සාතන්ගේ රඟපෑම…

ඒක මහ කාලකන්නි ජීවිතයතක්.ඉස්සර ඕන උනේ එක ශොට් එකයි.ඒකත් දසම ගානක්.. දැන් දවසට ෆුල් ශොට් දෙකක් ඕනෙ. නැත්තං දැනෙන  වේදනාව..

අපේ මුඩුක්කු පේළියට ඉහළින් කලින් වතාවේ ගෙවල් දීලා වෙන් කරපු තට්ටු නිවාස සංකීර්ණය උසට උසේ පෙනුනා. අපේ ගෙවල් වලට පල්ලෙහායින් හිටපු වජිරයා ටයි උගෙ අම්මටයි පලවෙනි කාණ්ඩය නිවාස වෙන් කරන කොට තට්ටු නිවාසය එක ගෙයක් හම්බ වුණා.වජිර ට තාත්තෙක් හිටියද මට මතක නැහැ.. නන්දනී ඇන්ටි මොකක්ද පෞද්ගලික ආයතනයක අතුගාන වැඩක් කලේ.
ඒ ගෑනිට කාලයකට ඔලුව හොද නැති වෙනවා නේ..පව් වජිරයා.. අහින්සකයා.. මාවත් මේ කාලකන්නි ජීවිතෙන් ගලවගන්න ඌ කොච්චර දැඟලුවද.. උන්ගේ අම්මගෙ ඔෆිස් එකේ හිටපු කවුද ලොක්කෙක් උදව් කරලා වජිරයට යන්තම් රට පැනගන්න පුළුවන් වුණා.
ඌ නොසෑහෙන්න උත්සාහ කළා මාවත් අරගෙන යන්න.ඒ උනාට අර පිස්සි ඒ කිව්වෙ  වජිරයාගේ අම්මා මොන මොනවද කේලම් වගයක්  කියලා කොහොමහරි මගේ ගමන කඩාකප්පල් කෙරුවා. මට ඕකිව මැරුව හැකි..

කොහොම හරි ඊට පස්සේ වජිරයා  නොසෑහෙන්න උන්ගෙ අම්මට සල්ලි එව්ව. ඒ කාලේ ගෙදරට අලුත් අලුත් බඩු ගොඩක් ගත්තා.පුටු සැටියක්.. ටීවී කබලක්…හහ් ඇයි අර කන්ටේනර් පෙට්ටියක් තරම් ලොකු පිජ් එක…ඉදකිං.. ඕවා ඔක්කොම උස්සන් ගිහින් දුන්නෙ මායි ජානයි සරයි. ඔය ලොක්කි ඒත් අපිට කහට කෝප්පයක් දුන්නෙ නෑ..

අවුරුදු තුනකට විතර පස්සේ වජිර ආපහු ආවා.අපිට නොසෑහෙන්න එක එක තෑගිත් අරගෙන ඇවිල්ල තිබුණා.මොනව උනත් ඌ හිත හොඳ එකා.උන්ගේ අම්මට ටිකක් අසනීපයි කියලා  තමයි කිව්වෙ.ඒ උනාට ඌ ආපහු යනවා කියලා කිව්වා. අපිත් එක්ක පොඩි අඩියක් ගහන්න වජිරයා සෙට් වුණා කියලා ඔය ලොක්කි බෙලිකටු මල්ල හෙලෙව්වා ප්ලැට් එක ප්ලැට්පෝම් වෙන්ඩ …

ඊට සතියකට විතර පස්සේ ලොක්කිව මගදි හම්බ වෙලා සරා අහලා තිබුනා වජිරයා කෝ කියලා . හදිසියේම වජිරට ආපහු යන්න වුණා කියලා ලොක්කි කියලා තිබුනා.  ශික් … ඌ හිටිය නම් කීයක් හරි ඉල්ල ගන්නවත් තිබුණා.

නිලා..මචං .. මං උබව පුනුරුත්ථාපනය ක ට ගෙනියන්නං.මේ ජරා පුරුද්දෙන් අපි නිදහස් වෙමු බං..

පව්..වජිරයා ..කීපාරක් මාව පුනරුත්ථාපනයට ගෙනියන්න හැදුවද. ඒ වගේ එකකට ගිහිල්ලා වත් මේකෙන් ගැලවෙන්න පින තියෙන්න ඕනේ..කොහෙද අපිට තියනවද පිනක්..

අම්මටසිරි…අර යන්නෙ ලොක්කි නේද පාරේ.ශෙහ් බලන්න එපායැ පැද්දි පැද්දි යන ලස්සන…එකත් එකටම මාකට් යනවා වගේ.දෙන දෙයියො දෙන්නේ ඇඹරි ඇඹරි..ඒ කියන්නේ තව පැයකටවත් ඔය ගෑනි එන්නේ නෑ.. දෙන්න ඕන වැඩක්..වජිරයා හොද එකා උනාට මේ ගෑනි මට කළේ මහා සවුත්තු  වැඩේනේ..
කකුල් දෙක වෙවුලන්නෙ නං ඊළග ශොට් එකට වෙලාව ලං වේගෙන එන හින්දා. නැතුව ඉතින් මේ වගේ ගේම් ඈ  මම දීලා තියෙන්නේ..
හැමතිස්සෙම ඉනේ ගහගෙන ඉන්න නියන තමයි මගෙ දෙයියා. ගෙවල්වල කබඩ්වල දොරවල් අරින්න පුළුවන්.හදිස්සියක් උනොත් අනින්නත් පුළුවන්. ශොට් එක ආතල් වැඩි කරගන්න කලව පොඩ්ඩක් කපලා බ්ලඩ් ගන්නත් පුළුවන් ..
හැහ්..හැහ්.. දැන්නං ඉන්න බෑ යකෝ..අත් දෙකත් වෙව්ලනවා..උකුල් ඇට දෙක ශරීරයෙන් වෙන් වෙන්න රිදෙනවා.

හරි..
ලොක්කිගෙ  මාලිගාවේ දොර අරින්න ගියොත් ඉස්සරහ ගෙදරට පේනවා. ඒවට තමයි ජල නල පද්දති තියෙන්නෙ…හැහා….මෙන්න මෙහෙම වතුර බටවලට කකුල තියලා මෙන්න මෙහෙම බිත්තිය දිගේ ඉස්පයිඩර් මෑන් වගේ ගිහිල්ලා  කුස්සියේ තියෙන මෙන්න මේ ජනේලය නියනේ පිහිටෙන්  මෙන්න මෙහෙම අරිනවා..

දෙමටගොඩ ගෙයක් ඔය වාගේ ඕපන් කරන්ඩ ගිගින් තව පොඩ්ඩෙන් කොන්දත් දොක්ක… ඇයි යකෝ නියනෙන් ජනේලය අරිනකොටම තඩි පිබුරෙක් ඔතාගෙන ඇදේ දපලා උන්නේ හම්පඩ සුද්දියෙක් . මට පේන්නෙ ඒකිත්  අපි වගේ ෆුල් ආතල් එකක් අරන් හිටපු වෙලාවක්.. සුද්දිට ඉස්සෙල්ලා හු තිබ්බෙ මං..
චැහ්… එදානම් බේරුනේ අනූ නමයයි තුන් කාලට…..

අම්මාහ්.. ඇරුනා නේද වින්ඩො පොඩ්ඩ…හැ හැ…. මේ පිස්සි ග්‍රිල් එකක් වත් ගහගෙන  නැහැ…ආහ් හරි …

අම්මටසිරි..වජිරගේ පත ෆොටෝ එකක් කුස්සියෙ ..සලා මලක්කුම් බොස්..  මම වජිරයට සැලියුට් පාරක් දැම්මා . මෙන්න මූ මට ඇහැක්  ගහනවා. ශික්.. ඊළඟ ෂොට් එක පරක්කු වෙන්න පරක්කු වෙන්න එක එක බහුභූත පේන්න ගන්නවා…

ආහ් මේ තියෙන්නේ මුන්ගෙ අල්මාරිය… මේකටත් නියනෙ පිහිටම තමා.. මේ ගේ පොඩ්ඩ නම් මරු අප්පා… එක කාමරයයි.කුස්සියයි… ප්ලස් කක්කුස්සියයි…
හැහ් වජිරයට මේ ගෙදර ට ගෑනියෙක් ගේනවා බොරු.. ඇයි යකෝ කොහෙද ඉන්නෙ … මේ පිස්සි මැරුනනං හරි.. මචෝ උඹට උදව්වක් හැටියට මට ඕන්නං පිස්සි ඩිස්මිස් කරන්නත් පුළුවන්…හැහ් හැහ්…

හරි යකෝ… අල්මාරිය ඇරුනා.

අම්මට හුඩු වජිරයගෙ  පින්තූර වලින් අල්මාරිය පුරවලා. නිකන් ද මේ ගෑණිට පිස්සු කියන්නේ.ඌ කන්න බොන්න එවන සල්ලි වලින් මේ මලපෙරේති කරන වැඩ…

ශික්…..කෝ යකෝ…එක රුපියලක් වත් නෑනේ…එක රත්තරන් බඩුවක් වත් නෑ…මේ ගෑනිට පිස්සු කියලා කවුද කියන්නෙ..මේකි වෙන කොහේ හරි හංගලා.

අප්ප්ටසිරි….ගෙට කවුරුහරි ඇතුල් වුණා නේද.. ඔව් ඒ දොර අරින සද්දේ..ශික්….දැන් මොකද කරන්නේ…අඩේ මුන්ගෙ රෙදි වැට අස්සෙ හැංගෙන්න ඕනේ.

හිත හිත ඉන්න වෙලාවක් තිබුණෙ නැහැ.විදුලි වේගයෙන් මම රෙදි වැට අස්සට පැන්නා. මාකට් එකට යන්න ගිය වජිරගේ අම්මා මොකක් හරි ලබ්බකට ආපහු ඇවිල්ල. ශික්….. දැන් කොහොමද එලියට පැනගන්නේ..

දෙයියනේ  කලබලයට අල්මාරිය වහ ගන්නත් බැරි වුණා… අප්පා…මේ ගෑනි දැක්කා නේද අල්මාරිය ඇරලා කියලා.. අම්මටසිරි කෑගහයි ද දන්නෙත් නෑ..එහෙම  උනොත් විනාසයි.

අනේ අනේ කොල්ලො..හොරා වගේ කරන දේවල් නේද.. ගෙදරින්   යනකම් හිටියා මගඩි වැඩ පටන් ගන්න…

අල්මාරිය වහන ගමන් වජිරගේ අම්මා කිව්වා.මගෙ කුඩු සික් නන්නත්තාර වෙලා ගියා. උඹටත් නියනෙ පිහිටම තමා..එහෙනං ..
මට හිතුනා.

උදේ බෙදලා ගිය බත් එක කාලත් නෑ නේද.. ඉඳපන් කෝ එහෙනම් මම කවන්න… මේ ගෑනි කූඩෙන් වහලා තිබුන පත බත් පිගානක් ගත්තෙ නැතෑ …

අඩේ පිස්සි …..උඹ මට බත් කවන්නද එන්න හදන්නේ..යකෝ මේ රෙදි වැට අස්සෙ ඉන්න මාව මේ ගෑණිට පෙනුනේ කොහොමද..
දඟලන්න හොඳ නැහැ..බලමුකෝ මේ ගෑනි බත් එක අරගෙන මෙතැන්ට එන හැටි..අම්මපා අනිනවා නියනෙන්…

තාමත් ඇත්තට උඹලගෙ අකීකරු කං වල ඉවරයක් නෑනේ..මොකෝ අම්මා කෙනෙකුට බැරිද තමන්ගෙ ළමයට පාරක් ගහන්න….
ගහන්නෙ  තරහටද..හදාගන්න.. හදාගන්න.. ඔන්න උඹලගේ තාත්තට නං දුන්නේ පාර මැරෙන්නමයි… ඔව්ව්… චූටි චූටි කෑලි කපලා ජේපින්ගේ ඌරන්ට දැම්මා … උඹත් ඉතිං ඒ  මහඑකාගෙ විදිහටම තමයි හැදෙන්නේ.. ආ..හරි හරි දැන්  වැඩක් නෑ.. මෙන්න මේ බත් එක කාපන්..

මට කන් දෙක අදහගන්න බැරුව ගියා.මම මාවම තුන් හතර පාරක් කොනිත්තගෙන බැලුවා කුඩු සික් මර්මස්තාන් වෙලා ඇහෙන මගුලක්ද මේ බලන්න ..

ලොක්කි පැද්දි පැද්දි ගිහින් තඩි පිජ් එක ඇරියා . මගේ අම්මේ මේ ලොක්කි ඒකේ කූල් නැට්ටටම කරකවලා වගේ යකො අයිස්ලන්තෙට ඉර පායලා වගේ ඒකෙන් ගිය දුම. හත්වලාමෙට  ගහපු කලාබරේ..බිබිලි නගින බෙලිකටු..යකෝ මේ පිස්සි පස්ස ඉරාගෙන අර පිජ් එකෙන් අදින්නෙ මොකක්ද…

අඩේ….. අයිස් මිදිච්ච තඩි මාළුවෙක් වගේ මොකද්ද  තඩහ් ගාලා බිමට පත බෑ උනේ ඒ…

හා …හා … තරහා වෙලා උන්න ඈතිනේ..දැන් මේ බත් එක කන්න කෝ හොඳ ළමයා වගේ..
අම්මෙහ්… ආ….හරි මෙන්න මෙහෙම හේත්තු වෙන්නකෝ..
උඹට මම කොච්චර කිව්වද මාව ආපහු දාලා යන්න එපා කියලා.කියන දේ ඇහුවේ නැති උනහම මට තරහා යනව බං..
ඈහ්…..ගැහුවෙද… ගැහුවෙ උබව හදාගන්න … ආදරේට.. බලපං ඉක්මනට කාපං පුතේ….

සාරානාස් සාස් තෲස් කියපි.. යකෝ ඒ වජිරයා… මේ පිස්සි ඌව මරලා පිජ් එකේ ඔබලා. මට කුඩු සික් නෑ දෙයියනේ … දැන් බතුත් කවන්න ලෑස්තිය.. දෙයියනේ මගේ පිටකොන්දත් එක්ක සීතල වෙන්න ගත්තා. මෙච්චර වෙලාවක් මං හිතාගෙන හිටියේ මම මහ ලොකු චන්ඩියෙක් කියලා. මහා මිනීමරු ගෑනියෙකුට දෙයියනේ මම හිර වෙලා.අනේ අපේ වජිරයා..
මගේ ඔලුව කැරකෙන්න ගත්තා.වමනේ යන්න වගේ ඔක්කාරයට ආවා.

අම්මටසිරි..ආපහු වජිරයා ව ෆ්‍රිජ් එක ඇතුලට දාලා වැහුවා නේද..
ඒ පාර මේ ලොක්කි කොහෙද යන්නෙ..ශික් මං පැන ගන්නේ කොහොමද.මට පොලිසියට යන්න ඕන..දෙයි හාමුදුරුවනේ..මාව හොරකමට අහු වුණත් කමක් නෑ..මේ මිනීමරු අම්මන්ඩි අල්ලලා දෙන්න පුළුවන් නම්.. ..
වජිරයවත් මරලා.. උගෙ තාත්තවත් මරලා…

ආ..මේ ගෑනි ඉස්සරහ දොර ලොක් කලා නේද..
මොකද්ද මේ ගෑනි මේ කරන්න යන්නේ..

වජිරයගෙ අම්මා පැද්දි පැද්දි  කාමරයට ආවා.. දෙයි හාමුදුරුවනේ..මොකක්ද ඒ අල්මාරිය අස්සෙන් ගත්තේ.. හොකී පිත්තක්.ආහ්…වජිර යගේ හොකී පිත්ත….. අපි ඉස්කෝලේ යන කාලේ හැන්දෑවට සෙල්ලම් කරපු හොකී පිත්ත.

පිජ් එකේ දාන්නම ඕනේ කියලා නීතිය ක් තියෙනවා ද….. කැමතිනම් කෑලි කපන්නත් පුළුවන්.. ජෙපිං නැති වුණාට තාම ඌරො ඉන්නවා.
මට ආසයි…..මෙන්න මෙහෙම දෑත බදලා එකපාරින් වැඩේ දෙන්න…හහ් හහ් හා….

දෙයි හාමුදුරුවනේ..මේ ගෑනි පිස්සුවෙන් හිනාවෙවී වට කැරකි කැරකි විදුලිවේගෙන් රෙදි වැට ළඟට ආවා…..

අ…ම්….බෝ………

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles