර රියෙන් බැස ගෙට ගොඩ වූයේ ය.
“මේ ළමයට කරදරේ. මං මේ ලොකු ළමයට කෝල් එකක් ගන්න කියල දැන් දූලයි අම්මට කිව්ව විතරයි. ගිහිං එක්කං එන්න”
“අනේ මොන කරදරයක්ද සර්…මන්දාකිණීව උදේ එක්කං ගියා වගේ ගෙනත් බස්සන්නත් ඕනනෙ”
ඔහු අදීශ් ගැන කියාවිද යන සැකය මා තුළ වූවත් එවැන්නක් සිදු වූයේ නැත. මුණිවර මොනවා හිතේ තියාගෙන වැඩ කරනවාද කියා ඔහු ගේ මේ අමුතු හැසිරීම් නිසා තේරුම් ගැනීම අසීරු ය.
“ඉතිං කොහොමද පුතා වැඩ කටයුතු…”
“දන්නැද්ද සර් ඉතිං මේ කාලෙ..හරි අමාරුයි තමයි. හැම දේකම මිල වැඩියි. මල් වලට දාන පෝර ටිකේ ඉඳල හැම දේම වැඩි වෙලානෙ. සැලරීස් වලට අයින් කළහම ඉතිං ලොකු ප්‍රොෆිට් එකක් නෑ. බිස්නස් එක අල්ලං ඉන්න එකත් ලේසි නෑ ඇත්තටම”
“මේ කාලෙ හුඟක් අයට තියන ප්‍රශ්නෙ ඕක තමා. එහෙමයි කියල අත්ඇරගන්න හොඳ නෑ පුතා. දෙයක් පවත්වගෙන යන එක නැතුව ඉන්නවට වඩා අමාරුයි තමයි. ඒත් මිනිස්සු විදිහට අභිමානය කියන දේත් අපිට හරි වැදගත්. පුතා හිතන්න වාහනයක් තියෙන මිනිහෙක්ගෙයි නැති මිනිහෙක්ගෙයි අතරෙ වෙනස. වාහනයක් තියන මිනිහෙක්ට ඒක නඩත්තු කරන එක මොන තරං අමාරුද…ලයිසන් ඉන්ශූවරන්ස් කරන්න ඕන..දුම් පරීක්ෂණ වලට දාන්න ඕන..කිලෝ මීටර් ගාන බල බල සර්විස් කරන්න ඕනෙ..ඊට අමතරව තෙල් ගහන්න ඕන වොෂ් කරන්න ඕන…ආ…ගරාජ් ප්‍රශ්නයක් ආවොත් කීයක් වියදං වෙලාද නවතින්නෙ…වාහනයක් මේන්ටේන් කරනවයි කියන එක සුළුපටු කාරියක් නෙවේනෙ. ඕව කරනකොට අපිට හිතෙනව පාරෙ බස් එකේ ගියානං ඔය මුකුත් නෑ සල්ලි දීල ටිකට් එකක් අරං යන එක විතරයිනෙ තියෙන්නෙ කියල. ඒත් ඒ වගේද පුතා තමුන්ටම කියල වාහනයක් තියන එකේ අභිමානය…අපි බස් එකක් ඕවර්ටේක් කරං යනකොට ඒකෙ වීදුරු අයිනෙ ඉන්න මිනිස්සු හිතන දේවල් පුතා දන්නවද…ඒ මිනිස්සු දකින හීන අතරෙ එකක් තමයි වාහනයක් කියන්නෙත්.බස් එකේ යන මිනිහෙකුට නො දැනෙන අභිමානයක් වගේම නිදහසක් විඳිනව තමන්ගෙ වාහනේක යන කෙනා. හැබැයි අර වාහනයක් ගැන හීන දකින කෙනා දන්නෙ නෑ වාහනයක් නඩත්තු කරන එක කොච්චර අමාරුද කියල. ඒ වගේ පුතා…අපිට පවත්වගෙන යන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් අනිත් හුඟක් මිනිස්සුන්ට තාම ලබා ගන්න බැරි වුණ විදිහෙ ජීවිතයක් අපිට ලැබිල තියෙනව කියල තේරුං අරං..අපිට ලැබුණ දේවල් ගැන අපි සොබා දහමට ස්තූතිවන්ත වෙන්න ඕනෙ. අනිත් අය පීනල සතුටු සතුටු වෙන පූල් එකක අයිතිකාරයෙක් වෙන එකේ ආඩම්බරේ වැඩියි පුතා”
අප්පච්චි ගේ කතා අසන්නට මම පොඩි කාලේ සිට ම ආශා කළෙමි. ඔහු ගේ නීති රීති ඇතැම් විට අපව අසහනයට පත් කළ ද ඒ කතා හරියට නූතන ජාතක කතා සේ මා අමන්දානන්දයට පත් කරයි. ඔහු ගන්නා උදාහරණ ද ඔහු ගේ උපමා උපමේයන් ද අතිශය ප්‍රායෝගික ය. එසේ ම නිර්ව්‍යාජ ය.
මාත් නංගීත් උළුවහු දෙක අල්ලා ගෙන ඔවුන් ගේ කතා බහට කන් දී ගෙන සිටියදී අම්මා තේ හදා ගෙන පැමිණියා ය.
“මුණිවර අයියට පරණ එක මතක නැති එකේ අලුතෙන් බාබකිව් නයිට් එකක් දැම්මනං මොකද කියලයි මං හිතුවෙ”
මල්ලී හදිසියේ ම කීවේ අප බලාපොරොත්තු නොවූ සේ ය. නංගී ඔහු ට ටොක්කක් ඇන්නා ය. ‘ඌයි’ කියමින් ඔහු ඇය වෙත හැරෙත්දී ම නංගී ඔහු ට රැව්වා ය.
“දෙයියංගෙ නාමෙට මං මොනා කරන්නද සර්…මතකයෙන් කෑල්ලක් ඉරේස් වෙලා ගිය මිනිහෙක් කියන්නෙ මහ පවුකාරයෙක්”
මුණිවර එවන් ප්‍රකාශයක් කරාවියි සිහිනයෙන් හෝ මා සිතා තිබුණේ නැත. මතකයේ අහිමි වූ පරිච්ඡේදය ගැන ඔහු පසුතැවිලි වන්නේ ද?
හදිසියේ ම තේ කෝප්පය තබා අසුනෙන් නැගිටගත් හෙතෙම මල්ලිගේ හිස් මුදුනේ කෙස් අවුල් කොට “දාමු” යයි කියා, අප්පච්චි ගෙන් සමු ගෙන නික්ම ගියේ ය.
“තමුසෙ ඒ කොල්ලට බැන්නද බූරුවො…”
නංගී මට දොස් කීවා ය. මම නිහඬව ම සිටියෙමි. මේ කිසි දෙයක් ඔහු ට හෝ මට දැනෙනාකාරයෙන් වෙනකෙකුට දැනේවියි සිතිය නො හැකි ය. තව ටිකක් පමා වී මම අදීශ් ට දුරකතන ඇමතුමක් ගෙන සමාව ඉල්ලුවෙමි. ඔහු හඬ නගා සිනහ වූයේ ය.
“කම්පනේකින් විතරක් මතකෙ එයි කියල ඩොක්ටර්ස්ල කියල තිබුණට මේ යකාට ඊරිසියාවටත් මතකෙ එයිද කියලයි මංමේ හිතුවෙ”
“අනේ අපිට එයා සනීප කර ගන්න බැරිද අදීශ්…”
“අපිට කියන්නෙ මටද…”
නැවතත් සිනහවකි. මගේ හිතේ වූයේ මුදු ඉකිබිඳුම් සරකි.
“අනික සනීප වෙන්න ඌට ලෙඩක් නෑනෙ. කොයි වෙලේ හරි ඕකා මට අම්බානක නෙලනව කියල මං දන්නව. අන්න ඒ වෙලාවට ඕන්නං මාත් පොල්ලකින් දමල අරින්නං…ඔළුව හෙල්ලිලා ඕනනං ගිය ආත්මෙ මතකත් එක්කම එන්න”
මම සිනහ වෙමින් හැඬුවෙමි. හඬමින් සිනහ වූයෙමි. පසු දා උදයේත් වැසි තුරල් ව තිබුණේ නැත. කොහොමටත් නික්ම යත්දී මුණිවර කියා ගියේ වැස්ස නිසා ඔහු මා රැගෙන යන්නට පැමිණෙන බවයි. උදයේ මා සූදානම් වත්දී අම්මා ළඟට වී කැරකුණේ මොනවා හෝ හිතේ තියා ගෙන ය. නමුත් එය කියා ගැනීමේ අසීරුවකින් ඇය පෙළුණා ය. මොනවා වුණත් ඒ මුණිවර ගැන යමක් බව ඉවෙන් වාගේ මට දැනිණ. ඒ නිසා ම මම හාරාවුස්සා ඇය විමසන්නට ද නො ගියෙමි. මොනවා වුණත් අම්මා කෙනෙකු ගේ හිතක දුවක ගැන වන අවිනිශ්චිත බිය ප්‍රශ්න කරන්නට කාරණා මට ඇත්තේ නැත.
“අනේ මන්දා දරුවො. මේ ප්‍රශ්න විසඳෙනකල් මගෙ හිතටත් නිවනක් නෑ”
ඈ ළඟ පහත් වී මා වඳිත්දී අම්මා එපමණක් කියා සිය හිත නිදහස් කර ගත්තා ය.
“මං ගැන බය වෙන්නෙපා අම්ම. මොන දේ වුණත් මං ඔළුව අවුල් කර ගන්නෙ නෑ”
උගුර යටින් එසේ කියා ගත් මම මුණිවර ගේ රියට නැගුණෙමි. වැස්ස ඒ වෙත්දී ත් වැඩි වෙමින් හා අඩු වෙමින් වහිමින් තිබිණ. ඇතැම් කඳු පාරවල් නාය ගොස් ඇති බව පැවසිණ. ලෝකය පෙරළුණත් වගක් නැති සේ මුණිවර උරුහම් බාමින් සතුටු සෙයියාවකින් රිය පැදවූයේ ය.
“මේ පාරෙ නෙවෙයිනෙ වෙනදට යන්නෙ”
මාර්ගය වෙනස් වන බව දැනී මම වහා කීවෙමි. ඔහු ගේ තොල් කොනක නලියන සිනහවක් විය.
“මිස්ට් ෆීල්ඩ් නෙවේනෙ යන්නෙ”
“එහෙනං…”
“වැස්සෙ කඳු පාරවල් බලන්න ආසයිනෙ…ඇති වෙනකල් බලමුකො”
මම දෙතොල් තද කර ගන්නා ගමන් වීදුරු කවුළුවෙන් පිටත බලා ගතිමි. ඒත් සිනහව සඟවා ගත නො හැකි බව දැනුණෙන් අතකින් මුව වසා ගතිමි.
වැස්ස තවත් මෝරා වැඩෙමින් තිබිණ. දෙවියනි වැස්ස කියන්නේ මොන තරම් නම් චමත්කාරයක් ද?