ප්‍රේමයේ අභිමන් -45

අපරාජිතා යළිත් සිය භාවනානුයෝගී සිත ද සමග සන්සුන් ව පුරුදු කටයුතු වල නිමග්න වූවා ය. උදේ ට තනිව තේ එක හදා ගෙන බොත්දී සසංක හිස් බඩ වැඩට යනවා නේද කියා සිහි වී ඇය ඔහු ට තේ එකක් ගෙන ගොස් දුන්නා ය. ඊට පස්සේ එය පුරුද්දට ගොස් උදේ තේ එක වෙනුවෙන් පිය ගැට පෙළ නැගෙන්නට තරුණයා පෙළඹුණේ ය. පෙති පාන් එකක් ගෙයි තිබූ දා ක අපරාජිතා පාන් ටිකක් බිත්තර දමා ටෝස්ට් කොට සසංකට ද තේ එකත් එක්ක කන්නට දුන්නා ය. ඔහු සීතල පාට ඇස් දෙකකින් ඇගේ දෑස් මත නතර වූයේ ය.

“මෙච්චර උදෙන් කන්න බෑ අපූ. අපි ඉතිං වෙලාවට කාල පුරුදු මිනිස්සු නෙවෙයිනෙ…අම්ම නැති වෙච්ච දා ඉඳං…”

ඔහු ඒ ‘අම්ම නැති වෙච්ච දා ඉඳං’ යන්න කීවේ හිතා මතා ම වඩාත් බර කොට ය. ඒ වචන  පේළියෙහි හඬන්නට අවසර නැති පිරිමි කඳුළක තෙත තැවරී තිබෙනවා වාගේ අපරාජිතා ට දැනිණ. ඈ සිය පපුවෙහි ඔහු ගේ සුවඳ රැඳි සීතල හුස්ම නතර කර ගෙන ම සුදු ප්ලාස්ටික් කෑම පෙට්ටියකට සැන්ඩ්විචස් ටිකක් දමා සසංක වෙත පෑවා ය.

“එහෙනං බඩගිනි වුණාම කන්න”

සසංක දෙතොල් තද කර ගෙන සිටියේ නොවී නම් ඔහු ගේ පිරිමි හද තුළ කැකෑරුණ සිතිවිලි පොදිය ම ලිහා ඈ ඉදිරියේ මුදා ලන්නට සිදු වනු ඇත. පාන් පෙති සහිත බඳුන ඔහු වෙත පාමින් සිටියදී ඇගේ ඇස් වල මිදී තිබූ මහා කරුණා හිම කැටිය, හිරු කිරණක් වැදුණ විටෙක සේ දිය වෙන හැටි ඔහු බලා සිටියේ ය. වරක් ඉතාලියේ රෝම අග නුවර වතිකානුවෙහි ශාන්ත පීතර දෙව් මැදුරේ දී වඩාත් සමීප ව පියවි ඇසින් දුටු පියෙටා කිරිගරුඬ ප්‍රතිමාව සසංක ට ක්ෂණික ව සිහි විය. ඉතාලි චිත්‍ර හා මූර්ති ශිල්පී මයිකල් ආන්ජලෝ ගේ විශ්මිත ප්‍රතිමාවක් වන එහි නිරූපනය වන්නේ කුරුසියෙන් බිමට බට ජේසු තුරුණුවාව සිය උකුලෙහි තියා ගත් මරිය මව් තුමිය ගේ රුවයි. එහි මරිය තුමිය ගේ මුහුණ ඇතුළු සියල් අඟ පසඟ වලින් නිරූපණය වන භාවයන්, මනුෂ්‍යත්වය ඉක්ම ගිය  දේවත්වයට සමීප බව විශේෂඥ අදහසයි. නමුත් වතිකානු සංචාරයේ දී ඒ පිළිරුව ළඟ නතර වී සසංක බලා සිටියේ දේවත්වය ද ඉක්ම ගිය උත්තම වූ හැඟීමක් එහි මරිය තුමිය ගේ මුහුණෙන් ද සියලු දේහ අංගයන් වෙතින් ද දකිමිනි. දේවත්වය ඉක්ම ගිය ඒ උත්තම හැඟීම මාතෘත්වය මිස අනෙකක් නොවන බව ඔහු ගේ හදවතේ ගැඹුරු තැනක් විසින් කොඳුරා කියන හඬ ඒ වෙලාවේ සසංක ට ඇසිණ. නොහොත් දැනිණ. ඒ මාතෘත්වයේ හා දිව්‍යමය ආදරයේ පියෙටා ප්‍රතිමාව නොව මේ මොහොතේ ඔහු ඉදිරියේ සිටියේ එහි ජීවමාන පිළිරුව අපරාජිතා ය.

හැන්දෑවේ ගෙදර එන ගමන් කෑම ගන්නට බොජුන් හලකට ගොඩ වැදුණ ඔහු ට අපරාජිතා සිහි වූයේ නිතැතිනි. විවිධ ආහාර වර්ග ප්‍රදර්ශනය කළ මැදිරි පෙළ දෙස බලමින් හෙමිහිට පිය තබන ගමන් ඔහු ඇය ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

“ඔයා රෑට ඉව්වද…නැත්තං මං මොනා හරි ගේන්නද…”

උදරයෙහි අපර කොටස සීතල වතුර බෝතලයක් බී ගෙන බී ගෙන ගිය විටෙක සේ සීතල වී යනු අපරාජිතා ට දැනිණ.

“තාම ඉව්වෙනං නෑ”

ඇය ඉතා ම පහළ ස්වරයකින් මිමිණුවා ය.

“එහෙනං මං ගේන්නං. මොනාද ගේන්න ඕන…”

යළිත් වරක්  සීතලට අතුණු බහන් පෙරළිණ. අපරාජිතා දුරකතනය සවනට වඩාත් තද කර ගත්තා ය.

“ඔයා කැමති දෙයක් ගේන්න”

එවර උදරයෙහි සිසිලස් පෙරළුම අත් වින්දේ සසංක ය. ඔහු පපුව පිම්බෙන සේ හුස්මක් ගත්තේ ය. පෙර කවරදාකවත් තමන් ගැන දැනී නැති විදිහේ සාඩම්බරයක් ද අභිමානයක් ද ඔහු ට දැනිණ. කවදාවත් හිමි ව නො තිබූ තනතුරක් හදිසියේ හිමි වූවකු සේ උද්දාමයෙන් හෙතෙම ආහාර වර්ග කිහිපයක් ම මිල දී ගත්තේ ය.

“මෙච්චර…”

ඒ දැක අපරාජිතා පුදුමයෙන් දෑස් විසල් කළා ය.

“ඇයි වැඩිද…”

“ඇයි අපි දෙන්න යෝදයො දෙන්නෙක්ද…ඔක්කෝටම ඉස්සෙල්ල මේ මහත්තය මට කියන්න ඔයාට විතරක් කෑම ගේනකොටත් මෙහෙම ගෙනත් විසි කරනවද…”

අපරාජිතා සිය දීප්තිමත් ඍජු දෑසින් ඔහු දෙස බලා තරවටු ස්වරයකින් විචාලා ය.

“හරි ඉතින්. තනියම කනකොට වගේ නෙවේනෙ දෙන්නෙක්ට කෑම ගේනකොට…මදි වුණානං මේ නෝනා ඔහොම නෙමේ කතා කරන්නෙ”

“විසි කරන්න බෑ කෑම. උදේට රත් කරල දෙනෝ ඉතුරු වෙන ඒව”

ජීවිතය නමැති බඳුනෙහි හිස්ව තිබූ අඩක් හෙමිහිට පිරෙන්නට ගෙන ඇති සැටියක් දෙදෙනාට ම දැනෙමින් තිබිණ. නමුත් ඒ පිරවුම ඉක්මන් කරවීම ගැන කලබලයක් දෙදෙනාට ම වූයේ නැත. අරවින්ද වෙතින් වෙන් වූ හා අනන්‍යා විදේශගත වූ මුල් යුගයෙහි කෑම පිසීම ගැන වදවීමක් වුණේ ම නැතිවා වී ද අපරාජිතා දැන් රාත්‍රී ආහාරය වැඩිපුර ගෙදර පිසීම ගැන උනන්දු වූවා ය. ඒ කැපවීම සසංක වෙනුවෙන් බව යටි හිත දැන සිටිය ද එවැන්නක් නො දන්නවා සේ ඇය හිත මතුපිටින් කටයුතු කළා ය. ඔහු වසර ගණනාවක් තිස්සේ කඩ කෑමට යොමු වූ කෙනෙකි. කඩ කෑම කියන්නේ තෙල් සහ පිටි වල මිශ්‍ර වීමක් බව අපරාජිතා මැනවින් දනී. ඒ නිසා රාත්‍රී ආහාරය හැකි තාක් තෙල් අඩු කොට සරල ලෙස පිසින්නට ඇය උත්සුක වූවා ය. දවසක් දෙකක් රෑ කෑම ගේන්නද කියා සසංක විමසා සිටියදී ඇය ඔහුටත් එක්කම උයනා බව කීවා ය. ඊට පස්සේ සසංක ඒ ක්‍රමයට පුරුදු වූයේ ය. ඉඳහිටෙක ඕනෑ වුණොත් පමණක් ඈ ඔහු ට ඒ බව දැනුම් දුන්නා ය.

ජීවිතය ටික ටික වෙනස් වෙන හැටි ද පිළිවෙල වෙන හැටි ද පෙනුණත් ඔවුහු ඒ ගැන විවෘත ව කතා නොකර සිටියහ. නමුත් යමක් සිදු වෙමින් පවතින බව නිසැක ලෙස දැන සිටියහ.

“අම්මි සසංක අංකල්ව බඳින්න”

දවසක් අනන්‍යා කීවා ය. ඒ ප්‍රකාශය අපරාජිතා ගේ පපුවේ පත්තු කරනා ලද වෙඩිල්ලක් සරි විය.

“ආ..”

තමුන්ට ඇසුණ දෙය නිවැරදි බව දැන දැන ම ඇය නැවත විචාරීමක් ද කළා ය.

“ඇයි ඔයා එහෙම කියන්නෙ…”

“එයා වගේ තාත්ත කෙනෙක්ට මං කැමතියි”

තව වදනක් හෝ මුමුණා ගන්නට තරම් දිරියක් අපරාජිතා වෙත වූයේ නැත. තමන් එය ඒ තරම් සරල ලෙස කියා දැමීම ගැන අනන්‍යා ද පුදුම වූවා ය. සත්තකට ඒ ටික එහෙම කියන්නට යළි එංගලන්තය බලා ගිය දා පටන් ඈ පුරුදු වූවා කීවොත් නිවැරදි ය. කෙසේ වෙතත් කියන්නට අවශ්‍ය වූ විවෘත භාවයෙන් ද සැහැල්ලුවෙන් ද යුතුව එය කියා දැමීමට හැකි වීම ඇය ට සතුටක් විය.

අපරාජිතා මේ රහස දේශිකා හා කීවා ය. ඇගේ මුහුණ මත සිනහවක් රළ නැගුවේ ය.

“කෙල්ල එහෙනං අපි වගේම හිතන්න ගත්තා”

ඒ සැනසිල්ල දේශිකා සිය හදවතට උපරිම ව විඳ ගන්නට හැරියා ය.

“හරි දැං ඒ ගැන තමුන්ගෙ අදහස මොකද්ද…”

අපරාජිතා සිය මන්දස්මිතය නගා ගත්තා ය. දේශිකා මේ ගැන දැන ගත් පසු ඔය ප්‍රශ්නය වරදින්නේ නැති බව ඇය ඉඳුරා දැන සිටියා ය.

“මොනාලිසා වගේ හිනාවෙන්න කියල නෙවෙයි මං කිව්වෙ. සසංක කොහොමත් ලව්නෙ…ඒක අපි මුල ඉඳන් දන්නවනෙ. තමුසෙ අමුතු ජාතියෙ ගෑනි නිසා තමයි කොල්ල තාම බැක්වර්ඩ්”

“අවුරුදු හතළිහ පැන්නට පස්සෙ…”

“ආ..හතළිහ පැන්නට පස්සෙ වයසයි… බඳින්න බෑ…මන්නං හිතුවෙ නෑ තමුසෙත් ඔච්චර ගොබ්බ විදිහට හිතන මොංගල් ඩයල් එකක් කියල”

“කෝ ඉතිං මට කියන්න දුන්නද…මැද්දෙං පැනල එයාට හිතෙන ඒව කියෝනව”

“හරි කියනවකො එහෙනං”

“මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න තියන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ආදරේ කරල…ප්‍රතික්ශේප වෙලා…රිදිල…අඬල…තුවාල කැළැල් එක්ක වෙන ජීවිත ගත කරල..බැඳල..ළමයි හම්බ වෙලා…ළමයි වෙනුවෙන් ජීවත් වෙලා…මැරේජ් ලයිෆ් එක ගැන කලකිරිල..ඩිවෝස් වෙලා…ළමයි ලොකු වෙලා උන්ගෙ ලෝක හදා ගෙන….අපි තනි වෙලා…හැබැයි ඔය ඔක්කෝම හැලහැප්පීම් වෙන අතරෙ ගෑනු කොච්චරනං දේවල් ජීවිතේ ගැන ඉගෙන ගන්නවද…ලෝකෙ කිසිම විශ්ව විද්‍යාලෙකින් ඉගෙන ගන්න බැරි තරං දේවල් ප්‍රැක්ටිකල්ස් එක්කම…ඔය හැම දේම වෙලා වෙලා ඒවට මූණ දීල දීල පදම් වෙලා හතළිහට එන ගෑනු හිත් ඊට පස්සෙ තමයි නිවෙන්න පටං ගන්නෙ. හරියට පුපුරල ලාවා ගලං ගියාට පස්සෙ ගිනි කන්දක් වගේ…ගෑනු සන්සුන් වෙන්නෙ සංවර වෙන්නෙ ඊට පස්සෙ. ඒක වෙන විදිහක ජීවිතේක පටං ගැන්ම කියලයි මටනං හිතෙන්නෙ. නිදහසේ පරිසරය විඳින්න ගන්නෙ ඊට පස්සෙ. මල් වලට ගස් වලට සොබා දහමට ආදරේ කරන්න ගන්නෙ ඊට පස්සෙ. බීච් එකට වෙලා ඉඳගෙන පැය ගාණක් වුණත් මුහුද දිහා බලං ඉන්න ආස වෙන්නෙ ඊට පස්සෙ. මහා බරපතල දේවල් දිහා වුණත් හරි සරල විදිහට සන්සුන්ව බලන්න පටන් ගන්නෙ ඊට පස්සෙ. කොටින්ම ගෑනු තමන්ට ගැඹුරෙන් ආදරේ කරන්න පටන් ගන්නෙ ඊට පස්සෙ. ඔයාට මේක හරියට පැහැදිලි නැතුව ඇති බැන්දෙ නැති නිසා ඒ එක්ස්පීර්යන්ස් වලින් ඔයා නිදහස් නිසා. හැබැයි ජීවිතේ එක එක විදිහෙ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හතළිහට එන ගෑනු ඒක දන්නව. ජීවිතේ එක යුගයක් ඉවරයි. ඒ දුක යට කර ගන්න මං වගේ ගෑනු බලන්නෙ හතළිහෙන් පස්සෙ තමයි ලස්සනම කාලෙ කියල හිතල වැඩ කරන්න. මාත් ඉන්නෙ ඒ ලස්සනම කාලෙ. මං තාම දන්නෑ කසාදයක් ඒ කාලෙත් විනාශ කරල දාන දෙයක් වෙයිද කියල. ඔයාට කියන්න බැරි දෙයක් නෑ. සසංක ගැන මගෙ තියන ෆීලින් එක හරිම සොෆ්ට්. මට ඕනෙ ඒක එහෙමම තියෙනව දකින්න දේශි. හැමදාම එහෙමම විඳින්න. එයා කෝල් කරල ඉව්වද කෑම ගේන්නද කියල අහනකොට මන් දන්නෑ මං සීතල වෙලා යනව. එහෙම බැඳීමක් එක්ක වයසට යන එක කොච්චර පහසුද කියල වෙලාවකට හිතෙනව. ඩිවෝස් එකෙන් පස්සෙ දැන් හරි නිදහස් කියල හිතං හිටියට උදේ නැගිටල සසංකට තේ එකක් දීල යවන්න ඕන කියල හිතල නැගිටින එක මාරම දෙයක්. මං තාම හෙමිහිට ඔය දේවල් දකිනව. කසාදයක් කියන්නෙ මහ කරුමයක් කියල එක පාරක් හිතපු ගෑනියෙක් මං. ආයෙ එතනට යන්න බෑ මැරුවත්. මේ සැනසිල්ලට මං ආසයි. ඒ වගේම එයා ගැන දැනෙන ඒවට මං හරි ලෝබයි. එච්චරයි මට තේරෙන්නෙ”

“සසංක ඔයාව දැක්කෙ මේ තත්වෙන්. එයා ඔයා ගැන හිතන්නෙත් ආදරේ කරන්නෙත් දැන් ඉන්න ඔයාට. ඒක නිසා ඔය දෙන්න ලස්සනට වයසට යයි. මං ආසයි ඒක බලන් ඉන්න. දන්නවනෙ මටත් ඉන්නෙ ඔයා විතරයි කියල. මාත් වයසට ගිහිං බේත් ටිකක් ගන්න ඕන වුණ කාලෙක සසංක වගේ මස්සිනා කෙනෙක්නං එක්කං යයි. කෙල්ලත් තේරුං අරං ඉන්නෙ සසංක එක්ක ලස්සන පවුලක් හදා ගන්න පුළුවන් කියල. හොඳ තීරණයක් ගන්න අපූ. තනිකම කියන්නෙ වෙලාවකට මැරෙන්න හිතෙන දෙයක් අප්ප. අපි තනි නොවී ඉමු”

දේශිකා කතා කළේ ඇයට දැනෙනා භාෂාවෙනි. අපරාජිතා සිය හද නිම්නයේ මල් කැකුළු වලට පිබිදෙන්නට අවසර දුන්නා ය. සසංක ගේ මිදුලේ කාගේවත් අවසරයක් නැතිව ඇය මල් හිටවූවා ය. ඉස්සර කුණු ලොරිය එන දවසට කුණු බාල්දිය ගේට්ටුවෙන් පිටත තබා යන සසංක, ඒ ගැන අමතක කර දැමුවේ ය. අපරාජිතා කුණු බාල්දි දෙක ම ලොරියට දුන්නා ය. ඇනෙක්ස් එකේ ජල හා විදුලි බිල් ද සමගින් ම සසංක සිය බිල්පත් ගෙවා දැමුවේ ය. සති අන්තයේ ඔවුන් දෙදෙනා දේශිකා ද සමගින් කොහේ හෝ ඇවිදින්නට ගියහ. අසේල ද සිය විරෝධතාවයෙන් පලක් නොවන බව වටහා ගෙන අවසන මිතුරා ට එකඟ වූයේ ය.

“තවත් වයසට යන්නැතුව එහෙනං ඉතිං බැඳගනිං”

අන්තිමට ඔහු සසංක ට යෝජනා කළේ ය.

“ප්‍රපෝස් කරන්න ඉතිං අමුවෙන් ගිහින්නං බැරි වෙයි. හවසට එහෙනං පොඩ්ඩක් සෙට් වෙලා යං”

සසංක අහිංසක සිනහවකින් බලාපොරොත්තු සහගත ව කීවේ ය.

ඒ සන්ධ්‍යාවේ අපරාජිතා ටෙරාරියම් එකක් සකසමින් සිටියදී අනන්‍යා ගෙන් ඇමතුමක් ආවේ ය.

“අනේ අම්මී…තාත්තිට හොඳටම අමාරුයි අම්මී…”

ඇය වැළහින්නක සේ කෑ ගසා හඬන්නට වූවා ය. දෙපා පණ නැතිව යනවා අපරාජිතා ට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles